February 11, 2014

අම්මේ මේ කිසිවෙකු හට බෑ මා නළවන්නට උඹ වාගේ


 
By Katie M. Berggren

ආමි නේවි එයාෆෝස්
ඊපීඞීපී, එල්ටීටීඊ....//
මව්බිම නැත්නං මරණය කිව්වත්
පෙලෝ ටෙලෝ සහ කරුණා අම්මාන්
අම්මේ මේ කිසිවෙකු හට බෑ
ජීවිතෙ දෙන්නට වෛරෙන් නොමරා ඔබ වාගේ
අම්මේ මේ කිසිවෙකු හට බෑ
පණක් රකින්නට ඔබ වාගේ.....

එස් එල් එෆ් පී, යූ එන් පී
එල් එස් එස් පී, එන් එස් එස් පී....//
ජේ එච් යූ සහ ජේ වී පී
ඒ ටු ඉසෙඞ් ඒ බී ???
අම්මේ මේ කිසිවෙකු හට නෑ
උඹ වාගේ මා ගැන සැලසුම් මගෙ ජීවිතයට
අම්මේ මේ කිසිවකු හට නෑ නෑ නෑ නෑ
වැටහෙන්නේ දුක අවංකවම...

ඩබ්ලිවි එච්  ඕ යූ එන් සීඩා
නෝවෙත් දෙන්නේ පිටරට පීඩා... //
සී එන් එන් සහ බී බී සී
ස්කයි එයාර් ඇන්ඞ් එම් ටී වී
වයි එෆ් එම් ඇන්ඞ් ශ‍්‍රී එෆ් එම්
අයි එෆ් එම්, රජ එෆ් එම්
සිරස ෂා ඇන්ඞ් ද ගී හිරු එෆ් එම්
ලක්හඬ එස් එල් බී සී අයි සී
අම්මේ මේ කිසිවෙකු හට බෑ
මා නළවන්නට උඹ වාගේ අවංකවම...

ගායනය, පදරචනය, සංගීතය - අජිත් කුමාරසිරි

සියුම්ව හද වෙණ තත් පිරිමදින, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ආනන්දයෙන් ඇරඹී ප‍්‍රඥාවෙන් අවසන් වන මිහිරි ගීත ගැන කතා කරන  හද ගී පොත අද වෙනස්ම විදියෙ ගීතයකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. 

අමුවෙන්ම ලියැවුණු කිසිදු සෞන්දර්යාත්මක හැඟීමක් මතු නොකරන මේ ගීතයේ පද වැල්වලත්, ගායනයේත් මතු වෙන්නෙ විප්ලවකාරීබවක්... සැබවින්ම මේ ගායනයේ කන්කළු මිහිරක් නැහැ.. හද සනසන මිහිරක් නැහැ. ගීතයේ කියවෙන යථාර්ථය තරමටම ගායනයත් කටුකයි. හිත හිරිවැටෙන තරමට ගොරහැඩියි. නමුත් එය වත්මන් සමාජයේ කැඩපතක් බඳුයි.

මේ ගීතය තුළ ඔහු තෝරා ගත් පවතින සමාජ, දේශපාලන යථාර්ථයන් කිහිපයක් අම්මාගේ ආදරය සමග සන්සන්දනය කරනවා. සැබවින්ම මේ අම්මා සංකේතාත්මකයි. ඇයගෙන් නියෝජනය වන්නේ ආදරය... ජීවිතය... ජීවිතය ගැන ඇති අපමණක් බලාපොරොත්තු, අපේක්‍ෂාවන්...... ඒ ආදරය සහ ජීවිතය දිනා දෙන්නට යුධකාමීත්වයට, දේශපාලනයට, රාජ්‍ය නොවන සංවිධානවලට හෝ මාධ්‍යයට නොහැකි බවයි ගීතයෙන් ගම්‍ය වනුයේ... සැබෑවත් එයම නොවේද?

මාධ්‍ය අද කොතරම් නම් ජීවිත වල්මත් කරනවාද? ජීවිත විනාශය කරා රැගෙන යනවාද? යුද්ධය නිසා, අදූරදර්ශී දේශපාලන කටයුතු නිසා කොතරම් නම් මිනිසුන් පීඩාවට පත් වනවාද? ප‍්‍රශ්නවලට විසඳුම්, සහන රැගෙන එන මුවාවෙන් බලගතු රටවල් කොතරම් දුප්පත් රටවල් තම ග‍්‍රහණයට ගන්නවාද? සූරා කනවාද?

දැලිපිහියෙන් කිරි කන තරමට ජීවිතය අවිනිශ්චිත වී ඇති සමාජයක විශ්වාසය තැබිය යුත්තේ කා කෙරෙහිද? අනුගමනය කළ යුත්තේ කාවද? පිළිපැදිය යුත්තේ කවර ප‍්‍රතිපත්ති මාලාවක්ද? මේ අද අප හමුවේ ඇති විශාල අභියෝගයකි. යා යුතු මග හෙළි පෙහෙළි කර ගත යුත්තේ අප විසින්ම ය.  ඒ සඳහා සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුය. අවදියෙන් දිවි ගෙවිය යුතුය. දැනුම ප‍්‍රඥාව සොයා යා යුතු ය. යොවුන් පියවර ඒ සඳහා ඔබට අත්වැලක් වන බව නිසැක ය.

2013 ජුනි

No comments:

Post a Comment