May 11, 2014

සිත් යා කරන සප්තස්වර....


 
පසුගිය වසරේ දුරුතු මහේ සතිඅන්තයක අපි යාපනේ ගියා. සංචාරයකට නෙවෙයි. ළමා එකමුතු කරන තරුණ පිරිසක් සමඟ නායකත්ව පුහුණු වැඩමුළුවකට.. ඒ ගමනේ හදමත කැටයම් වූ සුන්දර අත්දැකීමක් මේ..

කොළඹින් පිටත් වූ වෑන් රථයට යාපනයේදී එක් වුණා දෙමළ සොයුරන් තිදෙනෙක් සහ මන්නාරම සිට පැමිණි තවත් දෙමළ සොයුරියන් දෙදෙනෙක්.. යාපනය බස් නැවතුමට අපි ගියේ වව්නියාවේ සිට පැමිණි කන්‍යා සොයුරිය ඇතුළු නඩය හමුවන්න... එතැනත් දහයක් පමණ... දැන් වෑන් රථයට නම් හුස්ම ගන්නත් බැරි තරම්.

‘‘ අනේ  ෆාද මේ දරුවො පැය තුනක්ම බස් එකේ හිටගෙන ආවා” සිස්ට කිව්වෙ දොම්නස් හැඟීමෙන්... ෆාද අසීරුවක...

‘‘ අපි පුංචි කැපකිරීමක් කරමු නේද, ඔයාලට පුළුවන්නෙ බස් එකේ එන්න. මම මේ කට්ටියව වෑන් එකේ අරන් යන්නම් ‘‘ ෆාද අපෙන් ඇහුවා. කට්ටියම එක පයින්. වෙනස් අත්දැකීමක්නෙ.

තනියට මන්නාරමේ නංගිලා දෙන්නා සහ යාපනයේ රොෂාන් මල්ලී ආවා. අපේ ගමනාන්තය වුණේ පණ්ඩිතිරිප්පු දහම් මධ්‍යස්ථානය. ඒ පැත්තට යන අන්තිම බස් එක. පොල් පටවල වගේ සෙනඟ. අපිත් පැටවුණා. කෝච්චිවල තදබදයත් හුරු වෙලා නිසා ඒ තරම් ගාණක් උනේ නැහැ. බස් රථය පිටත් වෙද්දි හතයි... හොඳටම කරුවල. මා අසලම අසුනේ දෙමළ තරුණයෙක්. පිපිරෙන්නට ආසන්න මුහුණකින්. සිංහල අපි ගැනද, ප‍්‍රශ්නයක්....? නමුත් ඒ අපමණක් රිදුම් දුන් ජීවිතයකින් උපදින අප‍්‍රසාදයක් විය හැකියි. මුල් වරට හිතට බියක් ඇතුළු උණා.. තවමත් හොල්මන් කරන අවිශ්වසනීය සංකාවන්. අතක් පයක් හොලවන්නවත්, හෙළවෙන්නවත් බැරි තත්වයක මන්නාරමේ නැගණියන් මා අසලම සිටීම සහනයක් උණා... සැබවින්ම.

බියමුසු හැඟීම් හිත මත බරට පැලපදියම් වෙමින් තියෙන මොහොතකයි, හුරුපුරුදු දෙමළ ගීතයක මිහිරි ස්වරය පෙට්ටි බසයේ ගාලගෝට්ටිය අතරින් මිදිල හිත ළඟ නතර වුණේ. එයින් හදවත සන්සුන් වුණේ පුදුම විදියට.... ‘‘ වා වෙන්නිලා උන්නතානේ....‘‘ එස්. පී. බාලසුබ‍්‍රමනියම්ගේ හඬ. මම ආසම ගීතයක්, එකම වදනක් හෝ නොතේරුණත්... පසුවයි මා එහි අර්ථය සොයා ගත්තෙ.

‘‘එන්න සඳ.... මේ අහස ඔබව බලාපොරොත්තුවෙන් හිඳිනවා...
වළා සළුවෙන් මුව මඩල වසාගෙන ඇයි මෙසේ ඈත්ව යන්නේ...‘

සැනෙකින් අඳුරු වළා, බිය සංකා සියල්ල දුරු වී ගියා. සියුමැලි ගීතයකට පුළුවන් කාන්තාරයකදි උණත් සිහිල් දිය කඩිත්තක සුවය දෙන්න...

‘‘ නල්ල සෝන්ග්. අයි ලයික් ඉට්” මගේ හඬට ලක්ෂණාගේ සහ රොක්සිගේ තිලක තැබූ මුහුණු විකසිත උණා... දෙමළ ගීතය කෙරෙහි මා දැක්වූ ප‍්‍රසාදය ඔවුන් සතුටින් පිරවූ බව මට දැණුනා.

සංගීතය විශ්ව භාෂාවක් එය විඳින්නට මනුෂ්‍ය භාෂාව බාධාවක් නොවෙයි. හදවත් යා කරන්නට සංගීතයට, ගීතයට කළ හැකි මෙහෙවර කොතරම්ද? මට සිතුණා. පොදුවේ කලාව සාහිත්‍යයට මනුෂ්‍යත්වය ඉහළ නංවන්න විශාල මෙහෙවරක් කළ හැකියි. එහි විවාදයක් නැහැ. අපි කොතරම් දුරට එයින් ඵල ප‍්‍රයෝජන ගන්නවාද යන්නයි ගැටලූව.

ඉන් අනතුරුවත් පැරණි දමිළ චිත‍්‍රපට ගී සමූහයක් රෝසා බස් රථයෙන් මිදී අන්ධකාර අවකාශය තුළ පියාසර කළා. ගමනේ අසීරුව මැකී ගියා. බස් එක යනවා යනවා... අපිත් සිංහලෙන්, දෙමළෙන්, අංගචලනයන්ගෙන් කතා බස් එකේ නැගල ගියා.

‘‘කොහෙද මේ යන්නෙ’’ එක් තාත්ත කෙනෙක් කැඩුණු සිංහලෙන් ඇහුවා.. අම්මේ දැණුනු සහනයක්. සිංහලෙන් කතා කරන කෙනෙක් හමු වුණා බස් එකේදී. අහිංසක හිනාවක් තිබුණ ආදරණීය දෙමළ තාත්ත කෙනෙක්. අපව සත පහකට ගණන් නොගත් රවා ගත් මුහුණු කිහිපයක් අතර ඒ හිනාව කැපිල පෙණුනා...
ඒත් කාටවත් දොස් කියන්න බැහැ. සිංහල අපේ අත්වල ලේ ගෑවිලා.. අපි ඒ හිත්වල සැනසුම වෙනුවෙන් මෙතෙක් කර ඇති වැඩ කොටස ගැන සෑහෙන්නෙ කොහොමද? වරදකාරී හෘදය සාක්ෂියකින් පැන නැන රිදුමක් මිස මට කා ගැනවත් අමනාපයක් දැණුනෙ නැහැ.
 
2014 wfm%a,a

 

 

මුනිවත ද ගොළු විය එසැණෙහි..



හමුවිය ඔහු මට

අඳුරු වැහිබර සැඳෑවක

දෙව් මැදුරු දොර අබියස

ඒ දේශද්‍රෝහී මිනිසා...

පාළුකරයේ සිට

පීඩිතයින්ට යුක්තිය ඉල්ලා

මොර ගැසූ මිනිසා...


සැප දුක කෙලෙසදැයි

විමසනු ඉතින් කුමකට

වුවනත ම ගුප්ත කවියකි

පිලාත්තු අධිකරණයෙහි

ගෙවී ගිය විත්තිමය හෝරාවන්හි

භයංකර ශෝකාලාපය ලියැවුණ...

ගල්ගැහුණු නිහඬතාවය පතුළ කිමිදී

අත ගා බලා සොයා පහදා හදවත

දිග හරියි ඔහු මා අබියස....


zzසත්‍යය නම් මෙයයි

අතැඹුලක් සේ රුවා අත්ලෙහි

භයංකර උකුසු ඇස් විදාගෙන

ඔවුහු මා විමසූහ...

ඉදින් සැබවින්ම සත්‍ය යැයි

මා ඇදහූ සත්‍යය

උකුසු නිය පහරට හසුව

පෑරී ඉරී වැහැරී

මියැදෙන අයුරු දුටුයෙමි

මුනිවත ද ගොළු විය එසැණෙහි..
 

උස් අසුන් අරා වැජඹෙන

පිලාත් උතුමෝ

සෝදා දෑත

පිසදා ධවල පිළියෙන්

මා ඇමතූහ..


z... පැවසිය හැකිය ඔබට

දෙවියන් ගැන

දෙවියන්ගෙ ආදරය ගැන

දේව රාජ්‍යය ගැන...

නමුත්

කිසිවිටක නොපැවසිය යුතුය

මිනිසුන් ගැන

මිනිසුන්ගෙ පීඩනය ගැන

මිනිස් රාජ්‍යය ගැන...‘

අගුළු ලා මුවට

ගසා දේශද්‍රෝහී ලේබලය

ඔවුහු මා මුදා හැරියහ..


ඉනික්බිති, සුසුමකි...


දේව¥තයන් පවා

විපිළිසර මොහොතක

දෑසින් දෑස විමසා

හදින් හද නොවිමසා

ගොළු වීමු අපි....


ප‍්‍රවේසම් විය යුතු නොවෙද

දේශපේ‍්‍රමීන් හැමතැනම...


 
වමත් අවි අමෝරා ගැනෙති. අවි ගැටෙති. උණ්ඩයට බිලිවෙති. චෝදනා, ඇණුම් බැනුම්, තර්ක විතර්ක හිගයක් නැත. හදිසි නීතිය, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත මෙකී නොකී බොහෝ අණපණත් මුවාවෙන් මිනිස්සු සිරභාරයට පත් කෙරෙති. පීඩාවට පත් කෙරෙති. ජාති, ආගම්, පක්ෂ භේද මවමින් තව තවත් මිනිසුන් වෙතින් මනුෂ්‍යත්වය දුරු කෙරෙන තැනට වැඩ සිද්ධ වෙමින් පවතී. යුද්ධය නිම වී යැයි උදම් ඇනුව ද සාමය කොතරම් අප වෙතින් දුරස්දැයි යන්නට නිදසුන් මෑත ඉතිහාසය තුළම වුව කොතරම් ද?

සාමය හුදු වචනයක් පමණම නම් උතුරු මිතුරු යන්න සිහිනයක් ම පමණක් ද? නමුත් සාමය ඇති කරන්නෝ භාග්‍යවන්ත වන බව ද, ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් වන බව ද කිසිවිටක අප අමතක කළ යුතු නැත.  
 
2014 ජුනි

සිඟිති සිතුවිලි...



‘‘මංඤ්ඤම්මෙ.... අම්ම මොකක්ද කිව්වා.. මං ඒක දන්නෙ නෑ...’’
පුංචි සාරා වැට ළඟ ඉඳන් කෑ ගැහුවා එයාගෙ මංඤ්ඤම්මට. සාරා තවම මොන්ටිසෝරි යන පුංචි පැංචියෙක්. හරියට ජපන් බෝනික්කියක් වගේ. හුරුබුහුටියි. හරි හුරතල්. එයා ඉන්නෙ අම්මයි, ආච්චි අම්මයි එක්ක... එයාගෙ තාත්තා පුංචි සාරවයි අනිත් හැමෝවමයි දාල ස්වර්ගෙට ගියේ සාරට මාස අටක් වෙද්දි.. සාරාගෙ මංඤ්ඤම්මා තමයි චූටි මිමීගෙ මම්මා.
ඔයාලට මතකයි නේද චූටි මිමීගෙ මම්මව? සාරාගෙ තාත්ත තමයි ඉතින් චූටි මිමීගෙ මම්මව සාරාගෙ මංඥම්මා විදියට තෝර ගත්තෙ. හරියට ‘‘මං ඉක්මණින්ම මේ ලෝකෙ දාල යනවා මගෙ පුංචි මැණික් කැටේ ආදරෙන් බලාගන්න’’ කියනවා වගේ.


චූටි මිමීගෙ මම්මා දැනටමත් දරුවො නවදෙනෙක්ගෙ මංඥම්මා වෙලා. ඔයාල දන්නවද කවුද මංඤ්ඤම්මා කියන්නෙ කියල. ඉංග‍්‍රීසියෙන් නම් කියන්නෙ  God Mother කියල. ඒ කියන්නෙ දේව අම්මා. දරුවෙක් ක‍්‍රිස්තියානි කරන මොහොතෙදි අම්ම තාත්ත වගේම දරුවන් හොඳින් රැක බලා ගන්නවා කියල දෙවියන් ඉදිරියෙ පොරොන්දු වෙන කැපකරු මව්පියන් තමයි මේ දේව අම්මත්, දේව තාත්තත්..

මංඤ්ඤම්මාගෙ ගේ තියෙන්නෙ සාරාගෙ ගේ ළඟමයි. ඒත් ඉතින් මංඤ්ඤම්මා හැමදාම ගෙදර නෑ. එයා ඈතක වැඩ කරන්නෙ. සතිඅන්තෙ විතරයි ගෙදර එන්නෙ. ඒ ආවම එයාගෙ තනි රකින්නෙ චුටි මිමීයි, සාරා යි තමයි. එයාලට එකතු වෙනවා තව අසල්වැසි දියණියකුත්. වෙලාවකට සුරංගනා ලෝකයක්.. හැබැයි තවත් වෙලාවකට දරුණු කුණාටුවකට අහු වුණා වගේ තමයි. මේ පුංචි සුරංගනාවියො මම්මගෙ ගෙදරින් යන්නෙ ගේ පුරාම හැඩි කරලා. මම්මට වැඩ වැඩි කරලා. ඒත් මම්මට ඒව ගාණක් නෑ. එයා ඒ තරම්ම පුංචි අයට ආදරෙයිනේ... අනික පුංචි දරුවො ඉන්න ගෙදරක පිළිවෙල කියන්නෙම හැමතැනම හැමදේම විසිරිලා තියෙන එකට තමයි. බිත්තිවල බලිරූප, බිම පුරා සෙල්ලම් බඩු. වරදින්න විදිහක් නැහැනෙ. 


 වැට ළඟ ඉඳන් සාරා කෑ ගැහුවම එයා ළඟට ගිය මංඤ්ඤම්මා සාරාගෙ පුංචි අතින් අල්ලගෙන එයාගෙ ගෙදරටම ගියා. ගිහින් අම්මගෙන් ඇහුවා මොනවද ගේන්න කිව්වෙ කියල... අම්ම ගේන්න කියල තියෙන්නෙ රේක්කෙ. ඉතින් සාරට අමතක වෙලා තියෙන්නෙ ඒ වචනෙ තමයි. රේක්කෙ කියන එක නිතර පාවිච්චි වෙන වචනයකුත් නෙවෙයිනේ.. ඒ නිසා සාරට අමතක වෙන්න ඇති.


ඔන්න ඉතින් සාරයිමංඤ්ඤම්මයි අත් අල්ලන් ආපහු ඇවිදින් රේක්කෙත් අරන් යනකොට අහස් යන්තරාවක් ඒ කියන්නෙ ප්ලේන් එකක් පාතින් ගියා. සද්ද දාගෙන. හරියට පොල් ගස් මුදුන්වල ගෑවිල යනවා වගෙයි දැණුනෙ. සාරයිමංඤ්ඤම්මයි ප්ලේන් එක ඈත නොපෙනී යනකල් බලන් උන්නා. මංඤ්ඤම්මා දන්නවා පුංචි අය ප්ලේන්වලට ආසයි කියල.

‘‘ප්ලේන්වලින් අළුත් වලාකුළු අරන් ඇවිත් අහසෙ තියල පරණ වළාකුළු අරන් යනවා...’’ පුංචි සාරා මංඤ්ඤම්මට කිව්වා.


‘‘ආනේ ඇත්තද? කවුද ඔයාට එහෙම කිව්වෙ..’’ මංඤ්ඤම්මත් පුදුමෙන් වගේ ඇහුවා.


‘‘කවුරුත් කිව්වෙ නෑ... ප්ලේන් ඇවිත් යනකොට මං මයි එහෙම කිව්වෙ...’’ සාරා හිනැහිලා බෙල්ලත් ඇද කරලා කියද්දි මංඤ්ඤම්මට හිතුණා කිටි කිටියෙ තුරුල් කරගෙන ඒ රෝස මූණට හාදුවක් දෙන්න.


බලන්න, පුංචි හිත්වල සිතුවිලි කොයි තරම් අපූරුද? අපි හීනෙකින්වත් නොහිතන දේවල් තමයි එයාල හිතන්නෙ. ඒ ලස්සන සිතුවිලි ලෝකෙ වෙනස් වෙන්නෙ වැඩිහිටි අපි ඒ පුංචි හිත්වලට පටවන මහා බර නිසා. ළමයින්ට ළමයින්ගෙ ලෝකෙ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ළමා කාලය හරිම කෙටියි. හැමදාම නැහැනෙ. ඒ ළමා වියේ අහිංසක ලස්සන, පිවිතුරු කම රැක ගන්නයි අපි උදව් වෙන්න  ඕන.


 අළුත් විදියට හිතන්න, ආදරයෙන් ජීවත් වෙන්න අපි දරුවන්ට ධෛර්යය දෙන්න  ඕන.  එවැනි ආදරයෙන් පිරුණු සුන්දර ළමාවියක් ගත කරන දරුවෙක් අනිවාර්යයෙන්ම මානව දයාවෙන් පිරුණු සුන්දර වැඩිහිටියෙක් විදියට ලෝකය ඉදිරියට ඒවි.    
2014 මැයි