February 11, 2014

සිත් යා කරන ආදරයේ භාෂාව උගනිමු.




ඥාති සොයුරෙකුගේ විවාහ මංගල්‍ය අවස්ථාවකදියි ඈ මට මුලින්ම හමුවුණේ. නිවසක මෙහෙකාර සේවයේ යෙදුණු අහිංසක දමිළ යුවතියක්. විසිවයස් නොඉක්මවූ පෙනුමක් ඈ වෙතින් දිස් වුණේ. දන්නා දෙමලක් නැතත් ඈ සමග හිතවත් වන්නට මා දන්නා මිනිස්කමේ භාෂාව උදව්වක් උණා. ආරම්භය සිනාවක්... නෙත් කැලූම් හුවමාරුවක්... 

‘‘පේර් එන්න තංගච්චි?”

‘‘කවීතා

ඌර් එන්න

‘‘නයිනතිව්

එහෙමයි ඇරඹුම හිත් යා කරන ගමනක් වුණේ.

රාත‍්‍රී 11 පමණ වන විට බිත්තියකට හේත්තු වී ඈ නිදා වැටෙමින් සිටියා.

‘‘කවිතාව අපේ ගෙදර එක්ක යන්නද? නිදා ගන්න. මම ඇගේ ස්වාමිදුවගෙන් විමසූවා.

‘‘ඔයා දෙමළ දන්නෙත් නෑ. ඒ ළමයා සිංහල දන්නෙත් නෑ. අපූරුවට තියෙයි.ඈ කිව්වා.

‘‘අවුලක් නෑ. මට මැනේජ් කර ගන්න පුළුවන්.. දැනටත් අපි කතා කළා

කවීතා කිසිම පැකිලීමක් නැතිව සතුටින් මාත් එක්ක ආවා. ගෙදරට ආවම ඇයට කුතුහලයක් දැනෙන්න ඇති. ගෙදරට ඉන්න එකම මිනිස් ප‍්‍රාණියා මමනෙ. ඇය දීර්ඝ ලෙස දමිල බසින් ඇසූ දේවල් මම තේරුම් ගත්තෙ ඉවෙන් වගේ.

‘‘තමිල් තෙරිය ඉල්ලෙ.මා කීවත් ඇගේ කතාව නැවතුණේ නැහැ.

ඉතින් ඇගේ දීර්ඝ කතාවේ වචනයක් දෙකක් අල්ලගෙන මට අනුමාන කරන්න සිද්ධ උණා ඇය අහන්නෙ කුමක්ද යන්න.

‘‘අම්මා අප්පා?”

‘‘නෝ අම්මා අප්පා... අංග චලනත් ඉංග‍්‍රීසි කෑලිත් උදව් කරගෙන මම ඇගේ ප‍්‍රශ්නවලට උත්තර දුන්නා. මට කියන්න  ඕන උණේ මව්පියන් ඉන්නෙ වෙනම නිවසක බව. නමුත් මට මව්පියන් නැතැයි ඈ සිතන්නත් ඇති. ‘‘මැරේජ්එවර ප‍්‍රශ්නයට එක වචනයයි.

‘‘නෝ මැරේජ්ඈ කුමක් සිතන්නට ඇතිද? දෙයියො දනී.

ඉන්පස්සෙ ඇය දීර්ඝ කතාවක්... මොනවත්ම නොතේරුණත් මම තේරුණා වගේ හිනැහුණා. එකම පුංචි ඇඳයි කාමරේට තියෙන්නෙ. ඇයට රාත‍්‍රී නිදන ඇඳුමකුත් දීල, බිමට පැදුරක් දාල, මදුරු දැල එලල නිදා ගන්න සැලැස්සුවා.

‘‘තැන්ක් යූ අක්කා.. ඇය හිනාවෙලා කිව්වා.

‘‘ගුඞ් නයිට් තංගච්චිමමත් කිව්වා.

නිදා ගන්න ඇඳට ගියාම නම් පුංචි දුකක් හිතුණා ඇයි මම කවීතාට ඇඳ දීලා බිම නිදා ගන්න නොගියෙ කියල. ඒත් ඒ වෙද්දිත් ඈ සුව නින්දක.

හිත් යාවෙන්න භාෂාවක්  ඕනමද?  ඕනවෙන්නෙ උවමනාවයි ආදරයයි නේද? සිංහල නොදන්නා ඇයත්, දෙමළ නොදන්නා මම ත් හදවත්වලින් බැඳුණේ ආදරයේ භාෂණයෙන්. නමුත් භාෂාව දැන උන්නා නම් මීට වඩා අපේ හිත් විවෘත වනු ඇති. අපේ අදහස් හුවමාරු වනු ඇති. අපේ හිත් ගැඹුරින් හඳුනා ගන්නට ඉඩ ලැබෙනු ඇති. වාර්ගික අනවබෝධයන් දුරු කර ගන්නට සිදු කළ යුතු බරපතළම සෙත් ශාන්තිය අන්‍යෝන්‍ය භාෂාවන්, සංස්කෘතීන් හැදෑරීම බවයි මගේ හැඟීම. එකිනෙකා පිළිගන්නට, අගය කරන්නට එයින් මහත් පිටුවහලක් ලැබෙනු ඇත නිසැකවම.

පසුවදා උදේ මංගල උත්සවයට මම සැරසුණේ සල්වාරියකින්. මා දුටුමතින්ම කවීතාගේ මුහුණේ ලස්සන සිනා මලක් පිපුණා. ඇය තමන් ඇඳ සිටි සල්වාරියටත් මා දෙසටත් ඇගිල්ල දිගු කළේ ඒ සුන්දර සිනාවෙන්මයි. 

තම සංස්කෘතිය අගය කරනු දැකීම, තම අනන්‍යතාවය පිළිගනු ලැබීම කෙනෙකුගේ සිත තුළ කොතරම් සතුටක් ඇති කරනවාද? විශේෂයෙන්ම සුළු ජාතිය ලෙස පෑගී, තැලී පොඩි වී ඇති මනුෂ්‍ය කොට්ඨාශයකට එය කොතරම් හෘදයාංගම බලපෑමක් වනු ඇතිද? කවීතාගේ පිපුණු වතමඩල ඒ බවට නිහඩ සාක්‍ෂියක් වුණා. 

2013 නොවැම්බර්

No comments:

Post a Comment