February 11, 2016

අප ම වැපිරූ ඛේදයේ අස්වැන්න


පුංචි දැරියක් ඈ.. ළමා නිවාසයක කන්‍යා සොයුරියන් ඇසුරේ හැදෙන වැඩෙන. පරිවාසය හරහා ළමා නිවාසයට බාර වුණු ඇයගේ වගතුග කිසිවෙක් දන්නෙ නැහැ. ඇය කතා කරන්නත් නැහැ. ඉතින් ඇයට නමකුත් නැහැ. ළමා නිවාසයේ දැරියන්ට සංගීතය උගන්වන්න එන තරුණිය නන්දිතා. දැරිය ඇයව දකින්නෙ තමන්ගෙ අම්මා විදියට.

ඇය මුලින්ම කතා කරන වචනයත් එයයි "අම්මා..."

නන්දිතා පුංචි දැරියට නමක් දෙනවා. ඒ තමයි "තාරා"

මේ කතාව දිග හැරුණෙ "තාරා" ටෙලි නාට්‍යයේ. කොටස් තිහකින් යුතු එය ස්වර්ණවාහිනියෙ සෙනසුරාදා රාත‍්‍රී විකාශය වී අවසන් වුණා. අන්තර්ජාලය හරහා "තාරා" ඔබට නැරඹිය හැකියි. යුද්ධය සහ පශ්චාත් යුදසමය, ඒ අතර මනුෂ්‍යත්වය ආදරය ගැන ඉතාම ගැඹුරින් සහ සංවේදීව සාකච්ඡාවූ මෙවන් ටෙලි නාට්‍යයක් මෑතක විකාශය වූ බවට මට මතකයක් නැහැ. තිර රචනය නාමල් ජයසිංහ. අධ්‍යක්ෂණය ආනන්ද අබේනායක.

නන්දිතා තාරාට හදවතින්ම බැඳෙනවා. ඇයට උවමනා වෙනවා තාරාව තමන්ගේම දියණිය විදියට හදා වඩා ගන්න. ඇය ඒ වෙනුවෙන් තම මව්පියන්, තම පෙම්වතා, පෙම්වතාගේ සිංහල බෞද්ධ කුලීන මව්පියන් සමඟ නිරන්තර අරගලයක යෙදෙමින් වෙහෙස දරමින් ඉන්න අතර දැරියගේ සැබෑ මව්පියන් ළමා නිවාසය සොයා ගෙන එනවා. ඒ යුද්ධයෙන් පීඩාවට පත් වුණු තරුණ දෙමළ මවක් සහ පියෙක්. ඇයගේ සැබෑ නම ‘‘යාතිබවත් යුද්ධය අතරතුර පියා ආබාධිත වීමත්, දැරිය මිය ගියා යැයි අනුමාන කිරීම නිසා දැරියව මග හැරී යාමත් ගැන කරුණු අනාවරණය වෙන්නෙ ඉතාම අනුවේදනීය ආකාරයෙන්..

දැරිය තම රැකවරණයට ගැනීමට පෙරුම් පුරන නන්දිතා සහ අසරණ දමිළ යුවළ අතර ඇති වෙන්නෙ අතිශය මානුෂීය ගැටුමක්. මේ අතර නිතර නිතර සිහිසුන් තත්වයට පත් වෙන තාරා වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරන වෛද්‍යවරයා පවසන්නෙ ඇයට හදිසි සැත්කමක් කළ යුතු බව. ඇයගේ හිසේ යකඩ කැබලි දෙකක් ඇති බවත්, ජීවිතය බේර ගන්න නම් එක් කැබැල්ලක් ඉවත් කළ යුතු බවත් වෛද්‍යවරයා පවසනවා.

‘‘අපි මුලතිව් ඩොක්ට. මේ යුද්දෙ අන්තිම කාලෙ. හැම තැනම බ්ලාස්ට් වුණා. කොහෙ දුවන්නද කියල අපි දැනගෙන උන්නෙ නෑ. හොස්පිට්ල් තිබුණෙත් නෑ. රෙඩ් ක්‍රොස් එකේ අයත් ගියා. අපි දිව්වා ඩොක්ට..

ශල්‍ය කර්මයට අවශ්‍ය මුදල දෙන්නෙ නන්දිතා සහ ඇගේ මව්පියන්. පන්සල්, පල්ලි, කෝවිල් යමින් දැරියගේ සුවය වෙනුවෙන් ඔවුන් දෙවියන් බුදුන් යදින්නෙ එකටම. අඬන්නෙ, ජීවිතය බෙදා ගන්නෙ එකටම. ක‍්‍රමයෙන් මේ දමිළ යුවළ සහ නන්දිතාත් ඇගේ පෙම්වතාත් අතර බැඳීම තහවුරු වෙමින් මනුෂ්‍යත්වය අවදි වන ආකාරය, එකිනෙකාට උදව්වන ආකාරය හරිම මානුෂීයව සහ සංවේදීව දිග හැරෙනවා. ජාති, ආගම් භේද ඉක්මවන මනුෂ්‍යත්වය කොතරම් අපූරුද?  

‘‘මට පුළුවන් වුණා නම් ඔය ඔපරේෂන් එකට කැමති වෙන්නෙ නෑ මැඩම්. ඒත් අපට කොහෙන්ද එච්චර හයියක්. මට මගෙ දුවව තවත් කපන්න කොටන්න  ඕන නෑ මැඩම්. අපේ ආයෙ මොනවද කපන්න කොටන්න ඉතුරු වෙලා තියෙන්නෙ. කමක් නෑ. දැන් සිහිය නෑනෙ..‘‘

එහෙම කියන්නෙ දැරියගේ තාත්තා යෝගා.

‘‘මට මේක තවත් දරාගන්න බෑ. මට බයයි. අපේ දුව ආයෙත් අපට නැති වෙයි කියල. අපිට හැමවෙලේම මොනව හරි නැති වෙයි කියල හිතෙන එක නවතින්නෙ නැද්ද? “

එහෙම අඬා වැටෙන්නෙ දැරියගේ අම්මා මනෝ.

දින කිහිපයකට පසුව සිහිය එන තාරාට කිසිවක්ම මතක නැහැ. කිසිවෙක්ම මතක නැහැ. ඇයට ඇගේ මව්පියන් හෝ ඇය මහත් ආදරයෙන් අම්මා යැයි කියූ නන්දිතා හෝ ළමා නිවාසයේ දී ඇය රැක බලා ගත් පැවිදි සොයුරිය හෝ මතකයට එන්නෙ නැහැ. ඇය සියල්ලන් දිහා බලන්නෙ හිස් බැල්මකින්. තාරාගේ අයිතිය වෙනුවෙන් අරගල කළ අයට අවසන හිමිවෙන්නෙ ඒ හිස් බැල්ම පමණයි. යුද්දයෙන් දිනා ගත හැකි දේ කුමක්ද? ‘‘තාරා‘‘ නාට්‍යෙය් අවසානය ඒ හිස්කම තීව්ර කරනවා.  



‘‘යුද්දෙ දින්නා... කවුද?“

‘‘අපි!! කවුද කියල අහන්නේ?“

‘‘අපි!! කවුද අපි? අම්මෙ දකුණෙ හැම සිංහල ගමකටම මිනී පෙට්ටියක් ආවා. දෙමල කොල්ලො කෙල්ලො කී දෙනෙක් නම් මැරෙන්න ඇද්ද? දැන් කවුද අපි? හැම දුප්පත් පවුලකටම මිනියක් ලැබුණා. කවුද යුද්දෙ දින්නෙ. දැන් කවුද අපි?‘‘

තාරා දැරිය හිස් බැල්මෙන් අප දෙස බලා සිටිනා අවසන් රූප රාමුව සමඟ සටහන් වන්නේ මේ වදන් පෙළ... 

‘‘අතීත පරම්පරාවල් වැපිරූ අපේ පරම්පරාව නෙළා ගත් ඛේදයේ අස්වැන්න...

ඒ ඛේදයේ අස්වැන්න ඉදිරි පරම්පරාවලටත් උරුම කර දෙනවාද යන්න අපි වගකීමෙන් සිතා බැලිය යුතු නොවේද?

2016 මාර්තු