March 11, 2014

නොපිරුණු බණ්ඩි ගෙඩියකින් මැවුණු හිනාවක්




ජීවිතය වින්දනය කරන්නට ඔබත් මමත් රිසි නොවෙමුද? ‘‘ විඳවන්නට නොව ජීවිතය විඳින්නටයි’’ අපි නොයෙක් වර එවදන් අසා ඇත්තෙමු. ගහක වැලක සිසිලස, මල් පෙත්තක සුසිනිඳු මුදු මෙලෙක .... මල් කෙමියක සුවඳ, කුරුළු ගී නදක මිහිරියාව අපි ඉමහත් ප‍්‍රියතාවයෙන් වින්දනය කරන්නෙමු. ගලන දිය දහරක සිහිලේ වෙළෙන්නට අපි පෙරුම් පුරන්නෙමු. නමුත් සොබාදහමේ උත්තරීතර මැවුම වන මිනිසා, විශ්වයේ සොඳුරුතම නිමැවුම වන මනුෂ්‍යත්වය  වින්දනය කරන්නට අපි කොතරම් නම් උත්සාහ දරන්නෙමුද

මිනිසත් බවේ අසිරිය, අපූර්වත්වය, චමත්කාරය විඳිය හැකිද? ගීතයක් මෙන්... සිතුවමක් මෙන්, කවියක් මෙන් විඳිය හැකිද? ඔබ අසනු ඇත මගෙන්... 

මම මෙසේ පිළිවදන් දෙමි. සැබවින්ම මනුෂ්‍යත්වයේ අසිරිය හදවතින්ම වින්දනය කළ හැකිය. එකී වින්දනයෙන් ප‍්‍රඥාවේ පහන් දල්වා මනුෂ්‍යත්වයේ උත්තරීතරභාවයට අපේ සිත්සතන් දල්වාලිය හැකිය. 

මවිසින් විඳින ලද මනුෂ්‍යත්වයේ චමත්කාරය මම දිග හැරෙන ලිපි පෙළක ආරම්භයයි, ‘‘ මිනිසි අසිරි’’ .... රජරට පුරවරයේ අවිහිංසක දිළිඳු දැරියකගේ නිකැළැල් සිනාවෙන් මිනිසි අසිරි සොයා යන චාරිකාව අරඹමු. 

1999 අවුරුද්ද. ළමා සංවිධානයක ස්වේච්ඡා සේවයේ යෙදී සිටිය නිසා ලක් බිම දසත සංචාරයේ යෙදෙන්නට පෙර පින් මහිමයේ අනුහසින් ලැබුණු අගනා කාලවකවානුවේ ආරම්භයයි...

‘‘ හිමිකම් සුරකිමු ළමා අපේ ’’ යන වාර්ෂික තේමාව දැනුවත් කරමින් ලංකාව පුරා දීර්ඝ චාරිකාවක යෙදුණු අපේ කණ්ඩායමේ එදා නවාතැන්පළ වුණේ පොළොන්නරුව දෙව් මැදුර.. පුරා දිනක් වූ වැඩසටහනේ අපි උදේ වරුව පුරාම ළමයින්ට කියා දුන්නෙ ආදරය, අධ්‍යාපනය, ආහාර, රැකවරණය, පිළිගැනීම, අගය කිරීම වගේ දේවල් තමයි පුංචි අපේ හිමිකම් කියල. ඒ දේවල් අපිට හිමි වෙන්න  ඕන වගේම අනිත් අයටත් ඒ හිමිකම් ලබා දෙන්න අපි  මහන්සි වෙන්න  ඕන කියලත් අපි දරුවන්ට කියල දුන්නා... තමන් අවට ඉන්න පුංචි යාළුවන්ගෙ හිමිකම් වෙනුවෙන් අපට කරන්න පුළුවන් දේවල් මොනවද කියල අපි ගීත, නාට්‍ය ජවනිකා, කතන්දර උදව් කර ගනිමින් පැහැදිලි කරන්න උත්සාහ කළා. 

ඔන්න ඉතින් දවල් කෑම වෙලාවත් ළං උණා. සාමාන්‍යයෙන් ආහාර වේලකට කළින් අපි අත් පිරිසිදු කර ගන්න හැටි, ආහාර ගනිද්දි පිළිපදින්න  ඕන සිරිත් විරිත් වගේ කාරණා ගැනත් කියා දෙනවා. ඒ වගේම කෑම ගන්න කළින් අදහන දහම සිහි කරලා, ඒ කෑම වේල හදන්න උදව් වුණු හැමෝම මතක් කරල, කන්න නැතිව බඩගින්නෙ ඉන්න අයවත් සිහි කරල පැතුමක් කරනවා... පැතුමක් කියන්නෙ යැදුමක්, යාච්ඤාවක්, භාවනාවක්. අපේ ළමා එකමුතුවල හැම ආගමකම ළමයි ඉන්න නිසයි පොදුවේ පැතුමක් කරන්නෙ...

ඉතින් පුරුදු විදියට දැනුවත් කිරීම්, පැතුම් හෙම ඉවර වෙලා අපි ළමයින්ට කිව්වා කණ්ඩායම් විදියට කෑම කන්න කියල. ඒ වෙද්දි කණ්ඩායම් බෙදලයි තිබුණේ...කෑම බෙදා හදාගෙන කන්න නිසයි කණ්ඩායම් විදියට වාඩි වෙලා කෑම ගන්න කියන්නේ. එතකොට දුප්පත්, සරල බත්පතකට උණත් වැඩි යමක් එකතු වෙනවනේ... 

අපි කෑම කන්න කළින් ළමයි වටේ රවුමක් යන්නෙ එයාලගෙ බෙදා හදා ගැනීම කොහොමද කියල බලන්නයි. මේ වගේ සොයා බැලීම්වලදි ඇස්වලට කඳුළු එන අත්දැකීම් ලැබිලත් තියෙනවා. සමහරවිට බතල, මඤ්ඤොක්ක කෑල්ලක් පොල් ටිකක් එක්ක, තවත් පොඩි එකෙක් ළඟ බත් ටිකකුයි වැටකොළු කෑලි දෙක තුනකුයි.. සරු බත්පතක් තිබුණෙ බොහොම කලාතුරකින්.. සමහරවිට කන බොන යාළුවො මග ඇරල වතුර ටිකකින් බඩගින්න හංග ගන්න පුංචි එකෙක්... කෑම බෙදා හදා ගනිද්දි මේ අඩුපාඩුකම් බොහෝ දුරට මැකිල දුප්පත් බණ්ඩියකට උණත් රස බත් කටක් ලැබුණා...  

මෙදත් සුපුරුදු විදියට අපි කෑම කන දරුවො වටේ රවුමක් ඇවිද්දා. මමයි නිලන්ති අක්කයි... එක කණ්ඩායමක් ළඟ නතර උණාම දැක්කෙ හරිම දුක්බර දසුනක්. පුංචි දුවෙක් පත්තර කඩදාසියක පාන් පෙති දෙකක් ඔතාගෙන ඇවිත් තිබුණා පොල් සම්බෝල ටිකක් එක්ක. ඒ කණ්ඩායමේම බත්, නූඞ්ලස් වගේ සරු කෑම වේලක් හිමි දරුවනුත් හිටියා... 

‘‘ පුතේ, ඔයා යාළුවන්ට පාන් පෙත්තක් දෙන්න. සම්බෝලත් එක්ක පාන් හරි රසයිනේ.. ’’ පුංචි දැරියට අපි කිව්වා.

‘‘ ඔයාලගෙ කෑම වලිනුත් ටික ටික යාළුවට දෙන්න. බෙදා හදා ගෙන කන්න  ඕනනේ... ’’ අපි අනිත් අයටත් කිව්වා.. දැරිය බොහොම ලස්සනට හිනා වෙලා පාන් පෙත්තක් බෙදා දුන්නා. දරුවො කීප දෙනෙක්ගෙ මූණු වෙනස් උණා. එක්කෙනෙක් ඉක්මණින් පාන් කෑල්ල පැත්තකට කළා. එක්කෙනෙක් තමන්ගෙ බත්පත කිට්ටු කළා කන්න කියල. ඒත් ඒ මූණෙ හිනාවක් තිබුණෙ නැහැ. අපි දෙන්න ටිකක් ඈත් උණා. අර චූටි බඩට බත් කටවල් කිහිපයක් ලැබුණා. ඒත් පාන් කෑලි කවුරුවත් කෑවෙ නැහැ. ඒව කුණු කූඩෙට ගියා. පස්සෙ පොඞ්ඩි ටැප් එකට අත් දෙකම අල්ලල වතුර උගුරු කිහිපයක් බොනව පෙණුනා.

‘‘ පව් අපි නිසා පොඩි එකීට පාන් පෙත්තත් නැති උණා...’’ අපි උදේ ඉඳන් කතා කළ දේවල් හුළඟට ගහගෙන ගිහින්ද? ඇයි පුංචි හිත් මේ තරම් දරුණු. ඇති නැති පරතරය මල් කැකුළුවලටත් විස පුරවනවද?

වැඩසටහන මෙහෙයවපු අපි වෙනුවෙන් සරු ආහාර වේලක් සූදානම් වෙලා තිබුණා. ඒත් නිලන්ති අක්කටයි මටයි, හිතට අමාරුයි. අපි කෑම බෙදාගෙන එළියට ආවෙ පොඞ්ඩිවත් ළං කර ගෙන බත් කටක් කවන්න හිතාගෙන.

අනේ පව් පුංචි එකී සීසෝ පදිනවා. හරිම ලස්සන හිනාවක් ඒ මූණෙ ඇඳිල තිබුණා. බාගෙට පිරුණු බණ්ඩි ගෙඩියට ඒ හිනාව උදුරගන්න බැරි වෙලා. පාන් පෙත්තක් අහිමි කළ අපි ගැනවත්, රස බත් කටක් බෙදා නොගත් යාළුවන් ගැනවත්, බත්පතක් ඉදිරියේ ඈ අසරණ කළ දුප්පත්කම ගැනවත් කිසිදු අමනාපයක් නැති සැහැල්ලූ සිතින් ඈ සෙල්ලමේ.... 

අපි අත වැනුවා. හෙමිහිට සීසෝ එකෙන් බැහැල කෙලි පොඩ්ඩ අපි ළඟට දුවගෙන ආවෙත් ඒ හිනාවෙන්මයි. ලොකු පෙරැත්තයකින් පසුවයි බත් කටවල් දෙක තුනක් ඇයට කවන්න පුළුවන් උණේ. 

ඒ අහිංසක නිකළැල් හිනාව මනුෂ්‍යත්වයේ අපූර්ව චමත්කාරය මසිතේ නිදන් කළ, මතකයෙන් කිසිදා මැකී නොයන සුන්දරතම සිනාවක්... 

2012 සැප්තැම්බර්

No comments:

Post a Comment