February 11, 2014

ආයෙමත් අපි හමුනොවේවිද?





එය 2005 හෝ 2006 වසර විය යුතුය. හරියටම මතක නැත. උතුරු මිතුරු ලියන්නට පටන් ගත් දා සිට හිතේ කෙටු කැටයමක් සේ මතකයෙන් නොගිළිහී පවතින, නිතර නිතර සිහිපත් වන කඳුළු පිරුණු ඇස් දෙකක් ගැන ලියා තබන්නට මට අවැසි ය. 

එකල මම රැකියාව අතරතුර දරුවන් වෙනුවෙන් කැප වු සමාජ සේවා ආයතනයකට සම්බන්ධව වැඩ කරමින් සිටියෙමි. වසරකට වරක් දෙකක් ස්වකීය පූජක ජීවිතයට අත්දැකීමක් ලබනු වස් අප සමග එක්ව කටයුතු කිරීමට සහෝදරතුමන්ලා පැමිණීම සාමාන්‍ය සිදුවීමක් විය. කිහිපවතාවක්ම යාපනය දෙමළ සහෝදරතුමන්ලා කිහිප දෙනෙක් ද අප සමඟ එක් විය. ඒ එක් සහෝදරතුමෙක් ගැන කතාවකි මේ. ඔහු සිංහල, ඉංග‍්‍රීසි කලවම් බසින් සහ අංග චලනයෙන් කියූ කතාව මම මෙලෙස සිංහල බසින් ලියා තබමි. ඔහු තම උපන්බිම ලෙස උතුරු ප‍්‍රදේශයේ වෙරළාසන්න ගමක් පිළිබඳව සඳහන් කළ ද මට දැන් එය අමතක ය.

‘‘ අපි හිටියෙ ලස්සන ධීවර ගමක, මුහුද අද්දර ගෙදරක. ගේ කිට්ටුවම අපේ පල්ලිය තිබුණා. තාත්තට බෝට්ටු තිබුණා. අයියල හැමෝමත් කළේ ධීවර රස්සාව. අපිට කිසිම කරදරයක් තිබුණේ නෑ.. පුංචි කාලෙ ගෙවුණෙ හරිම සැහැල්ලූවෙන්. ? වුණාම අම්ම එක්ක අපි වැල්ලට ගිහින් ඈත මුහුද දිහා බලන් ඉන්නවා. මම අම්මගෙ උකුලෙ ඔලූව තියාගෙන. අම්ම මගේ ඔලූව අත ගගා කතන්දර කියනවා. ගීතිකා කියනවා. අහස හඳ, තරු පිරිවරාගෙන ඉද්දි අම්මගෙ උණුහුමේ වැල්ලට වෙලා සීතල මුහුදු හුළඟ විඳිමින් ඉන්න ලැබුණ ඒ කාලය තමයි ජීවිතේ ලස්සනම කාලෙ. ඒ මතකයත් හීනයක් වගේ. ඒත් යුද්දෙත් එක්ක හැමදේම වෙනස් වුණා...’’

දීර්ඝ සුසුමක්... ගල්ගැහුණු නිහඩතාවයක්... විඩාපත් මුහුණක්... සිත ළතැවිල්ලේ වුව ද මම ඉවසිල්ලේ අසා සිටියෙමි. 

‘‘.. යුද්ධය දරුණු වෙන්න වෙන්න මුහුදු යන්න බැරි වුණා. ආර්ථික ප‍්‍රශ්න ආවා. අපිට බෝට්ටු නැති වුණා. තාත්තා මැරුණා පපුවෙ අමාරුවකින්. අයිය කෙනෙක් අතුරුදහන් වුණා. අනිත් අයත් ගම අත්ඇරල ගියා. අපේ ජීවිත එහෙම පිටින්ම වෙනස් වුණා. මමත් කාලයක් එල්ටීටීඊ එකට සම්බන්ධ වෙලා හිටියා. කවුරුත් බල කළේ නෑ. මගේ කැමැත්තෙන්. මහා වීර දිනයට පෙන්නන චිත‍්‍රපටි, සින්දු, කතා අහන දකින ඒ වයසෙ ඉන්න  ඕනම කෙනෙකුට හිතෙනවා මරාගෙන මැරෙන්න හරි එල්ටීටීඊ එකට බැඳෙන්න. ඒ තරමට හිත වෙනස් වෙනවා. අනික මම දැක්ක යුද්දෙ නිසා මිනිස්සු විඳින දුක. පස්සෙ මට හිතුණා මේ වෛරය තේරුමක් නෑ කියල. එල්ටීටීඊ එක නිසාත් මිනිස්සුන්ගෙ පීඩනය වැඩි වුණා මිස සහනයක් තිබුණෙ නෑ.

මට මාව ම එපා වෙමින් තිබුණෙ. ඊට වඩා වෙනස් මාර්ගයක් තියෙන්නෙ  ඕන අපේ නිදහස දිනා ගන්න මම නිතරම හිතුවා. මම සෙමනේරියට බැඳුණා.. දෙවියන් තුළ විමුක්තිය හොයන්න. ඒ වෙලාවෙ මට වෙන විකල්පයක් තිබුණෙ නැහැ.. අම්පිටියට ඇවිත් ඉගෙන ගන්න කාලෙ තමයි මට සිංහල මිනිස්සු ඇසුරු කරන්න ලැබුණෙ. එතනදිත් මගේ හිත ගොඩක් වෙනස් වුණා.  අපි වෛරක්කාරයො වෙලා ඉන්න එක කිසි තේරුමක් නෑ. යුද්ධය කියන්නෙ බල අරගලයක්. දේශපාලන පොර පිටියක්.. ඒකෙන් තැලෙන්නෙ පොඩි වෙන්නෙ දුප්පත් අසරණ මිනිස්සු.. සිංහල උණත්, දෙමළ උණත්... අපි මහන්සි වෙන්න  ඕන පීඩාවට පත් වෙන මිනිස්සුන්ට අධ්‍යාත්මික විමුක්තිය හොයා ගන්න උදව් වෙන්න..’’ 

මේ කතාබහ කෙළවර සිංහල දෙමළ හදවත් දෙකක් මහා සහෝදර බැම්මකින් යා වී තිබුණි. ඉන් දින කිහිපයකට පසු සති අන්තයක  මා අදාළ ආයතනයට යන විට ඔහු පෙනෙන්නට සිටියේ නැත.

‘‘කෝ බ‍්‍රදර්?’’

‘‘උණ ගැනිලා නිදි. අක්කෙ, ඒ බ‍්‍රදර්ලගෙ ගමට ප්ලේන්වලින් බෝම්බ දාලලූ.. කිසිම තොරතුරක් දැනගන්න විදියක් නැහැ.. ඒ හිතේ අමාරුවට මං හිතන්නෙ උණ ගැනෙන්න ඇත්තෙ..’’

සංකාබර සිතින් බෙහෙත් පෙති කිහිපයක් හා වතුර වීදුරුවක් ගෙන මා ඔහු දකින්නට යන විට ඔහු සිටියේ අවදියෙනි. මැළවුණු වතිනි. මා දුටුවනම ක්ෂණිකව ඇස් අග එකතු වූ විසල් කඳුළු බිඳු දෙකක් දිලිසෙනු මම දිටිමි. ඒ කඳුළු පිරි විඩාපත් ඇස්දෙක සිහිවන විට අදත් මසිත තිගැස්සේ.

ඒ ගුවන් ප‍්‍රහාරවලින් පල්ලියට අලාබහානි වී තිබුණද ජීවිත අනතුරක් සිදු නොවූ බව පසුව දැන ගන්නට ලැබිණි.

එම සිද්ධියෙන් වසර ගණනකට පසුත් අප අතර සුහදතාව නොබිඳී තිබිණි.

‘‘අක්ක අරන් දුන්න සිංහල හෝඩිපොත තවම මං ළඟ තියෙනවා.’’ මුහුණුපොත හරහා විටින් විට පණිවිඩ එවා තිබිණි. පූජාත්වරයට පවා මට ඇරයුම් ලැබිණි. නමුත් යුද්ධය දරුණු වීමත් සමඟ, දකුණේ යුධ ජයග‍්‍රහණය වියරු සැමරුමක් බවට පත් වීමත් සමඟ සුහද සහෝදරත්වය ගිළිහී යන බව මට දැනෙමින් තිබිණි. ඉක්බිති මුනිවතම මිස මගේ සුවදුක් විමසුමකට වුව පෙරළා පිළිතුරක් ලැබුණේ නැත. හේතුව පියතුමකු ලෙස කාර්යබහුල වීම ද, මහා ජාතිය විසින් පීඩාවට පත් කරන ලද සුළු ජාතියගේ දුක් අදෝනා සිත වට කොට පවුරු පදනම් බැඳීම ද යන්න නොදනිමි. මනුෂ්‍යත්වය සුණුවිසුණු කළ යුද්ධය නිසා ගලා ගිය අනන්ත අප‍්‍රමාණ කඳුළු වරුසාවක් මැද, තනිවුණු අසරණ කඳුළු බිඳු දෙකක් අදත් නොමැකී මසිත තැන්පත්ව ඇත. 

2014 මාර්තු

No comments:

Post a Comment