February 12, 2014

ගුරුතුමනි ඔබේ හදවතයි...

 
By Johann Georg Meyer Von Bremer

ශිෂ්‍යාව
ගුරු ගෙදර පිපෙන මල් සේරම
සුවඳ කරන ආදරේ.... ගුරුතුමනි ඔබේ හදවතයි...
ගුරුතුමා
මල් සුවඳ කරන්නට දිරි දෙන
උල්පත ඒ ආදරේ.... දියණියනි ඔබේ හදවතයි...

ශිෂ්‍යාව
දුක් කඳුළු එකතු කරගෙන... මුතු මැණික් තනන අන්දම
ඔබ කියා දුන්නු හින්දා....

ගුරුතුමා
පුරහඳක් වගේ දිලිහෙන හැටි... බලන් ඉන්නෙ තනිවමයි
සතුටු කිරුළ හිස ලා....

ශිෂ්‍යාව
හොඳ හිතක් ළයේ නැත්නම්.. පටපිළී බරණ කුමටද
ඔබ කියා දුන්න තාලේ....
ගුරුතුමා
ඒ උවම් හිතට අරගෙන... ජීවිතේ දිනන යුතුකම
සුරකින්න මගේ දියණී...

ගායනය           :-          කරුණාරත්න විජේවර්ධන, කේතකී සුරවීර
පද රචනය        :-          සුගත් සෝමවීර
තනු නිර්මාණය :-          සුනිල් දයානන්ද කෝනාර

සොඳුරු නව යෞවනය ගැන නිරන්තරයෙන් අප අතර ඇති සංවාදය නිසාම නව යෞවනය ජීවිතයේ වසන්ත සමය සේම කුණාටු සමය බවද දැන් ඔබ දන්නවා. කුණාටු සමයක ජීවිත නෞකාවේ රුවල නිවැරදිව හසුරුවා ගනිමින් යහපත් ජීවිත අරමුණු කරා ගමන් කිරීම වත්මන් සමාජය තුළ අප හමුවේ ඇති විශාලතම අභියෝගයක්. අධ්‍යාපනය යනු ඒ අභියෝගය ජය ගන්නට අපට ධෛර්යය දෙන එක් මාවතක්.. නමුත් ඒ හුදු විභාග සාමාර්ථය ඉලක්ක කර ගත් විෂය දැනුම පමණක් ලබන අධ්‍යාපනය නොවේ. ජීවිත තක්සලාවෙන් ලබා ගන්නා ජීවිත පන්නරය, ප‍්‍රඥාව හා සංවේදී හදවතයි.

මේ ආදරණීය ගුරුතුමා කියා දෙන්නේ ඒ අපූරු ජීවිත පාඩමයි. ජීවිත පොතින් දැනුම උකහාගෙන ජීවිතය දිනන්නට හැකි මාවතයි. ජීවිතයේ දුක් කරදර, බාධක නිසා උපදින කඳුළු ජීවිත ගමනේ මුතු මැණික් ලෙස බාර ගෙන ඉදිරියට යා යුතු බවයි. මිනිස්කමින් පිරුණු සංවේදී හදවතක්, හොඳ හිතක් නැත්නම් කුමන වස්තුවක් තිබුණද ඵලක් නැති බවයි ගුරුතුමා කියා දී ඇත්තේ. මේ සිසු දියණියට ගුරුතුමා කියා දුන් ජීවිත පාඩම් අමතක වී නැත. ඇය පුරහඳක් ලෙස බැබළෙන්නේ එබැවිනි.

තම දයාබර ගුරුතුමාට ගී උපහාරය පුදන මේ සිසු දියණියගේ මෙන්ම ගුරු ගෙදර අනිකුත් ළමුන්ගේ ජීවිත සුවඳවත් වන්නේ ද, විකසිත වන්නේ ද ඒ ගුරුතුමාගේ අප‍්‍රමාණ ආදරය තුළයි. මෙවැනි ගුරු මව්පියවරුන් අද අප අතර කොතෙක් නම් සිටින්නේද? අප ඒ ගුරු දෙගුරුන්ට කොතරම් දුරට සමීප වන්නේද, විවෘත වන්නේද, ඔවුන්ගේ අවවාද උපදෙස් මැදිහත් සිතින් විමසා බලන්නේද යන්න සිතා බැලිය යුතුයි නේද? මුණින් අතට නැවූ කලයක් මතට  වතුර නොව අමෘතය වුවද කොතෙක් වත් කළත් රැඳෙන්නේ නැත.

ජීවිතය දිනන්නට නම් අප හමුවේ ඇති බාධක, අභියෝග, දුක් කරදර ජීවිතයට ධෛර්යය දෙන මුතු මැණික් සේ බාර ගෙන, හොඳ හිත දියුණු කර ගනිමින් නව යෞවනය ජීවිතයේ වසන්තයම කර ගන්නට අධිෂ්ඨාන කර ගනිමු.

February 11, 2014

සිනාසෙන අපිමයි හඬන්නේ




සිනාසෙන අපිමයි හඬන්නේ
බොළඳ කිරි දරුවන් ලෙසින්
කලල් මැඩ අපිමයි පිපෙන්නේ
සුවඳ සුදු සියපත් වෙසින්

නියඟ ඇවිළෙන අහස නොදනී
දිනෙක මහ වැසි වැටෙනවා
වැටෙන මහ වරුසාව නොදනී
දිනෙක යළි හිරු නැගෙනවා..

පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
පලබරින් අතු ඉති නවා
අමාවක ඝන අඳුර පැන යයි
වඩින පුරපස සඳ බලා...

ගී පද  : කේ.එම්.අයි. ස්වර්ණසිංහ
තනුව  : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ

දින දසුන අළුත් වෙලා.. 2013 පිටමං වෙලා.. 2014 ඇවිදින් ලැගුම් අරගෙන.. ආයෙමත් මුල ඉඳන් ජනවාරි.. පෙබරවාරි... දුරුතු... නවම්... ඒත් නව වසරට ආවෙත් පරණ අපිමයි නේද? ජනේරුදා අළුත් ඇඳුම් පැළඳුම් වගේම අළුත් හිනාවකුත් පළන්ඳන් , Happy New Year සුබ අළුත් අවුරුද්දක්’’ මුව අග තියන් අයිසිං කළ කේක් ගෙඩි වගේ අපි එහෙ මෙහෙ දිව්වා... ඒත් ජනවාරි දෙවෙනිදා වෙද්දි ආයෙමත් පරණ මුහුණුමයි.. පරණ විඩාවමයි... පරණ මැසිවිලිමයි.. පරණ අරෝවමයි.. වතින් මිස සිතින් අළුත් නොවන ලෝකයකට කළල් මැඩ සුදු සියපත් ලෙසින් පිපෙන්නට හැකි බව, පිපෙන්නට අවැසි බව මතක් කර දෙන අපූරු ගීතයක් මේ.

හතරවටින් අහන්න දකින්න ලැබෙන්නෙ සමාජ පරිහානියේ ගන්දස්සාර නිස්සාර අත්දැකීම් බව ඇත්ත. හිත හිරිවට්ටන ඛේදවාචක බව ඇත්ත. නමුත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැරිය යුතුද අප? යහපත් සමාජ පරිණාමයක් වෙනුවෙන් වැඩ කරමින් ජීවිතයට ආදරය කරන අළුත් පරපුරක් බිහි කිරීමේ පරම යුතුකම පැහැර හැරිය යුතු නොවේ. කළල් මැඩ පිපී සුවඳ විහිදවන පියපත් ලෙසින් මනුස්සකමේ සුවඳ විහිදුවන්නට පෙළ ගැහෙමු.

නියංසාය අහවර කරමින්  වැටෙන පොද වැස්ස අපි ම වෙමු.

දෙගොඩ තලා ගලන මුරුගසං වරුසාව කෙළවරක් කරන සූර්ය මන්දස්මිතය අපි ම වෙමු.

අමාවක අඳුරට සමුදෙමින් පායන පුර හඳමඬල අපිම වෙමු.
එක්සත්ව එක්සිත්ව යහසිත් ඇතිව වැඩ කරන නව යෞවනයට මේ උත්තම අරමුණු බරක් නොව බරපතල ජීවන දැක්මක් ම වනු ඇති බව මගේ විශ්වාසයයි. 

2014 ජනවාරි   

අම්මේ මේ කිසිවෙකු හට බෑ මා නළවන්නට උඹ වාගේ


 
By Katie M. Berggren

ආමි නේවි එයාෆෝස්
ඊපීඞීපී, එල්ටීටීඊ....//
මව්බිම නැත්නං මරණය කිව්වත්
පෙලෝ ටෙලෝ සහ කරුණා අම්මාන්
අම්මේ මේ කිසිවෙකු හට බෑ
ජීවිතෙ දෙන්නට වෛරෙන් නොමරා ඔබ වාගේ
අම්මේ මේ කිසිවෙකු හට බෑ
පණක් රකින්නට ඔබ වාගේ.....

එස් එල් එෆ් පී, යූ එන් පී
එල් එස් එස් පී, එන් එස් එස් පී....//
ජේ එච් යූ සහ ජේ වී පී
ඒ ටු ඉසෙඞ් ඒ බී ???
අම්මේ මේ කිසිවෙකු හට නෑ
උඹ වාගේ මා ගැන සැලසුම් මගෙ ජීවිතයට
අම්මේ මේ කිසිවකු හට නෑ නෑ නෑ නෑ
වැටහෙන්නේ දුක අවංකවම...

ඩබ්ලිවි එච්  ඕ යූ එන් සීඩා
නෝවෙත් දෙන්නේ පිටරට පීඩා... //
සී එන් එන් සහ බී බී සී
ස්කයි එයාර් ඇන්ඞ් එම් ටී වී
වයි එෆ් එම් ඇන්ඞ් ශ‍්‍රී එෆ් එම්
අයි එෆ් එම්, රජ එෆ් එම්
සිරස ෂා ඇන්ඞ් ද ගී හිරු එෆ් එම්
ලක්හඬ එස් එල් බී සී අයි සී
අම්මේ මේ කිසිවෙකු හට බෑ
මා නළවන්නට උඹ වාගේ අවංකවම...

ගායනය, පදරචනය, සංගීතය - අජිත් කුමාරසිරි

සියුම්ව හද වෙණ තත් පිරිමදින, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ආනන්දයෙන් ඇරඹී ප‍්‍රඥාවෙන් අවසන් වන මිහිරි ගීත ගැන කතා කරන  හද ගී පොත අද වෙනස්ම විදියෙ ගීතයකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. 

අමුවෙන්ම ලියැවුණු කිසිදු සෞන්දර්යාත්මක හැඟීමක් මතු නොකරන මේ ගීතයේ පද වැල්වලත්, ගායනයේත් මතු වෙන්නෙ විප්ලවකාරීබවක්... සැබවින්ම මේ ගායනයේ කන්කළු මිහිරක් නැහැ.. හද සනසන මිහිරක් නැහැ. ගීතයේ කියවෙන යථාර්ථය තරමටම ගායනයත් කටුකයි. හිත හිරිවැටෙන තරමට ගොරහැඩියි. නමුත් එය වත්මන් සමාජයේ කැඩපතක් බඳුයි.

මේ ගීතය තුළ ඔහු තෝරා ගත් පවතින සමාජ, දේශපාලන යථාර්ථයන් කිහිපයක් අම්මාගේ ආදරය සමග සන්සන්දනය කරනවා. සැබවින්ම මේ අම්මා සංකේතාත්මකයි. ඇයගෙන් නියෝජනය වන්නේ ආදරය... ජීවිතය... ජීවිතය ගැන ඇති අපමණක් බලාපොරොත්තු, අපේක්‍ෂාවන්...... ඒ ආදරය සහ ජීවිතය දිනා දෙන්නට යුධකාමීත්වයට, දේශපාලනයට, රාජ්‍ය නොවන සංවිධානවලට හෝ මාධ්‍යයට නොහැකි බවයි ගීතයෙන් ගම්‍ය වනුයේ... සැබෑවත් එයම නොවේද?

මාධ්‍ය අද කොතරම් නම් ජීවිත වල්මත් කරනවාද? ජීවිත විනාශය කරා රැගෙන යනවාද? යුද්ධය නිසා, අදූරදර්ශී දේශපාලන කටයුතු නිසා කොතරම් නම් මිනිසුන් පීඩාවට පත් වනවාද? ප‍්‍රශ්නවලට විසඳුම්, සහන රැගෙන එන මුවාවෙන් බලගතු රටවල් කොතරම් දුප්පත් රටවල් තම ග‍්‍රහණයට ගන්නවාද? සූරා කනවාද?

දැලිපිහියෙන් කිරි කන තරමට ජීවිතය අවිනිශ්චිත වී ඇති සමාජයක විශ්වාසය තැබිය යුත්තේ කා කෙරෙහිද? අනුගමනය කළ යුත්තේ කාවද? පිළිපැදිය යුත්තේ කවර ප‍්‍රතිපත්ති මාලාවක්ද? මේ අද අප හමුවේ ඇති විශාල අභියෝගයකි. යා යුතු මග හෙළි පෙහෙළි කර ගත යුත්තේ අප විසින්ම ය.  ඒ සඳහා සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුය. අවදියෙන් දිවි ගෙවිය යුතුය. දැනුම ප‍්‍රඥාව සොයා යා යුතු ය. යොවුන් පියවර ඒ සඳහා ඔබට අත්වැලක් වන බව නිසැක ය.

2013 ජුනි

අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා





රන් කෙන්ඳෙන් රනින් සැදූ රන් ඔන්චිල්ලා
අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා

දෑතට බැඳි ලණු දෙපොටයි දෑතින් ගන්නේ
මාල අරුංගල් දෙකණේ තෝඩු ලෙළෙන්නේ
රෑන කිතුල් මල් වරළයි සුළෙඟ දුවන්නේ
ජීවිතයේ රන් ඔන්චිල්ලාව පදින්නේ

අහස උසට ආශාවේ ඉහළට යන්නේ
අහසට ගිය අය සේරම පොළවට එන්නේ
උඩ ගිය අය හති අල්ලා බිමට වැටෙන්නේ
බාලලියන් රන් ඔන්චිල්ලාව පදින්නේ

රන් ඔන්චිලි චිල්ල මලේ දුකට හඬනවා
රන් ඔන්චිලි චිල්ල මලේ කඳුළු පිරෙනවා
කඩන්න බැරි කටු අකුලක මලක් පිපෙනවා
රන් ඔන්චිල්ලාවේ ගොස් එමල නෙළනවා...

ගායනය                  :- ඇන්ජලින් ගුණතිලක
පද රචනය               :- ධර්මසිරි ගමගේ
තනු නිර්මාණය        :- පේ‍්‍රමසිරි කේමදාස

කඩන්න බැරි කටු අකුල්වල පිපෙන මල් නෙළන්නට රන් ඔන්චිල්ලාම අවැසිද? රන් ඔන්චිල්ලා නැතැයි තැවෙමින් හිඳීම ජීවිතයේ පරාජය භාර ගැනීමක් නොවේද?

නව යොවුන් සිත්වල අහස උසට ආශා පොදි ගැසීම සාමාන්‍ය ය. නමුත් ඒ ආශාවන් කොතෙක් දුරට ජීවිතයට අවැසිද? ජීවිතය දිනවන්නේද යන්න අප සිතා බැලිය යුතුය. ආත්මාර්ථයෙන් තොර වූ තමන් මෙන්ම සමාජය, පරිසරය, විශ්වයම කේන්ද්‍ර කර ගත් සිහින දැකිය හැකි නම් කොතරම් අගනේද? එය තමන්ගේත් අන්‍යයන්ගේත් හිත සුව පිණිසම වනු ඇත.

අප හැමටම සිහින ඇත. බලාපොරොත්තු ඇත. අරමුණු ඇත. ඉලක්ක ඇත. එය හොඳය. ජීවිතය ඉදිරියට යන්නේ එවිටය. සිහින දකින තරමටම ඒවා ඉටු වන්නේ ද නැත. සිහින ලූහු බැඳ යන්නේ නම් කැඩෙන, බිඳෙන හීනවල සුන්බුන් ද බාර ගන්නට හැකියාව තිබිය යුතුමය. මෑත කාලයේ සිය දිවි නසා ගන්නාවූ, අන් ජීවිත බිලි ගන්නාවූ, අපරාධ දූෂණවලට පවා යොමු වන්නාවූ නව යෞවන යෞවනියන් ගැන කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ. සිහින බිඳ වැටීම දරා ගන්නට ඇති නොහැකියාවද, තමන්ට තරම් නොවන සිහින පසුපස හඹා යාමේ නොඉවසිල්ලද, අතෘප්තිකර ආශාවන්ද මේ ජීවිත ව්‍යසනයන්ට හේතු වන්නේ නොවේද?   

ජීවිතයේ අරමුණු ඉලක්ක සපුරා ගන්නට නම් ඒ වෙනුවෙන් කැපවීමට ධෛර්යයක් තිබිය යුතුය. නොබිඳෙන දිරියක්, නොසිඳෙන අධිෂ්ඨානයක් තිබිය යුතුය. කඩන්න බැරි කටු අකුල්වල පිපෙන මල් වුව නෙළන්නට රන් ඔන්චිල්ලා වන්නේ ඒ ධෛර්යය. අධිෂ්ඨානය ය. ජීවිතාවබෝධය ය. ආත්ම විශ්වාසය සහ ජීවිතයට ඇති ආදරය ය. එවැනි රන් ඔන්චිල්ලාවක්ම වේවා ඔබේ නව යොවුන් දිවිය ඉත සිතින් පතමි.

2013 අගෝස්තු