‘‘ පවිත‍්‍රා තාමත් එළියට වෙලා මොකද කරන්නේ.... පල්ලි යන්න
ලෑස්ති වෙන්නෙ නැද්ද?’
අම්මා කෑ ගැසුවේ දෙවෙනි
වතාවටය. පවිත‍්‍රා නිසොල්මනේ උන්නාය. නත්තල් ගී රාවයක් ඈත නිවසකින් නික්මී පවිත‍්‍රා
වටා සැරිසරන්නට විය. උඳුවප් හුළඟ හීතලය. නමුදු හිතේ ඇවිලෙන ගින්න නිවන්නට ඒ හුළඟට
හයියක් නැත. පල්ලියට ගොස් ජේසුගේ මුහුණ බලන්නේ කෙසේද? ජේසු අම්මාට මුහුණ දෙන්නේ කෙසේද? ඊටත්
වඩා ගෙට ගොස් අම්මාගේ,
තාත්තාගේ මුහුණ බලන්නේ කෙසේද? පවිත‍්‍රා හීල්ලූවාය.
රාත‍්‍රිය අන්ධකාරය. මල්ලීගේ පුංචි ගවලෙනේ දැල් වූ
මැටි පහනේ එළිය කෑලි කැපිය හැකි ගණ අඳුර මැද පුර හඳක් ලෙස දිදුලන්නේය. අඩුම මිලට
ගත් ගවලෙන් පිළිම කට්ටලය දුටු මල්ලීගේ මුහුණේ ඇඳුණු අහිංසක සිනා රැුල්ල පවිත‍්‍රාට
මතක් විය. දුප්පත් පැළට හිනා කැන්දන්නට සිදාදියට ගොස් ජීවිතයම කඳුලක් කර ගත්තේ
කාගේ වරදින්ද? පවිත‍්‍රා සිතුවාය.
ඇය ඉහළම ප‍්‍රතිඵල නැතත්
සාමාන්‍ය පෙළ පාස් වූවාය. නමුත් ගමේ පාසලේ උසස් පෙළ පන්තියක් වූයේ නැත. ඒ සඳහා
නගරයේ පාසලට යන්නට නම් හැතැප්ම ගණනක් පයින් ගොස් නැවත බසයෙන්ද යා යුතු විය. ඒ
දුෂ්කර ක‍්‍රියාවද කරන්නට තිබිණි. නමුත් පස්දෙනෙකුගේ කුස් පුරවන්නට අම්මාත්, තාත්තාත් දරන වෙහෙස දැක දැක ඇයට ඉගෙනීමට හිත හදා ගත නොහැකි විය.
‘‘ අම්මෙ මාත් කුසුම් අක්කා යන ගාමන්ට් එකට යන්නද....?’’ පවිත‍්‍රා දිනක් හැන්දෑවක මද අඳුරේ පොල් අත්තක් වියමින් සිටි අම්මා අසලට වී
ඇසුවාය. අම්මා හිස ඔසවා මොහොතක් බලා සිටියාය.
‘‘ උඹට පුළුවනෑ ඔය දේස දීපංකරවල ගිහින් ඔට්ටු වෙන්න.
ඉස්කෝලෙ ලොකු මහත්තයත් කිව්ව නේද කොහොමින් හරි ජේස්ටෙ පාස්කර ගන්ඩ කියල...’’ දිග සුසුමක් මුදා හැරි අම්මා නැවත පොල් අත්තේ රටා අතර දෙනෙත් සිර කර ගත්තාය.
‘‘ උසස්පෙළ කරා කියල මොකෝ මං කැම්පස් යන්නයැ. දැන් ඉස්සර
වගේ උසස් පෙළත් නිකන්ම කරන්න බෑ අම්මෙ. පන්ති යන්න ඕන. බස්වලටයි, ටියුෂන්වලටයි
කොහොමද වියදම් කරන්නෙ. අපිට කියල උදව්වකටවත් කවුද ඉන්නෙ. ’’ පවිත‍්‍රා පැවසුවේ කටට ආවක් නොව හදවත ඉදිරියෙන් හැබෑවටම දිග ඇරෙමින් තිබු
අභියෝගයන් සියල්ල එකිනෙක එහෙට මෙහෙට පෙරළා මැනවින් පිරික්සා බලමිනි. ඒ ඔවුන්ගේ
ජීවන යථාර්ථයයි. අවසන දුප්පත්කම අහිංසක අම්මාගේත්, තාත්තාගේත්
බලාපොරොත්තු පරදවා ජය ගත්තේය.ඇය නිදහස් වෙළඳ කලාපයට ඇදුණාය. ගාමන්ට් කෙල්ලක් ලෙස
බෞතිස්ම ලැබුවාය.
බෝඩිමට, කෑමට බීමට,
ඇඳුම් පැළඳුම්වලට ගිය තැන යම්තමට ගෙදරට
යවන්නට මුදලක් අත රැුඳුණා හැරෙන්නට සිදු වූ වෙනත් දියුණුවක් නම් නැතද ගෙදරට බරක්
නොවී ජීවත් වීමේ සැනසීම ඇය අත් වින්ඳාය. නත්තල් නිවාඩුවේදී අම්මාට සාරියක්, තාත්තාට සරමක්,
රස්තියාදුවේ යන අයියාට, නංගිලා දෙන්නාට,
මල්ලීට ඇඳුම්, පුංචි අයට කැවිලි පෙවිලි ටිකක් අරන් යද්දී ඇය වින්දේ රටක් රාජ්‍යයක් අත් කර
ගත්තාක් බඳු අසීමිත ප‍්‍රීතියකි. සිරකුටියක් බඳු බෝඩිම් කාමරයේත්, නිස්කාන්සුවක් නැතිව හඬ තලන හිත්පිත් නැති ජුකී මැෂින් අතරෙත් දහසක් දුක්
අමාරුකම් මැද වුවද නිස්කලංකයේ දෑවුරුද්දක් ගලාගෙන ගිය ජීවිතයට කටුක ගිම්හානය හංගා
ගත් ඇස්බැන්ඳුම් වසන්තයක් ආවේ පවිත‍්‍රාටත්
නොදැනීමය.
යෞවනය මන්මත් කරමින් පේ‍්‍රමයේ
සුළං රැලි නිදහසේ වෙළඳ කලාපය සිසාරා හමා ගියේය. පවිත‍්‍රාගේ සිතද යොවුන් වසන්තයේ
සුළං රැල්ලට හසුව දඟ පාන්නට විය. එයම සැඩ කුණාටුවක් වී ජීවිතය විනාශ කරනු ඇතැයි
මොහොතකටවත් ඇයට සිතුණේ නැත. සිත් යා කරමින් ආදරය දෝර ගලා යන විට එය වළකන්නට සමත්
සීමා මායිම් වේද?
කුස තුළ තවත් ආත්මයක් පණ ගැහෙන බව
දැනෙද්දී දහසක් පොරොන්දු සමග ඇගේ පේ‍්‍රමය කොයි අත ගියේ දැයි සොයා ගන්නට නොහැකි
විය.
‘‘ කෙල්ලෙක්ට වරදින්න මහ වෙලාවක් යන්නෑ... ඇයි මෝඩියෙ මෙහෙම
දෙයක් කර ගත්තෙ. මම මොනවද දැන් ඔයාගෙ අම්මටයි, තාත්තටයි
කියන්නෙ. මාව විශ්වාස කරල නේද ඒ මිනිස්සු ඔයාව මා එක්ක එව්වෙ. ’’ පවිත‍්‍රාගේ වෙනස මුලින්ම ඉව වැටුණේ කුසුම් අක්කාටය. සියල්ල කියන තුරු
ඇගෙන් නිවනක් නොවීය. හුස්මක් නොහෙළා සියල්ල අසා සිටි කුසුම් අක්කා කෙළවරක් නැතිව
පවිත‍්‍රාට බැණ වැදුණාය. ඉක්බිති පවිත‍්‍රා තුරුළු කරගෙන හඬා වැටුණාය.
‘‘ දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඔය ළමයව නැති කරල දාමු. ඕව දැන් කාලෙ එච්චර දේවල් නෙවෙයි. ’’ කුසුම් අක්කා අවසන් තීරණය දුන්නේ දිගු සුසුමක්ද හෙළමිනි.
පවිත‍්‍රා නත්තල් නිවාඩුවට
ගෙදර ආවේ නැවත ගිය පසු ජීවිතයේ සිදුවූ
ලොකුම සහ එකම වැරැුද්ද නිවැරදි කර ගන්නට හිත හදා ගනිමිනි. කුස තුළ පණ ගැහෙන්නේ
තමාගේ ජීවිතයෙන් උදා වන නව ජීවිතයක් යැයි පවිත‍්‍රාට සිතුණේ නැත. දුඟඳ හමන කිළිටි
වැරහැල්ලක් ඉක්මණින් උනා දැමීමේ උවමනාවක් බඳු හැඟීමක් මිස අම්මා කෙනෙකු වන්නට
උවමනාවක් ඇයට නොවීය.
‘‘ අක්කෙ මේ ලස්සනද? ’’ පොඩි
නංගී අළුත් ගවුමෙන් සැරසී පැමිණ වටයක් කැරකී ඇසුවාය. රුපියල් තුන්සියයක්වත් නොවූ
ලාබ ගවුමින් ඇය ලබන සතුට කොතරම්ද? තෙල් ගා මනාව පීරා කරලක්
වන්නට ගෙතූ කොණ්ඩයෙන් ළපටි මුහුණට අපූරු සිරියාවක් එක් වී තිබිණි.
‘‘ ෂෝක් පොඞ්ඩි. ඔයා අද පුංචි දේව දූතියක් වගේ. ’’ පවිත‍්‍රා නිරායාසයෙන් දෙතොලට නැගි හිනාවක් ඇතිව කීවාය.
‘‘ මගෙ බඩේ ඉන්න බබත් කවද හරි මේ වගේ වෙයිද? ’’ ඇයට සිතිණි. ඒ සිතුවිල්ලත් සමග පවිත‍්‍රාගේ ළය හිරි වැටී ගියේය.
‘‘ අක්කත් අළුත් ගවුම ඇඳ ගන්නකෝ. දැන් වෙලත් යනවා. සීනුවත්
ගැහුව සැරයක්. අනේ අක්කේ.... අනේ අක්කෙ....’’ පොඩ්ඩී
ගවුමෙන් අදිමින් ඇවටිලි කරන්නට වූවාය.
පවිත‍්‍රා මුහුණ කට සෝදාගෙන
ඇඳ ගත්තේ ඕනෑවට එපාවටය. අසනීපයක්දැයි
අම්මා වරක් දෙවරක්ම විමසිල්ලෙන් ඇසුවාය. ඈ මුනිවතම රැක්කාය. පවුලම ඇඳ පැළඳ පාරට
බැස්ස විට හිත පිරී ගියා සේ දැණිනි. අම්මාගේත්, තාත්තාගේත්
මුහුණුවලට ආඩම්බරයක් එක් වී තිබිණි. අඩුවකට වූයේ කිසි දිනක පල්ලියට නොයන අයියා
මෙදිනද නොවීම පමණකි.
‘‘ කුසට පිළිසිඳ ගත්තෙ දෙවියන්ගෙ පුතා බව ඇත්ත... ඒත්
මරියතුමී භාර ගත්තේ කොයි තරම් ලොකු අභියෝගයක්ද? කුරුස
ගහේ ජේසු පුතාගෙ හුස්ම ටික යනකම්ම මරියතුමී තමන්ගෙ ජීවිත අභියෝගයට සාර්ථකව මුහුණ
දුන්නා... අද කාලෙ අම්මල තාත්තලට දරුවො බරක්. කුසේදිම දරු පැටවුන්ගෙ ජීවිත නැති
කරල දානවා... දරුවො දාල පිටරටවල යනවා... සල්ලි ලොකුයි දරුවන්ට වඩා. දරුවන්ට ඕන කරන ආදරය, ආරක්‍ෂාව
ලැබෙන්නෙ නැහැ. අද කාලෙ මරිය අම්මල නෑ. මහ මිනිස්සුන්ගෙ ඕනැ එපාකම් වෙනුවෙන් ජේසු පුතාල කුසේදිම ජීවිතේ
පූජා කරනවා.... ජීවිතේට වඩා ජීවිතේ වටේ තියෙන අඩුමකුඩුමයි අපට වටින්නෙ. මනුස්සකම
දියවෙලා ගිහින්. ඒ හින්දයි අද අපට ගැළවීම මේ තරම් දුර... ’’
පියතුමාගේ දේශනය පවිත‍්‍රා
වෙනුවෙන්ම කළාක් මෙනි ඇයට දැණුනේ. ‘‘ දෙවියනේ
තනිං මං මොනව කරන්නද?
මගේ කුසෙත් ඉන්නෙ අහිංසක දරු පැටියෙක්.
ඒත් ලෝකෙ මිනිස්සු මට මොනා නොකියයිද? මගේ
අහිංසක අම්ම, තාත්ත මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ කොහොමද? මං මොකද කරන්නෙ?
’’ පවිත‍්‍රාට හුස්ම නවතින්නාක් මෙන්
දැණිනි. පළමුවරට දරු සිඟිත්තෙකුගේ මුහුණක් ඈ සිත මැවුණි. ඒ අහිංසක දෑස් ඈ වෙතටම
යොමු වී තිබිණි. පවිත‍්‍රා තිගැස්සුණාය. ඇය අම්මාගේ මුහුණ දෙස බැලූවාය. ඈ කොතරම්
අහිංසකද.... ? බැතිබර ඒ මුහුණ අල්තාරය දෙසටම යොමු වී පැවතිණි. අහන, දකින, විඳින සියල්ල අකුරක් නෑර අම්මා වටේ දැවටෙමින් කිය වූ
සොඳුරු අතීතය පවිත‍්‍රාට සිහි විය.
‘‘ අම්මට රටේ ලෝකෙ හැම දරුවෙක්ම තමන්ගෙ දරුවෙක් වගෙයි.
එහෙව් අම්මා මගෙ දරු පැටිය බාර ගන්න අකමැති වෙයිද? මගේ
වරදට මේ අහිංසක දරුවා වන්දි ගෙවන්නෙ මොකටද? එයාටත්
මේ ලෝකෙ එළිය බලන්න අයිතියක් තියෙනවා. ’’ පවිත‍්‍රා
සුරතින් කුස පිරිමදිමින් සිතුවාය.
නත්තල් පූජාව අවසානයේ
පියතුමා බිළිඳු ජේසු ප‍්‍රතිමාව පෙරහැරින් ගෙන ගොස් ගවලෙනේ තැන්පත් කළේය.
ගම්වැසියන් එකිනෙකාට නත්තල් සුපැතුම් පිිරි නමා ගත්තේ ප‍්‍රීතිය පිරී ඉතිරී යන
මුහුණිනි. පවිත‍්‍රා හෙමිහිට ගවලෙන අසලට ගියාය. බිළිඳු ජේසු ප‍්‍රීතිමත්
හසරැුල්ලක් සමග ගවඔරුවේ සැතපී උන්නේය. ඇය ජේසුපුතුගේ දෑත සෙනෙහසින් පිරිමැද වැඳ
නමස්කාර කළාය. ගවලෙන අසල බොහෝ වේලාවක් දණ නමා සිටි ඇය හෙමිහිට නැගිට්ටේ සැනසුම්
සුසුමක්ද හෙළමිනි. මරියතුමියගේ දයාන්විත දෙනෙත තමා දෙසට යොමු වී ඇතැයි ඇයට සිතුණි.
නත්තල් පූජාව නිම වී නිවසට
පැමිණ මුලින්ම කරන කටයුත්ත ජේසු බිළිඳා ගවලෙනේ තැන්පත් කිරීමයි. පවුලේ සියල්ලෝ
ගවලෙන වටා එක් වූහ.
‘‘ මල්ලී මං ජේසු බබා ගවලෙනේ තියන්නද? ’’පවිත‍්‍රා ඇසුවාය. මල්ලී හිනැහෙමින් ජේසු බිළිඳා පවිත‍්‍රා අත තැබුවේය. ඇය
මහත් බැතියෙන් බිළිඳා දෝතට ගෙන සිප ගවලෙනේ තැන්පත් කළාය.
2012 දෙසැම්බර් -කැඩපත
( 1998 දී පමණ ලියැවුණු
කතාවකි. )
No comments:
Post a Comment