November 10, 2016

වව්නියාවෙන් ඔබ්බට ආදරයේ නෑ ගමනක්....

යුද්දය අතරතුර මිය ගිය, අතුරුදන් වූ පියතුමන්ලාගේ
සේයා රූ පෙන්වන ආනන්ද පියතුමා

‘‘ඒ ජෝන් ලොරාට් ෆාද. චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙ යුද්දය ඇවිළෙද්දි අවතැන් වුණු මිනිස්සු එක්ක පලෙයි ඉඳල යාපනේ ගිය ගමනට ඒ ෆාද සම්බන්ධ වුණා. මං එතකොට සහෝදරතුමෙක්. බිෂොප් එක්ක මම නැවතුණා. අපට යන්න විදියක් තිබුණෙ නැහැ. යන්න එන්න බැරි වයසක අය අනූවක් විතර රැක බලාගන්න සිද්දඋණා. ලොරාට් පියතුමා වතුර විස වෙලා වමනෙ ගිහින්ම අනාථ කඳවුරකදි මැරිල තිබුණා. මම බේරුණෙ අර වයසක මනුස්සයො එක්ක මට රැඳෙන්න සිද්දවුණ නිසා. ඔය කතාව මතක් කරන බිෂොප් නිතරම මට මෙහෙම කියනවා.

‘‘You are still alive. You should be a ringing bell throughout that entire life. ’’

‘‘ඔබ තවමත් ජීවතුන් අතර, ඔබ ජීවිත කාලය පුරාම නද දෙන සීනුවක් විය යුතුයි.’’

ඉතින් ඒ, ජීවිත කාලය පුරාම නද දෙන සීනුව අපට හමුවූයේ පසුගිය පෙබරවාරියේ පාළොස්වක පෝ දා ය. අපි වව්නියාවෙන් පිටත්ව මුලංකාවිල්, වේරවිල් හරහා වලෙයිපාඩුවට මිත‍්‍රත්වයේ සුන්දර චාරිකාවක නියැළුණෙමු. ඒ ‘‘කිතුසර’’ කණ්ඩායම සමගිනි. ඒ මුලංකාවිල් දෙව් මැදුරේ ආනන්ද කුමාර් පියතුමා ය. ආනන්ද පියතුමා තම නිවස්නය කොට ගෙන ඇත්තේ අවතැන් කඳවුරක දක්නට ලැබෙන ආකාරයේ කුඩා තහඩු නිවාස දෙකකි. ඒ සුවපහසු නිල ලැගුම් ගෙය අත්හරිමිනි. ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන අරගලයට පියතුමාගේ ආත්මීය කැපවීම පිළිබඳව බාහිර සලකුණකි එය.

‘‘Father of Nature’’ ආනන්ද කුමාර් පියතුමන්ව හෘදයාංගම එලෙස හඳුන්වා දුන්නේ තවත් උතුරුකරයේ සහෝදර පියතුමෙකි. සැබවින්ම ආනන්ද පියතුමා ‘‘සොබාදහමේ පීතෘවරයෙකි’’.  වේට්ටියක් සහ කමිසයකින් සැරසුණු ඔහු අප හමුවට පැමිණියේ ද නිදහස් නිරුවත් දෙපතුළිනි. ලැගම් ගෙය වූ තහඩු කුටිය පවා තුරු ගොමුවකින් වට වූ නිස්කලංක තැනකි. මා මුලින් සඳහන් කළ කතා බහ ඇරඹුණේ  ආනන්ද පියතුමා විසින් අමුත්තන් පිළිගැනෙන කුටිය ද, පුස්තකාලය අවකාශයද, සාලය ද ලෙස භාවිත කෙරෙන කුඩා කුටියට පිවිසීමෙන් අනතුරුව ය.

ලැගුම් ගෙය හැර දමා ආනන්ද පියතුමා ජීවත් වන්නට තෝරා ගෙන ඇති කුඩා කුටිය

බුදු දහම, හින්දු දහම, ඉස්ලාම් දහම, කිතු දහම එකලෙස ම ගරු බුහුමන් ලබන බවට සලකුණු කුටිය පුරාම විය. හැම දහමකම හරය පිරිපුන් මනුස්සකම වෙත අප ඔසවා තබන බව වටහා ගත නොහැකි සමාජයකට කුමන දහමකින් වුව පලක් වෙද? නමුත් සොබාදහම සමඟ ඒකාත්මිකව දිවි ගෙවන පියතුමා තුළ නම් සැම දහමකම උතුම් බව තහවුරුව ඇති වග අතිශයින් පැහැදිලි ය.

කුඩා තහඩු කුටියෙහි වරිච්චි බිත්ති සැරසී ඇත්තේ යුද්ධය අතරතුර ජීවිත පරිත්‍යාග කළ දෙමළ පියතුමන්ලා ගේ සේයා රූ වලිනි. දුෂ්කරම අතීතයක පීඩිත ජනතාව අත් නොහැරි ධෛර්යසම්පන්න මිනිසුන්ගේ ජීවිත පරිත්‍යාගයන්හි  මහා පේ‍්‍රම පාරමිතාව ඒ සෑම සේයා රුවක් සමඟම බැඳී පවතී.

වැඩි කතා බහකට ලක් නොවූ පියතුමකුගේ සේයා රුව පිළිබඳව අප ගමන් සගයෙක් කළ විමසීමට ආනන්ද පියතුමා පිළිතුරු බැන්දේ එලෙසිනි.

 ‘‘ලොරාට් ෆාදව මරල දැම්ම නෙවෙයි. වතුර විසවෙලයි මැරුණෙ. ඒ නිසයි ඒ ගැන වැඩිය නොකියවෙන්නෙ. ඒත් පැහැදිලිවම ඒ මරණෙත් ප‍්‍රාණ පරිත්‍යාගයක් තමයි.’’

සැබෑ ක‍්‍රිස්තියානිය වෙනුවෙන් සාක්ෂි දරමින්, පීඩිත ජනතාව අත්නොහැර ජනතාව සමඟම සිටි එම පියවරුන් සැබවින්ම ප‍්‍රාණ පරිත්‍යාගී සාන්තුවරු නොවෙත්ද? එබඳු පියවරුන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ මරණයන්, අතුරුදහන්වීම්වලට පවා යුක්තිය සාධාරණය ඉටුනොවන පසුබිමක අවම වශයෙන් කතෝලික සභාව හෝ ඒ වෙනුවෙන් මැදිහත් වීම, ඔවුන්ගේ කැපවීම අගය කිරීම, සිහිපත් කිරීම වටනේ නොවේද? ජීවත්වන අතරම පීඩිත ජනතාව වෙනුවෙන් ජීවිතය කැප කරන ආනන්ද පියතුමා වැනි දුර්ලභ චරිත හමුවන්නට ලැබීම ද භාග්‍යයකි.

( විනෝද චාරිකාවක් හෝ වන්දනා ගමනක් නොවූ ඒ උතුරුකර නෑ ගමන පිළිබඳව ඔබ හා බෙදා ගන්නට අත්දැකීම් රැසක් ම ඇත. ඉදිරියේ දී ඉඩකඩ ලැබෙන ලෙස උතුරු මිතුරු හරහා ඒ අත්දැකීම් ගෙනෙන්නට අදහස් කරමි. )

භක්ති ප්‍රබෝධනය 2016 අප්‍රේල්




No comments:

Post a Comment