March 12, 2014

සක්මන් භාවනාව


බොහෝ විට අපි සංචාරය කරන්නේ සොබාදහමේ අපූර්වත්වය නැරඹීමේ හෝ මිනිස් නිමැවුමේ අපූර්වත්වය දැක ගැනීමේ අපේක්‍ෂාවෙනි. අප අපගේම සිත අභ්‍යන්තරයට සංචාරය කිරිමේ අවස්ථාව උදා කර ගන්නේ කොපමණ අඩුවෙන්ද? අපූරු මිනිසෙකුගේ මග පෙන්වීම තුළ මගේම සිත තුළ සංචාරය කරන්නට ලැබුණු දුර්ලභ අවස්ථාවක් ගැනයි, අද ඔබ හා මිනිසි ඇසුරින් බෙදා ගන්නේ.

 ( මේ භාවනාව හිත එක්තැන් කර ගැනීමට සිදු කළ සරල භාවනාවක් පමණි. භාවනාව පිළිබඳ ගැඹුරු අදහස් මෙයින් අපේක්‍ෂා නොකරන්නේ නම් මැනවි. )

පසුගිය මිනිසි අසිරි ලිපියේ ඔබ හමු වූ ගරු මේරියස් පියතුමා මතක ඇතැයි සිතමි. එම යොවුන් වැඩසටහනේ සෙනසුරාදා හිමිදිරියේ සරල සක්මන් භාවනාවකට අප මෙහෙයවූයේද එතුමා විසිනි. උදෑසනින්ම අපි බට පඳුරු හෙවණේ එළිමහන් භාවනා අසපුවට රැස් වූයෙමු. පාවහන් ගළවා පැමිණෙන ලෙසට කළින්ම දැනුවත් කර තිබිණි.

උදෑසන හතේ කණිසටමත් තණ බිස්සේ පිණිකැට වියළී නැත. හාත්පසින් වටවූ උස් තුරු මුදුන් හොරැහින් එබිකම් කරන හිරුගෙන් සඟවා පිණිකැට රැකගෙන තිබිණි. නිරුවත් දෙපයට දැණුනේ අපූරු සීතලකි. නිරන්තරයෙන් පාවහනින් වැසී ඇති දෙපතුල් එයින් නිදහස්ව පිණි තැවරුණු තණ බිස්සේ සිහිල් පහස විඳින්නට පින් කර ඇතුවාක් මෙනි. ගන්නා හුස්ම අතිපිරිසිදු බව ප‍්‍රත්‍යක්‍ෂ නිසා ළය පුරා හුස්ම ගැනීමට බියක් දැණුනේද නැත. හුස්මේ පිවිතුරු සිහිල නාස් පුඩු අග තැවරිණි.

සුපුරුදු තැන්පත් සරල ස්වරයෙන් පියතුමා භාවනාවට පිවිසුණේ මෙලෙසිනි. 

‘‘ මහපොළව පාගන්න ලැබීම භාග්‍යයක්..... ළමයි... ඊයා කියන්න  ඕන නැහැ. ඈක්ක කියල හිතන්න  ඕන නැහැ. මහපොළවෙ තියන කටුක බව, සීතල, උණුසුම මේ හැමදේම අපි විඳින්න  ඕන... ඒක තමයි ජීවිතය.

අපි පුරුදු වෙලා ඉන්නෙ නිතරම සෙරෙප්පු දාගෙන ඉන්න. ගෙදරදි සෙරෙප්පු දාන්න  ඕනෙ නැහැ නේද? ගෙදර වටපිටාව අපි පිරිසිදුව තියා ගන්නවනම් කිසිම අපහසුතාවයක් නැතිව අපට නිරුවත් දෙපයින් ඇවිදින්න පුළුවන්නේ.... හැකිතාක් පොළව පාගන්න. දෙපතුල් උණත්  ඕනෑවට වඩා හුරතල් කරන්න  ඕන නැහැ.....

දෙපය නිදහස්ව ඇවිදින එකෙන් දෙපයේ නිලවල තෙරපුමක් ඇති වෙනවා. එයින් ස්නායු උද්දීපනය වෙලා සුවදායක බවක් ඇති වෙනවා... මහපොළව පාගන්න ලැබෙන එක භාග්‍යයක් වෙන්නෙ ඒ නිසයි......

අද අපි යොමු වෙන්නෙ සරල සක්මන් භාවනාවකට. සක්මන් භාවනාව කියන්නේ නිහැඬියාවේ රසය අත්දකින්නට ලැබෙන මොහොතක්.. සොබාදහමත් එක්ක ඒකාත්මික වෙන මොහොතක්....

කන්වල එක එක දේවල් ගහගෙන, කන් අඩි පැලෙන සද්ද බද්දවලට හුරුවෙලා ඉන්න කොල්ලෝ කෙල්ලො මේ නිහැඬියාවේ රසයත් විඳින්න පුරුදු වෙනව නම් හොඳයි.

භාවනාව තුළ මේ වගේ කරුණු ටිකක් පිළිපදින්න අපි එකඟ වෙමු.

ඇවිදිමු තැන්පත්ව.... කලබලයකින් තොරව....

කවුරුත් දිහා නොබල ඉමු.... ඇස් හමුවෙන්නට බැහැ...

ඇවිදින අතරේ බොහෝ දේ හමුවේවි.. ඒ සියල්ල පසු කර යන්න... නමුත් අමතක නොවන, නිතර ඔබේ සිත අවදි කරන යමක් වේ නම් ආපසු ගොස් එය අතට ගන්න....

ඒ තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න. ජීවිතයට අරුතක් එක් කර ගන්නට උත්සාහ කරන්න.
ඒ දෑතට ගත් දෙය පල්ලියේ අල්තාරය මත තියෙන කුරුසිය ළඟින් තියන්න. පුංචි යැදුමක්, පැතුමක් කරන්න.

පියතුමාගේ කතාවෙන් පසුව අපි නිහඬවම සක්මන් භාවනාවට පිවිසුණෙමු. මෙතැන් සිට සක්මන් භාවනාවේ මගේ පෞද්ගලික අත්දැකීම ඔබ හා බෙදා ගනිමි.

මුලදී සැබවින්ම හෙමිහිට පා තබා යාමට අසීරු බවක් දැණිනි. උදෑසන දෑස් හරින මොහොතේ සිටම දෛනික කාර්යබහුල දිවියේ හැල්මේ දිව යන වේගවත් බවට හුරුවී ඇති මට පොළවට නොදැනෙන සේ හෙමින් පා තබා ඇවිදීම පහසු දෙයක් වූයේ නැත. දබිබිඩි ගමන් විලාසය එක්වනම සන්සුන් කර ගන්නේ කෙසේදඒ සඳහා සැලකිය යුතු වේලාවක් ගත විය.

අසීරුම කාරණය ඉන්අනතුරුවය. ඒ සිතුවිලි සන්සුන් කර ගැනීමය. අන් අයගෙන් නෙත් ඉවතට ඇද ගැනීම පහසු නැත. ඔවුන් සක්මන් භාවනාවේ යෙදෙන්නේ කෙසේද කුහුලක් සිතට නැගේ. සියල්ලෝ ගැවසෙන්නේ එකම ඉසව්වකය. සිමෙන්ති පඩියක් මත කිහිපදෙනෙක් වාඩිවී සිටිති. මිමිණුම් හඬක්ද සවන ගැටේ. සිතුවිලි රළ රැුළි සේ එක පිට එක කඩා වදියි.

මේ සුළු මොහොතවත් සැබෑම නිදහසක් අත්විඳිය යුතු නොවේද? මම හෙමිහිට හුදකලා තණ පලසක් සොයා ගියෙමි. හරිත තණ පලස මත මමම පමණකි. ටිකෙන් ටික සිතුවිලි සන්සුන් විය.

‘‘ මගේ සිත පිරිසිදුය... තැන්පත්ය... සන්සුන්ය...’’ මම හිතින් කිහිපවරක් මුමුණා ගතිමි. සැබවින්ම නිස්කලංක ගතියක් දැණිනි.

මෙලෙස සැහැල්ලූවෙන් ඇවිද යන අතරේ ගාණට කපන ලද තණ බිස්ස මතින් නැගී සිටි තුත්තිරි ගසක් මට හමු විය. මම ඒ තුත්තිරි ගස පසු කර හෙමිහිට ඉදිරියට පා නැගුවෙමි. නමුදු තුත්තිරි ගස මහිතේ නවාතැන් ගත් සෙයකි. 

‘‘............... මේ තුත්තිරි ගහ තුත්තිරි මල් යායක් වෙන්න පුළුවන්.. තුත්තිරි මල් යායක් දුරට දකින්න ලස්සනයි. ඒත් කවුරුවත් ඒ මැදට යන්න කැමති වෙන්නෙ නැහැනෙ.... තුත්තිරි ඇනෙනවා... ඒක මහා දුකක් නොවුණට කරදරයක්.... තුත්තිරි ඇළුණම ගලවන එක එපා වෙනවා... ඒ විතරක්ද ගලවල දාන දාන තැන පැළවෙනවා... අපේ හිත්වලත් මේ වගේ තුත්තිරි ගස් පැළවෙන්න පුළුවන්.... තරහ, කලකිරීම, නොරිස්සුම, උදාසීන ගති, ඊර්ෂ්‍යාව, සැකය ... මේ වගේ තුත්තිරි ගස්.... මේව විගහින්ම ගළවල දාන්න  ඕන.... නැත්නම් මමත් මේ ලෝකෙ අසුන්දර, අප‍්‍රසන්න තැනක් කරන්න දායක වෙනවා... ’’
මගේ හිත මට කතා කරයි.

‘‘ ඔයාගෙ හිතෙත් මේ දවස්වල තුත්තිරි ගස් කීපයක් තියෙනවා නේද? ඉක්මණින්ම ඒවා ගළවල දාන්න. ’’
හිත සමග සංවාදයක යෙදෙමින් මම ඉදිරියට ගමන් කළෙමි. තණකොල අතරින් සිඟිති සුදු මොට්ටු කිහිපයක් එබිකම් කරයි. හෙමිහිට පහත් වී දෙනෙත් හෙලූවෙමි. හරිත තණකොල ගස් අතරින් ලෝකය දකින්නට වෑයම් කරනා බිම් මල් කිහිපයකි. පාවහන් පැළඳි දෙපයින් ලහි ලහියේ ඇවිද ගියේ නම් මේ සිඟිති සොබාදම් දරුවන් මගේ දෙපයට පෑගී, තැලී, පොඩි වී යනවා නොවේදජීවිතේ, සොබාදමේ, විශ්වයේ සරල සුන්දර කාරණා කොතරම් නම් අහිමි වී යනවාද අපගේ කාර්යබහුල ජීවනරටාවත් සමගම.
සක්මන් භාවනාවෙන් මිදෙමින් නිහඬවම ආපසු ඇවිද එන අතර හිතේ ඇලවුණ තුත්තිරි ගහත්, තවත් තුත්තිරි ගස් කිහිපයකුත් ගළවා ගතිමි. පුංචි දෙව්මැදුරට ගොස් කුරුසිය ළඟ තුත්තිරි ගස් කිහිපය තබා සිතින් ජේසුට කතා කළෙමි.

‘‘ හෘදයෙන් සාන්ත දාන්ත වූද...... බැහැපත් වූද ජේසුනී
අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදෙට සමාන කළ මැනව.....’’

2012 නොවැම්බර්


No comments:

Post a Comment