සිනාසෙන අපිමයි හඬන්නේ
බොළඳ කිරි දරුවන් ලෙසින්
කලල් මැඩ අපිමයි පිපෙන්නේ
සුවඳ සුදු සියපත් වෙසින්
නියඟ ඇවිළෙන අහස නොදනී
දිනෙක මහ වැසි වැටෙනවා
වැටෙන මහ වරුසාව නොදනී
දිනෙක යළි හිරු නැගෙනවා..
පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
පලබරින් අතු ඉති නවා
අමාවක ඝන අඳුර පැන යයි
වඩින පුරපස සඳ බලා...
ගී පද :
කේ.එම්.අයි. ස්වර්ණසිංහ
තනුව : රෝහණ
වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
දින දසුන අළුත් වෙලා.. 2013 පිටමං වෙලා.. 2014 ඇවිදින්
ලැගුම් අරගෙන.. ආයෙමත් මුල ඉඳන් ජනවාරි.. පෙබරවාරි... දුරුතු... නවම්... ඒත් නව
වසරට ආවෙත් පරණ අපිමයි නේද? ජනේරුදා
අළුත් ඇඳුම් පැළඳුම් වගේම අළුත් හිනාවකුත් පළන්ඳන් , Happy New Year සුබ
අළුත් අවුරුද්දක්’’ මුව
අග තියන් අයිසිං කළ කේක් ගෙඩි වගේ අපි එහෙ මෙහෙ දිව්වා... ඒත් ජනවාරි දෙවෙනිදා
වෙද්දි ආයෙමත් පරණ මුහුණුමයි.. පරණ විඩාවමයි... පරණ මැසිවිලිමයි.. පරණ අරෝවමයි..
වතින් මිස සිතින් අළුත් නොවන ලෝකයකට කළල් මැඩ සුදු සියපත් ලෙසින් පිපෙන්නට හැකි බව, පිපෙන්නට අවැසි බව මතක් කර දෙන අපූරු
ගීතයක් මේ.
හතරවටින් අහන්න දකින්න ලැබෙන්නෙ සමාජ පරිහානියේ
ගන්දස්සාර නිස්සාර අත්දැකීම් බව ඇත්ත. හිත හිරිවට්ටන ඛේදවාචක බව ඇත්ත. නමුත්
ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැරිය යුතුද අප? යහපත් සමාජ පරිණාමයක් වෙනුවෙන් වැඩ කරමින්
ජීවිතයට ආදරය කරන අළුත් පරපුරක් බිහි කිරීමේ පරම යුතුකම පැහැර හැරිය යුතු නොවේ.
කළල් මැඩ පිපී සුවඳ විහිදවන පියපත් ලෙසින් මනුස්සකමේ සුවඳ විහිදුවන්නට පෙළ ගැහෙමු.
නියංසාය අහවර කරමින්
වැටෙන පොද වැස්ස අපි ම වෙමු.
දෙගොඩ තලා ගලන මුරුගසං වරුසාව කෙළවරක් කරන සූර්ය
මන්දස්මිතය අපි ම වෙමු.
අමාවක අඳුරට සමුදෙමින් පායන පුර හඳමඬල අපිම වෙමු.
එක්සත්ව එක්සිත්ව යහසිත් ඇතිව වැඩ කරන නව යෞවනයට මේ
උත්තම අරමුණු බරක් නොව බරපතල ජීවන දැක්මක් ම වනු ඇති බව මගේ විශ්වාසයයි.
2014 ජනවාරි
No comments:
Post a Comment