පසුගිය වසරේ
දුරුතු මහේ සතිඅන්තයක අපි යාපනේ ගියා. සංචාරයකට නෙවෙයි. ළමා එකමුතු කරන තරුණ
පිරිසක් සමඟ නායකත්ව පුහුණු වැඩමුළුවකට.. ඒ ගමනේ හදමත කැටයම් වූ සුන්දර අත්දැකීමක්
මේ..
කොළඹින් පිටත්
වූ වෑන් රථයට යාපනයේදී එක් වුණා දෙමළ සොයුරන් තිදෙනෙක් සහ මන්නාරම සිට පැමිණි තවත්
දෙමළ සොයුරියන් දෙදෙනෙක්.. යාපනය බස් නැවතුමට අපි ගියේ වව්නියාවේ සිට පැමිණි කන්‍යා
සොයුරිය ඇතුළු නඩය හමුවන්න... එතැනත් දහයක් පමණ... දැන් වෑන් රථයට නම් හුස්ම
ගන්නත් බැරි තරම්.
‘‘ අනේ ෆාද මේ දරුවො පැය තුනක්ම බස් එකේ හිටගෙන ආවා”
සිස්ට කිව්වෙ දොම්නස් හැඟීමෙන්... ෆාද අසීරුවක...
‘‘ අපි පුංචි
කැපකිරීමක් කරමු නේද, ඔයාලට
පුළුවන්නෙ බස් එකේ එන්න. මම මේ කට්ටියව වෑන් එකේ අරන් යන්නම් ‘‘ ෆාද අපෙන් ඇහුවා.
කට්ටියම එක පයින්. වෙනස් අත්දැකීමක්නෙ.
තනියට මන්නාරමේ
නංගිලා දෙන්නා සහ යාපනයේ රොෂාන් මල්ලී ආවා. අපේ ගමනාන්තය වුණේ පණ්ඩිතිරිප්පු දහම්
මධ්‍යස්ථානය. ඒ පැත්තට යන අන්තිම බස් එක. පොල් පටවල වගේ සෙනඟ. අපිත් පැටවුණා.
කෝච්චිවල තදබදයත් හුරු වෙලා නිසා ඒ තරම් ගාණක් උනේ නැහැ. බස් රථය පිටත් වෙද්දි
හතයි... හොඳටම කරුවල. මා අසලම අසුනේ දෙමළ තරුණයෙක්. පිපිරෙන්නට ආසන්න මුහුණකින්.
සිංහල අපි ගැනද, ප‍්‍රශ්නයක්....? නමුත් ඒ අපමණක් රිදුම් දුන් ජීවිතයකින් උපදින අප‍්‍රසාදයක් විය හැකියි.
මුල් වරට හිතට බියක් ඇතුළු උණා.. තවමත් හොල්මන් කරන අවිශ්වසනීය සංකාවන්. අතක් පයක්
හොලවන්නවත්, හෙළවෙන්නවත් බැරි තත්වයක
මන්නාරමේ නැගණියන් මා අසලම සිටීම සහනයක් උණා... සැබවින්ම.
බියමුසු හැඟීම්
හිත මත බරට පැලපදියම් වෙමින් තියෙන මොහොතකයි, හුරුපුරුදු දෙමළ ගීතයක මිහිරි ස්වරය පෙට්ටි බසයේ ගාලගෝට්ටිය අතරින් මිදිල
හිත ළඟ නතර වුණේ. එයින් හදවත සන්සුන් වුණේ පුදුම විදියට.... ‘‘ වා වෙන්නිලා
උන්නතානේ....‘‘ එස්. පී. බාලසුබ‍්‍රමනියම්ගේ හඬ. මම ආසම ගීතයක්, එකම වදනක් හෝ නොතේරුණත්... පසුවයි මා එහි අර්ථය සොයා ගත්තෙ.
‘‘එන්න සඳ....
මේ අහස ඔබව බලාපොරොත්තුවෙන් හිඳිනවා...
වළා සළුවෙන්
මුව මඩල වසාගෙන ඇයි මෙසේ ඈත්ව යන්නේ...‘
සැනෙකින් අඳුරු
වළා,
බිය සංකා සියල්ල දුරු වී ගියා. සියුමැලි ගීතයකට
පුළුවන් කාන්තාරයකදි උණත් සිහිල් දිය කඩිත්තක සුවය දෙන්න...
‘‘ නල්ල
සෝන්ග්. අයි ලයික් ඉට්” මගේ හඬට ලක්ෂණාගේ සහ රොක්සිගේ තිලක තැබූ මුහුණු විකසිත
උණා... දෙමළ ගීතය කෙරෙහි මා දැක්වූ ප‍්‍රසාදය ඔවුන් සතුටින් පිරවූ බව මට දැණුනා.
සංගීතය විශ්ව
භාෂාවක් එය විඳින්නට මනුෂ්‍ය භාෂාව බාධාවක් නොවෙයි. හදවත් යා කරන්නට සංගීතයට, ගීතයට කළ හැකි මෙහෙවර කොතරම්ද? මට සිතුණා. පොදුවේ කලාව සාහිත්‍යයට මනුෂ්‍යත්වය ඉහළ නංවන්න විශාල මෙහෙවරක්
කළ හැකියි. එහි විවාදයක් නැහැ. අපි කොතරම් දුරට එයින් ඵල ප‍්‍රයෝජන ගන්නවාද යන්නයි
ගැටලූව.
ඉන් අනතුරුවත්
පැරණි දමිළ චිත‍්‍රපට ගී සමූහයක් රෝසා බස් රථයෙන් මිදී අන්ධකාර අවකාශය තුළ පියාසර
කළා. ගමනේ අසීරුව මැකී ගියා. බස් එක යනවා යනවා... අපිත් සිංහලෙන්, දෙමළෙන්, අංගචලනයන්ගෙන් කතා බස්
එකේ නැගල ගියා.
‘‘කොහෙද මේ
යන්නෙ’’ එක් තාත්ත කෙනෙක් කැඩුණු සිංහලෙන් ඇහුවා.. අම්මේ දැණුනු සහනයක්. සිංහලෙන්
කතා කරන කෙනෙක් හමු වුණා බස් එකේදී. අහිංසක හිනාවක් තිබුණ ආදරණීය දෙමළ තාත්ත
කෙනෙක්. අපව සත පහකට ගණන් නොගත් රවා ගත් මුහුණු කිහිපයක් අතර ඒ හිනාව කැපිල
පෙණුනා...
ඒත් කාටවත් දොස් කියන්න බැහැ. සිංහල අපේ අත්වල ලේ ගෑවිලා.. අපි ඒ හිත්වල
සැනසුම වෙනුවෙන් මෙතෙක් කර ඇති වැඩ කොටස ගැන සෑහෙන්නෙ කොහොමද? වරදකාරී හෘදය සාක්ෂියකින් පැන නැන රිදුමක් මිස මට කා ගැනවත් අමනාපයක්
දැණුනෙ නැහැ.
No comments:
Post a Comment