March 12, 2014

සන්තකයම බෙදා ගත් නත්තල් සීයා....


නත්තල නම් දේවත්වය හා මනුෂ්‍යත්වය ඒකාත්මික වීමේ අසිරිය සමරන උත්සවයයි. මිහිමත ආදරයේ, සාමයේ, ප‍්‍රීතියේ උත්කර්ෂය ගලා ගිය අපූරු උපතක් සමරන දිනයයි. නත්තල මනුෂ්‍යත්වයේ උත්තරීතරභාවයන් විකසිත වන දවසයි. මෙය ක‍්‍රිස්තියානි ආගමික උත්සවයක් වුවද අද සකල ලෝකවාසී ජනතාව කිසිදු ආගම්, ජාති භේදයකින් තොරව නත්තල් ප‍්‍රීතිය හා එක් වෙති. නත්තල නම් අන්‍යයන්ගේ සතුට සැනසුම වෙනුවෙන් තමන් සන්තකයෙන්ම පරිත්‍යාගී විය යුතු බව පෙන්වා දුන් දේව පුතාගේ උපන්දිනය බව සිහි කරමින්, අපේ ගමේ නත්තල් සීයා ඉපදුණු අසිරිය අද මිනිසි අසිරි ඔබ වෙත ගෙන එයි.
2004 වසරේ නත්තල් දිනයයි. අපි උඳුවප් මහේ 24 වන දා රාත‍්‍රීයේ ගමේ පල්ලියේ පැවති නත්තල් දිව්‍ය පූජා මෙහෙයට සහභාගී වෙමින් සිටියෙමු.

‘‘ යන්න.... නත්තල් දින ඉපදුණු ජේසු කුමරුන් ලොවට ගෙන ආ ආදරයේ සාමයේ පණිවිඩය රැගෙන යන්න... ’’ පියතුමා අවසාන ආශිර්වාදය දානය කළේය. අපි සැවොම ප‍්‍රීතියෙන් මෙලෙස ගායනා කළෙමු.

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ... ලස්සන බිළිඳෙක් මල් වගේ
මවගෙ ළයේ සුරතල් විඳින්නා ... මුතු වැනි රූ සපුවයි ඇගේ
ජය ජය ජය සිරි ... ජය මංගල සිරි ... මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ...

ගීතිකාවෙන් පසුව එකිනෙකාට නත්තල් සුබ පැතුම් පිරිනමමින්, සිපාචාර දක්වමින් අපි පල්ලිය ඉදිරිපසට එමින් සිටියදී ‘‘ අනේ.............. මෙන්න නත්තල් සීයෙක් එනවා... ’’ ළමෝ කෑ ගසන්නට වූහ. සියල්ලෝ දෙව් මැදුරු අංගනයට පිවිසුණහ. පොල් ගස් පේළි අතරින්, අන්ධකාරය මැදින් නත්තල් සීයා කෙනෙක් හෙමිහිට පැමිණේ. අතක වර්ණවත් බැලූම් පිරුණු සැරයටියකි. අනෙක් අතින් ගත් කුඩා සීනුවේ නාදය සුර ලොව සිට විහිදෙන නාදයක් මෙන් නිසල රැය පුරා රැව් දේ. නත්තල් සීයාගේ ඇඳුම අංග සම්පූර්ණය. උර මත කුඩා මල්ලකි. අඩුවකට ඇත්තේ පිණිමුවෙක් පමණි.

දෙව් මැදුර අසලටම පැමිණි නත්තල් සීයා ‘‘ සුබ නත්තලක් වේවා දරුවනේ... ’’ ආරූඪ කර ගත් වයස්ගත කටහඬකින් සුබ පැතුවේය. අනතුරුව මල්ලෙන් ගත් බැලූම් බෝල සහ ටොෆි දරුවන් අතර බෙදා දුන්නේය. වැඩිහිටියන්ටත් ටොෆිය බැගින් ලැබිණි. දුප්පත් නත්තල් සීයා කෙනෙක් විය යුතුය. තෑගි මල්ල එතරම් පොහොසත් නොවූයේ එබැවිනි. නමුත් අපේක්‍ෂා නොකළ මොහොතක පැමිණි නත්තල් සීයා අප හා බෙදා ගත් සතුට නම් සුළුපටු නොවීය.  ඔහු ළමුන් සමග අත්පොඩි ගසමින් නත්තල් ගීතිකා, ළමා ගී කිහිපයක් ගායනා කළේය.

‘‘ කවුද මේ නත්තල් සීයා...චුට්ටක්වත් අඳුන ගන්න බැහැනෙ...?’’

‘‘ කවුද පල්ලියෙ අඩු.... වෙන පල්ලියකින් ආව කෙනෙක්ද දන්නෙ නෑ...’’

අපට මහත් ගැටලූවකි. විමසිල්ලෙන් බැලූ මුත් කිසිදු සලකුණක් හඳුනා ගත නොහැකිය. පුළුන් වැනි සුදු රැුවුලෙන් මුළු මුහුණම වැසී ඇත. ඇහි බැමටද සුදු පුළුන් අලවා ඇත. කණ්ණාඩි කුටිටමක් පැළඳ ඇති මුත් මම දෑසට එබිකම් කළෙමි. ඒ නම් දන්නා හඳුනන දෑසකි. ‘‘ ඇස් දෙක අපේ අයියගෙ වගේ...’’ මම හෙමිහිට අපේ කට්ටිය සමග කීවෙමි. ‘‘ වෙන්න බෑ අයිය පල්ලි ආවනේ...’’ නංගී කීවාය. ‘‘ ලොකු පුතා වගේ තමයි. ’’ තාත්තාද කීවේය. අපි වටපිට බැලූවෙමු. අපේ නෑනා රේණු, දූත් වඩා ගෙන සිනාසෙමින් බලා සිටියාය. අයියා පෙනෙන්නට නැත.

‘‘ අයිය නේද නත්තල් සීයා...’’ රේණු හිස සලා හිනැහුණාය.  

‘‘ කොහෙන්ද අනේ ඇඳුම හොයා ගත්තෙ...’’

‘‘ රෙදි ගෙනත් මැහුවා..’’

‘‘ ඒ කොහොමද අපි දැක්කෙවත් නැහැනෙ...’’ අපි විස්මපත් වූයෙමු.

මේ නත්තල් සීයා අපේ බාප්පාගේ ලොකු පුතාය. අයියා කුඩා කල හදවතේ සිදුරක් නිසා හදවත් සැත්කමක් කළ හෙයින් බර වැඩ කළ නොහැකිය. ජීවනෝපාය පිණිස ඔහු කළේ කුඩා සිල්ලර වෙළඳාමකි. එය ලාබ ලැබූ වෙළඳාමකට වඩා ණයට දුන් වෙළඳාමකි. එනිසාම ඔහු අතමිට සරු කෙනෙකු නොවීය. ජීවත් වුයේද කඩයටම අල්ලා සාදා ගත් කාමරයකය. ඒ වන විට අයියාට සිටියේ එක් දියණියක පමණි.

මේ දිනවල කඩේ කොටසක අයියාගේ මිතුරකු ඇඳුම් මැසීම සිදු කළේය. නත්තල් සීයා ඇඳුම මසා ඇත්තේ ඔහු විසිනි. මාසයක පමණ කාලයක සිට කඩය වැසීමෙන් පසුව රාත‍්‍රී එකොළහට පමණ මේ ඇඳුම ටිකෙන් ටික මසා තිබිණි. සැලකිය යුතු මුදලක් ඒ සඳහා වැය කර ඇත. එම නත්තලේ බිරිඳට, දරුවාට හෝ තමාට අළුත් ඇඳුම් පැළඳුම් කිසිවක් නොගෙන, කැවිලි පෙවිලි කිසිවකට මුදල් වැය නොකර අයියා නත්තල් සීයා සිහිනය වෙනුවෙන්ම කැප වී තිබිණි.

එදා ඉපදුණු අපේ ගමේ නත්තල් සීයා දැන් සෑම නත්තලකම ගමට පැමිණේ. ඊළඟ වසර වන විට සයිප‍්‍රස්වල සිටි නැන්දා කෙනෙක් අපට තව නත්තල් සීයා ඇඳුමක් එවා තිබිණි. ඒ වසරේ නත්තල් දා හිමිදිරියේ නත්තල් සීයලා දෙදෙනෙක් ගම වටා සැරිසැරූහ. ළමුන්ට පොත්, පෑන්, පැන්සල්, ටොෆි, බැලූම් බෙදා දුන්හ. ක‍්‍රම ක‍්‍රමයෙන් නත්තල් සීයාගේ තෑගි මල්ල පොහොසත් විය. වසර කිහිපයකට පසු අපිද නත්තල් ගීතිකා ගයමින් නත්තල් සීයා සමග තෑගි බෙදමින් යන්නට පටන් ගතිමු. නත්තල් සීයලා, කැරොල් කණ්ඩායම් ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කරන අවස්ථාද අපි දැක ඇත්තෙමු. නමුත් අපේ නත්තල් සීයා තෑගි බෝග, ආදරය, සතුට ලබා දී පෙරළා ලබන්නේ ආදරය සතුට සහ ආශිර්වාදය පමණි.

වසර කිහිපයක සිට අසල්වැසි ගම්වලට ද, කොහු මෝල් තුනකට ද, වැඩිහිටි නිවාසයට ද අපි නත්තල් අසිරිය රැගෙන යන්නෙමු. දැන් එය අපේ නත්තලේ ප‍්‍රමුඛ කාර්යය වී ඇත. නත්තල් සීයාගේ තෑගි මල්ල පිරෙන්නේ අප සැමගේ දහඩිය මහන්සියෙනි. වසර ගණනක සිට මගේ දෙසැම්බර් මස වැටුපෙන් වැඩි කොටසක් වැය වන්නේ ද නත්තල් සීයාගේ තෑගි මල්ල පුරවන්නට කොළඹින් තෑගි බෝග මිල දී ගන්නටය. ඉතා දුෂ්කර දිවි ගෙවන නමුදු ඥාති සොයුරු සොයුරියෝ ද, අසල්වැසියෝ ද නත්තල් සීයාගේ තෑගි මල්ල පුරවන්නට දායක වෙති.

අතමිට දිළිඳු මුත්, හිත පොහොසත් නත්තල් සීයා කෙනෙක් ලබා දුන් ආදර්ශය අනුව යමින් අපි දැන් නත්තලේ සතුට අන්‍යයන් හා විශේෂයෙන්ම කුඩා දරුවන් හා බෙදා ගන්නෙමු. 


2012 දෙසැම්බර්

No comments:

Post a Comment