February 12, 2014

ගුරුතුමනි ඔබේ හදවතයි...

 
By Johann Georg Meyer Von Bremer

ශිෂ්‍යාව
ගුරු ගෙදර පිපෙන මල් සේරම
සුවඳ කරන ආදරේ.... ගුරුතුමනි ඔබේ හදවතයි...
ගුරුතුමා
මල් සුවඳ කරන්නට දිරි දෙන
උල්පත ඒ ආදරේ.... දියණියනි ඔබේ හදවතයි...

ශිෂ්‍යාව
දුක් කඳුළු එකතු කරගෙන... මුතු මැණික් තනන අන්දම
ඔබ කියා දුන්නු හින්දා....

ගුරුතුමා
පුරහඳක් වගේ දිලිහෙන හැටි... බලන් ඉන්නෙ තනිවමයි
සතුටු කිරුළ හිස ලා....

ශිෂ්‍යාව
හොඳ හිතක් ළයේ නැත්නම්.. පටපිළී බරණ කුමටද
ඔබ කියා දුන්න තාලේ....
ගුරුතුමා
ඒ උවම් හිතට අරගෙන... ජීවිතේ දිනන යුතුකම
සුරකින්න මගේ දියණී...

ගායනය           :-          කරුණාරත්න විජේවර්ධන, කේතකී සුරවීර
පද රචනය        :-          සුගත් සෝමවීර
තනු නිර්මාණය :-          සුනිල් දයානන්ද කෝනාර

සොඳුරු නව යෞවනය ගැන නිරන්තරයෙන් අප අතර ඇති සංවාදය නිසාම නව යෞවනය ජීවිතයේ වසන්ත සමය සේම කුණාටු සමය බවද දැන් ඔබ දන්නවා. කුණාටු සමයක ජීවිත නෞකාවේ රුවල නිවැරදිව හසුරුවා ගනිමින් යහපත් ජීවිත අරමුණු කරා ගමන් කිරීම වත්මන් සමාජය තුළ අප හමුවේ ඇති විශාලතම අභියෝගයක්. අධ්‍යාපනය යනු ඒ අභියෝගය ජය ගන්නට අපට ධෛර්යය දෙන එක් මාවතක්.. නමුත් ඒ හුදු විභාග සාමාර්ථය ඉලක්ක කර ගත් විෂය දැනුම පමණක් ලබන අධ්‍යාපනය නොවේ. ජීවිත තක්සලාවෙන් ලබා ගන්නා ජීවිත පන්නරය, ප‍්‍රඥාව හා සංවේදී හදවතයි.

මේ ආදරණීය ගුරුතුමා කියා දෙන්නේ ඒ අපූරු ජීවිත පාඩමයි. ජීවිත පොතින් දැනුම උකහාගෙන ජීවිතය දිනන්නට හැකි මාවතයි. ජීවිතයේ දුක් කරදර, බාධක නිසා උපදින කඳුළු ජීවිත ගමනේ මුතු මැණික් ලෙස බාර ගෙන ඉදිරියට යා යුතු බවයි. මිනිස්කමින් පිරුණු සංවේදී හදවතක්, හොඳ හිතක් නැත්නම් කුමන වස්තුවක් තිබුණද ඵලක් නැති බවයි ගුරුතුමා කියා දී ඇත්තේ. මේ සිසු දියණියට ගුරුතුමා කියා දුන් ජීවිත පාඩම් අමතක වී නැත. ඇය පුරහඳක් ලෙස බැබළෙන්නේ එබැවිනි.

තම දයාබර ගුරුතුමාට ගී උපහාරය පුදන මේ සිසු දියණියගේ මෙන්ම ගුරු ගෙදර අනිකුත් ළමුන්ගේ ජීවිත සුවඳවත් වන්නේ ද, විකසිත වන්නේ ද ඒ ගුරුතුමාගේ අප‍්‍රමාණ ආදරය තුළයි. මෙවැනි ගුරු මව්පියවරුන් අද අප අතර කොතෙක් නම් සිටින්නේද? අප ඒ ගුරු දෙගුරුන්ට කොතරම් දුරට සමීප වන්නේද, විවෘත වන්නේද, ඔවුන්ගේ අවවාද උපදෙස් මැදිහත් සිතින් විමසා බලන්නේද යන්න සිතා බැලිය යුතුයි නේද? මුණින් අතට නැවූ කලයක් මතට  වතුර නොව අමෘතය වුවද කොතෙක් වත් කළත් රැඳෙන්නේ නැත.

ජීවිතය දිනන්නට නම් අප හමුවේ ඇති බාධක, අභියෝග, දුක් කරදර ජීවිතයට ධෛර්යය දෙන මුතු මැණික් සේ බාර ගෙන, හොඳ හිත දියුණු කර ගනිමින් නව යෞවනය ජීවිතයේ වසන්තයම කර ගන්නට අධිෂ්ඨාන කර ගනිමු.

No comments:

Post a Comment