October 10, 2023

‘‘ධරණී“

 

Art by Jacky Gerritsen

ආදර දුවේ පුතේ,

අද ‘පුංචි විකුම්’ ඉසව්වෙන් මම ඔයාල හමුවට එක්කරගෙන එන්නෙ පුංචි වීරවරියක්. අම්පාර ප්‍රදේශයේ පිටිසර ගම්මානෙක ඉපදුණු, හැදුණු, වැඩුණු ඇය මට හමුවෙන්නෙ ‘ළමා ක්‍රියාකාරී වීරයෝ’ ළමා ව්‍යාපාරය නිසා. ඇගේ නම තමයි ‘ධරණී’. ධරණී කියන්නෙ මහ පොළවට කියන තවත් නමක්. “මහ පොළව වගේ හැමදේම දරාගන්න.” කියල අපි කතාවටත් කියනවනේ... ධරණී කියන්නෙත් ඒ වගේ ජීවිතයේ බොහෝ දුෂ්කර අවස්ථා දරාගෙන ලස්සන ගමනක් ආව වීරවරියක්.

ධරණීගෙ තාත්තා දෘශ්‍යාබාධිත කෙනෙක්. අම්මාත් පෝලියෝ රෝගය නිසා අසනීප තත්ත්වයකින් පෙළෙන කෙනෙක්. ස්ථිර රැකියාවක් කිරීමට අපහසු දෙමව්පිය යුවළකගේ දැරියක වීම නිසාම ධරණී ළමා වියේ සිටම විවිධ ආර්ථික, සමාජ දුෂ්කරතා රැසක් මැද තමයි ජීවත් වුණේ. නමුත් ඇය කිසිම විටෙක ඉගෙනීම පැහැර හැරියෙ නැහැ. අඩුපාඩු ගැන කියමින් දෙමව්පියන්ට කරදර කළේ නැහැ. තමන්ට හැකි උපරිමයෙන් ඉගෙනීමට අවධානය දුන්නා. ඇය තේරුම් ගත්තා ඉගෙනීමෙන් පමණයි ඒ දුෂ්කර ජීවන තත්වයෙන් මිදුමක් ලබා ගන්නට හැකිවන්නේ කියා.  

ධරණී පහේ ශිෂ්‍යත්වය සමත් වෙන්නෙ අමතර පන්ති කිසිවකට යන්නෙ නැතිව. ඉන්පසුව ඇයට ශිෂ්‍යාධාර මුදලක් ලැබුණා. ඒ වගේම ඇයට ඉගෙනගන්න පාසලෙන්, වටපිටාවෙන් සහය ලැබුණා. උත්සාහය, උනන්දුව ඇත්නම් අපට උදව් කරන්නට කැමති පිරිසක් සමාජයේ ඉන්න බවටත් මෙය හොඳ නිදසුනක්. සාමාන්‍ය පෙළ විභාගයත් සමත් වුණ ඇය පසුගිය කොරෝනා සමයේ උසස්පෙළ විභාගයත් සමත් වුණේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සුදුසුකම් ලබමින්. 

මම වාක්‍ය දෙක තුනකින් ලිව්වට ඇය ආ ජීවිත ගමන නම් එතරම් සුවපහසු එකක් නෙවෙයි. ඇය තමන්ගෙ ඉගෙනීමට උදව් කළ අය හැමදාමත් සිහිපත් කරන්නෙ ආදරෙන්. 

සරසවි වරම් ලැබූ පසුව පවුලේ අයට තිබුණු ලොකුම ප්‍රශ්නය ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇයට වියදම් කරන්නේ කොහොමද යන්න. ඒ නිසාම ඇයට යෝජනා කරනවා විශ්වවිද්‍යාලය වෙනුවට විද්‍යා පීඨය තෝරා ගන්න. නමුත් ධරණී අභියෝගවලට සැලෙන කෙනෙක් නෙවෙයි. තමන් කැමති විෂය ධාරාවෙන් සරසවි අධ්‍යාපනය ලබන්න ඇය තීරණය කරනවා. 

“ශිෂ්‍යාධාර ලැබෙනවනෙ තාත්තෙ. මම ටියුෂන් පන්තියක් දෙකකුත් කරගෙන කොහොම හරි කැම්පස් යන්නම්.” 

ධරණීගෙ තාත්තටත් ඒ වචන ලොකු හයියක් වෙලා. මේ විස්තර අහන් ඉද්දි මට හිතුණෙ ධරණී තමන්ගෙ නමේ අර්ථය හැමදාමත් ජීවමාන කරනව කියලයි. ධරණී වගේ දරාගෙන අභියෝග සියල්ල ධෛර්යයෙන් ජීවිතයේ ඉදිරියටම යන්න ආදරේ දුවේ පුතේ හිතට ගන්න. 

තරු නැන්දා