From BBC |
ලෙච්චමී බලන් උන්නෙ පැලලි දොර දිහාමයි.. පුරුද්දට වගේ තාමත් හිතේ ගිනි පත්තු වෙනවා. පැලලි දොර පැද්දිලා ක‍්‍රීස් හඬක් නංවලා හෙමිහිට ඇරුණා. නමයටත් කිට්ටුයි. ලාම්පුවෙ මලානික දැල්ල යාම්තමට පැද්දි පැද්දි තිබුණා. පුංචි උන් තුන්දෙනා වකුටු වෙලා පැදුරෙ නිදි. හැන්දෑවෙ හදල දුන්න තේ කහට ඩිංගට යාම්තම් උන්ගෙ කන්කෙඳීරිය නැවතුණා. දවසටම උන්ට ලැබුණෙ ඒ තේ කහට ඩිංග විතරයි.
‘‘අම්මා... ළමයි නිදි ද?’’ ලේලි කළ්‍යාණි නැන්දම්මාගෙ ඇස් මගෑරලා දරුවන් දිහා බැලූවා.
‘‘බඩගිනි කිය කිය උන්නා. එහෙමම නින්ද ගියා..’’ ඒ විඩාබර මුහුණ දිහාම බලන් උන්නු ලෙච්චමීගෙ ඇස්වල කඳුළු පටලයක් පැටළුණා.
රස්සාවටයි කිය කියා වෙලාවක් අවේලාවක් නැතිව එළියට බහින කළ්‍යාණි ගැන ලෙච්චමීගෙ පපු කුහරෙ මහා වේදනාවකුයි, බයකුයි නිරන්තරයෙන් ඇවිළි ඇවිළි තිබුණා.. යුද්ද කාලෙත්, යුද්දෙන් පස්සෙත් ගැහැණුන්ට විඳින්න වුණු අනන්තාප‍්‍රමාණ හිරිහැර ලෙච්චමී දෑහින්ම දැකල තිබුණා.
‘‘පාන් ගෙනාවා. ඇහැරවල කන්න දෙමු. හෙට උදේට බත් ටිකක් උයල දෙන්න පුළුවන් වෙයි..’’ කළ්‍යාණි ඇස්වල නැගුණු කඳුළු හංගගෙන ලිප අවුළුවන්න හැරුණා.
යුද්ධයෙන් අස්වාමික වුණු උතුරුකරේ අනූදාහක් විතර ගැහැනු අතර වැඩි දෙනෙකුට උරුම වෙලා තිබුණෙ මේ වගේ ඉරණමක්... එක්කො කාට හරි අත පාලා ජීවත් වෙන්න. ඉඳහිට ලැබෙන කුලියක් මලියක් කරගෙන එදා වේල යාම්තමට හොයාගන්න. විකුණන්න කියල සන්තකයේ කිසිම දෙයක් නැති වුණාට පස්සේ කරකියා ගන්නම දෙයක් නැති තරුණ වැන්දඹු ගැහැණුන්ට සිද්දවුණා තමන්ගෙ ශරීරය විකුණන්න.. බලහත්කාරකම්වලින් තැලිලා පොඩිවෙලා සිදුරු වුණු ශරීර බොහොම අඩු ලංසුවකට වෙන්දේසි වෙද්දිත් දරුවො වෙනුවෙන්, එහෙම නැත්නම් දෙමව්පියො වෙනුවෙන් ඒ කඳුළු උහුලගන්න ඔවුන්ට සිද්ද වුණා...
තමන්ගෙ එකම පුතා ෂෙල් වෙඩිල්ලකින් කීතු කීතු වෙලා ගියේ ලෙච්චමීගෙ ඇස් ඉස්සරහමයි. ලේලියි දරු තුන්දෙනයි තුරුල් කරගෙන කොහොම හරි පණ බේරගන්න ලෙච්චමීට පුළුවන් වුණා. ඒත් මොකටද අපි ඉතිරි වුණේ නොමැරී කියල හිතෙන්නෙ රාත්තිරියෙ තැලූණු, පොඩිවුණු, ලේ පිරුණු සරීර කූඩුව අත ගගා කළ්‍යාණි හොරැුහින්ම ඉකිබිඳින විදිය දකිද්දි...
......................
යුද්ධය නිසා වැන්දඹු වූ ගැහැනුන් අනූදාහක් ජීවිතය ගැටගසා ගන්නට අප‍්‍රමාණ දුකක් විඳින රටක, පුතුන් අහිමි වූ මව්වරුන්, පියවරුන් අහිමි වූ දරුවන්, යුද්දය නිසා ආබාධිත වූවන් තවමත් දුක්ගිනි උහුළන රටක, ජාතිවාදයට උඩ ගෙඩි දෙන දේශපාලඥයන් සිටීම, ඔවුන් බලයට ගේන්නට දත කන මිනිසුන් සිටීම කොතරම් අවසනාවක් ද?
මේ ගැහැනුන්ගේ, දරුවන්ගේ දුක්ඛදායී ඉරණමට ඔබත් මමත් වගකිව යුතු නැද්ද?
2015 ඔක්තෝම්බර්
No comments:
Post a Comment