November 3, 2023

අඳුරු වලාවක පෑයූ රිදී රේඛාවක්

 

පින්තූරය අන්තර්ජාලයෙනි.

ආදර දුවේ පුතේ....

වීරයෙක්, වීරවරියක් කිව්වම... වික්‍රමාන්විත වැඩ කිව්වම ඔයාලගෙ හිතට එන්නෙ මොන වගේ හැඟීමක් ද? සමාජය වෙනස් කරන්න විශාල වැඩ කොටසක් කරල, එහෙමත් නැත්නම් ජීවිත පරිත්‍යාගයෙන් අන් අය වෙනුවෙන් කටයුතු කරල ලෝකයේ නමක් තැබූ අය ද? අපි මෙහෙම හිතමු, තමන්ගෙ පවුල තුළ, තමන් අවට පරිසරය තුළ පුංචි පුංචි යහපත් වැඩ කරන  දරුවෙකුට, දැරියකට වීරවරියක් වෙන්න බැරි ද? අපි පුංචි විකුම් තුළින් ඔයාලට හඳුන්වල දෙන්නෙ නම් එවැනි වීරවරයින් තමයි. ඒ ඇයි දන්නවද? ඔයාල හැමෝම තුළ ඉන්නවා මනුස්සකමේ අප්‍රමාණ සුවඳ විහිදුවන පුංචි වීරයෙක්. අන්න එයාව මතු කරගන්න ඔයාලට උදව් කරන එක තමයි අපේ අරමුණ.

අද මම ඔයාලට කියන්න යන්නෙ මම හොඳින්ම දන්න පුංචි වීරවරියක් ගැන. ඇය පවුලේ එකම දියණිය. ඇය ඉතා ළාබාල වියේදි ම තමයි ඇගේ අම්මා අසනීප වෙන්නෙ. සමහර කාලවලදි අම්මාට ගේ ඇතුළෙ එහෙ මෙහෙ යන්නත් රෝද පුටුවක් උවමනා වෙනවා. තවත් කාලවලදි ඇයට ඇඳට ම සීමාවෙලා ඉන්නත් වෙනවා. ඉතින් මේ පුංචි දියණිය තාත්තත් එක්ක එකතු වෙලා අම්මව ආදරයෙන් රැක බලා ගන්නවා. ගේ දොර පිළිවෙලට තියාගන්න, බතක් ව්‍යංජනයක් උයා පිහා ගන්න විතරක් නෙවෙයි... අම්මගෙ හිත සතුටින් තියන්න කවි, ගී කියන්නත්, ලස්සන නැටුමක් කරල පෙන්නන්නත්, අම්මාට ඇහෙන්න පොත් කියවන්නත් ඇය කාලය වෙන් කරගන්නවා.

අම්මාගේ අසනීප තත්ත්වය සහ තාත්තාගේ කාර්යබහුලකම එක්ක ඇයට බොහෝ අවස්ථා මග හැරී යනවා. ඒත් කිසිම දවසක ඇය ඒ ගැන මැසිවිලි නගන්නෙ නැහැ. ලද දෙයින් සතුටු වෙන්න වගේම, අනිත් අයව සතුටින් තියන්නත් ඇයට පුළුවන්. මේ දියණිය අම්මටත්, තාත්තටත් විශාල හයියක්, අත්වැලක්. තරු නැන්දාට වුණත් පුදුමයි ඒ පුංචි වයසට ඇය කොහොමද මේ තරම් ශක්තිමත්, ආදරවන්ත කෙනෙක් වුණේ කියලා.

තවත් ලස්සනම කාරණයක් තියෙනවා ඇය ගැන කියන්න. ඇය පොත් ගුල්ලියක්. ඒ කියන්නෙ ඇගේ හොඳම විනෝදාංශය තමයි පොත් කියවන එක. ඇය පුංචි කාලෙ ඉඳල තෑගි ලැබුණු පොත්, මිල දී ගත්ත පොත් එකතු කරල නිවසේ ම පුස්තකාලයකුත් හදල තියෙනවා. ඇය වසර පුරාම අතට ලැබෙන මුදල් එකතු කරනවා පොත් ගන්න. පුංචි කාලෙ ඉඳන්ම කොළඹ පොත් ප්‍රදර්ශනයටත් එනවා. අම්මාගේ අසනීප තත්ත්වය එක්ක කොළඹ එන්න බැරි වුණාම ඇය තමන්ට උවමනා පොත් අරගන්න උදව් ඉල්ලන්නෙත් තරු නැන්දගෙන් තමයි. මෙච්චර පොත් ගොඩක් තියාගෙන එයා තනියම කියවනවා කියලද ඔයාල හිතන්නෙ. නැහැ... නැහැ... මේ දියණිය ඇගේ පොත් එකතුව පොදු පරිහරණයට පුස්තකාලයක් බවට පත් කරලයි තියෙන්නෙ. එයාගෙ යාළුවො, නැන්දලා, මාමල විතරක් නෙවෙයි, පාසලේ ගුරුවරුත් ඒ පොත් අරන් යනවා කියවන්න.

මැක්සිම් ගෝර්කි කියන විශිෂ්ට රුසියානු ලේඛකයා කියනවා ‘‘මා තුළ ඇති යහපත් වූ හැමදෙයක් වෙනුවෙන්ම මම පොත්වලට ණයගැති වෙමි. කියල. ඉතින් මට හිතෙනවා මේ දුවත් ඒ වගේම පොත්වලින් ගොඩක් දේවල් ජීවිතයට අරන් තියෙනවා කියලා.  ඇය අඳුරු වලාවක පෑයුව රිදී රේඛාවක් වගේ.

අපේ පුංචි දුවල, පුතාලටත් පුළුවන් ඒ අක්කා වගේ ඔයාලගෙ පවුල තුළ, පාසල තුළ, ගම තුළ යහපත් බවින් බබළන පුංචි වීරයෙක් වීරවරියක් වෙන්න.

තරු නැන්දා