February 11, 2014

අපි අප ගැන ම විශ්වාස කරමු.





‘‘ දෙමළ අපේ සංස්කෘතියට අනුව මගේ පුතාට වගේ මරණයක් සිදු වුණාම දවස් 30 ක් යන තුරු ගෙදර කෑම උයන්නෙ නැහැ. ඒ නිසා අපේ අසල්වැසි දෙමළ පිරිස් අපට කෑම දෙන්න පටන් ගත්තා. හමුදාව ගිහිල්ලා ඒ අයට තර්ජනය කළා. ඊටපස්සෙ අපේ අසල්වැසි සිංහල පිරිස් ඉදිරිපත් වුණා ඒ දවස් 30 ඉවර වෙනකම් අපට කෑම උයල දෙන්න. සිංහල පිරිස් හැම හවසකම අපේ ගෙදර ඇවිත් පැය දෙක තුනක් ගත කරල ගියා. අපේ ජීවිතේ තියෙන තුරු අපේ පවුල ඒ සිංහල අසල්වැසියෝ අමතක කරන්නෙ නැහැ. අප ඔවුන්ට සදා ආදරය කරනවා.

අපට ත‍්‍රිකුණාමලයෙදි සිංහලයන්ගෙන් කරදරයක් තිබුණේ නැහැ. සිංහල ජනයා හදවත් තියෙන හරි හොඳ මිනිස්සු බව අප දන්නේ අත්දැකීමෙන්. මං ඉපදුණේත් සිංහල පළාතක. මගේ පියාට සිංහල දේශපාලන වගේම ව්‍යාපාරික මිත‍්‍රයින් හිටියා. 

අපි හැමෝම සිංහල, දෙමළ, මුස්ලිම් කියල වෙනසක් නැතිව එකිනෙකා ආශ‍්‍රය කරන්න  ඕන. දැන් මට සිංහල ටිකක් අමතක වෙලා. එංගලන්තේ ඉන්න නිසා. අපි අපේ භාෂා ඉගෙන ගන්න  ඕනෑ. රටේ හැමෝටම සිංහල දෙමළ පුළුවන් නම් අපේ රට කොච්චර වෙනස් රටක් වේවි ද? ඒ කියන්නේ එකිනෙකාගේ දුක සැප සහ අපේක්‍ෂා බලාපොරොත්තු තේරුම් ගන්න පුළුවන් නම්...!!! අප දේශපාලඥයන් ගැන විශ්වාසය තියනවාට වඩා අප ගැනම විශ්වාස කරගෙන තමයි ශ‍්‍රී ලංකාව මිනිස්කම අගයන හැම මිනිසෙක්ම සමාන ලෙස සලකන සුන්දර රටක් බවට පත් කරන්න පුළුවන්... මගේ පුතා රජීහර් වෙනුවෙන් මගේ පැතුමත් ඒකයි...’’

( 2013.11.03 රාවය පුවත්පතේ පළ වූ සංවාද සටහනින් උපුටා ගැණිනි. )

මේ විදිහට පවසන්නෙ දමිළ තාත්තා කෙනෙක්... තම පුතාගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉටු නොවූ තැන, උපන් බිමෙන් පිටුවහල්ව දිවි ගෙවන්නට සිදු වූ තාත්තා කෙනෙක්.. තම පුතු ඇතුළුව අහිංසක සිසුන් පස්දෙනෙකු නිකරුණේ මරා දැමීම ගැන යුක්තිය අයදිමින් වසර හතක් පුරා නොනවතින අරගලයක නිරත වෙලා ඉන්න තාත්තා කෙනෙක්... ඔහු මේ සෙනෙහසින් සිහි කරන්නෙ තමන්ගෙ පුතාව මරා දැමු මිනිසුන් අයත් වන සිංහල ජාතිය ගැන.. ලංකා දේශය ගැන... ඒ වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් මහතා. මේ වන විට ඔහු ජීවත් වෙන්නෙ එංගලන්තයේ... 

2006 වසරේ ජනවාරි දෙවෙනිදා ත‍්‍රිකුණාමලයේදී අවිහිංසාවාදයේ පියා ලෙස විරුදාවලී ලත් ගාන්ධි පිළිරුව අසල දමිළ සිසුන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා. එය රජයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ බවයි කියැවුණේ. ඒ අතර සිටි මනෝහරන් රාජිහර් වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් මහතාගේ පුතා. මේ ඝාතනය සම්බන්ධයෙන් නඩු පැවරුණත්, ආරක්ෂක අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගත්තත් එය තවමත් කෙළවරක් නොදකින, සාධාරණයක් ඉටු නොවුණ ඛේදවාචකයක් පමණයි..

‘‘මගේ පුතා ඝාතනය කිරීමෙන් පසුව එළඹෙන හැම නත්තලක්ම, හැම අළුත් අවුරුද්දක්ම මටත් මගේ පවුලේ අයටත් ඉතා දුෂ්කර කාලසීමාවක්..’’  

යුද්ධය, ජනවාර්ගික ගැටලූව නිසා නත්තල, නව වසර කඳුලින් සුසුමින් ගෙවා දමන තව කොතරම් මිනිසුන් අප අතර සිටිනවාද? ඒ සිත්තුළ සංහිඳියාව, සැනසීම ඇති කරන්නට පශ්චාත් යුධ සමයේ අප ගෙන ඇති ක‍්‍රියා මාර්ග සමත් වී තිබෙනවාද


හදවතේ තුවාලය කොතරම් දරුණු වුවත් මනෝහරන් මහතා තවමත් තමා උපන් බිමටත්, සහෝදර සිංහල ජනතාවටත් ආදරය කරනවා. ආදරය, සාමය, නිදහස පිරුණු අළුත් දේශයක් ගැන තවමත් ඔහු බලාපොරොත්තු පොදි බඳිනවා. අයුක්තියට, අසාධාරණයට, කෲරත්වයට එරෙහිව සටන් වදින ඔහු මනුෂ්‍යත්වයට පෙම් බඳිනවා.... මනුෂ්‍යත්වය, ආදරය කිසිදිනෙක නොසිඳෙන උල්පත් බව නැවත නැවතත් පසක් වෙන්නෙ මෙවැනි දයාබර මිනිසුන් නිසා... 

ඉදින්, මේ නව වසරේ ප‍්‍රඥාවේ පහන් දල්වමු, පේ‍්‍රමයෙන් ලෝකය ආලෝකමත් කරමු. අළුත් අහසක්, අළුත් පොලවක් වෙනුවෙන් එක්ව වැඩ කරමු.

2014 ජනවාරි

No comments:

Post a Comment