June 23, 2014

මගේ පුතා දිනුම්.........


 
සුරංගනා ලෝකෙ සිඟිති සුරංගනාවියො මහ ගොඩක් ඉන්නවා. එයාලගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි දරුවන්ව රැක බලාගන්න එක. එයාලව සතුටින් තියන එක... ඒ එක් සිඟිති සුරංගනාවියකගෙ දිනපොතේ  සටහන් අතරින් තමයි මම මේ කතා ඔයාලට අරන් එන්නෙ....

මගේ පුතා දිනුම්.........

ජාරක කියන්නෙ සුන්දරම හිනාවක් තියෙන, නිර්මල ම හදවතක් තියෙන අතිශය ප්‍රියමනාප සුවිශේෂ දරුවෙක්. ඇත්තටම කියනවනම් සුන්දර ගැටවරයෙක්.  විශේෂ අධ්‍යාපනය ලබන බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියලයි ජාරක පුතාගෙ තාත්තා එයාගේ බ්ලොග් ලිපියක සඳහන් කළේ. ‘‘මගේ පුතා දිනුම් කියන ඒ ලිපිය නෙත කඳුළු නංවන සංවේදී සටහනක්. ඒ ලිපිය පුරාම ජාරක පුතාගෙ මානුෂික හදවත විහිදිලා විසිරිලා තියෙනවා. පුතාගෙ ඡායාරූපය දකින කිසි කෙනෙක් නම් හිතන එකක් නැති වෙයි එයා බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියල.

මේ ලිපිය දුටුව දරුවන්ට ගොඩක් ආදරය කරන එක නැන්දා කෙනෙකුට හිතුණා ජාරක පුතාට කතා කරන්න. ඒ නැන්දාගෙ නම තරූ. ඉතින් එයා ජාරක පුතාගෙ දුරකථන අංකය හොයාගෙන එයාට කතා කළා. සුන්දර ගැටවරයෙක් වුණ පුතාගෙ කටහඬ නම් තවම පුංචි ළමයෙක් ගානයි. එයා බොහොම සතුටින් නැන්දත් එක්ක කතා කළා. එයා බලන ටීවී වැඩසටහන්, එයා ක්‍රීඩා තරඟවලින් ජය ගත්ත හැටි හරිම උනන්දුවෙන් විස්තර කළේ. හිටි ගමන් දුරකථනය තාත්තා අතට දීලා දිව්වා. ඉතින් නැන්ද හිතුවෙ පුතා වැඩිය කතා කරන්න කැමති නැහැ කියලයි.
නැන්ද එක්ක කතා කරන්න කැමැත්තෙන් උන්නු ජාරකගෙ නංගි එක්කත් එයා කතා කලා. නංගි කවෝදි හතර වසරෙ. එයා බොහොම දක්ෂ කටකාර දුවණියක්...

පස්සෙ දවසක තමයි තරූ නැන්දා දැන ගත්තෙ එයාලගෙ මිනිත්තු කිහිපයක කතා බහට ජාරක පුතා කොයි තරම් වැදගත්කමක් එකතු කරලද කියල.

ජාරක පුතාගෙ තාත්තා මාධ්‍යවේදියෙක්. ඒ වගේම නාට්‍ය ශිල්පියෙක්. වැලිකඩ බන්ධනාගාරෙ රැඳවියන් එක්කත් එයා වැඩ කරනවා. ඒ ගමන්වලට තාත්තා එක්ක පුතත් එකතු වෙනවා. මේ වතාවෙ බන්ධනාගාරෙ යාළුවො හැමෝම එක්ක එයා කතා කළේ මාමා කෙනෙක් එයා ගැන මූණුපොතේ ලියා තිබුණු සටහනත්, තරු නැන්දත් එක්ක කළ දුරකථන සංවාදයත් ගැනලු.  දැන් නාට්‍ය කණ්ඩායමේ සෑම රැඳවියෙක්ම තරු නැන්දා ගැනත් දන්නවාලු. ඒ ගැන ජාරක පුතාගෙ තාත්තා ලියා තිබුණ මේ සටහන දැකල තරු නැන්දගෙ ඇස්වලට කඳුළුත් පිරුණා.

‘‘තරු මාවත් දැක නැත්තේය. එහෙත් දැන් පුතා ඇයවත් දැක ඇත. දුරකතනය ඔස්සේ පැමිණි ඒ හඬ බොහෝ ලස්සන කර කරුණු දැක්වීම ඔහුගේ සෙනෙහේ ස්වභාවය ය.

ජාරකගෙ තාත්තා ‘‘මගේ පුතා දිනුම් ලිපිය අවසන් කර තිබුණේ මෙහෙමයි.

‘‘.. ඔහු‍ විශේෂ ළමයෙක් බව දැනෙන්නේ මේ හැසිරීම් තුළ ය. නැතිනම් පෙණුමට ඔහු අපූරු කොලු ගැටයෙක් පමණය.ඉදිරි අභියෝගය ඔහු යමක් කියවන්නට ලියන්නට හැකි තරමට කෙසේ හෝ දියුණු කිරීමය. දැනට ද ඔහු මිනිසුන් ඇසුරේ ප්‍රියමනාප වීමේ කඩ ඉම ජයගෙන ඇත. ඒ නිසා අනතුරුව ඔහුට ජීවිතය ජය ගැනීමට පහසු වනු ඇත. අමාරුම මිනිසුන් දිනා ගැනීමය. ඒ සදහා වූ ආකර්ශනය පෙණුමේ පමණක් නොව ඇවතුම් පැවතුම් වල ද,හදවතේ තෙතමනය තුළ ද, තිබෙන බව සහතිකය.

ඒ නිසාම මගේ පුතා දිණුම් ..

දරුවන්ගේ දිනුම් මනින දෙමව්පියන්ගේ මිම්ම ආත්මාර්ථයෙන්, මාන්නයෙන්, තණ්හාවෙන් පිරුණු ලෝකයක මෙවැනි මානුෂීය දහමක පිහිටා දරුවන් ගැන සිතන්නට හැකි නම් කොතරම් අපූරුද?  හැම දරුවෙකුටම මෙවැනි ආදරවන්ත මව්පියන්, වැඩිහිටියන් හමුවන්නේ නම් ලෝකය කොතරම් දයාවෙන් පිරුණු සුන්දර තැනක් වේවිද ?

සිඟිති සුරංගනාවි දින පොතේ සටහන නිමා කර තිබුණේ එහෙමයි...
 
2014 ජූලි

5 comments:

  1. 2014 ජූලි? ඒ කොහොමද?
    අපිට තවම ජූනි.
    මෙන්න තරු ණැන්දට වැරදිලෝ.

    ReplyDelete
  2. එහෙම නෙවි රංගි නැන්දෙ.. මේ ලිපිය දැන්ම පළ කළාට ලිව්වෙ කැඩපත ජූලි කලාපෙටනෙ... ඒ නිසයි එහෙම දැම්මෙ.. තරු නැන්දට හරියට වරදිනව තමයි. හැබැයි මේ නම් වැරදීමක් නෙවෙයි...

    ReplyDelete
  3. මගෙ කොල්ලට දීල තියෙන වටිනාකම මිල කරන්නෙ කොහොමද?ඒ නිසා මොකවත් නොලියාම උන්න.එයා සැරයක් කතා කරල හිතට වැදුණොත් ආයෙ හැමදාම අත අරින්නෙ නැතිව හිතේ තියා ගන්නවා.ඒක හැටි.සමහර යාළුවො ළගින් ඉන්නකම් සහ මාව අවශ්‍යය වෙනකං ඉදල ඊට පස්සෙ දන්නෙ නැහැ වගෙ අත ඇරල දානවා.ඊට පස්සෙ කොල්ල මාර විදිහට දුක් විදිනවා.හැමදාම එනවද එනවද කියලා අහනවා.ඒ උගෙ හැටි.මම හිතන්නෙ ඔයත් ඒ ලිස්ට් එකට වැටෙයි වගේ.හැබැයි මාසෙකට සැරයක් හරි කතා කරල හිත හදන්න වෙයි එහෙම වුණොත්.

    උදාහරණයකට වෙඩ්ඩා ගන්නකො.ලෝකෙ කොහ හිටියත් වෙඩ්ඩ කතා කරන්න ඕනි ජනවාරි පළමු වෙනිදට.කතා කරනකං පිස්සුවෙන් වගේ කියවනවා.ඒක තමයි එයාගෙ හොදම උපන්දින තෑග්ග.ලැබුණු දේවල් ඔක්කොම ඉවරයි කතා කරාට පස්සෙ.ඒකම තමයි කියවන්නෙ.වෙඩ්ඩ කතා කළා.ලොකුම තෑග්ග

    ReplyDelete
    Replies
    1. මම පුතාට කතා කරන්නම් අයියෙ...

      මට පුදුමයි මේ දරුවා ගැන.. එයා මිනිස්සුන්ව හදවතින් බදල අල්ලගන්න විදිය... ඒ නිසාම එයාට දුක් වෙන්නත් වෙනවා.. ඒ ගැනයි මට දුක..

      Delete
  4. ජාරක පුතා එහෙම තමයි; එයා හරිම සංවේදියි.

    ReplyDelete