Weeping Woman Statue at the Vimy Memorial A. Vigneau |
ඇගේ දෑසින් නොනවත්වා කඳුළු කැට
කඩාහැලිණි. ඉකිබිඳුම නිසා ඒ හඬ වෙව්ලූම් ස්වරයෙන් සැලෙන්නට විය. නමුත් ඇය නොනවත්වා
කතා කළාය. ඒ දමිල බසිනි. පරිවර්තක තැන තම වගකීමද අමතක වූවා සේ නිසොල්මන්ව සිටියේය.
ඇය දිගින් දිගටම කතා කළාය. සභාවේ උන් බොහෝ දෙනෙකුට තම කතාව නොතේරෙන බව හෝ සිතන්නට
ඇගේ ළය ඇවිලි දුක්ගින්න ඉඩක් නොදෙන බව වැටහිණි.
දෙමළ වී ඉපදීම නිසාම ඉපදුණු කඳුකර
ගම්මානයෙන් පිටමං වී උතුරුකරයට නික්ම ගිය ළමා විය ගැන ද, නිමක් නැති පීඩාවන් දරනු නොහැකි තැන රටින් පිටවන්නට බෝට්ටු මගින්
නික්ම ගිය මොහොතක මහ සයුර මැද නාවික හමුදාවේ වෙඩි වරුසාවකට මැදි වූ අයුරුද,
නැගණිය ඇතුළු සමීපතමයන්ගේ මරණ දෑසින් දකිමින්
දින ගණනාවක් මුහුදේ අතරමං ව සිටි අයුරුද ඇය පැවසුවාය. ඉක්බිතිව යුද සමයේ තවත් නෑ
සියන් අහිමි වනු දෑසින් දුටු ඇය අතුරුදන් වූ සමීපතමයන් වෙනුවෙන් යුක්තිය අයදිමින්
තවමත් රට වටා ඇවිදින්නී ය. ඇගේ කතාවේ
සිංහල පරිවර්තනය අකුරු කළ නොහැකි තරමටම වේදනාත්මක ය. කම්පනීය ය. සමහර විට එය සත්‍යයක්
විය හැකි දැයි ඔබ සිතන්නට ද ඉඩ ඇත.
ඒ අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව
සංවිධානය කළ වැඩසටහනකි. තවත් දෙමල අම්මා කෙනෙකුගේ කඳුළු දෙස සිර වූ ඉකිබිඳුමක් සමඟ
බලා සිටින්නට මට සිදු විය. 2009 ට පසුත් ඉන්පෙරත් කොතෙක් නම් වාරයක් මා මෙලෙස හඬා
වැටෙන දෙමල අම්මලාගේ කඳුළු දැක ඇත්ද? තෙත්
වූ දෑසින්, සිර වූ ඉකියකින් ඔවුන්ගේ කතා අසා
සිටියාද? මේ හොඳටම ප‍්‍රමාණවත් ය. කොතෙක් නම්
කල් මේ ලෙස යුක්තිය සාධාරණය ඉල්ලි සිංහල සමාජය ඉදිරියේ දෙමළ අම්මලා හඬා වැටිය යුතු
ද? අම්මා කෙනෙකුගේ කඳුළකට වටිනාකමක් දිය
නොහැකි සමාජයක, ඒ දරු ස්නේහයට යුක්තිය ඉටු නොවන සමාජයක,
ඒ හඬට ඇහුම්කන් නොදෙන සමාජයක බීරි අලින්ට විණා
වයමින් අපි කොතෙක් කල් සාකච්ඡා සංවාද සම්මන්ත‍්‍රණ පවත්වමින් ඇවිද යා යුතු ද?
..............
බීබීසී ලෝක සේවයේ වාර්තාකාරිය ලෙස 2000
වසරේදී ශ‍්‍රී ලංකාවට පැමිණ සිව් වසරක් ලංකාවේ කටයුතු කළ ෆ‍්‍රාන්සස් හැරිසන්,
එම සේවයෙන් ඉවත් වුව ද දිගින් දිගටම දෙමල
ජනතාවගේ හිමිකම් වෙනුවෙන් මානුෂිකව මැදිහත් වෙමින් සිටින්නීය. ජේඞීඑස් වෙබ් අඩවිය
ෆ‍්‍රාන්සස් හැරිසන් සමඟ කළ සාකච්ඡාවකදී ඇය කළ ප‍්‍රකාශයක් මසිත තදින්ම සනිටුහන්
විය.
‘‘මට හමු වූ දිවි ගළවාගත් ඇතැම් දෙමළ ජනයා ඒ තරම්
සන්සුන්ව ඉන්නේ කොහොමද කියලා මට ඇත්තටම වැටහෙන්නේ නැහැ. ඔවුන් කිසිවිටක පළිගැනීම්
ගැන කතා කරන්නේ නැහැ. එසේ කළ යුතු යැයි මම යෝජනා කරනවා නෙවෙයි, නමුත් ඔවුන් අත්විඳ තියෙන බිහිසුණු ඉරණම්වලට
ඇහුම් කන් දුන්නාම මට හිතාගන්න බැහැ ඔවුන් එවැනි උපේක්ෂාවක් ඇති කරගත්තේ කොහොමද
කියලා.
උදාහරණයක් විදියට දිගු කාලයක් එල්ටීටීඊ
සංවිධානයේ සාමාජිකයෙක්ව සිටීම නිසා යුද්ධයෙන් පසු අත් අඩංගුවට ගෙන දරුණු වද
හිංසාවන්ට පාත‍්‍ර වූ අයෙක් මට පසුගිය සතියේ මුණ ගැහුණා. තමන් අත් විඳි ඉරණම ගැන
මට දීර්ඝව පැහැදිලි කිරීමෙන් පස්සේ, සියළුම
හමුදා සෙබළුන් අමානුෂික නැති බවත්, ඔහු
හමුවුණු ඇතැම් දෙනෙක් මානුෂීයව තමන්ට සැළකූ බවත් ඔහු කියා සිටියා. ඔහු විඳපු
වචනයෙන් කිව නොහැකි තරම් වන වධ හිංසා ගැන පැය කිහිපයක් තිස්සේ කළ කතාවට
සවිස්තරාත්මකව ඇහුම් කන් දීමෙන් මානසික වෙහෙසට පත්ව සිටි මට ඔහුගේ උපේක්ෂා සහගත
නිගමනය විස්මයක් ඇති කළා. ඒකට හේතුව, ඒ
සියළු වධ හිංසාවන්වලින් පසුවත් මනුෂ්‍යත්වය ගැන ඇති විශ්වාසය පවත්වාගෙන යන්න ඔහුට
තිබුණ හැකියාවයි. ඒ මගින් ඇත්තටම ඔහු කළේ තමන් තුළ වූ මනුෂ්‍යත්වය පවත්වාගෙන
යාමයි. යුද්ධය නිමා වුණාට පස්සෙත්, බිහිසුණු
වද හිංසා අත් වින්ද ඔහුට හොඳ සොල්දාදුවන් සහ නරක සොල්දාදුවන් අතර වෙනස දකින්න හැකිව තිබුණා. අසීරුවෙන්
පැහැදිලි කළ වද හිංසා ගැන විස්තරයෙන් පස්සේ, අවශ්‍ය නම් සියළුම සිංහල සෙබලූන් දුර්ජනයන් යැයි කීම ඔහුට පහසුවෙන්ම
කළ හැකිව තිබූ දෙයක්. නමුත් ඒ වෙනුවට හොඳ සහ නරක අතර වෙනස ගැන අවබෝධයකින් කතා
කිරීමට ඔහුට පුළුවන්කමක් තිබුණා.
ලංකාවේ අනාගතය ගැන මට බලාපොරොත්තු ඇති
කරන්නේ මේ උපේක්ෂාවයි.‘‘
උපුටා ගැනීම - ජේඩීඑස් වෙබ් අඩවිය
ඇයගේ උපේක්ෂා සහගත සිතුවිල්ල සංහිඳීම
පිළිබඳ අපේක්ෂා දල්වන අතරම, උපේක්ෂාවෙන් පමණක් මනුෂ්‍යත්වය උපදිනු
ඇත් ද යන ගැටලූව මසිත පෙරළි කරයි. උතුරු දකුණු සිංහිඳියාව වෙනුවෙන් දේශපාලනික
විසඳුමක් සඳහා පුරවැසි මැදිහත්වීම ද අත්‍යවශ්‍ය මොහොතකි මේ. කරුණාකර අපි අපේ
පවුල්වලට, දූ දරුවන්ට, දේවස්ථාන සංඝයට, ගමට රටට කියමු, ජාති ආගම් භේදයෙන් තොරව ආදරයෙන් ජීවත්වීම ඉතාම
වැදගත් බව.. ඒ වගේම ජාතිවාදය අවුලූවන්නට දිරිදෙන දේශපාලඥයන් දේශපාලන පොර පිටියෙන්
පන්නා දැමිය යුතු බව...
2015 ජූලි
No comments:
Post a Comment