February 11, 2014

අම්මගේ සොහොන මේ මෙතැන...




මළවුන් සමරන ඉල්මහේ මළවුන්ගේ මාසයේ, හුස්මක් පාසා මළගිය මතක කැටිවුණ භූමියකට කවියෙක් පැමිණියේ ය. ඔහු සිංහල දමිල සාහිත්‍ය ලෝකයේ දිගුකාලීන ගෞරවාදරයට පාත‍්‍ර වූ කවියෙකි. මනුෂ්‍යත්වය, සත්‍යය, සාධාරණත්වය වෙනුවෙන් පන්හිඳ මෙහෙයවූ කවියෙකි. උතුරෙහි හිඳිමින් ම දකුණේ සිංහල කඳුල, සුසුම ගැන පවා දමිල බසින් කවි ලියූවෙකි. ඔහු ශ‍්‍රී ලාංකිකයෙකි. නමුත් දමිලව උපන් නිසාම උපන් බිමෙන් පිටුවහල්ව අන්‍ය දේශයක දිවිගෙවන්නට සිදුවුවෙකි. 

2006 වසරේ ජීවිතයෙන් සමුගත් ආදරණීය අම්මාගේ සොහොන පාමුල වසර ගණනක් කඳුලින්ම පිරියම් වුණු මාතෘ පේ‍්‍රමයේ උත්තරීතර කවියක් තබා යන්නට පැමිණි ඔහු, මවගේ සොහොන කරා යමින් සිටියදී 2013 නොවැම්බර් මස මාන්කුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනි. වීසා නීති කඩ කළ බව ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාව විය. කෙසේ නමුත් අත්අඩංගුවට ගත් මොහොතේම ගම්වාසීන්් ප‍්‍රබලව මැදිහත්වීම ද, ජාත්‍යන්තර අවධානය යොමු වීම ද හේතුවෙන් හිංසනයකින් තොරව ඔහු රටින් පිට කිරීමට රජය කටයුතු කළේය. 

ඔහු වී.අයි.එස්. ජෙයපාලන් කවියාය. යාපනයේ උඩුවිල් නම් ගම්මානයේ උපත ලබා, යාපනය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. මුල්ම කාව්‍ය සංග‍්‍රහය එළිදකින්නේ 1986 දී ය. වඩාත් ප‍්‍රචලිත වන්නේද කවියකු ලෙසිනි. යුද්ධය දරුණුවත්ම එල්ටීටීඊ සංවිධානයෙන් පවා ජීවිත තර්ජන එල්ලවෙමින් පැවති කාලයක ඔහු 1988 දී රටින් පිටව තම පවුලේ අය සමඟ වර්තමානයේ නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන්නේය. දකුණු ඉන්දීය චිත‍්‍රපටවල රංගනයේ යෙදෙමින් රංගන ශිල්පියකුද ලෙස නමක් දිනා ඇති ජෙයපාලන්, 1995 දී හොඳම සංක‍්‍රමණික කවියා ලෙස නෝර්වීජියානු ලේඛක සංවිධානය මගින් ද සම්මානයට පාත‍්‍ර විය. ( ඔහු පිළිබඳව වැඩිදුර විස්තර සඳහා නිලාර් කාසිම් ගේ ‘‘දමිළ කවියේ ශ‍්‍රී ලාංකික සලකුණ -ජෙයපාලන්’’ කෘතිය සහ ‘‘සහෝදර පියාපත්’’ කවි එකතුව කියවන්න.)

යුද්ධය නිමවීමෙන් පසු සියල්ල සාමකාමී නම්, සැමට සාධාරණත්වය, යුක්තිය ඉටු වන්නේ නම් වසර ගණනාවක් පියවි ඇසින් නොදුටු මවගේ සොහොන්බිම හෝ  නිදහසේ දකින්නට මිනිසකුට අවසර තිබිය යුතු නොවේ ද? අවම වශයෙන් ඔහු ශ‍්‍රී ලාංකික දමිල කවියකු ලෙස හඳුන්වා දෙන්නට තරම්වත් මහත්මා ගතියක් මාධ්‍ය වෙතින් පළ වියයුතු නොවේද? මේ සිදුවීමෙන් පවා වඩාත් පැහැදිලි වූයේ මාධ්‍ය සදාචාරයේ පිරිහීමත්, දමිල ජනයාට එරෙහිව තවමත් එල්ලවෙන පීඩනයත් නොවේද

ජෙයපාලන් කවියා කවියෙන්ම විමසන මේ පැනයට අප හමුවේ පිළිතුරු වේද?

‘‘පැසී කහගැහුණු තුරුලතා අතරින්
රත්තරන් අත්තටු ගසා පියඹන
සමනලයෙකු සේ ම ලෙළ දිදී
පරඬලා පර්ච් පත පතිත වෙයි
තණ මතට
අලූත් සරණාගතයකු ලෙසින්...

මේ මහා මිහිතලයේ
ජීවිතය හිමි නැතිව
පහසුකම් අහුලමින් හඹා යන
මිනිස් පරඬලාවන් වී අප
පොළව මත පොරබදමු...

කෝ අපිට මව්බිමක්.. ?????

2014 පෙබරවාරි

No comments:

Post a Comment