සුරංගනාවියක්ගෙ ජීවිතේ හරිම ප‍්‍රීතිමත් සුන්දර එකක්
කියලයි හැමෝම හිතන් ඉන්නෙ. එක අතකින් ඒ කතාව ඇත්ත. සුරංගනා ලෝකෙ පිරිල තියෙන්නෙ
ආදරයෙන්.. සාමයෙන්... සතුටින්.. නිදහසින්... ඒත් සුරංගනාවියන්ට උණත් දුක හිතෙන
වෙලාවල් තියෙනවා. වැඩියක්ම මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් දැක්කම... විශේෂයෙන්ම පුංචි
ළමයින්ව බලා ගන්න සිඟිති සුරංගනාවියන්ට නම් හිත් තැවුල් බොහොමයි. පුංචි පැංචන්ගෙ
රිදෙන බිඳෙන හිත් දැක්කම..
සිඟිති සුරංගනාවි ටියුෂන් පන්ති ගියේ සුරංගනා ලෝකෙ ශිෂ්‍යත්ව
විභාගෙ තියෙන හින්ද නම් නෙවෙයි ඔන්න. එයාට බලා ගන්න නියමිත පුංචි දරුවෙක්වත් හැම
සෙනසුරාදා පාන්දරකම එයාගෙ අම්මා ටියුෂන් පන්තියකට ඇදන් යනව දැකල සුරංගනාවිටත්
හිතුණා ගිහින් බලන්න. අඩු තරමෙ සෙනසුරාදවත් ටිකක් නිදහසේ ඉන්න පුංචි දරුවන්ට ඉඩක්
නැත්තෙ ඇයි? අම්මල
තාත්තල මේ හැටිම පන්ති පස්සෙ පන්නන්නෙ ඇයි?
සුරංගනා ලෝකෙ අයට හරි ප‍්‍රහේළිකාවක්.
මේ තරෙඟ කොයි තරං දරුණුද කියල සුරංගනාවිට හරියටම දැණුනෙ
ටියුෂන් පන්තිය පැත්තෙ ගියාම. පන්තියේ ඉස්සරහින්ම දරුවව වාඩි කරවන්න ඕන නිසා අම්මල මහ පාන්දර, සීතලේ ගැහි ගැහී නිදිමත බේරෙන පැංචන්ව
බලෙන්ම පන්තියට ඇදන් එනවා. ඒ මදිවට කෑම පෙට්ටි පුරවල කඩචෝරු. අධ්‍යාපන තරෙඟට මැදි
වෙලා ඉන්න අම්මලට කොහෙන්ද වෙලාවක් ගෙදරදිම පෝෂ්‍යදායක කෑම වේලක් හදල ළමයින්ට
දෙන්න. මේ විදියට ගියොත් නම් අධිවේගී පාරවල්,
වරායවල්, ඓශ්චර්යමත්
ස්මාරක නෙවෙයි ලංකාව පුරාම පිලිකා රෝහල් හදන්න වේවි.
පන්තිය ඇතුළට ගියාම සුරංගනාවිට පුදුමෙනුත් පුදුමයි.
මෙන්න අම්ම කෙනෙකුත් වාඩි වෙලා ඉගෙන ගන්නවා. අම්මටත් ශිෂ්‍යත්ව විභාගෙද? ඒ අම්මා ගුරුවරයා කියන හැමදේම ලියා
ගන්නවා. ඒ මදිවට මෙන්න අනිත් දරුවන්ට දුන්න ප‍්‍රශ්න පත්තරයකටත් අම්මා උත්තර
ලියනවා. ඇයි මේ? සුරංගනාවිට
කතන්දරේ තේරුණේ ගුරු කාමරේ කතා බහකින්.
‘‘ මේ අම්මලට
පිස්සුද මන්ද.. උණ ගැණුනු ළමයව ගෙදර දාලා ඇවිදින් මෙතන ඉගෙන ගන්නවා. මොන අම්මටද
පුළුවන් අසනීප දරුවෙක්ව තනි කරල දාල එන්න... ලෙඩක් හැදුණම අම්ම ළඟ ඉන්න ඕන නේද?
’’
ඒ විතරක් නම් මදෑ. පුංචි දැරිවියක් වෙව්ලනවා. ඇස්වලින්
කඳුළු බේරෙනවා. තදටම උණ. අම්ම පන්තියට ඇරලවල යන්නත් ගිහින්. අසනීප තියාගෙන දරුවෙක්
ඉගෙන ගන්නෙ කොහොමද? ගුරුවරයට
හොඳටම කේන්ති මේ අම්මලගෙ මෝඩ වැඩ ගැන. ගුරුවරයා අම්මට කතා කළා දුරකථනයෙන්. දරුවව
ඇවිත් එක්කරගෙන යන්න කිව්වෙ ටිකක් තදින්.
අම්මා කියන වචනය ඇතුළෙ විශ්වයේම ආදරය තියෙනවා. දරුවන්ට
අම්මා කෙනෙක් තරම් ළඟ වෙන කවුරුත් නැහැ. දරුවන්ගෙ හිත් තේරුම් ගන්න පුළුවන් හොඳම
කෙනා අම්මා. එහෙමයි සුරංගනාවිය දැනගෙන හිටියෙ. සුරංගනා ලෝකයේ අයත් අම්මා ගැන
කියන්නෙ එහෙමයි. ඒත් මේ අධ්‍යාපන තරෙඟෙ ඇතුළෙ ඒ උත්තම මව්පිය ගුණත් වියැකිලා
ගිහින්.
ළමා කාලෙ ජීවිතේ ලස්සනම කාලෙ. ඉගෙන ගන්නත් ඕන තමයි. ඒත් ඉගෙනීම කියන්නෙ විභාග සහතික
ගොඩගහගන්න එකම නෙවෙයිනෙ. ළමා කාලෙ ලැබෙන ආදරය, ඇගයීම,
නිදහස, ගුණධර්ම
එක්ක තමයි ජීවිතේ ගොඩ නැගෙන්නෙ.. දුවල පැනල සෙල්ලම් කරන්න, අම්මල තාත්තල එක්ක ආදරෙන් හුරතලෙන් ඉන්න, සැහැල්ලූවෙන් සමනල්ලූ වගේ ඉන්න ළමයින්ට
ලැබෙන්න ඕනනෙ. ඒත් මේ යන විදියට නම්
අසහනයෙන්, පීඩනයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් පිරුණු අනාගත පරපුරක් බිහි
වෙයි කියලයි සිඟිති සුරංගනාවිට නම් හිතෙන්නෙ.
තරු, මේකට අපි මේකට එක අම්මෙකුට බැනලා වැඩක් නෑ. එහෙම කරලා තියෙන්නේ මේ ලංකාවේ අධ්‍යාපන සිස්ටම් එකෙන්.
ReplyDeleteඅපේ රටේ උගත්තු බිහි කරන්න සිස්ටම් එකක් නෑ. ඉස්සර එහෙම ඒවා තිබුනා. දැන් තියෙන්නේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න ක්‍රමයක්. ඒක පටන් ගන්නේ ළමයාගේ පොඩි කාලේ ඉඳලමයි. ළමයින්ට ළමා කාලයක් නෑ. උන් පොඩි කාලේ ඉඳන්ම හිරකාරයෝ කරලා.