February 11, 2014

ෂෙල් කිරුල පැළඳි රාජිනී...



කිලිනොච්චියට නුදුරු වනගත ගම්මානයක ෂෙල් වැදිල කරටි කැඩුණු අබ්බගාත තල් ගස් අතරෙ ජීවිතය හොයා ගෙන සක්මන් කරන ඈ රාජිනී.. රාජ්‍ය උරුමයක් වෙනුවෙන් සටන් වැදුණ මිනිසුන් අතර අරාජික රාජිනී. මිනිස්සු නැති තැන ඈ හැඳින්වුවෙ සොත්ති රාජිනී කියල. ඇගේ දකුණත තිබුණට පුළුන් රොදක තරම්වත් පණක් නෑ. ඒ අත සදාකාලිකවම වැඩ අත්හරින්න තීරණය කළේ ෂෙල් වෙඩිල්ලක කෑල්ලක් පියාඹගෙන ඇවිත් කුරිරු විදියට දකුණතම සිප ගත්ත දවසෙ ඉඳල. 

ඇගේ පළමු සැමියා මිය ගිහින්. දරු තුන් දෙනයි. බයිබලීය දේව ධර්මය අපට කියා දෙන විදියට රාජිනී කියන්නෙ මහත් වූ දයාවෙන් රැක බලා ගත යුතු වැන්දඹුවක්. නමුත් සෙනෙහසේ මුවාවෙන් ඇයව රවටා පළා යන ආගන්තුකයෙක් නිසා ඇයට තවත් දරු ගැබක් පිහිටනවා. ඒ යුද්දය නිමාවීමෙන් පසුව ඈ වෙත අනපේක්‍ෂිතව කඩාපාත් වූ හෙණයක්. සමාජයෙන් කොතෙක් නින්දා අපවාද විඳින්නට සිදු වුණත්, අගහිගවලින් කරවටක් එරිල උන්නත් ඒ දරුවා බිහි කරන්නත්, රැක බලා ගන්නත් ඇය ස්ථිර අධිෂ්ඨානයක පිහිටනවා. 

ඒ තමයි උත්තරීතර මාතෘත්වය... උත්තරීතර ස්ත‍්‍රී අධ්‍යාත්මය... උත්තරීතර මනුෂ්‍යත්වය..

යුද්ධයෙන් අබල දුබල වූ ගම්පියස නගා සිටුවන්න, මිනිසුන්ට ජීවත් වෙන්න බලාපොරොත්තුවක්, මගපෙන්වීමක් දෙන්න රාජ්‍ය නොවන සමාජ සේවා ආයතනයක් හරහා ගමට ඇවිත් ඉන්නවා පැවිදි සොයුරියන් කිහිප දෙනෙක්. ඔවුන් ක‍්‍රියාත්මක කරන විවිධ අධ්‍යාත්මික, ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් අතර කිරි ගව ව්‍යාපෘතියත් ඵලදායක වැඩක්. මේ හරහා රාජිනීටත් කිරි එළදෙනක් ලැබෙනවා. පණ නැති දකුණතකුයි, දරු සිව්දෙනෙකුගේ වැඩයි එක්ක එළදෙනක් රැක බලා ගන්න අසීරු නිසා ඈ එළදෙන රැක බලා ගන්න අසල්වැසියකුට භාර දෙනවා. එළදෙන පැටියෙක් බිහි කරනවා. ඒත් රාජිනීට කිරි බිඳක්වත් ලැබෙන්නේ නෑ. අප්ප නැති කිරිකැටියෙක් ගෙදර ඉන්න බව දැන දැනම. ඇය එළදෙන ආපහු ඉල්ලනවා. ඔහු එළදෙන නොදී මග අරිනවා. එළදෙනයි, පැටියයි හංගල හොරු ගෙන ගිය බව කියනවා. 

රාජිනී පැමිණිල්ල අරන් එන්නෙ පැවිදි සොයුරියන් ළඟට. 

‘‘ ඇයි සිස්ට ඔයාලගෙ ආගමේ වෙලත් ජේසුදාසන් මට මෙහෙම කරන්නෙ?’’ එහෙම අහන්නෙ හින්දු ආගමේ රාජිනී. ගෙදර හැමදාම දෙවියන්ට පහන පත්තු කරන, භක්තියෙන් යාච්ඥා කරන, හැම ඉරිදම පල්ලි යන ජේසුදාසන් උත්තර දෙනවා මෙහෙම...

‘‘අත සොත්ති ගෑණිගෙ හරක මට  ඕන නෑ සිස්ට. ඔය ගෑණි තව ටිකක් දුක් විඳපුදෙන්..’’

නමින් ජේසුදාසන් වුවත්, හදවතින් ජේසු දහමේ පිහිටන්නට නොහැකි වීමෙන් උපදින කුරිරුකම.. එයම ද හේතුව? නැත. 

වසර ගණනක කුරිරු යුද්ධයක පීඩාවෙන් හදවත් ගල්ගැහීම... නොසලකාහැරීම, අනාදරය, අයුක්තිය, අසාධාරණය නිසා නිරන්තරයෙන් සමාජය පිළිබඳව දැවෙන වෛරයකින් පසුවීම.. ඒ යුද්ධය විසින් වැපිරූ අස්වැන්න. ජේසුදාසන් ජීවත් වෙන්නෙත් පපුව ළඟම ෂෙල් වෙඩිල්ලක කෑල්ලක් තියාගෙන.  ඒ ගමේ වැඩි දෙනෙක් එහෙමයි. කාගෙත් ශරීරයක කොහේ හරි තැනක ෂෙල් කෑල්ලක්, මූණිස්සමක්, නැත්නම් කැලලක්වත් තියෙනවා. 

එහෙම තියාගෙන ආදරය කරන්න, මනුෂ්‍යත්වයෙන් පිරෙන්න අමාරු බව අප වටහා ගත යුතුයි. එවැනි හදවත් තුළ සාමයේ පහන් දල්වන්න අමාරුයි. ඒ සඳහා අප‍්‍රමාණ කැපකිරීමක්, ඉවසීමක්, තේරුම් ගැනීමක් අවශ්‍යයි. සිංහල සමාජය විදියට අපට ඒ උවමනාව තියෙනවද කියල අපි අපගෙන්ම ප‍්‍රශ්න කළ යුතුයි. උතුරට පමණක් නොවේ මුළු දිවයිනටම සැබවින්ම වසන්තය උදාවන්නේ අපි පේ‍්‍රමයෙන් පිරුණු හදවතින් එකිනෙකා තේරුම් ගන්න, එකිනෙකා පිළිගන්න, එකිනෙකා අගයන්න ඉදිරිපත් වුණ දවසටයි.

ජීවිතේ කොයිතරම් දුක වුණත්     රාජිනී
කොහේ සැඟවී යමුද ඉඩක් නෑ     රාජිනී
ස්නේහ නිම් නැති නදිය ඇති තුරා රාජිනී
සුවිසාල හදවතම සුරලොවයි        රාජිනී

No comments:

Post a Comment