December 15, 2015

මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය..


වප් මහේ 27 වන දා රද්දොළුගම මංසන්ධියේ අතුරුදහන් වූවන්ගේ ස්මාරකය අබියස පැවති අතුරුදහන්වූවන් සැමරුමට සහභාගි වීමි. මෙවර අතුරුදහන් වූවන් සැමරුමට පැමිණ සිටි වැඩි පිරිස උතුරුකර දමිල සහෝදර ජනතාව ය. අම්මලා, තාත්තලා, දරුවන් අත අතුරුදහන් වූ සමීපතමයන්ගේ පින්තූර ය. ඇසි පිය අග සැලෙන කඳුළු ය. වේදනාවෙන් සහ අවිනිශ්චිතබවින් ඔද්දල්ව ගිය මුහුණු ය. 88, 89 දකුණේ භීෂණය තුළ අහිමි වූ තම දූ දරුවන් වෙනුවෙන් තවමත් වැළපෙනා මව්වරු ය. අතිශය වේදනාකාරී ය.

ඒ කම්පිත මුහුණු අත රැඳි පින්තූරය සමඟ නාභිගත කරගන්නා ඡායාරූප ශිල්පීන් සමූහයකි. ඔවුන් කැමරාව මානන හැම මොහොතක තම අත රැඳි ඡායාරූපය වඩාත් හොඳින් පෙනෙන සේ කැමරා ඇසට යොමු කරනා ඔවුන්ගේ පැතුම කවදා හෝ තම ආදරණීයයන් ජීවමානව හමුවීම නොවේද?

එහිදී කතා කළ හම්බන්තොට එම්. පියසීලි මාතාව උද්වේගකාරී වේදනාත්මක කතාවක් කරමින් කියා සිටියේ තම ස්වාමියා, සහෝදරයන් මරා දැමුවේ ඇයට ද බරපතල හිංසා සිදුකළේ අන් ජාතියක අය නොව සිංහලයින් ම බවයි. මෙවැනි අසාධාරණයන්ට එරෙහිව ධෛර්යයෙන් කටයුතු කිරීමට එක්වන්නයි ඇය දෙමළ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටියාය. 

පාලකයින්ගෙ මර්දනයේ හස්තය සැමදා පතිත වන්නේ අසරණ, දිළිඳු, පීඩිත ජනතාව මත ම නොවේද? උතුරේ දකුණේ කියා එහි වෙනසක් නැත. එයට එකාවන්ම දිරිමත්ව මුහුණ දිය යුතු බව ඇයගේ කතාවේ සාරාංශයයි.

දෙසැම්බරය උදාවන්නේම නත්තල් සිහිලස් චමත්කාරයෙන් හද පුරවමිනි. අපි හැකි ඉහළම අන්දමින් නත්තල සමරන්නට සූදානම් වන්නෙමු. නමුත් තවමත් නත්තල කඳුළක් මිස අනෙකක් නොවන, සාමය සතුට සිහිනයක් වූ ජීවිත කොතරම් නම් මේ බිම මත ම වේදනාවෙන් කල් ගෙවන්නේ ද? 

අතුරුදහන් වූවන් සොයමින් දසඅත ඇවිදින මේ මව්වරුනට හිත හැදෙන්නට වගකීමෙන් යමක් කියන්නට කිසිවෙක් නැත. අඩුම තරමේ ඔවුන් ජීවතුන් අතරද? නැතිද? යන්නවත් පවසන ලෙස ඔවුන් කරනා ඉල්ලීම කොතරම් සාධාරණද? ‘ඉන්නවානම් මොහොතකට දකින්න දෙන්න’ මේ ඔවුන්ගේ ආයාචනයයි. 

මේ මොහොත වන විට ද දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ අරගලයක් දියත් වෙමින් පවතී. ඇති හැකි මිිනිසුන් සිරබතින් නිදහස් ය. එතැන ද දඬුවම අසරණයින්ටම ය. රජය සහ වගකිව යුතු අය කඹ ඇදිල්ලක ය. අසරණ දෙනෙත්වලින් නොසිඳී ගලා හැලෙනා කඳුළු උල්පත් ගැන කාටවත් වගක් නැත. 


මේ සියල්ල මැද අපි නත්තල් සමරමු. පීඩාවට පත්වූ ජනතාවගේ හිත් සනසන්නට සිතින්, වචනයෙන්, ක‍්‍රියාවෙන් අවම දායකත්වයක් හෝ සැපයිය හැකි නම් එය සැබෑ නත්තලක් නොවන්නේ ද?  ගරු මර්සලින් ජයකොඩි පියතුමා නත්තලේ සැබෑ අරුත දුටුවේ මෙලෙසිනි. එය යථාර්ථයක් බවට පත්කිරීමේ නොනවතින අරගලය ඇත්තේ අප අභිමුව ය.

මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරැුහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය

2015 දෙසැම්බර්

2 comments:

  1. බ්ලොග් කියවීම අතහැරිලම ගිහින් හින්දා තරූගේ සටහන් කියවන්න කාලෙකින්ම බැරි වුනා. ඒත් තවමත් ලියවෙන ඔබේ සටහන් ඉඳලා හිටලා හරි කියවන්න ලැබෙන එකත් සතුටක්.

    ReplyDelete
  2. මල් පැලේ උපන් පන්සලේ පියතුමාගෙ කවියක්... ලස්සනයි.

    කණගාටුවට කාරණේ අද කාලෙ වාමාංශික දේශපාලනය කරන තරුණයෝ 88,89 වුණේ මොනවද කියලවත් දන්නෑ.. ඒ ගැන ඇහුවම අහනව ඇයි මොකක්ද ඒ කාලෙ සිද්ද වුනේ කියල

    ReplyDelete