February 11, 2014

මිලින මල් කැකුළිය ප්‍රශංසනී...



ඈ දමිල බසින් ''ප‍්‍රශංසනීය'' යන අරුත් දරන්නී ය. සිඟිති මල් කැකුළියකි. යාම්තමට සවැනි විය පසු කළා පමණි. යුද්ධයෙන් නටබුන් වූ ගම් පියසක අප්පා නැති පැලේ සොයුරු සොයුරියන් තිදෙනෙකු සමග දුක් දහසක් මැද දිවි ගෙවන්නීය. යුද්ධයෙන් නූලෙන් ගළවා ගත් දිවිය ඇදගෙන යාමට වෙහෙස වන දිරිය මවගේ සෙවණ පමණි ඔවුන්ට ඇති එකම රැකවරණය.

මින් මාස තුනකට එපිට ඉර ගිනිගත් මධ්‍යහ්නයක පාසැල නිමවී පැමිණෙමින් සිටිය දී මේ සිඟිත්තිය අධිකතර  ලිංගික පිපාසාවෙන් පෙළෙන්නෙකුගේ කුරුරි ග්‍රහණයට හසු වූවාය. අතුරුදන් වූ දියණිය සොයා යන මවට හමු වූයේ මල් කැකුලක් නොව අනේක වධ බන්ධනයන්ට හසු වූ ලේ වැකුණු වධ මලකි. මරුවා සමග සටන් වැද ඇය පණ නළ රැකගෙන සිටියා ය. 

''පොලිස් මාමා ... පොලිස් මාමා'' පොලිස් මාමා කෙනෙකු ටොෆියක් දී රැගෙන ගිය බව ඇය යම්තමින් කියා ගත්තාය. ගම්වාසීන්ද, ආගමික ආයතනද, රාජ්‍ය නොවන සංවිධාන ද මැදිහත් විණි. ඉදින් ඒ පොලිස් මාමා සොයා යන්නට පොලිසියට සිදු විය. අවසන ඒ පොලිස් මාමා හමුදා සෙබළෙක් බව අනාවරණය විය. නීතිය ක‍්‍රියාත්මක කළ යුතු තැනටම ගෙනෙන්නට ගම්වාසීන්ගේ මැදිහත් වීම ප‍්‍රබල විය. නමුත් තවමත් එය ඉබි ගමනේ ය. දැරියට සිදු වූ සාධාරණයක් නැත.

මේ සිදුවීමේ දී මතු වන ප‍්‍රබල කරුණු කිහිපයකි.

උතුරේ වුව, දකුණේ වුව දුප්පත් අසරණ ජනතාවට සිදු වන අයුක්තිය, අසාධාරණය හමු වේ ඒ මිනිසුන් තුළින්ම ප‍්‍රබල හඬක් නොනැගුණි නම් නීතියේ ¥තිකාවට ඇස් වසාගෙනම සිටින්නට සිදුවේ. එනිසා එක්සත්ව, එක්සිත්ව තමන්ට සිදු වන අසාධාරණයන් හමුවේ හඬක් නැගීම යුගයේ අවශ්‍යතාවයකි. දකුණේ වුව කාන්තාවන්, දරුවන් දුෂණය කළ අය නීතියේ රැහැනින් මිදී වැජඹෙන සිදුවීම් මෑත කාලයේ සුලබ විය. 

උතුරේ මෙවැනි සිදුවීම හෙළිදරව් වනවාට වඩා සිදු වන්නේ යටපත් කර දැමීම ය. සදාකාලික වේදනාවන් සිත්වල ඉතිරි කොට කාලයේ වැලිතලාවෙන් වැසී යාම ය. සිදු වන සාධාරණයක් නැත. මේ පිළිබඳ පැහැදිලි අත්දැකීම් දකුණේ ද  ඕනෑ තරම් ඇත. එනිසා දැන් සියල්ල සන්සුන්යැයි, සාමකාමී යැයි, සුන්දරයැයි සිහිනයක අප වෙළී සිටින්නේ නම් එය මායාවකි. මුලාවකි. 

මානුෂික මෙහෙයුම් සිදු කළ රණවිරුවන් අතින් මෙවැනි සිදුවීම් සිදු නොවූ බව/ සිදු නොවන බව රජය පුන පුනා කියමින් සිටින්නේ ය. ආරක්‍ෂක අංශ වෙතින් සාමාන්‍ය ජනයා වෙත එල්ල වන මෙවැනි පීඩාවන් සඟවා තැබීමෙන් සිදු වන්නේ තත්ත්වය තව තවත් දරුණු වීම පමණි. දීර්ඝකාලීන යුද්ධයක නියැළී සිටි අවි ගත් පිරිස් යුද්ධයකින් පසුව සමාජගත කිරීමේ දී ඔවුන් මානසිකව, අධ්‍යාත්මිකව සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය වන්නේය. 

පුනරුත්ථාපනය කළ යුත්තේ එල්ටීටීඊ සාමාජිකයින් පමණක් නොවේ.  සොල්දාදුවන්ට පවා මානසික විශෝධනය අත්‍යවශ්‍යය. සිරගත හැඟීම්, පීඩනයන්  ( ලිංගිකත්වය, වේදනාව, වෛරය, හුදකලාව....) තුළින් නිදහස් වීමේ අවස්ථාව ඔවුනට ලබා දිය යුතු අතරම, ඒ සඳහා අධ්‍යාත්මික මඟ පෙන්වීමක්ද අවශ්‍යය. 

උතුරට පමණක් නොව දකුණටත් වසන්තය උදා වන්නේ අධ්‍යාත්මික, මානුෂීය, සමාජයීය සංවර්ධනයකින් මිස භෞතික සංවර්ධනය තුළින් පමණක් නම් නොවේ.

2013 ඔක්තෝම්බර්

No comments:

Post a Comment