March 13, 2014

කවීතා.... ඈ මට කතා කළා.





මනුෂ්‍යත්වය විඳින්නට, මනුෂ්‍යත්වය හඳුනා ගන්නට භාෂාව නොදැනීම බාධාවක්ද? සංස්කෘතිය නොදැනීම බාධාවක්ද


එය එසේ නොවේ යැයි මම සිතමි.

නමුත් ගැඹුරින් හදවත් ස්පර්ශ කරන්නට, එකිනෙකාව ගැඹුරින් තේරුම් ගන්නට භාෂාව නොදැනීම, සංස්කෘතිය නොදැනීම බාධාවක් බව මම වටහා ගෙන සිටිමි. 

විශේෂයෙන්ම ජනවාර්ගික අර්බුදයක ගිනි පුපුරු අළු යට සැඟවී ඇති යුගයක, යුද්ධය විසින් බිඳ දැමුණු සිත්වල ගැඹුරු තුවාල රිදුම් දෙමින්, කකියමින් පවතින සමයක අන්‍යෝන්‍ය සිත් සුවපත් කර ගැනීමේ, නිවා ගැනීමේ භාරදුර කාර්යය සඳහා භාෂාව, සංස්කෘතිය පිළිබඳ අවබෝධය ඉතා වැදගත් යැයි මම සිතමි.

........................

හිරු ගිනි ගන්නා මධ්‍යහනයේ නාඳුනන අංකයකින් ඇමතුමක්. 

‘‘ අක්කා නාන් කවීතා...’’

‘‘  ඕ ගෝඞ් කවීතා...’’ මගේ හිතේ හිනා මලක්. 

කවීතා අවුරුදු 16 ක පමණ අහිංසක දමිළ යුවතියක්. ඈ මට මුණ ගැසුණේ පසුගිය සතියේ පැවති මගේ ඥාති සොයුරෙකුගේ විවාහ මංගල්‍යයකදී. වව්නියාවේ සිට පැමිණි ඥාති පිරිසක් සමග ඈ පැමිණ සිටියා. නිවසේ මෙහෙයට සිටින බවයි දැන ගන්නට ලැබුණේ. මා දෙමළ දන්නේ නැහැ. ඇය සිංහල දන්නේ නැහැ. නමුත් දන්නා දෙමළ වචන කිහිපයෙන්, සිනාවෙන්, නෙත් බැල්මෙන්, අංග චලනයන්ගෙන් මා ඈ සමග හිතවත් උණා. 

නන්නාඳුනන සෙනගක් මැද තනි වූ ඇය ගැන කාටවත්ම හැඟීමක් තිබුණෙ නැහැ. රාත‍්‍රියේ බිත්තියකට හේත්තු වූ ඈ නිදා වැටෙමින් සිටියා. මම කවීතාව මගේ ගෙදරට කැන්දන් ගියා නිදා ගන්න. භාෂාව නොදැනීම අප දෙදෙනාගේ සමාගමයට බාධාවක් උණේ නැහැ කොහෙත්ම. ඇය දීර්ඝ ලෙස දමිල බසින් කියනා දේවල, අසනා ප‍්‍රශ්නවල වදනක් දෙකක් අහුලාගෙන මමත් උත්තර බැන්ඳා. හිනාවයි, නෙත් බැල්මයි කොයි තරම් ශක්තිමත් රැහැන්ද නාඳුනන සිත් යා කරන්නට. 

මගේ ගෙයි තවමත් වැඩ ඉවර එක කාමරයයි. කාමරයට තියෙන්නෙ එක පුංචි ඇඳක් පමණයි. ඇයට රාත‍්‍රී නිදන ඇඳුමකුත් දීලා, බිමට පැදුරක් දාලා, මදුරු දැලත් දාල නිදා ගන්න සැලැස්සුවා. ‘‘තැන්ක් යූ අක්කා’’ ඇය හිනා වෙලා කිව්වා.  ‘‘ ගුඞ් නයිට් තංගච්චී’’ මමත් හිනාවෙලා සුබ පැතුවා. නිදා ගන්න ඇඳට ගියාම නම් මට දුකත් හිතුණා. ඇයි මම ඇයට ඇඳ දීල බිම නිදා ගන්න නොගියෙ කියල. නමුත් ඒ වෙද්දිත් ඈ සුව නින්දක. 

ඒ කවීතා මෙලෙස මා ඇමතුවේ ඈ මගේ මතකයෙන් ගිලිහී යමින් සිටියදී. 

‘‘ කවීතා එප්පඩි සුහම් තංගච්චී’’ 

‘‘නල්ලම් අක්කා ’’ තේරුණේ එපමණයි. තවත් දිග හෑල්ලක්. අණ්ඩර දෙමළ වගේ. මම කමල් සොයා ගෙන දිව්වා. ඔහු දමිළ. යාපනේ වැසියෙක්. වැඩ කරන්නෙ අපි එක්ක කොළඹ. සිංහල දමිළ භාෂා දෙකම මැනවින් හසුරුවනවා. කමල් කැමැත්තෙන්ම භාෂා පරිවර්තක බවට පත් උණා මාත් කවීතාත් අතර. 

‘‘ අක්කා ඇන්ටිගෙ ෆෝන් එක නැති උණා. එයාට කෝල් එකක් ආවා. මමයි ෆෝන් එක ගෙනිහින් දුන්නෙ. එයා ළිඳ ළඟ ඉඳන් කතා කළේ. ළිඳ ළඟ තියන්න ඇති. වඳුරො ගෙනිච්චද දන්නෙ නැහැ. ළිඳට වැටුණද දන්නෙ නැහැ. මම හොරකම් කළා කියල හිතල  මාව ගෙදරින් යැව්වා. ’’   

ඈ කී දිගු කතාව කමල් මට සාරාංශ කළේ එලෙසින්. 

‘‘දැන් ඔයා කොහෙද ඉන්නෙ’’ මගේ සිංහල ප‍්‍රශ්නය කමල් දමිල බසට හරවනවා. 

‘‘පුංකුඩතිව්. මේ අම්මගේ ෆෝන් එක. අක්කා  ඕන වෙලාවක කතා කරන්න. මම හොරකම් කළේ නෑ අක්කා. ’’  

කමල් සහ කවීතා අතර සංවාදය ඇදෙද්දී මගේ හිත දැවෙනවා. ඈ අහිංසක කෙල්ලක්. කෙසේවත් මෙවන් වරදක් ඈ අතින් සිදු විය නොහැකි බවයි මට හිතෙන්නෙ. කිසිවක් සිතා ගත නොහැකියි. 

නමුත් ඈ මට කතා කළා ඇගේ දුක කියන්නට. මගේ දෙනෙත් තෙත් වන්නේ ඒ ආදරය, ගෞරවය සහ විශ්වාසය නිසයි. 

‘‘ අක්කා සී යු බායි..’’ මට වැටහෙන බසින් ඈ මට සමු දුන්නා.

‘‘දෙවි පිහිටයි සතුටින් ඉන්න නංගී.  මම ඔයාට කතා කරන්නම්’’ මගේ සිංහල සිතුවිලි කමල්ගේ පිහිටෙන් දමිල බසට හරවාගෙන මමද ඇයට සමුදුන්නා.

නමුත් මහා හිස්තැනක් හිතේ ඉතිරි වුණා වගේ මට දැණුනා.

හිතේ හැටියට ඇගේ දුකට සවන් දෙන්නට, ඇගේ හිත හදන්නට නොහැකි උණේ භාෂා ප‍්‍රශ්නය හරස් වූ නිසා. ඒ ළතැවිල්ල තාමත් හිත පුරා.

2013 පෙබරවාරි

1 comment:

  1. ඔය විදියට වැඩකාර කම ටදෙමල කෙල්ලන්ව ගෙන්නගන්න හැකියාව ලැබිල තියෙන්නෙ අතිගරු ජනාධිපති තුමා යුද්දෙ දින්න නිසා.. ඇත්තටම එතුමාට ස්තූති වන්ත වෙනවා අපිට වැඩකාරකමට කෙල්ලෙක් ගෙන්න ගන්න අවස්ථාව ලබාදුන්නට.

    ReplyDelete