November 16, 2014

අනාථ කවියකු සඳට කී කව


සිත අවුළුවා ලූ කවියකි. ඇස උණන සීතල කඳුලකි. වරදකාරී හැඟුමකින් හදවත රිදුම් දේ.

නිලාර් එම් කාසිම් සිංහල බසට නඟන ලද සහෝදර පියාපත්කාව්‍ය එකතුවේ එන සෝලෙයික්කිලි කවියාගේ අතිශය සංවේදී කවියකි මේ. අනාථ කවියා අමතන්නේ සඳට යි. නමුත් ඒ ඇමතුම මනුෂ්‍යත්වය අවදි කරනු පිණිස අපේ හදවත් ස්පර්ශ කරනු නිසැකයි. 

ස්වකීයයන් අහිමි වීම, තම ගම්බිම් අහිමි වීම, ජීවන මාර්ග අහිමි වීම, සැකයේ අවිශ්වාසයේ, පීඩනයේ ගොදුරු බවට පත්වීම, තමන්ගේම භූමියේ අවතැන් වීම අනාථ වීම, අන්‍ය බිමකට පිටුවහල් වීම අප අරුත් ගන්වන්නේ කෙසේද? එය අපට ආගන්තුක අත්දැකීමක් විය හැකිය. එනිසාම එහි බරපතළකම අපට නොදැනෙනු විය හැකිය.

මේ කවිය ඉවසිල්ලේ, නැවතිල්ලේ කියවා බලන්න. ඒ වචනවලට ඔබේ ආත්මයට කතා කිරීමට ඉඩහරින්න. උතුරුකරයේ සීත සුළඟ දැවී ගියේ එක් කවියකුගේ සුසුමකින් පමණක් ම නොවේ. ඒ සුසුම් ගින්දරට නිවීමක් තවමත් පේන මානයේ නොවේ.

බල අරගල නිසා ලොව පුරා අවතැන් වන සුවහසක් මිනිසුන්ගේ ආත්මීය විලාපය මේ කව් පද අතර අපට හමුනොවන්නේද?


සඳ සකිය ඉදින් අද ගීයකුදු නොලියමි
තාවකාලික ගෙයක
මටම යැයි අයිති වූ සාලයක්වත් නොමැත
සිතූ සේ මලක් සිඳ
මල් සුවඳ විඳගන්න
උරුම වූ ගසක් නැත....

නුඹ පවා මට ආගන්තුකය අද,
සකිසඳ
මගේ දොරකඩ වැටෙන
නුඹෙ එළිය මෙන් නොවේ....
මෙබඳු ආගන්තුක ගෙයක
දොරකඩක වැටෙන මේ එළිය....
නුඹේම එළි දෙබිඩියැයි මට සිතෙයා..
නපුරු සිතුවිලිවලින්
මසිත දූෂණය වෙයි..
තුන් දොහක සිට ම මා අනාථයි
මේ කටුක දිවිමඟත්
එහි උනන කවි ගඟත්
සුරැක ජය ලැබූවෙමි...

මගේ ගෙය දුටු එවුන් පවසන්නෙ
එහි මුහුණු පහුරු ගා බිඳ දමා ඇති බවයි...
ආදරෙන් හැදු වැඩු මල් පැළත්
ගවයන්ගෙ බඩවැලේ රැඳී කැලතී පසුව
පහවෙලා ගිය වගයි....

මෙහි උරුම වූ අහසක් නොමැත..
උරා බොන සුළඟ වුව
අනුන්ගේ වස්තුවක් මෙන් දැනෙයි
කොහොම මා ලියන්නද ගීතයක්
තරු අනූදාහකුත්, නුඹත්, අහසත්
අහිමි වූ විටෙක මට....?

මගේ සමනළ රැළ ද
ඇඳ ඉහත්තාවේ හූනන්ද
අහිමි වූ විටෙක ?

වළාකුල රැගෙන නුඹ වසාගනු මැනව
මුළු මුව ම..

කවියෙකුගෙ සුසුමකින්

සීත සුළඟත් දැවී යනු ඇත....

October 1, 2014

පිළිම නෙලා නැති විරුවන්



පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී...
පුපුරා දෙස් දේවී..

පීඩිතභාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියාදෙමින් ඒ විරුවන් මියැදුණි
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුණි....

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්.......

මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුබසෙත සලකා මළෝය උන් සැම...

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්.......

ගායනය - නන්දා මාලනී
පද රචනය - සුනිල් ආරියරත්න
තනු නිර්මාණය - එච්.එම්. ජයවර්ධන



ජීවිතය වෙනුවෙන් ජීවිතය පුද දී, මනුෂ්‍යත්වයට මහත් වූ පේ‍්‍රමයෙන් හෙලා ලූ හුස්ම මිස, හෙලා ලූ දහදිය කඳුළු මිස, අන් කිසිදු මතකයක් ඉතිරි නොකොට, මිහිමව් තුරුලේ සැඟවී ගිය අපමණ මිනිසුන් වෙනුවෙනි මේ ගීතය. 

‘‘මිහිමත පය ගසා සිටින, මිහිමවටද බරක් වූ මළගිය මිනිසුන් අතරින් මිදී ඔබ එන්න. 

පීඩිතභාවය දිනෙන් දින රුදුරුව හිස ඔසවයි. ඔබ සමාධි සුවයෙන් නොසිටිය යුතුය. 

නැඟී සිටින්න..... 

ජීවිතය වෙනුවෙන් නැඟී සිටින්න.’’ 

පිළිම නෙළා නැති එකී විරුවෝ අප අමතා අභියෝග  කරති.

September 2, 2014

ගින්නෙන් උපන් ස්නේහය....


අලුත්ගම ගිනි ඇවිළිණි. සැබවින්ම එය ඇවිළුණු ගින්නක් නොව අවුළුවා ලූ ගින්නකි. පශ්චාත් නන්දිකඩාල් සමයේ ආරම්භයේ සිට අලු යට සඟවමින් නමුත් නිවෙන්නට නොදෙමින්, සෙමෙන් සෙමෙන් හුස්ම පිඹ අවුලුවා ලූ ගින්නකි. එක් ජාතිවාදී අරගලයක ගිනිදැල් නිවී යන්නටත් පෙර තවත් ජාතිවාදී ගින්නක හදවත් දවාලන ගිනියම විඳින්නට තරම් අපි අවාසනාවන්තයෝ වීමු. වරද එක් පසෙකට පමණක් බැර කිරීම නොහොබී. ජාතීන් අතර විවිධත්වය අගයන්නට නොහැකි, එකිනෙකාව පිළිගන්නට, ඉවසන්නට, සමාව දෙන්නට නොහැකි, වෛරය වෙනුවට ආදරය ජීවිතය කර ගත නොහැකි අපි සියල්ලෝම මෙහි වරදකරුවෝ වෙමු.

ජීවිතයේ වටිනාකම තේරුම් ගත් එවැනි දයාවන්ත මිනිසුන් සිහසුන් නොගැන්වූ අපි සියල්ලෝම වරදකරුවෝ වෙමු.

අලූත්ගම ගින්නෙන් නැගුණු වේදනාවෙන් කම්පනයට පත් හදවත් විවිධ අයුරින් එයට සිය විරෝධය පළ කරනු  අපි දුටිමු.

මේ ගින්නෙන් උපන් ස්නේහයක් පිළිබඳ මට අසන්නට ලැබුණු කතාවකි.

යුද්ධයෙන් පීඩාවට පත් නැගෙනහිර ප‍්‍රදේශයේ කාන්තා සමූහයක් අලුතින් අලුත්ගමින් අවලූවා ලූ නොමිනිස් ක‍්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළේ එදා මෙදාතුර නොමිනිස්කම් නිසා දිවි දුන් සියලුම මිනිසුන් වෙනුවෙන් සහ සැබෑ සාමය මේ මිහිතලය මත උදාකරලන්නට සැම සිත් පහන් වේවා යන පැතුමින් පහනක් දල්වමිනි. මේ කාන්තා එකතුවේ බහුතරය දමිළ ය. සිංහල හා මුස්ලිම් අතළොස්සක් වෙති.
නැගී සිටි මුස්ලිම් සොයුරියක් කතා කළේ කඳුළු පිරි දෙනෙතිනි.

‘‘ඔයාලට යුද්දෙන් කරදර වෙද්දි ඒක අපිට දැණුනෙ නෑ. අපි ගණන් ගත්තෙ නෑ. අපි මොනවත්ම කළේ නෑ. ඒත් අද අපිට කරදර වෙද්දි පහනක් පත්තු කරන්න හරි මුලින්ම එකතු වෙන්නෙ ඔයාල.. අපි තනිවෙලා නැහැ කියල දැනෙනවා.’’

ඒ හෘදයාංගම කතාව එතැන සිටි බොහෝ දෙනෙකුගේ නෙත කඳුළු නැංවීය.

‘‘අපි දන්නවා මරණ බය.... ඒ වගේම අපි දන්නවා ප‍්‍රතික්ෂේප වෙන එක, අත්හැර දමන එක, නොසලකා හරින එක, තමන්ගෙම අය නැති වෙන එක, උන්හිටි තැන් දාල යන්න වෙන එක කොයි තරම් වේදනාවක්ද කියල... ආයෙමත් ඒ වගේ දේවල් කිසිම මනුස්සයෙකුට සිද්ද වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවෙනුයි අපි එකතු වෙන්න  ඕන...’’

ඒ හඬ දෙමළ සොයුරියකගේ ය. 


දැල්වූ පහනින් හදවත් දැල්වුනේ එලෙසිනි. කඳුලින් අලුත් සෙනෙහස් බැම්මක් ගොඩනැගුණි. සිනා නැගුණි. ඒ සිනහව වෙනදාට වඩා අවබෝධයෙන්ද, ආදරයෙන්ද, ධෛර්යයයෙන්ද පිරී පැවතිණි. සිදුවිය යුත්තේත් එයම නොවේද?

August 21, 2014

ළක්‍රිවී දිවියෙන්..........

By Agnes Nicholl

පොසොන් මස 22 වන ඉරිදා සැඳෑව ගත වුණේ පොල්වත්ත ළ.ක්‍රි.වී. ඒකකයේ දූ දරුවන් සමඟ‍. පුංචි පැටවුන්ගේ දස්කම් විස්කම් ඔපවැටුණු ගිනිමැලයට හදවතින්ම ඇතුළ් වෙමින්. ප්‍රීතියෙන් රඟදෙන ගිනිදලු මැද අන්ධකාරය බිඳී විසිරී ගිය ඒ සිහිලැල් සැඳෑවේ මගේ හිත දිව ගියේ ඈත අතීතයට‍. ඒ 1999 වසරට. 

උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගමෙන් පිටවෙන්නට පෙර මගේ ළ.ක්‍රි.වී. ඒකකයේ  දරුවන් සමඟ පැවැත්වූ අවසන් ගිනිමැලයට. එදා ගිනිමැලය අවසානයේ මා ළඟට පැමිණි අම්මා කෙනෙක් මෙහෙම කිව්වා...

“ඔයා ගමෙන් ගියාම අපේ දරුවන්ට තමයි පාඩු. අපේ ළමයින්ට මේ වගේ දක්ෂකම් තියෙනව කියල අපිවත් දැනන් උන්නෙ නැහැනෙ....” 

වසර ගණනක අනුශාසක දිවියට ඉපදුණු හැදුණු වැඩුණු ‍ගමේදිම ලැබුණු උපහාරයක් වගෙයි ඒ වචන...

මට ජීවිතය දුන්නෙ මගේ අම්මා. නමුත් මං ජීවිතයේ අරුත් පහදවා ගත්තෙ ළ.ක්‍රි.වී. අම්මාගෙන්. ඒ නිසයි මං නිතරම  ළ.ක්‍රි.වී. ය මගේ දෙවෙනි අම්මා විදියට හඳුන්වන්නෙ. ඇයයි මට ජීවිතයට පාර පෙන්නුවෙ. 

1997 වසරෙ ඉඳල අනුශාසක කෙනෙක් විදියට මෙතෙක් ආ ගමන්මග දෙස ආපසු හැරී බලද්දි හිතට දැනෙන්නෙ අප්‍රමාණ සතුටක්... ඒ සතුට මහා යුග මෙහෙවරක් කළා කියල දැනෙන ආඩම්බරයක් නෙවෙයි. දරුවන් වෙනුවෙන් ලස්සන ලෝකයක් ගොඩනගන්න, අනුශාසක සොයුරු සොයුරියන් සමග කළ පුංචි පුංචි ආදරවන්ත වැඩ ගැන දැනෙන නිහතමානී සතුටක්.

මව්පියන්ට, වැඩිහිටියන්ට, ගහකොල, සතාසීපාවුන්ට, ඉරට හඳට වැහි බිඳුවට පවා ආදරය කරන්න කියල දුන්නෙ ළ.ක්‍රි.වී. අම්මා... ළ.ක්‍රි.වී. දරුවෙක් විදියට ගුණාංග පහත්, වසරින් වසර  ලැබුණු තේමාවනුත් ජීවිතයට අළුත් දැක්මක් ලබා දුන්නා තමයි. ඒත් ළමා කාලයටත් වඩා වැඩියෙන් ඒ වටිනාකම් ජීවිතයට පන්නරයක් වුණේ අනුශාසක කෙනෙක් විදියට කටයුතු කළ අවදියෙදි... ළ.ක්‍රි.වී. වටිනාකම් අවබෝධයකින් ජීවිතයට මුල් ඇද්දෙ තාරුණ්‍යයේදි කියල මට හිතෙනවා.

මේ පුංචි කොදෙව්ව පුරාම මගේම කියල යන්න එන්න නිවහනක්, අම්මල තාත්තල, සොයුරු සොයුරියන් ඈ මට ලබා දුන්නා නොමසුරුවම. යහපත් සමාජ ජීවිතයක් ගත කරන්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ මේ මානව සම්බන්ධතා හරහා...  ‍

මානව දයාවෙන් පිරුණු ලේඛන කලාවක් ගැන සිහිනයක ජීවත් වුණු මට ඒ සිහිනය යථාර්ථයක් කර ගන්න මග පෙන්වූයෙත් ඇය.. ඒ ළමාහඬ පුවත්පත ත්, සබඳ සඟරාවත් හරහා...

ඕනෑම තැනක, ඕනෑම පිරිසක් ඉදිරියෙ කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න හිතට දිරි දුන්නෙ ඇය. මමවත් නොදන්න මගේ හැකියාවන් උර ගාල, ඔපමට්ටම් කරල මං සමාජයට වටින දියණියක් කළේ ඇය. ඒ තරම්ම වෙනසක් මගෙ ජීවිතයේ සිද්ද වෙන්නෙ ළ.ක්‍රි.වී. යත් එක්ක අවංකවම කැපවීමෙන් දුර ගමනක් ආ නිසයි...

මේ ලියන නිමේෂයෙදි ‍මගේ හිත සිතිවිලි ගඟක් වෙලා.. අතීතය රැලි නග නගා ගලනවා. ඒ හැම දෙයක්ම ලිව්වොත් සබඳ සඟරා සීයක් වත් උවමනා වෙයි. මගේ හිත අද්දර ඉඳන් හිනැහෙන ආදරවන්ත මුහුණු රැසයි. අත්දැකීම් ගොන්නයි. සිනාවෙන් වගේම කඳුලින් සුසුමින් පිරුණු මතකයන්ගෙනුත් අඩුවක් නෑ.

ජීවිතය සුවපත් වෙන්නෙ රෝස මල් පාවඩ මතින් එද්දි තමයි. නමුත් ජීවිතය පොහොසත් වෙන්නෙ රෝස කටු ඇනෙන වේදනාව දරා ගැනීමෙන් සහ එයින් ලබන පන්නරයෙන්. අතීතයට ආපහු හැරිල බලද්දි පසක් වෙන සත්‍යය එයයි. ළ.ක්‍රි.වී.ය මේ දෙයාකාරයෙන්ම මගේ ජීවිතය පොහොසත් කළා...

ඉතින් මං ළ.ක්‍රි.වී. අම්මට ණයගැතියි. ළ.ක්‍රි.වී. අම්මට ආදරෙයි. ඒ ණයගැති බව සහ ආදරය නිසාම නව ලොවක් ගොඩනැගී‍මේ සිහිනය යථාර්ථයක් කර ගන්න මං දිවි ඇති තුරුම කැපවීමෙන් වැඩ කරනවා.

2014 අගෝස්තු

July 2, 2014

නෑසියන් කොයි වෙද? නෑකම් තවම වෙද?



‘‘දුවේ... දෙමටගොඩ සමන්තා හෝල් එක තියෙන්නෙ ඒ හරියෙ ගිහින් බලන්නකො.. ඒ හරියෙ තමයි අපි උන්නෙ. තාමත් අපේ මනුස්සයගෙ නෑදෑයො ඇති. නම කිව්වම මතක් වෙයි. අපි ඉන්නව කියල දන්නෙ නැතුවත් ඇති. ’’ ඇය මට ස්වාමිපුරුෂයාගේ නම පවසන්නීය. සිය නෑසියන් ගැන පවසන්නීය. මම දසඅතේ කල්පනා කරමි. සමන්තා හෝල් එක මතකයට නැගෙන්නේ නැත.

ඈ සැත්තෑ වියට ආසන්න යැයි සිතිය හැකි දෙමළ මවකි. මට හමුවුණේ පසුගිය වෙසක් පුන් පොහෝ දා කිලිනොච්චියේ දී ය. දෑතින්ම අල්ලාගෙන සිනා මුහුණින් කතා කරන ඈ මගේ දෙනෙතට ම එබී හිඳින්නීය. ඒ දෙනෙතින් ගලා හැලෙන්නේ අප‍්‍රමාණ මාතෘ ස්නේහයකි.

‘‘ අපි කාලයක්ම ජීවත් වුණේ දෙමටගොඩ දුම්රිය නිවාසවල. 83 කලබල වෙලාවෙ අපිට ගොඩක් කරදර වුණා. හැමදේම නැතිවුණා. අපිව මෙහෙට ගෙනත් දැම්මා... ඉන්පස්සෙ ඉතින් යුද්දෙ...’’ ඈ දිගු සුසුමක් හෙළන්නීය.
ඇයට හොඳින් සිංහල බස හසුරුවනු හැකිය. මට දැණුනේ විස්මයකි. එලෙසම මා ගැන ලැජ්ජාවකි. මට හැක්කේ යාම්තමින් දෙමළ වචන කිහිපයක් ගැට ගසා ගැනීමට පමණි.

‘‘අපි කොළඹනෙ. ඒ හින්ද සිංහල හොඳට පුළුවන්...’’ මොහොතක විරාමයකින් අනතුරුව ඈ පවසන්නේ සිනාමුසුව ය. දිගුකලකින් ඥාති සමූහයක් දුටු කලෙක මෙන් උද්දාමයක් ඈ තුළින් පළවේ. එය ව්‍යාජ හැඟුමක් යැයි නොසිතෙන්නේ ඇගේ දෑතින්, දෑසින්, සිනාවෙන් ගලා හැලෙනා ස්නේහය නිසාවෙනි.

‘‘අපේ එක්කෙනා රේල්ලූවෙ වැඩ කෙරුවෙ. ඉන්දියන් හමුදාව ඇවිත් උන්න දවස්වල වැඩට ගියා ගියාමයි ආවෙ නෑ.. එයා ගැන හොයන්න යන්න එල්ටීටීඊ එකෙන් ඉඩ දුන්නෙ නෑ. මාස ගාණකට පස්සෙ ආරංචි උණා ඉන්දියන් හමුදාවෙන් වෙඩි තියල මැරුණ කියල. මරණ සහතිකයක්, මොනවත් ලියකියවිලි නැති හින්ද පෙන්ෂන් එකක් හම්බ වෙන්නෙත් නෑ...’’

රැළි වැටුණු කාලවර්ණ දෙකොපුල් මතින් කඳුලූ දෙපේළියක් රූරා වැටෙයි. ජීවත් වීමේ අසීරුව ඇගේ වත මත ලියැවී ඇත.
‘‘කොළඹ රේල්ලූවට ගියොත් විස්තර මොනවත් දැනගන්න පුළුවන් වෙයි. දුවට පුළුවන්ද ගිහින් බලන්න.’’ එලෙසින් කීවද ස්වාමියාගේ රැකියාව තහවුරු කළ හැකි ලියකියවිලි කිසිවක්ම ඈ සතුව නැත.

දවසේ වැඩසටහන නිම කර පැමිණෙන්නට පෙර කිහිප වතාවක්ම මා වටා දැවටෙමින් ඇය මේ ඉල්ලීම සිහිපත් කළාය. එය ඉටුකරමැයි ප‍්‍රතිඥාවක් දිය හැකි වටපිටාවක් නොවුණි. සැනසිලි බසකින් පමණක් සෑහිය නොහැකි තරමට ඇගේ දයාර්ද බැල්ම මසිත පාරයි. අදටත් සිත ළතවේ. ඒ අම්මා වෙනුවෙන් මට කිසිවක්ම කළ නොහැකි විය.

සන්තකයම අහිමි කළ, ස්වකීයයන් පැහැර ගත්, යුද්ධය නිමා වුවද තවමත් ඔවුන්ගේ දුක් වේදනාවන් නිමා වී නැත. ජීවත් වීම ඉමක් කොණක් නැති යුද්දයක් බවට පත් වී ඇත. පින් පඩිය හැරුණු විට අන් සහනයක් ද නැත. නමුත් ඒ අම්මාගේ සෙනෙහස, දයාව, මනුෂ්‍යත්වය සිඳී ගොස් නැත. අසිරිය නම් එයයි.

මේ වැන්දඹු අම්මාවරුන් 107 ක් සිටි තැනක එක් අම්මා කෙනෙකුගේ කතාවකින් අංශු මාත‍්‍රයක් පමණි.

 2014 ජූනි


June 23, 2014

මගේ පුතා දිනුම්.........


 
සුරංගනා ලෝකෙ සිඟිති සුරංගනාවියො මහ ගොඩක් ඉන්නවා. එයාලගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි දරුවන්ව රැක බලාගන්න එක. එයාලව සතුටින් තියන එක... ඒ එක් සිඟිති සුරංගනාවියකගෙ දිනපොතේ  සටහන් අතරින් තමයි මම මේ කතා ඔයාලට අරන් එන්නෙ....

මගේ පුතා දිනුම්.........

ජාරක කියන්නෙ සුන්දරම හිනාවක් තියෙන, නිර්මල ම හදවතක් තියෙන අතිශය ප්‍රියමනාප සුවිශේෂ දරුවෙක්. ඇත්තටම කියනවනම් සුන්දර ගැටවරයෙක්.  විශේෂ අධ්‍යාපනය ලබන බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියලයි ජාරක පුතාගෙ තාත්තා එයාගේ බ්ලොග් ලිපියක සඳහන් කළේ. ‘‘මගේ පුතා දිනුම් කියන ඒ ලිපිය නෙත කඳුළු නංවන සංවේදී සටහනක්. ඒ ලිපිය පුරාම ජාරක පුතාගෙ මානුෂික හදවත විහිදිලා විසිරිලා තියෙනවා. පුතාගෙ ඡායාරූපය දකින කිසි කෙනෙක් නම් හිතන එකක් නැති වෙයි එයා බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියල.

මේ ලිපිය දුටුව දරුවන්ට ගොඩක් ආදරය කරන එක නැන්දා කෙනෙකුට හිතුණා ජාරක පුතාට කතා කරන්න. ඒ නැන්දාගෙ නම තරූ. ඉතින් එයා ජාරක පුතාගෙ දුරකථන අංකය හොයාගෙන එයාට කතා කළා. සුන්දර ගැටවරයෙක් වුණ පුතාගෙ කටහඬ නම් තවම පුංචි ළමයෙක් ගානයි. එයා බොහොම සතුටින් නැන්දත් එක්ක කතා කළා. එයා බලන ටීවී වැඩසටහන්, එයා ක්‍රීඩා තරඟවලින් ජය ගත්ත හැටි හරිම උනන්දුවෙන් විස්තර කළේ. හිටි ගමන් දුරකථනය තාත්තා අතට දීලා දිව්වා. ඉතින් නැන්ද හිතුවෙ පුතා වැඩිය කතා කරන්න කැමති නැහැ කියලයි.
නැන්ද එක්ක කතා කරන්න කැමැත්තෙන් උන්නු ජාරකගෙ නංගි එක්කත් එයා කතා කලා. නංගි කවෝදි හතර වසරෙ. එයා බොහොම දක්ෂ කටකාර දුවණියක්...

පස්සෙ දවසක තමයි තරූ නැන්දා දැන ගත්තෙ එයාලගෙ මිනිත්තු කිහිපයක කතා බහට ජාරක පුතා කොයි තරම් වැදගත්කමක් එකතු කරලද කියල.

ජාරක පුතාගෙ තාත්තා මාධ්‍යවේදියෙක්. ඒ වගේම නාට්‍ය ශිල්පියෙක්. වැලිකඩ බන්ධනාගාරෙ රැඳවියන් එක්කත් එයා වැඩ කරනවා. ඒ ගමන්වලට තාත්තා එක්ක පුතත් එකතු වෙනවා. මේ වතාවෙ බන්ධනාගාරෙ යාළුවො හැමෝම එක්ක එයා කතා කළේ මාමා කෙනෙක් එයා ගැන මූණුපොතේ ලියා තිබුණු සටහනත්, තරු නැන්දත් එක්ක කළ දුරකථන සංවාදයත් ගැනලු.  දැන් නාට්‍ය කණ්ඩායමේ සෑම රැඳවියෙක්ම තරු නැන්දා ගැනත් දන්නවාලු. ඒ ගැන ජාරක පුතාගෙ තාත්තා ලියා තිබුණ මේ සටහන දැකල තරු නැන්දගෙ ඇස්වලට කඳුළුත් පිරුණා.

‘‘තරු මාවත් දැක නැත්තේය. එහෙත් දැන් පුතා ඇයවත් දැක ඇත. දුරකතනය ඔස්සේ පැමිණි ඒ හඬ බොහෝ ලස්සන කර කරුණු දැක්වීම ඔහුගේ සෙනෙහේ ස්වභාවය ය.

ජාරකගෙ තාත්තා ‘‘මගේ පුතා දිනුම් ලිපිය අවසන් කර තිබුණේ මෙහෙමයි.

‘‘.. ඔහු‍ විශේෂ ළමයෙක් බව දැනෙන්නේ මේ හැසිරීම් තුළ ය. නැතිනම් පෙණුමට ඔහු අපූරු කොලු ගැටයෙක් පමණය.ඉදිරි අභියෝගය ඔහු යමක් කියවන්නට ලියන්නට හැකි තරමට කෙසේ හෝ දියුණු කිරීමය. දැනට ද ඔහු මිනිසුන් ඇසුරේ ප්‍රියමනාප වීමේ කඩ ඉම ජයගෙන ඇත. ඒ නිසා අනතුරුව ඔහුට ජීවිතය ජය ගැනීමට පහසු වනු ඇත. අමාරුම මිනිසුන් දිනා ගැනීමය. ඒ සදහා වූ ආකර්ශනය පෙණුමේ පමණක් නොව ඇවතුම් පැවතුම් වල ද,හදවතේ තෙතමනය තුළ ද, තිබෙන බව සහතිකය.

ඒ නිසාම මගේ පුතා දිණුම් ..

දරුවන්ගේ දිනුම් මනින දෙමව්පියන්ගේ මිම්ම ආත්මාර්ථයෙන්, මාන්නයෙන්, තණ්හාවෙන් පිරුණු ලෝකයක මෙවැනි මානුෂීය දහමක පිහිටා දරුවන් ගැන සිතන්නට හැකි නම් කොතරම් අපූරුද?  හැම දරුවෙකුටම මෙවැනි ආදරවන්ත මව්පියන්, වැඩිහිටියන් හමුවන්නේ නම් ලෝකය කොතරම් දයාවෙන් පිරුණු සුන්දර තැනක් වේවිද ?

සිඟිති සුරංගනාවි දින පොතේ සටහන නිමා කර තිබුණේ එහෙමයි...
 
2014 ජූලි

June 6, 2014

සිඟිති සුරංගනාවි ටියුෂන් පන්ති ගිහින්...



 
By Franck Kocian Morris

සුරංගනාවියක්ගෙ ජීවිතේ හරිම ප‍්‍රීතිමත් සුන්දර එකක් කියලයි හැමෝම හිතන් ඉන්නෙ. එක අතකින් ඒ කතාව ඇත්ත. සුරංගනා ලෝකෙ පිරිල තියෙන්නෙ ආදරයෙන්.. සාමයෙන්... සතුටින්.. නිදහසින්... ඒත් සුරංගනාවියන්ට උණත් දුක හිතෙන වෙලාවල් තියෙනවා. වැඩියක්ම මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් දැක්කම... විශේෂයෙන්ම පුංචි ළමයින්ව බලා ගන්න සිඟිති සුරංගනාවියන්ට නම් හිත් තැවුල් බොහොමයි. පුංචි පැංචන්ගෙ රිදෙන බිඳෙන හිත් දැක්කම..  

සිඟිති සුරංගනාවි ටියුෂන් පන්ති ගියේ සුරංගනා ලෝකෙ ශිෂ්‍යත්ව විභාගෙ තියෙන හින්ද නම් නෙවෙයි ඔන්න. එයාට බලා ගන්න නියමිත පුංචි දරුවෙක්වත් හැම සෙනසුරාදා පාන්දරකම එයාගෙ අම්මා ටියුෂන් පන්තියකට ඇදන් යනව දැකල සුරංගනාවිටත් හිතුණා ගිහින් බලන්න. අඩු තරමෙ සෙනසුරාදවත් ටිකක් නිදහසේ ඉන්න පුංචි දරුවන්ට ඉඩක් නැත්තෙ ඇයි? අම්මල තාත්තල මේ හැටිම පන්ති පස්සෙ පන්නන්නෙ ඇයි? සුරංගනා ලෝකෙ අයට හරි ප‍්‍රහේළිකාවක්. 

මේ තරෙඟ කොයි තරං දරුණුද කියල සුරංගනාවිට හරියටම දැණුනෙ ටියුෂන් පන්තිය පැත්තෙ ගියාම. පන්තියේ ඉස්සරහින්ම දරුවව වාඩි කරවන්න  ඕන නිසා අම්මල මහ පාන්දර, සීතලේ ගැහි ගැහී නිදිමත බේරෙන පැංචන්ව බලෙන්ම පන්තියට ඇදන් එනවා. ඒ මදිවට කෑම පෙට්ටි පුරවල කඩචෝරු. අධ්‍යාපන තරෙඟට මැදි වෙලා ඉන්න අම්මලට කොහෙන්ද වෙලාවක් ගෙදරදිම පෝෂ්‍යදායක කෑම වේලක් හදල ළමයින්ට දෙන්න. මේ විදියට ගියොත් නම් අධිවේගී පාරවල්, වරායවල්, ඓශ්චර්යමත් ස්මාරක නෙවෙයි ලංකාව පුරාම පිලිකා රෝහල් හදන්න වේවි. 

පන්තිය ඇතුළට ගියාම සුරංගනාවිට පුදුමෙනුත් පුදුමයි. මෙන්න අම්ම කෙනෙකුත් වාඩි වෙලා ඉගෙන ගන්නවා. අම්මටත් ශිෂ්‍යත්ව විභාගෙද? ඒ අම්මා ගුරුවරයා කියන හැමදේම ලියා ගන්නවා. ඒ මදිවට මෙන්න අනිත් දරුවන්ට දුන්න ප‍්‍රශ්න පත්තරයකටත් අම්මා උත්තර ලියනවා. ඇයි මේ? සුරංගනාවිට කතන්දරේ තේරුණේ ගුරු කාමරේ කතා බහකින්.

‘‘ මේ අම්මලට පිස්සුද මන්ද.. උණ ගැණුනු ළමයව ගෙදර දාලා ඇවිදින් මෙතන ඉගෙන ගන්නවා. මොන අම්මටද පුළුවන් අසනීප දරුවෙක්ව තනි කරල දාල එන්න... ලෙඩක් හැදුණම අම්ම ළඟ ඉන්න  ඕන නේද? ’’ 

ඒ විතරක් නම් මදෑ. පුංචි දැරිවියක් වෙව්ලනවා. ඇස්වලින් කඳුළු බේරෙනවා. තදටම උණ. අම්ම පන්තියට ඇරලවල යන්නත් ගිහින්. අසනීප තියාගෙන දරුවෙක් ඉගෙන ගන්නෙ කොහොමද? ගුරුවරයට හොඳටම කේන්ති මේ අම්මලගෙ මෝඩ වැඩ ගැන. ගුරුවරයා අම්මට කතා කළා දුරකථනයෙන්. දරුවව ඇවිත් එක්කරගෙන යන්න කිව්වෙ ටිකක් තදින්. 

අම්මා කියන වචනය ඇතුළෙ විශ්වයේම ආදරය තියෙනවා. දරුවන්ට අම්මා කෙනෙක් තරම් ළඟ වෙන කවුරුත් නැහැ. දරුවන්ගෙ හිත් තේරුම් ගන්න පුළුවන් හොඳම කෙනා අම්මා. එහෙමයි සුරංගනාවිය දැනගෙන හිටියෙ. සුරංගනා ලෝකයේ අයත් අම්මා ගැන කියන්නෙ එහෙමයි. ඒත් මේ අධ්‍යාපන තර‍ෙඟෙ ඇතුළෙ ඒ උත්තම මව්පිය ගුණත් වියැකිලා ගිහින්. 

ළමා කාලෙ ජීවිතේ ලස්සනම කාලෙ. ඉගෙන ගන්නත්  ඕන තමයි. ඒත් ඉගෙනීම කියන්නෙ විභාග සහතික ගොඩගහගන්න එකම නෙවෙයිනෙ. ළමා කාලෙ ලැබෙන ආදරය, ඇගයීම, නිදහස, ගුණධර්ම එක්ක තමයි ජීවිතේ ගොඩ නැගෙන්නෙ.. දුවල පැනල සෙල්ලම් කරන්න, අම්මල තාත්තල එක්ක ආදරෙන් හුරතලෙන් ඉන්න, සැහැල්ලූවෙන් සමනල්ලූ වගේ ඉන්න ළමයින්ට ලැබෙන්න  ඕනනෙ. ඒත් මේ යන විදියට නම් අසහනයෙන්, පීඩනයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් පිරුණු අනාගත පරපුරක් බිහි වෙයි කියලයි සිඟිති සුරංගනාවිට නම් හිතෙන්නෙ.

June 3, 2014

ගිලන් වූ සිඟිති වතක මැවුණි සොඳුරු සිනා


 

 සිඟිති සුරංගනාවි හරිම කාර්යබහුලයි. එයාට බලාගන්න ගොඩක් ළමයි ඉන්න නිසා නෙවෙයි. ළමයි හරිම ආදරෙන්, සැලකිල්ලෙන් රැක බලාගන්න  ඕන නිසා. ළමයින්ට සිද්ධ වෙන අලකලංචිත් බොහොම වැඩි නිසා. ඔයාලට මතක ඇති ගිය වතාවෙ මං ලිව්වෙ පුංචි සාරා ගැන. අද මං ලියන්න යන්නෙ සිඟිති සුරංගනාවිගෙ දිනපොතේ පිටු කීපයක්ම වෙන්වෙලා තියෙන සාරාගෙ අක්ක ගැන...

සාරාගෙ අක්කගෙ නම හෂිනි නිෂාධි... සාරාගෙ නම හෂිනි නිෂාධි සාරා.. දැන් ඔයාල හිතයි ඇයි අක්කගෙ නම ම නංගිටත් දාල තියෙන්නෙ කියල. ඒක හරිම දුක හිතෙන කතාවක්.

හෂිනි ඒ කියන්නෙ සාරාගෙ අක්කා අවුරුදු නවය වෙද්දි අසනීප වෙන්න ගත්තා. වෛද්‍යවරු කිව්වෙ මොලේ ගෙඩියක් කියල. ඔපරේෂන් එකක් කරන්නත් බැරි සියුම් තැනකලූ ගෙඩිය පිහිටල තියෙන්නෙ. හෂිනිගෙ අම්මයි තාත්තයි ලංකාවෙ ඉන්න හොඳම වෛද්‍යවරුන්ට ඇයව පෙන්නුවා. ඉන්දියාවෙත් අරන් ගියා. ඒත් අවුරුදු දහය පිරෙන්නත් කළින් 2007 අවුරුද්දෙ බක් මාසෙ හෂිනි සදහටම මේ ලෝකෙන් සමුගත්තා. ගෙදර හිටි එකම දියණිය අහිමි වුණාට පස්සෙ අම්මයි, තාත්තයි තීරණය කළා ආයෙම පුංචි දුවෙකුට උපත දෙන්න. ඒ තමයි සාරා... සාරාට අක්කගෙ නම උරුම වුණේ අහිමි වුණ අක්ක ගැන මතකය හැමදාම ජීවත් වෙන්නයි... සාරාට අවුරුද්දක් පිරෙන්නත් කළින් ඇගේ තාත්තා ජීවිතය හැර ගියා.  ජීවිතය තණ අග පිනි බින්දුවක් වගේ කියල කියන්නෙ ඒ නිසානෙ...

මට කියන්න  ඕන කතාව වෙනස් එකක්.
ඔන්න හෂිනි අසනීපෙන් ඉද්දි වැඩිපුරම හිටියෙ කොළඹ ඉස්පිරිතාලෙ. සාරාගෙ මංඥම්මා වැඩ කරන්නෙත් කොළඹනෙ. ඉතින් ඇයත් ගියා නිෂාධිව බලන්න. යන්න කළින් ඇය දහඅතේ කල්පනා කළා. මොනවද ඇයට ගෙනියන්නෙ කියල. එයාට කිසිදේකින් අඩුවක් නැහැ. හෂිනිව සතුටින් තියන්න පුලූවන්, කවුරුත්ම ගෙනියන්නෙ නැති දෙයක් ගැනයි ඈ කල්පනා කළේ. ඒ වෙලාවෙ තමයි ඇයට කතන්දර පොත් මතක් වුණේ. ඉතින් මංඥම්මා ලස්සන පින්තූර තියෙන කතන්දර පොත් කිහිපයක් තමයි මුල්ම දවසෙ අරන් ගියේ....

පොත් අරන් ගියා විතරක් නෙවෙයි. හෂිනිට අහන් ඉන්න රස කර කර කතන්දර කියෙව්වා. ඇය ඒ වැඬේට කොයි තරම් ආස වුණාද කියනවනම් ඉන්පස්සෙ  ඇගේ අම්මටත් බේරිල්ලක් නැති වුනා. නිතරම කතන්දර කියවන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි ඇයගේ රෝහල් කාමරය පිරෙන්න කතන්දර පොත් ලැබෙන්න ගත්තා. පුංචි හෂිනි ඇගේ ජීවිතේ අවසන් කාලෙ ඒ කතන්දරත් එක්ක සතුටින් ජීවත් වුණා.

කොයි තරම් බෙහෙත් බොන්න වුණත්, බෙහෙත් විද්දත් ඇය ඒව ගණන් ගත්තෙ නැහැ. රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ඇගේ අවසන් මොහොතෙදි පවා කතන්දර පොත් ගෙනත් දුන්න මංඥම්මව ඇය ඇඳුන ගත්තා. ඇගේ ඇස් විසල් වුණා. අතක් හෙලවුණා. එයින් පැය කිහිපයකට පස්සෙ ඇය සදහටම මෙලොවින් සමුගත්තා.

හෂිනි දූගෙ ජීවිතේ දුෂ්කරම කාලෙ ළඟින් උන්නු නිසාත්, ඇයව සතුටින් තියන්න මහන්සි වුණ නිසාත් තමයි සාරාගෙ තාත්තා හිතුවෙ ඇයගෙ මංඥම්මා වෙන්න චූටි මිමීගෙ මම්මා හොඳයි කියල...

දැන් ඉතින් ඒ කතන්දර පොත් ගොන්නෙ හිමිකාරි පුංචි සාරා.

‘‘දරුවන්ව සතුටින් තියන්න නම් දරුවන්ගෙ හිත් කියවන්න පුලූවන් වෙන්න  ඕන. එහෙම වෙන්න නම් අපේ හිතත් දරුවෙකුගෙ හිතක් වගේ සැහැල්ලූ වෙන්න  ඕන. නිර්මල වෙන්න  ඕන. දරුවෙකුට වැඩියෙන්ම  ඕන කරන්නෙ මොනවද කියල හිතන්න පුලූවන් වෙන්නෙ අපිත් දරුවෙකුගෙ මට්ටමට බැහැල කල්පනා කළාම විතරයි..‍

ඒ වගේම දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න ඕන වෙන්නෙ මුදල් කන්දරාවක්, යසඉසුරු සම්භාරයක් නෙවෙයි.. ආදරයෙන් ඒ පුංචි හිත් තේරුම් අරන් අපි කරන පුංචි පුංචි දේවල් දරුවන්ට ජීවත් වීම අති සුන්දර අත්දැකීමක් බවට පත් කරාවි...

සිඟිති සුරංගනාවි ඇගේ දිනපොතේ එහෙම ලියල තියෙනවා...   

2014 ජූනි

 

 

 

May 11, 2014

සිත් යා කරන සප්තස්වර....


 
පසුගිය වසරේ දුරුතු මහේ සතිඅන්තයක අපි යාපනේ ගියා. සංචාරයකට නෙවෙයි. ළමා එකමුතු කරන තරුණ පිරිසක් සමඟ නායකත්ව පුහුණු වැඩමුළුවකට.. ඒ ගමනේ හදමත කැටයම් වූ සුන්දර අත්දැකීමක් මේ..

කොළඹින් පිටත් වූ වෑන් රථයට යාපනයේදී එක් වුණා දෙමළ සොයුරන් තිදෙනෙක් සහ මන්නාරම සිට පැමිණි තවත් දෙමළ සොයුරියන් දෙදෙනෙක්.. යාපනය බස් නැවතුමට අපි ගියේ වව්නියාවේ සිට පැමිණි කන්‍යා සොයුරිය ඇතුළු නඩය හමුවන්න... එතැනත් දහයක් පමණ... දැන් වෑන් රථයට නම් හුස්ම ගන්නත් බැරි තරම්.

‘‘ අනේ  ෆාද මේ දරුවො පැය තුනක්ම බස් එකේ හිටගෙන ආවා” සිස්ට කිව්වෙ දොම්නස් හැඟීමෙන්... ෆාද අසීරුවක...

‘‘ අපි පුංචි කැපකිරීමක් කරමු නේද, ඔයාලට පුළුවන්නෙ බස් එකේ එන්න. මම මේ කට්ටියව වෑන් එකේ අරන් යන්නම් ‘‘ ෆාද අපෙන් ඇහුවා. කට්ටියම එක පයින්. වෙනස් අත්දැකීමක්නෙ.

තනියට මන්නාරමේ නංගිලා දෙන්නා සහ යාපනයේ රොෂාන් මල්ලී ආවා. අපේ ගමනාන්තය වුණේ පණ්ඩිතිරිප්පු දහම් මධ්‍යස්ථානය. ඒ පැත්තට යන අන්තිම බස් එක. පොල් පටවල වගේ සෙනඟ. අපිත් පැටවුණා. කෝච්චිවල තදබදයත් හුරු වෙලා නිසා ඒ තරම් ගාණක් උනේ නැහැ. බස් රථය පිටත් වෙද්දි හතයි... හොඳටම කරුවල. මා අසලම අසුනේ දෙමළ තරුණයෙක්. පිපිරෙන්නට ආසන්න මුහුණකින්. සිංහල අපි ගැනද, ප‍්‍රශ්නයක්....? නමුත් ඒ අපමණක් රිදුම් දුන් ජීවිතයකින් උපදින අප‍්‍රසාදයක් විය හැකියි. මුල් වරට හිතට බියක් ඇතුළු උණා.. තවමත් හොල්මන් කරන අවිශ්වසනීය සංකාවන්. අතක් පයක් හොලවන්නවත්, හෙළවෙන්නවත් බැරි තත්වයක මන්නාරමේ නැගණියන් මා අසලම සිටීම සහනයක් උණා... සැබවින්ම.

බියමුසු හැඟීම් හිත මත බරට පැලපදියම් වෙමින් තියෙන මොහොතකයි, හුරුපුරුදු දෙමළ ගීතයක මිහිරි ස්වරය පෙට්ටි බසයේ ගාලගෝට්ටිය අතරින් මිදිල හිත ළඟ නතර වුණේ. එයින් හදවත සන්සුන් වුණේ පුදුම විදියට.... ‘‘ වා වෙන්නිලා උන්නතානේ....‘‘ එස්. පී. බාලසුබ‍්‍රමනියම්ගේ හඬ. මම ආසම ගීතයක්, එකම වදනක් හෝ නොතේරුණත්... පසුවයි මා එහි අර්ථය සොයා ගත්තෙ.

‘‘එන්න සඳ.... මේ අහස ඔබව බලාපොරොත්තුවෙන් හිඳිනවා...
වළා සළුවෙන් මුව මඩල වසාගෙන ඇයි මෙසේ ඈත්ව යන්නේ...‘

සැනෙකින් අඳුරු වළා, බිය සංකා සියල්ල දුරු වී ගියා. සියුමැලි ගීතයකට පුළුවන් කාන්තාරයකදි උණත් සිහිල් දිය කඩිත්තක සුවය දෙන්න...

‘‘ නල්ල සෝන්ග්. අයි ලයික් ඉට්” මගේ හඬට ලක්ෂණාගේ සහ රොක්සිගේ තිලක තැබූ මුහුණු විකසිත උණා... දෙමළ ගීතය කෙරෙහි මා දැක්වූ ප‍්‍රසාදය ඔවුන් සතුටින් පිරවූ බව මට දැණුනා.

සංගීතය විශ්ව භාෂාවක් එය විඳින්නට මනුෂ්‍ය භාෂාව බාධාවක් නොවෙයි. හදවත් යා කරන්නට සංගීතයට, ගීතයට කළ හැකි මෙහෙවර කොතරම්ද? මට සිතුණා. පොදුවේ කලාව සාහිත්‍යයට මනුෂ්‍යත්වය ඉහළ නංවන්න විශාල මෙහෙවරක් කළ හැකියි. එහි විවාදයක් නැහැ. අපි කොතරම් දුරට එයින් ඵල ප‍්‍රයෝජන ගන්නවාද යන්නයි ගැටලූව.

ඉන් අනතුරුවත් පැරණි දමිළ චිත‍්‍රපට ගී සමූහයක් රෝසා බස් රථයෙන් මිදී අන්ධකාර අවකාශය තුළ පියාසර කළා. ගමනේ අසීරුව මැකී ගියා. බස් එක යනවා යනවා... අපිත් සිංහලෙන්, දෙමළෙන්, අංගචලනයන්ගෙන් කතා බස් එකේ නැගල ගියා.

‘‘කොහෙද මේ යන්නෙ’’ එක් තාත්ත කෙනෙක් කැඩුණු සිංහලෙන් ඇහුවා.. අම්මේ දැණුනු සහනයක්. සිංහලෙන් කතා කරන කෙනෙක් හමු වුණා බස් එකේදී. අහිංසක හිනාවක් තිබුණ ආදරණීය දෙමළ තාත්ත කෙනෙක්. අපව සත පහකට ගණන් නොගත් රවා ගත් මුහුණු කිහිපයක් අතර ඒ හිනාව කැපිල පෙණුනා...
ඒත් කාටවත් දොස් කියන්න බැහැ. සිංහල අපේ අත්වල ලේ ගෑවිලා.. අපි ඒ හිත්වල සැනසුම වෙනුවෙන් මෙතෙක් කර ඇති වැඩ කොටස ගැන සෑහෙන්නෙ කොහොමද? වරදකාරී හෘදය සාක්ෂියකින් පැන නැන රිදුමක් මිස මට කා ගැනවත් අමනාපයක් දැණුනෙ නැහැ.
 
2014 wfm%a,a