By Agnes Nicholl |
පොසොන් මස 22 වන ඉරිදා සැඳෑව ගත වුණේ පොල්වත්ත ළ.ක්‍රි.වී. ඒකකයේ දූ දරුවන් සමඟ. පුංචි පැටවුන්ගේ දස්කම් විස්කම් ඔපවැටුණු ගිනිමැලයට හදවතින්ම ඇතුළ් වෙමින්. ප්‍රීතියෙන් රඟදෙන ගිනිදලු මැද අන්ධකාරය බිඳී විසිරී ගිය ඒ සිහිලැල් සැඳෑවේ මගේ හිත දිව ගියේ ඈත අතීතයට. ඒ 1999 වසරට.
උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගමෙන් පිටවෙන්නට පෙර මගේ ළ.ක්‍රි.වී. ඒකකයේ දරුවන් සමඟ පැවැත්වූ අවසන් ගිනිමැලයට. එදා ගිනිමැලය අවසානයේ මා ළඟට පැමිණි අම්මා කෙනෙක් මෙහෙම කිව්වා...
“ඔයා ගමෙන් ගියාම අපේ දරුවන්ට තමයි පාඩු. අපේ ළමයින්ට මේ වගේ දක්ෂකම් තියෙනව කියල අපිවත් දැනන් උන්නෙ නැහැනෙ....”
වසර ගණනක අනුශාසක දිවියට ඉපදුණු හැදුණු වැඩුණු ගමේදිම ලැබුණු උපහාරයක් වගෙයි ඒ වචන...
මට ජීවිතය දුන්නෙ මගේ අම්මා. නමුත් මං ජීවිතයේ අරුත් පහදවා ගත්තෙ ළ.ක්‍රි.වී. අම්මාගෙන්. ඒ නිසයි මං නිතරම ළ.ක්‍රි.වී. ය මගේ දෙවෙනි අම්මා විදියට හඳුන්වන්නෙ. ඇයයි මට ජීවිතයට පාර පෙන්නුවෙ.
1997 වසරෙ ඉඳල අනුශාසක කෙනෙක් විදියට මෙතෙක් ආ ගමන්මග දෙස ආපසු හැරී බලද්දි හිතට දැනෙන්නෙ අප්‍රමාණ සතුටක්... ඒ සතුට මහා යුග මෙහෙවරක් කළා කියල දැනෙන ආඩම්බරයක් නෙවෙයි. දරුවන් වෙනුවෙන් ලස්සන ලෝකයක් ගොඩනගන්න, අනුශාසක සොයුරු සොයුරියන් සමග කළ පුංචි පුංචි ආදරවන්ත වැඩ ගැන දැනෙන නිහතමානී සතුටක්.
මව්පියන්ට, වැඩිහිටියන්ට, ගහකොල, සතාසීපාවුන්ට, ඉරට හඳට වැහි බිඳුවට පවා ආදරය කරන්න කියල දුන්නෙ ළ.ක්‍රි.වී. අම්මා... ළ.ක්‍රි.වී. දරුවෙක් විදියට ගුණාංග පහත්, වසරින් වසර ලැබුණු තේමාවනුත් ජීවිතයට අළුත් දැක්මක් ලබා දුන්නා තමයි. ඒත් ළමා කාලයටත් වඩා වැඩියෙන් ඒ වටිනාකම් ජීවිතයට පන්නරයක් වුණේ අනුශාසක කෙනෙක් විදියට කටයුතු කළ අවදියෙදි... ළ.ක්‍රි.වී. වටිනාකම් අවබෝධයකින් ජීවිතයට මුල් ඇද්දෙ තාරුණ්‍යයේදි කියල මට හිතෙනවා.
මේ පුංචි කොදෙව්ව පුරාම මගේම කියල යන්න එන්න නිවහනක්, අම්මල තාත්තල, සොයුරු සොයුරියන් ඈ මට ලබා දුන්නා නොමසුරුවම. යහපත් සමාජ ජීවිතයක් ගත කරන්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ මේ මානව සම්බන්ධතා හරහා...
මානව දයාවෙන් පිරුණු ලේඛන කලාවක් ගැන සිහිනයක ජීවත් වුණු මට ඒ සිහිනය යථාර්ථයක් කර ගන්න මග පෙන්වූයෙත් ඇය.. ඒ ළමාහඬ පුවත්පත ත්, සබඳ සඟරාවත් හරහා...
ඕනෑම තැනක, ඕනෑම පිරිසක් ඉදිරියෙ කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න හිතට දිරි දුන්නෙ ඇය. මමවත් නොදන්න මගේ හැකියාවන් උර ගාල, ඔපමට්ටම් කරල මං සමාජයට වටින දියණියක් කළේ ඇය. ඒ තරම්ම වෙනසක් මගෙ ජීවිතයේ සිද්ද වෙන්නෙ ළ.ක්‍රි.වී. යත් එක්ක අවංකවම කැපවීමෙන් දුර ගමනක් ආ නිසයි...
මේ ලියන නිමේෂයෙදි මගේ හිත සිතිවිලි ගඟක් වෙලා.. අතීතය රැලි නග නගා ගලනවා. ඒ හැම දෙයක්ම ලිව්වොත් සබඳ සඟරා සීයක් වත් උවමනා වෙයි. මගේ හිත අද්දර ඉඳන් හිනැහෙන ආදරවන්ත මුහුණු රැසයි. අත්දැකීම් ගොන්නයි. සිනාවෙන් වගේම කඳුලින් සුසුමින් පිරුණු මතකයන්ගෙනුත් අඩුවක් නෑ.
ජීවිතය සුවපත් වෙන්නෙ රෝස මල් පාවඩ මතින් එද්දි තමයි. නමුත් ජීවිතය පොහොසත් වෙන්නෙ රෝස කටු ඇනෙන වේදනාව දරා ගැනීමෙන් සහ එයින් ලබන පන්නරයෙන්. අතීතයට ආපහු හැරිල බලද්දි පසක් වෙන සත්‍යය එයයි. ළ.ක්‍රි.වී.ය මේ දෙයාකාරයෙන්ම මගේ ජීවිතය පොහොසත් කළා...
ඉතින් මං ළ.ක්‍රි.වී. අම්මට ණයගැතියි. ළ.ක්‍රි.වී. අම්මට ආදරෙයි. ඒ ණයගැති බව සහ ආදරය නිසාම නව ලොවක් ගොඩනැගීමේ සිහිනය යථාර්ථයක් කර ගන්න මං දිවි ඇති තුරුම කැපවීමෙන් වැඩ කරනවා.
2014 අගෝස්තු
No comments:
Post a Comment