අලුත්ගම ගිනි ඇවිළිණි.
සැබවින්ම එය ඇවිළුණු ගින්නක් නොව අවුළුවා ලූ ගින්නකි. පශ්චාත් නන්දිකඩාල් සමයේ
ආරම්භයේ සිට අලු යට සඟවමින් නමුත් නිවෙන්නට නොදෙමින්, සෙමෙන් සෙමෙන්
හුස්ම පිඹ අවුලුවා ලූ ගින්නකි. එක් ජාතිවාදී අරගලයක ගිනිදැල් නිවී යන්නටත් පෙර
තවත් ජාතිවාදී ගින්නක හදවත් දවාලන ගිනියම විඳින්නට තරම් අපි අවාසනාවන්තයෝ වීමු.
වරද එක් පසෙකට පමණක් බැර කිරීම නොහොබී. ජාතීන් අතර විවිධත්වය අගයන්නට නොහැකි, එකිනෙකාව
පිළිගන්නට, ඉවසන්නට, සමාව දෙන්නට
නොහැකි, වෛරය වෙනුවට
ආදරය ජීවිතය කර ගත නොහැකි අපි සියල්ලෝම මෙහි වරදකරුවෝ වෙමු.
ජීවිතයේ වටිනාකම
තේරුම් ගත් එවැනි දයාවන්ත මිනිසුන් සිහසුන් නොගැන්වූ අපි සියල්ලෝම වරදකරුවෝ වෙමු.
අලූත්ගම ගින්නෙන්
නැගුණු වේදනාවෙන් කම්පනයට පත් හදවත් විවිධ අයුරින් එයට සිය විරෝධය පළ කරනු අපි දුටිමු.
මේ ගින්නෙන් උපන්
ස්නේහයක් පිළිබඳ මට අසන්නට ලැබුණු කතාවකි.
යුද්ධයෙන් පීඩාවට පත්
නැගෙනහිර ප‍්‍රදේශයේ කාන්තා සමූහයක් අලුතින් අලුත්ගමින් අවලූවා ලූ නොමිනිස් ක‍්‍රියාවට
එරෙහිව තම විරෝධය පළ කළේ එදා මෙදාතුර නොමිනිස්කම් නිසා දිවි දුන් සියලුම මිනිසුන්
වෙනුවෙන් සහ සැබෑ සාමය මේ මිහිතලය මත උදාකරලන්නට සැම සිත් පහන් වේවා යන පැතුමින්
පහනක් දල්වමිනි. මේ කාන්තා එකතුවේ බහුතරය දමිළ ය. සිංහල හා මුස්ලිම් අතළොස්සක්
වෙති.
නැගී සිටි මුස්ලිම්
සොයුරියක් කතා කළේ කඳුළු පිරි දෙනෙතිනි.
‘‘ඔයාලට යුද්දෙන් කරදර වෙද්දි ඒක අපිට දැණුනෙ
නෑ. අපි ගණන් ගත්තෙ නෑ. අපි මොනවත්ම කළේ නෑ. ඒත් අද අපිට කරදර වෙද්දි පහනක් පත්තු
කරන්න හරි මුලින්ම එකතු වෙන්නෙ ඔයාල.. අපි තනිවෙලා නැහැ කියල දැනෙනවා.’’
ඒ හෘදයාංගම කතාව එතැන
සිටි බොහෝ දෙනෙකුගේ නෙත කඳුළු නැංවීය.
‘‘අපි දන්නවා මරණ බය.... ඒ වගේම අපි දන්නවා ප‍්‍රතික්ෂේප
වෙන එක, අත්හැර දමන එක, නොසලකා හරින
එක, තමන්ගෙම අය නැති
වෙන එක, උන්හිටි තැන්
දාල යන්න වෙන එක කොයි තරම් වේදනාවක්ද කියල... ආයෙමත් ඒ වගේ දේවල් කිසිම
මනුස්සයෙකුට සිද්ද වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවෙනුයි අපි එකතු වෙන්න ඕන...’’
ඒ හඬ දෙමළ සොයුරියකගේ
ය.
දැල්වූ පහනින් හදවත්
දැල්වුනේ එලෙසිනි. කඳුලින් අලුත් සෙනෙහස් බැම්මක් ගොඩනැගුණි. සිනා නැගුණි. ඒ සිනහව
වෙනදාට වඩා අවබෝධයෙන්ද, ආදරයෙන්ද, ධෛර්යයයෙන්ද
පිරී පැවතිණි. සිදුවිය යුත්තේත් එයම නොවේද?
හැමෝම මේ විදිහට හිතන දවසක් එනෙවනම් හැමදෙයක්ම හොදින් සිද්ද වේවි..
ReplyDeleteමේ අවස්ථාව ගැන පළවූ වාර්තා, ඡායාරූප එහෙම තියනවද?
ReplyDeleteසුනේත්‍රා රාජකරුණානායකගෙ "සෞම්‍යාලෝකය" කියවමින් ඉන්නෙ... අද උදේ ඇහැ ගැටුණු කොටසක් මේක...
"යුද්ධ දිනන්න පුළුවන්, හැබැයි සාමය දිනන්න බැහැ. යුද්ධයකින් දිනන මිනිස්සු ඊලඟට ඉගෙන ගන්න ඕනේ ඒ ආඩම්බරය පැත්තක තියලා සාමයට යටත් වෙන්න"