නත්තල් කාලෙත් අත ළඟටම ඇවිදින්... නත්තල
කියන්නෙ පුංචි හිත්වල පැතුම් පිපෙන කාලෙ. බලාපොරොත්තු පොදි ගැහෙන කාලෙ... ලස්සන
නත්තල් ගහක් හදන්න, පුංචි
ගවලෙනක් හදන්න, නත්තල් සුබපැතුම්
යවන්න... රසම රස කැවිලි කන්න... නෑගම් යන්න... පුංචි අය හරිම ආසයි. පිණි මුවන්
ඇදන් යන හිම යානෙක නැගල ඇවිදින් නත්තල් සීයා තෑග්ගක් ගෙනත් දෙයි කියලත් පුංචි අය
පෙරුම් පුරාගෙන බලන් ඉන්නවා. ඉතින් මේ කාලෙට සිඟිති සුරංගනාවිටත් වැඩ බහුල කාලයක්.
ඇයි පුංචි ළමයි සතුටින් ඉන්නව වගේම එයාලට දුක හිතෙන වැඩත් හරියට සිද්ධ වෙනවනේ...
මේ කතාවත් ඒ වගේ නත්තල් කාලෙක වුණූ දෙයක්..
සෝනු බබා දැන් ඉස්කෝල යන්නත් ළඟයි.
මොන්ටිසෝරි බබෙක් විදියට එයාට ලැබෙන අන්තිම නත්තල මේ. සෝනු බබා නත්තලට හරිම
ආසයි... නත්තල් ළඟයි කියන වචන ඇහුණ දා ඉඳන් එයා හීන මැව්වා නත්තල් සීයගෙන් තෑගි
ලබා ගන්න. එයාට ඕන වෙලා තිබුණෙ වයින් තියන්න පුළුවන් ලස්සන
කාර් එකක්. එයා හැමදාම ?ට නිදා
ගන්න යද්දිත් ජේසුට කිව්වා.. ‘‘ ජේසු
නත්තල් සීයට කියන්න, මට වයින්
තියන කාර් එකක් ඕන කියල ’’
සැරින් සැරේ අම්මගෙනුත් ඇහුවා ‘‘ අම්මෙ ... නත්තල් සීයා මට කාර් එකක් ගෙනත් දෙයි නේද? ’’ කියල. ‘‘ ඔයා හොඳට හිටියොත් ගෙනත් දෙයි’’ අම්මා කිව්වා. අම්මට වැඩ වැඩි නිසා ඒ ගැන වැඩිය හිතන්න
ඉඩක් තිබුණෙ නැහැ. අම්මටත් ඒක අමතක වුණා.
ඔන්න නත්තල් දා ? පල්ලි ගිහින් සෝනු බබා හිතුවෙත් වයින් තියන කාර් එකක්
ගැනමයි. පහුවෙනිදා ඇහැරුණු ගමන් සෝනු බබා දුවගෙන ගිහින් නත්තල් ගහ ගාව බැලූවා. මේ
ගමේ නත්තල් සීයා ජනේලෙ එල්ලෙන මේස් කකුලක තෑගි තියල යන්නෙ නැහැ. එයා නත්තල් ගහ
ගාවයි තෑගි තියන්නෙ. ( ඔයාල දන්නවනෙ ඇත්තටම නත්තල් සීය එනව නෙවෙයිනෙ. නත්තල් සීය
වෙනුවට තෑගි තියන්නෙ අම්ම, තාත්තා, පවුලෙ අනිත් අයනෙ.)
ලස්සන පාට පාට දිලිසෙන කොලවලින් ඔතපු
තෑගි පාර්සල් කීපයක්ම තියෙනවා. සෝනු බබාට හදිසියි තෑගි බලන්න. ලස්සන කොල ඉරිල
ගියා. තෑගි එකින් එක එළියට ආවා. ඒ වගේම සෝනු බබාගෙ මූණ මැලවිලා ගියා. ඉස්කෝල බෑග්
එකක්,
අළුත් ඇඳුමක්, කතා පොත් දෙකක්, ඉස්කෝලෙ ගෙනියන පොත්, ඒවයි
තිබුණ තෑගි... සෝනු බබා මූණ බෙරි කරගෙන නැගිට්ටා...
‘‘
ඇයි පුතේ... තෑගි හොඳ නැද්ද? ’’ අම්ම ඇහුවා.
‘‘
මම පොඞ්ඩක්වත් ආදරේ නෑ මේ නත්තල් සීයට ’’ සෝනු බබා කිව්වෙ තරහෙන්. ‘‘ නත්තල් සීය හරිම හොඳ නෑ. චූටි ළමයි ආස සෙල්ලම් බඩුවලට කියල දන්නෙ නැද්ද
නත්තල් සීයා...’’ මූණ බෙරි කරගෙන එහෙම
කිව්ව සෝනු බබා ආයෙම දුවල ගිහින් ඇඳේ ගුලි ගැහුණා.. ඒ නත්තල් දවස පුරාම සෝනු බබා
හිටියෙ දුකින්.
‘‘
පුංචි ළමයින්ට දෙන්න තෑග්ගක් තෝරද්දි
වැඩිහිටි අය හිතන්න ඕන තමන්ට දෙන්න ඕන කරන දේ ගැනවත්, තමන්ගෙ පහසුව ගැනවත් නෙවෙයි, පුංචි අය ආස කරන දේ ගැනයි. එයාලගෙ සතුට ගැනයි. ළමා කාලෙ
හැමදාම තියෙන්නෙ නැහැනෙ. බොහොම පුංචි කාලයයි. ඉතින් ඒ අහිංසක ළමා කාලෙ ලස්සන අත්දැකීමක් කරන්න
වැඩිහිටි අපි උත්සාහ කරන්න ඕන....’’ සිඟිති සුරංගනාවි තමන්ගෙ දිනපොතේ එහෙම ලියල තිබ්බා ඒ
නත්තල් දවසේ.
No comments:
Post a Comment