June 23, 2014

මගේ පුතා දිනුම්.........


 
සුරංගනා ලෝකෙ සිඟිති සුරංගනාවියො මහ ගොඩක් ඉන්නවා. එයාලගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි දරුවන්ව රැක බලාගන්න එක. එයාලව සතුටින් තියන එක... ඒ එක් සිඟිති සුරංගනාවියකගෙ දිනපොතේ  සටහන් අතරින් තමයි මම මේ කතා ඔයාලට අරන් එන්නෙ....

මගේ පුතා දිනුම්.........

ජාරක කියන්නෙ සුන්දරම හිනාවක් තියෙන, නිර්මල ම හදවතක් තියෙන අතිශය ප්‍රියමනාප සුවිශේෂ දරුවෙක්. ඇත්තටම කියනවනම් සුන්දර ගැටවරයෙක්.  විශේෂ අධ්‍යාපනය ලබන බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියලයි ජාරක පුතාගෙ තාත්තා එයාගේ බ්ලොග් ලිපියක සඳහන් කළේ. ‘‘මගේ පුතා දිනුම් කියන ඒ ලිපිය නෙත කඳුළු නංවන සංවේදී සටහනක්. ඒ ලිපිය පුරාම ජාරක පුතාගෙ මානුෂික හදවත විහිදිලා විසිරිලා තියෙනවා. පුතාගෙ ඡායාරූපය දකින කිසි කෙනෙක් නම් හිතන එකක් නැති වෙයි එයා බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියල.

මේ ලිපිය දුටුව දරුවන්ට ගොඩක් ආදරය කරන එක නැන්දා කෙනෙකුට හිතුණා ජාරක පුතාට කතා කරන්න. ඒ නැන්දාගෙ නම තරූ. ඉතින් එයා ජාරක පුතාගෙ දුරකථන අංකය හොයාගෙන එයාට කතා කළා. සුන්දර ගැටවරයෙක් වුණ පුතාගෙ කටහඬ නම් තවම පුංචි ළමයෙක් ගානයි. එයා බොහොම සතුටින් නැන්දත් එක්ක කතා කළා. එයා බලන ටීවී වැඩසටහන්, එයා ක්‍රීඩා තරඟවලින් ජය ගත්ත හැටි හරිම උනන්දුවෙන් විස්තර කළේ. හිටි ගමන් දුරකථනය තාත්තා අතට දීලා දිව්වා. ඉතින් නැන්ද හිතුවෙ පුතා වැඩිය කතා කරන්න කැමති නැහැ කියලයි.
නැන්ද එක්ක කතා කරන්න කැමැත්තෙන් උන්නු ජාරකගෙ නංගි එක්කත් එයා කතා කලා. නංගි කවෝදි හතර වසරෙ. එයා බොහොම දක්ෂ කටකාර දුවණියක්...

පස්සෙ දවසක තමයි තරූ නැන්දා දැන ගත්තෙ එයාලගෙ මිනිත්තු කිහිපයක කතා බහට ජාරක පුතා කොයි තරම් වැදගත්කමක් එකතු කරලද කියල.

ජාරක පුතාගෙ තාත්තා මාධ්‍යවේදියෙක්. ඒ වගේම නාට්‍ය ශිල්පියෙක්. වැලිකඩ බන්ධනාගාරෙ රැඳවියන් එක්කත් එයා වැඩ කරනවා. ඒ ගමන්වලට තාත්තා එක්ක පුතත් එකතු වෙනවා. මේ වතාවෙ බන්ධනාගාරෙ යාළුවො හැමෝම එක්ක එයා කතා කළේ මාමා කෙනෙක් එයා ගැන මූණුපොතේ ලියා තිබුණු සටහනත්, තරු නැන්දත් එක්ක කළ දුරකථන සංවාදයත් ගැනලු.  දැන් නාට්‍ය කණ්ඩායමේ සෑම රැඳවියෙක්ම තරු නැන්දා ගැනත් දන්නවාලු. ඒ ගැන ජාරක පුතාගෙ තාත්තා ලියා තිබුණ මේ සටහන දැකල තරු නැන්දගෙ ඇස්වලට කඳුළුත් පිරුණා.

‘‘තරු මාවත් දැක නැත්තේය. එහෙත් දැන් පුතා ඇයවත් දැක ඇත. දුරකතනය ඔස්සේ පැමිණි ඒ හඬ බොහෝ ලස්සන කර කරුණු දැක්වීම ඔහුගේ සෙනෙහේ ස්වභාවය ය.

ජාරකගෙ තාත්තා ‘‘මගේ පුතා දිනුම් ලිපිය අවසන් කර තිබුණේ මෙහෙමයි.

‘‘.. ඔහු‍ විශේෂ ළමයෙක් බව දැනෙන්නේ මේ හැසිරීම් තුළ ය. නැතිනම් පෙණුමට ඔහු අපූරු කොලු ගැටයෙක් පමණය.ඉදිරි අභියෝගය ඔහු යමක් කියවන්නට ලියන්නට හැකි තරමට කෙසේ හෝ දියුණු කිරීමය. දැනට ද ඔහු මිනිසුන් ඇසුරේ ප්‍රියමනාප වීමේ කඩ ඉම ජයගෙන ඇත. ඒ නිසා අනතුරුව ඔහුට ජීවිතය ජය ගැනීමට පහසු වනු ඇත. අමාරුම මිනිසුන් දිනා ගැනීමය. ඒ සදහා වූ ආකර්ශනය පෙණුමේ පමණක් නොව ඇවතුම් පැවතුම් වල ද,හදවතේ තෙතමනය තුළ ද, තිබෙන බව සහතිකය.

ඒ නිසාම මගේ පුතා දිණුම් ..

දරුවන්ගේ දිනුම් මනින දෙමව්පියන්ගේ මිම්ම ආත්මාර්ථයෙන්, මාන්නයෙන්, තණ්හාවෙන් පිරුණු ලෝකයක මෙවැනි මානුෂීය දහමක පිහිටා දරුවන් ගැන සිතන්නට හැකි නම් කොතරම් අපූරුද?  හැම දරුවෙකුටම මෙවැනි ආදරවන්ත මව්පියන්, වැඩිහිටියන් හමුවන්නේ නම් ලෝකය කොතරම් දයාවෙන් පිරුණු සුන්දර තැනක් වේවිද ?

සිඟිති සුරංගනාවි දින පොතේ සටහන නිමා කර තිබුණේ එහෙමයි...
 
2014 ජූලි

June 6, 2014

සිඟිති සුරංගනාවි ටියුෂන් පන්ති ගිහින්...



 
By Franck Kocian Morris

සුරංගනාවියක්ගෙ ජීවිතේ හරිම ප‍්‍රීතිමත් සුන්දර එකක් කියලයි හැමෝම හිතන් ඉන්නෙ. එක අතකින් ඒ කතාව ඇත්ත. සුරංගනා ලෝකෙ පිරිල තියෙන්නෙ ආදරයෙන්.. සාමයෙන්... සතුටින්.. නිදහසින්... ඒත් සුරංගනාවියන්ට උණත් දුක හිතෙන වෙලාවල් තියෙනවා. වැඩියක්ම මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් දැක්කම... විශේෂයෙන්ම පුංචි ළමයින්ව බලා ගන්න සිඟිති සුරංගනාවියන්ට නම් හිත් තැවුල් බොහොමයි. පුංචි පැංචන්ගෙ රිදෙන බිඳෙන හිත් දැක්කම..  

සිඟිති සුරංගනාවි ටියුෂන් පන්ති ගියේ සුරංගනා ලෝකෙ ශිෂ්‍යත්ව විභාගෙ තියෙන හින්ද නම් නෙවෙයි ඔන්න. එයාට බලා ගන්න නියමිත පුංචි දරුවෙක්වත් හැම සෙනසුරාදා පාන්දරකම එයාගෙ අම්මා ටියුෂන් පන්තියකට ඇදන් යනව දැකල සුරංගනාවිටත් හිතුණා ගිහින් බලන්න. අඩු තරමෙ සෙනසුරාදවත් ටිකක් නිදහසේ ඉන්න පුංචි දරුවන්ට ඉඩක් නැත්තෙ ඇයි? අම්මල තාත්තල මේ හැටිම පන්ති පස්සෙ පන්නන්නෙ ඇයි? සුරංගනා ලෝකෙ අයට හරි ප‍්‍රහේළිකාවක්. 

මේ තරෙඟ කොයි තරං දරුණුද කියල සුරංගනාවිට හරියටම දැණුනෙ ටියුෂන් පන්තිය පැත්තෙ ගියාම. පන්තියේ ඉස්සරහින්ම දරුවව වාඩි කරවන්න  ඕන නිසා අම්මල මහ පාන්දර, සීතලේ ගැහි ගැහී නිදිමත බේරෙන පැංචන්ව බලෙන්ම පන්තියට ඇදන් එනවා. ඒ මදිවට කෑම පෙට්ටි පුරවල කඩචෝරු. අධ්‍යාපන තරෙඟට මැදි වෙලා ඉන්න අම්මලට කොහෙන්ද වෙලාවක් ගෙදරදිම පෝෂ්‍යදායක කෑම වේලක් හදල ළමයින්ට දෙන්න. මේ විදියට ගියොත් නම් අධිවේගී පාරවල්, වරායවල්, ඓශ්චර්යමත් ස්මාරක නෙවෙයි ලංකාව පුරාම පිලිකා රෝහල් හදන්න වේවි. 

පන්තිය ඇතුළට ගියාම සුරංගනාවිට පුදුමෙනුත් පුදුමයි. මෙන්න අම්ම කෙනෙකුත් වාඩි වෙලා ඉගෙන ගන්නවා. අම්මටත් ශිෂ්‍යත්ව විභාගෙද? ඒ අම්මා ගුරුවරයා කියන හැමදේම ලියා ගන්නවා. ඒ මදිවට මෙන්න අනිත් දරුවන්ට දුන්න ප‍්‍රශ්න පත්තරයකටත් අම්මා උත්තර ලියනවා. ඇයි මේ? සුරංගනාවිට කතන්දරේ තේරුණේ ගුරු කාමරේ කතා බහකින්.

‘‘ මේ අම්මලට පිස්සුද මන්ද.. උණ ගැණුනු ළමයව ගෙදර දාලා ඇවිදින් මෙතන ඉගෙන ගන්නවා. මොන අම්මටද පුළුවන් අසනීප දරුවෙක්ව තනි කරල දාල එන්න... ලෙඩක් හැදුණම අම්ම ළඟ ඉන්න  ඕන නේද? ’’ 

ඒ විතරක් නම් මදෑ. පුංචි දැරිවියක් වෙව්ලනවා. ඇස්වලින් කඳුළු බේරෙනවා. තදටම උණ. අම්ම පන්තියට ඇරලවල යන්නත් ගිහින්. අසනීප තියාගෙන දරුවෙක් ඉගෙන ගන්නෙ කොහොමද? ගුරුවරයට හොඳටම කේන්ති මේ අම්මලගෙ මෝඩ වැඩ ගැන. ගුරුවරයා අම්මට කතා කළා දුරකථනයෙන්. දරුවව ඇවිත් එක්කරගෙන යන්න කිව්වෙ ටිකක් තදින්. 

අම්මා කියන වචනය ඇතුළෙ විශ්වයේම ආදරය තියෙනවා. දරුවන්ට අම්මා කෙනෙක් තරම් ළඟ වෙන කවුරුත් නැහැ. දරුවන්ගෙ හිත් තේරුම් ගන්න පුළුවන් හොඳම කෙනා අම්මා. එහෙමයි සුරංගනාවිය දැනගෙන හිටියෙ. සුරංගනා ලෝකයේ අයත් අම්මා ගැන කියන්නෙ එහෙමයි. ඒත් මේ අධ්‍යාපන තර‍ෙඟෙ ඇතුළෙ ඒ උත්තම මව්පිය ගුණත් වියැකිලා ගිහින්. 

ළමා කාලෙ ජීවිතේ ලස්සනම කාලෙ. ඉගෙන ගන්නත්  ඕන තමයි. ඒත් ඉගෙනීම කියන්නෙ විභාග සහතික ගොඩගහගන්න එකම නෙවෙයිනෙ. ළමා කාලෙ ලැබෙන ආදරය, ඇගයීම, නිදහස, ගුණධර්ම එක්ක තමයි ජීවිතේ ගොඩ නැගෙන්නෙ.. දුවල පැනල සෙල්ලම් කරන්න, අම්මල තාත්තල එක්ක ආදරෙන් හුරතලෙන් ඉන්න, සැහැල්ලූවෙන් සමනල්ලූ වගේ ඉන්න ළමයින්ට ලැබෙන්න  ඕනනෙ. ඒත් මේ යන විදියට නම් අසහනයෙන්, පීඩනයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් පිරුණු අනාගත පරපුරක් බිහි වෙයි කියලයි සිඟිති සුරංගනාවිට නම් හිතෙන්නෙ.

June 3, 2014

ගිලන් වූ සිඟිති වතක මැවුණි සොඳුරු සිනා


 

 සිඟිති සුරංගනාවි හරිම කාර්යබහුලයි. එයාට බලාගන්න ගොඩක් ළමයි ඉන්න නිසා නෙවෙයි. ළමයි හරිම ආදරෙන්, සැලකිල්ලෙන් රැක බලාගන්න  ඕන නිසා. ළමයින්ට සිද්ධ වෙන අලකලංචිත් බොහොම වැඩි නිසා. ඔයාලට මතක ඇති ගිය වතාවෙ මං ලිව්වෙ පුංචි සාරා ගැන. අද මං ලියන්න යන්නෙ සිඟිති සුරංගනාවිගෙ දිනපොතේ පිටු කීපයක්ම වෙන්වෙලා තියෙන සාරාගෙ අක්ක ගැන...

සාරාගෙ අක්කගෙ නම හෂිනි නිෂාධි... සාරාගෙ නම හෂිනි නිෂාධි සාරා.. දැන් ඔයාල හිතයි ඇයි අක්කගෙ නම ම නංගිටත් දාල තියෙන්නෙ කියල. ඒක හරිම දුක හිතෙන කතාවක්.

හෂිනි ඒ කියන්නෙ සාරාගෙ අක්කා අවුරුදු නවය වෙද්දි අසනීප වෙන්න ගත්තා. වෛද්‍යවරු කිව්වෙ මොලේ ගෙඩියක් කියල. ඔපරේෂන් එකක් කරන්නත් බැරි සියුම් තැනකලූ ගෙඩිය පිහිටල තියෙන්නෙ. හෂිනිගෙ අම්මයි තාත්තයි ලංකාවෙ ඉන්න හොඳම වෛද්‍යවරුන්ට ඇයව පෙන්නුවා. ඉන්දියාවෙත් අරන් ගියා. ඒත් අවුරුදු දහය පිරෙන්නත් කළින් 2007 අවුරුද්දෙ බක් මාසෙ හෂිනි සදහටම මේ ලෝකෙන් සමුගත්තා. ගෙදර හිටි එකම දියණිය අහිමි වුණාට පස්සෙ අම්මයි, තාත්තයි තීරණය කළා ආයෙම පුංචි දුවෙකුට උපත දෙන්න. ඒ තමයි සාරා... සාරාට අක්කගෙ නම උරුම වුණේ අහිමි වුණ අක්ක ගැන මතකය හැමදාම ජීවත් වෙන්නයි... සාරාට අවුරුද්දක් පිරෙන්නත් කළින් ඇගේ තාත්තා ජීවිතය හැර ගියා.  ජීවිතය තණ අග පිනි බින්දුවක් වගේ කියල කියන්නෙ ඒ නිසානෙ...

මට කියන්න  ඕන කතාව වෙනස් එකක්.
ඔන්න හෂිනි අසනීපෙන් ඉද්දි වැඩිපුරම හිටියෙ කොළඹ ඉස්පිරිතාලෙ. සාරාගෙ මංඥම්මා වැඩ කරන්නෙත් කොළඹනෙ. ඉතින් ඇයත් ගියා නිෂාධිව බලන්න. යන්න කළින් ඇය දහඅතේ කල්පනා කළා. මොනවද ඇයට ගෙනියන්නෙ කියල. එයාට කිසිදේකින් අඩුවක් නැහැ. හෂිනිව සතුටින් තියන්න පුලූවන්, කවුරුත්ම ගෙනියන්නෙ නැති දෙයක් ගැනයි ඈ කල්පනා කළේ. ඒ වෙලාවෙ තමයි ඇයට කතන්දර පොත් මතක් වුණේ. ඉතින් මංඥම්මා ලස්සන පින්තූර තියෙන කතන්දර පොත් කිහිපයක් තමයි මුල්ම දවසෙ අරන් ගියේ....

පොත් අරන් ගියා විතරක් නෙවෙයි. හෂිනිට අහන් ඉන්න රස කර කර කතන්දර කියෙව්වා. ඇය ඒ වැඬේට කොයි තරම් ආස වුණාද කියනවනම් ඉන්පස්සෙ  ඇගේ අම්මටත් බේරිල්ලක් නැති වුනා. නිතරම කතන්දර කියවන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි ඇයගේ රෝහල් කාමරය පිරෙන්න කතන්දර පොත් ලැබෙන්න ගත්තා. පුංචි හෂිනි ඇගේ ජීවිතේ අවසන් කාලෙ ඒ කතන්දරත් එක්ක සතුටින් ජීවත් වුණා.

කොයි තරම් බෙහෙත් බොන්න වුණත්, බෙහෙත් විද්දත් ඇය ඒව ගණන් ගත්තෙ නැහැ. රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ඇගේ අවසන් මොහොතෙදි පවා කතන්දර පොත් ගෙනත් දුන්න මංඥම්මව ඇය ඇඳුන ගත්තා. ඇගේ ඇස් විසල් වුණා. අතක් හෙලවුණා. එයින් පැය කිහිපයකට පස්සෙ ඇය සදහටම මෙලොවින් සමුගත්තා.

හෂිනි දූගෙ ජීවිතේ දුෂ්කරම කාලෙ ළඟින් උන්නු නිසාත්, ඇයව සතුටින් තියන්න මහන්සි වුණ නිසාත් තමයි සාරාගෙ තාත්තා හිතුවෙ ඇයගෙ මංඥම්මා වෙන්න චූටි මිමීගෙ මම්මා හොඳයි කියල...

දැන් ඉතින් ඒ කතන්දර පොත් ගොන්නෙ හිමිකාරි පුංචි සාරා.

‘‘දරුවන්ව සතුටින් තියන්න නම් දරුවන්ගෙ හිත් කියවන්න පුලූවන් වෙන්න  ඕන. එහෙම වෙන්න නම් අපේ හිතත් දරුවෙකුගෙ හිතක් වගේ සැහැල්ලූ වෙන්න  ඕන. නිර්මල වෙන්න  ඕන. දරුවෙකුට වැඩියෙන්ම  ඕන කරන්නෙ මොනවද කියල හිතන්න පුලූවන් වෙන්නෙ අපිත් දරුවෙකුගෙ මට්ටමට බැහැල කල්පනා කළාම විතරයි..‍

ඒ වගේම දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න ඕන වෙන්නෙ මුදල් කන්දරාවක්, යසඉසුරු සම්භාරයක් නෙවෙයි.. ආදරයෙන් ඒ පුංචි හිත් තේරුම් අරන් අපි කරන පුංචි පුංචි දේවල් දරුවන්ට ජීවත් වීම අති සුන්දර අත්දැකීමක් බවට පත් කරාවි...

සිඟිති සුරංගනාවි ඇගේ දිනපොතේ එහෙම ලියල තියෙනවා...   

2014 ජූනි