November 10, 2016

ඔව්!!! ඒ සමනල්ලූ සිරිපාදේ නොයති,


වව්නියාවෙන් ඔබ්බට වලෙයිපාඩු දක්වා ගිය ගමන ගැන පසුගිය කලාප දෙකකදී ම මා ලියූ අත්දැකීම් සටහන් ඔබට මතක ඇති. මේ ගමනෙදි යුද්දයේ බියකරු අත්දැකීම් මතින් ජීවිතය දරාගන්නට උත්සාහ දරන දරුවන්, වැඩිහිටියන් වගේම පරිසරයත් මගේ හිතේ කම්පනයක් ඇති කළා.

වව්නියාවෙ ? අහරට සයිවර් සප්පායම් වූ හෝටලයේ දමිළ සේවක මහතුන්ගේ ළෙංගතු බව තිස් වසරක යුද්දයට පවා පොලොවට සමතලා කර දමන්නට බැරිවුණු මනුස්සකමක සුවඳ අරන් ආවා. ඉන් අනතුරුව ගමනේදි හමුවූ බොහෝ පිරිස් එබඳුම යි.

මුලංකාවිල් දෙව් මැදුරු බිමේ හමු වූ ‘‘සොබාදහමේ පියතුමා ආනන්ද කුමාර් පියතුමාගේ හෘදයාංගම මානව පේ‍්‍රමය, ජීවිත ආදර්ශය...

වේරවිල් ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ දී හමු වූ පවුලේ සියල්ලන් අහිමි වී සිටියදීත් අවිහිංසක සිනාවෙන් අප පිළිගත් දැරියන් දෙදෙනා...

වලෙයිපාඩු දෙව් මැදුරේ හමු වූ අවිනිශ්චිත ජීවිත ගමනක් මැදින් වුව හෙට දවසක් ගැන බලාපොරොත්තු අත්නොහැරි දරුවන්ගේ අපේක්ෂා පිරුණු මුහුණු...

ඒ දරුවන් වෙනුවෙන් දුයිෂෙන් කෙනෙක් වන්නට උත්සාහ දරන වලෙයිපාඩු දෙව් මැදුරේ වසන්ත පියතුමා...

උතුර තේරුම් නොගන්නා, උතුරට සංවේදී නොවනා දකුණට දොස් පවරමින් උතුරු දකුණු හදවත් යා කරන්නට විසල් මෙහෙවරක් ඉටුකරන ටෙරන්ස් පියතුමා...

මනුෂ්‍යත්වය ගැන අප‍්‍රමාණ ආදරයකින් හදවත එළිය කළා. ඒ නයින් මඟ දිගේ විනෝද චාරිකා යන ඔබට මේ මනුෂ්‍යත්වය ඇස නොගැටේවි. දහස් සුවහස් මරණ, දුක් වේදනා කඳුළු මතින් බිහිවුණු යුද ස්මාරකවලට එපිටින් මිනිසුන්ගේ සැබෑ ජීවිතයට එබී බලන්නට උත්සාහ කරන්න. යුද ජයග‍්‍රහණ සැමරුම් කොතරම් විහිළුවක් ද? නිස්සාර දෙයක් ද? අමානුෂික දෙයක්ද? ඔබට වැටහේවි. 

වලෙයිපාඩු ගමන අවසානයේ මාතින් ලියැවුණු කවියක් මේ...

ඔව්!!! ඒ සමනල්ලූ සිරිපාදේ නොයති....

‘‘පල්ලවරායන්කට්ටුව හන්දියෙන් හැරුණම වලෙයිපාඩු දක්වාම මඟ දිගට කහ පාට, සුදු පාට, අළු පාට පුංචි පුංචි සමනල්ලූ ?න් පිටින්.. හරියට නැතිවුණ දෙයක් හොයනව වගේ... “

ලේ ඉහුණු බිම්කඩක
මල් රොන් සුණු සුවඳ
ඉව කරනු කෙලෙසක...
දූවිලි ෂෙල් වැකුණු
අතු ඉති කටු තුඩු මත
මලක් වුව නොපිපීම
කවර නම් අරුම ද...

කාෂ්ටක මඟ දිග
අඳුරු ළඳු දෙනි මැද
කුමක් නම් සොයන්නෙද
ඒ පුංචි සමනල්ලූ...

අත් නොහැරි අත්බවෙක
අතරමඟ විසිකෙරුණු
දුෂ්කර ම ජීවිතය
හැර නොයා දිනන්නට
කියා දෙන දුයිෂෙන්
කවුරුන්ද?
පියාපත් එපමණ ම
සවි ඇද්ද?

නන්දිකඩාල්
කලපුවෙන් ඔබ්බට
කය දුෂ්කර ප‍්‍රාර්ථනාව
මුමුණන්නෙද නිහඬව ම
රෑනින් රෑන සැරිසරන
ඒ පුංචි සමනල්ලූ...

2016 ජූලි



No comments:

Post a Comment