March 11, 2014

සොබාදහමට හිත බැඳි පිය සෙවණේ අසිරිය



මනුෂ්‍යත්වයේ අපූර්වත්වය, චමත්කාරය අත්විඳි සොඳුරු නිමේෂයන්හි මතක සැමරුම.....



අනලස්ව සංචරණයට ඇති ළැදියාව මනුෂ්‍යත්වය පොහොසත් කරන බව නොකිවමනාය. ඇවිද්ද පය දහස් වටී යනුවෙන් අපේ පැරැන්නන් සඳහන් කළේ එබැවින් විය යුතුය. විවිධ පුද්ගල චරිත ඇසුරේ, විවිධ සමාජතල හරහා, ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සංචාරයට ලැබුණු අවස්ථාව මගේ ජීවිතයද යම් තරමකින් හෝ පොහොසත් කරන්නට දායක වූ බව කිව යුතුමය. මනුෂ්‍යත්වයේ අපූර්වත්වය අත්විඳින්නට ඒ ලැබූණු දුර්ලභ නිමේෂයන් රන් මිණිමුතුවලට වඩා අගනේ යැයි මට සිතේ. 

නව යොවුන් කණ්ඩායමක් සමග ජීවිත වර්ධන වැඩමුළුවක් සඳහා මග්ගොන මැසනද් යොවුන් පියසට ගොඩ වැදීමේ භාග්‍යය මෑත සති අන්තයක මවෙත හිමි විය. සොබාදහමේ අසිරියට ඉඩ දුන් අපූරු නේවාසිකයකින් සමන්විත මේ බිම සැබවින්ම සිත නිවා සනසන සුවදායක වටපිටාවකින් යුක්තය. පැරණි පන්නයේ විශාල කුළුණු සහිත දිග කොරිඩෝරය, සීතල සිමෙන්ති පොළව, චාම් පුංචි පල්ලිය, විසල් වේදිකාවක් සහිත දේශන ශාලාව, බලන බලන අත නිල්ල පිරුණු  ගෙඋයන සොබාදම් මව් තුරුලේ නිස්කලංක සුවය අත්විඳින්නට ඇරයුම් කරන්නාක් වැන්න. යොවුන් පියස ඉදිරිපිට පිරිසිදු තණ පලස උණුසුම් තේ කෝප්පක් සමග ජීවිතය ගැන කතා කරමින් සැඳෑවක් ගත කරන්නට හරිම අපූරුය. 

මේ ආයතය භාරව සිටිනුයේ නිර්මල මරිය නිකායික ගරු මේරියස් පියතුමාය.  වසර 15 ක පමණ අතීතයේ සිට මම එතුමන් හඳුනමි. නිහතමානී, සරල ගති පැවතුම්වලින් හෙබි එතුමා සොබාදහමට, මිනිස්සුන්ට හදවතින්ම ආදරය කරන දයාබර පියතුමෙකි. ලෝකය නළවන්නට හෝ කළඹන්නට කරන ආටෝප සාටෝප වැඩවලට වඩා අවුල් වියවුල් පිරුණු සිත්සතන් සුවපත් කරන්නටත්, සොබාදහම ඇසුරේ නිස්කංලකව දිවි ගෙවන්නටත් මහත් සේ ප‍්‍රිය කරන එතුමා සැබවින්ම අපට පියෙකි. 

එතුමන්ගේ සරල බව, සොබාදහමට ළැදි බව මේ පියසේ  ඕනෑම තැනකදී දැකිය හැකිය. දිග කොරිඩෝරයේ ඇති පිටපලූ ලෑලිවලින් සෑදූ බංකු පෙළ, කණ්ඩායම් සාකච්ඡා සඳහා ලී කොට තබා සාදා ඇති අඩකවය, උදෑසන භාවනා සඳහා යොදා ගන්නා බට පඳුරින් සෙවණ වූ මළුව යාන්ත‍්‍රික වූ අපේ දෛනික දිවි පෙවෙතට අපූර්ව අත්දැකීමක් වනු නොඅනුමානය. 

මෙම නේවාසික වැඩමුළුව අතරතුර අපූරු පරිසර චාරිකාවකට එක් වන්නට අවස්ථාව ලැබිණි. පියතුමාගේ මග පෙන්වීම අනුව කුරුළු ගී අසමින්, ගස්වැල් හඳුනා ගනිමින්, ගඩා ගෙඩි කමින්, පරිසරය ගැන කතාබහක යෙදෙමින් පා ගමනින් ගිය චාරිකාව අතර තුර ලැබුණේ රසවත් පැපොල් පානයකි.  

කුරුඳු වාඩියක ජීවන අත්දැකීම් විඳින්නට අවස්ථාව ලැබුණද එදින කුරුඳු තලන දිනයක් නොවීය. ගොම මැටි ගෑ පොළවේ වාඩි ගත් පියවරුන් දෙදෙනෙක් කුරුඳු කෝටුවක් ගෙන පියවරෙන් පියවර කුරුඳු තලන ආකාරය අප වෙත පහදා  දුන්නේ සිනා පිරි මුහුණිනි. කුරුඳු තලන ආම්පන්න වසර 30 ක් පමණ පැරණි බව ඔවුන් පවසන්නේ තරමක ආඩම්බරයකිනි. දවස පුරා ගොම මැටි පොළවේ වාඩි ගෙන එකම ඉරියව්වෙන් කුරුඳු තැලීම කිසිසේත් සුවපහසු කාර්යයක් විය නොහැකිය. නමුදු ඒ ජීවන බර දරා ගත් සිනා නගන රැළි වැටුණු මුහුණු, කෙසඟ සිරුරු මනුෂ්‍යත්වයේ තවත් අපූරු පැතිකඩක් අප වෙත විදහා දැක්වීය. 

වඩාත් මසිත බැඳ ගත්තේ ඒ කුරුඳු තලන පියවරුන්ගේ, යුවතියගේ නිහතමානී බව, සරල බව පමණක්ම නොවේ, ඔවුන් අගය කරමින් කතා කළ පියතුමාගේ දයාබරත්වයයි.  මනුෂ්‍යත්වය විනිවිද දකින්නට එතුමන්ට ඇති අපූරු හැකියාවයි.  

‘‘ ළමයි........... මේ තාත්තා දූවරු පස් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.. අවුරුදු 60 කට කිට්ටුයි. කුරුඳු තලල තමයි තමන්ගෙ පවුල ජීවත් කරන්නෙ... ’’

පියතුමා වචන බර කරමින් ඇද පැද තාලයට පවසන්නේ කුරුඳු තලන තාත්තාගේ අතද අල්ලා ගනිමිනි. එතුමන්ගේ දෑස් අප වෙතය. ඇගයුම අප සිත්හි ධාරණය කරන්නට මෙන් කතාව අතරමැද නැවතුම් ගන්නා හෙතෙම, විසල් කර ගත් දීප්තිමත් දෙනෙතින් ද අදහස් දහසක් පළ කරයි. 

‘‘ මේ තාත්තා......... හැමදාම උදේට දුවල දෙන්නෙක්ව බයිසිකලේ තියාගෙන හන්දියට ගෙනිහින් අරිනව ළමයි.. කිලෝමීටර් දෙකක් බයිසිකල් පදින්න  ඕන........  එක දුවෙක් බයිසිකලේ ඉස්සරහ, අනික් දුව ලගෙජ් එකේ තියාගෙන.. කුරුඳු තලන එක ලේසි නැහැ ළමයි... හැබැයි මේ හිනාව හැමදාම මෙහෙමමයි.. බලන්න කොයි තරම් අපූරු තාත්ත කෙනෙක්ද?’’

කුරුඳු තලන දුප්පත් තාත්තා ජීවිත කාලය පුරා ලැබුව ශ්‍රේෂ්ඨතම උපහාරය මෙය විය හැකිය. සමාජයේ අවධානයට ලක් නොවන දිළිඳු පියෙකුගේ ධෛර්යය මේ තරම් අගය කරන්නට නම් කොතරම් පුළුල්, දයාවන්ත හදවතක් විය යුතුද

සවස්වරුව පියතුමාගේ පරණ වෑන් රථයෙන් නැවතත් චාරිකාවකි. මෙහිදී ආගමික ස්ථාන කිහිපයක් නරඹන්නට අවස්ථාව ලැබෙන අතර මුහුදු වෙරළේ ක‍්‍රීඩා කරන්නට ද ලැබේ. මේ චාරිකාවේ රියදුරුද, මගපෙන්වන්නාද, සත්කාර සපයන්නා ද පියතුමාම ය. යහමින් කෑලි මිරිස්, පොල් කෑලි දමා තෙම්පරාදු කළ කඩල කැන්ද කොලයට දමා රස විඳින්නට අවස්ථාව ලැබුණේ මුහුදු වෙරළේදී ය. 

මෙවන් වූ පියතුමකු ඇසුරු කරන්නට ලැබීම භාග්‍යයක් යැයි මම සිතමි. සියළුම පූජ්‍ය පුජක උතුමන් ඇසුරේ මෙවන් මානව හිතවාදීබවක්, පරිසර හිතවාදී බවක්, සරල අල්පේච්ඡ දිවි පැවැත්මක් වේ නම් එය ලෝකයට කොතරම් සුවදායක වනු ඇත්ද

සුන්දර උදෑසනක එතුමන්ගේ මගපෙන්වීම තුළ කළ සක්මන් භාවනාවේ අත්දැකීම මීළඟ ලිපියෙන් ඔබ හා බෙදා ගන්නට කැමැත්තෙමි.

2012 ඔක්තෝම්බර්


No comments:

Post a Comment