November 10, 2016

දේව රාජ්‍යය කෝ කෙැතනද?




දූවිල්ලෙන් නැහැවුණු සූරිය ගස් යායක් මැදින් වැටුණු ගුරු පාරේ අපි ඉදිරියට ගමන් කළෙමු. සමනල් රංචු පිටින් අප සමඟ ම ගමනේ ය. මලක් පිපුණ ගහක් කොලක් පේන මානයේ නැති නමුදු මහපොලවටම යොමු වූ දෑසින් එක ම අරමුණක එක ම ඉසව්වක පියඹන ඒ සමනල් රංචු නැති වූ යමක් සොයන්නාක් මෙනි.

ගම්මානය නිම වන ලකුණු දක්වමින් ඈතින් ඈතට දිවෙන වගුරු බිමට එපිටින් උස් බිමක  ඉදි වූ සුවිශාල දේවස්ථානයක් දිස් වේ. ඒ වලෙයිපාඩු සාන්ත ආනා දෙව් මැදුර ය. යුද්දය නිම වී වසර හතක් ඉක්ම ගිය ද තවමත් තාවකාලික පියස්සක සෙවණ ලබන ජනතාව හිඟ නැත. මෙතරම් විසල් දෙව් මැදුරක් දෙවියන් වෙනුවෙන්ද? මිනිසුන් වෙනුවෙන් ද? දෙවියන් පවා එය ඉවසනු ඇති ද? මසිත පැනයකි.

වලෙයිපාඩු දේවස්ථානයට අයත් නොගැඹුරු මුහුදු තීරුවක් වේ.  ඒ සමුදුරු ඉසව්ව මුහුදු කූඩැල්ලන් හෙවත් අට්ටයන්ට රාජධානියකි. එහි සාමාන්‍ය ජනතාව ධීවර කටයුතුවල නොයෙදෙති. යුද්ධය පැවති කාල සීමාවේ ධීවර කටයුතු අඩාලව පැවති බැවින් මුහුදු කූඩල්ලන් ගහණය කොතරම් වැඞී ගියේ ද යත් ඒ අස්වැන්න සුවිසල් දෙව් මැදුරක් තැනීම සඳහා කෝටි ගණනක මුදලක් උපයා දී තිබිණි. දිළිඳු පැලක සිට දෙව් මැදුරට පිවිස දණ ගහන සැදැහැවත් අහිංසක දෙමළ ජනතාව කිසි විටෙක ඒ පිළිබඳ මැසිවිල්ලක් නොනඟති. දෙව් මැදුර ඔවුනට අභය භුමියකි. අසපුවකි. ඒ ඔවුන්ගේ ශ‍්‍රද්ධාව විය හැකි ය. නමුත් තමන්ගේ දූ පුතුන් ජීවිතය වෙනුවෙන් අනන්ත අප‍්‍රමාණ දුක් විඳින භුමියක තම නාමයෙන් ඉදිවන සුවිසල් දේවස්ථානයක් දෙවි පියාණන් වහන්සේ කෙලෙස ඉවසනු ඇත්ද?

සභාව දෙවියන් උදෙසා ද? මිනිසුන් උදෙසා ද? එසේත් නැත්නම් ධනය බලය උදෙසා පවතින තවත් ලෞකික රාජ්‍යයක් පමණ ද? කතෝලික සභාව සම්බන්ධයෙන් මේ පැනය උතුරටත්, දකුණටත් වෙනසක් නැති බව පැහැදිලි ය. ක‍්‍රිස්තුන් වහන්සේගේ ජීවන දැක්ම වූයේ පීඩිතයාගේ විමුක්තිය ය. නමුත් ඒ කල්වාරි ගමන වෙනුවට අද සභාව පාලූකරයේ යක්ෂයා මවා පෑ පරීක්ෂාවන්හි ගොදුරක් වී ඇත්දැයි සැක සිතෙන තරම් ය. 

දෙව් මැදුරට අභිනවයෙන් පැමිණ සිටින තරුණ පියතුමා ඉතාම කුඩා නිවහනක සෙවණෙහි වාසය කරමින් ම අලූත් මුහුදු කූඩැල්ලන් අස්වැන්නෙන් කළ යුතු දෑ සිහිපත් කරයි. පෙර පාසලක්, දරුවන්ට ඉගැන්වීම සඳහා පන්ති කාමර  එකී සිහිනයෙහි පියාපත් සලයි. අපි එයට තවත් සිහින එක්කාසු කරන්නෙමු.  ‘‘පුස්තකාලයක්. ළමයින්ට ඇවිත් පොත් පත් කියවන්න, කතා කරන්න, ඉන්න නිදහස් තැනක්.“

10, 11 වසරවල පමණක් දරු දැරියන් 50 ක් පමණ අපගේ වැඩසටහන සමඟ ද එක් වූහ. ගම්මානයේ සියලූම දරුවන් එක්ව ගත් කල කොතරම් පිරිසක් වනු ඇත්ද? ඒ දරුවන් වෙනුවෙන් ජීවිත පූජා කරන්නට මුහුදු කූඩැල්ලන් අකමැති නොවනු ඇත.

දරුවන් සමඟ කළ කෙටි කතා බහ ඔවුන්ගේ දිළිඳු දුෂ්කර ජීවිත අවබෝධ කරගන්නට මඟ පෑදීය. ඔවුන් වැඩි පිරිසකගේ දිවි සරිවනුයේ මුහුදිනි. ධීවර රස්සාවෙනි. එසේ නොවන තැන කුලී කම් ය.  සෑම පවුලකම පහ, හය ඉක්මවා යන සාමාජික සංඛ්‍යාවකි. ජීවිතය ජය ගන්නට ඉගෙනුම කොතරම් වටනේද යන්න කීව ද එතරම් බරපතල පවුලක හිඳිමින්, දුෂ්කර මඟ ගෙවා දුර බැහැරින් ඇති පාසල් කරා යමින් ඉගෙනුම ලැබීම පහසු කාර්යයක් නොවන බව වටහා ගැනීම අසීරු නොවේ. අඩු වයසින් විවාහ වීම එකී ගම් පියසේ බහුලව සිදු වන බව අප හා පැවසුවේ දේවස්ථානය භාර පියතුමා ය.

‘‘අනාගතේදි ඔයාල මොනවද කරන්න හිතන්නෙ..“ දෙමල බස හසුරුවන්නට දැන සිටි ටෙරන්ස් පියතුමාගෙන් දරුවන් වෙත යොමු වූ පැනයකි.

‘‘මට මතක් වෙන්නෙ නෑ..“ දැරියක් කීවේ කල්පනාබරව ය. තවත් සුළු මොහොතකට පසුව “ලොකු දුරක් යන්න තියෙනවා.“ ඇය ම සිනාමුසුව පැවසුවාය.


2016 ජුනි

No comments:

Post a Comment