‘‘මංඤ්ඤම්මෙ....
අම්ම මොකක්ද කිව්වා.. මං ඒක දන්නෙ නෑ...’’
පුංචි සාරා වැට ළඟ ඉඳන් කෑ ගැහුවා එයාගෙ මංඤ්ඤම්මට. සාරා තවම මොන්ටිසෝරි යන පුංචි පැංචියෙක්. හරියට ජපන් බෝනික්කියක් වගේ.
හුරුබුහුටියි. හරි හුරතල්. එයා ඉන්නෙ අම්මයි, ආච්චි අම්මයි එක්ක... එයාගෙ තාත්තා පුංචි
සාරවයි අනිත් හැමෝවමයි දාල ස්වර්ගෙට ගියේ සාරට මාස අටක් වෙද්දි.. සාරාගෙ මංඤ්ඤම්මා
තමයි චූටි මිමීගෙ මම්මා.
ඔයාලට මතකයි නේද චූටි මිමීගෙ මම්මව? සාරාගෙ
තාත්ත තමයි ඉතින් චූටි මිමීගෙ මම්මව සාරාගෙ මංඥම්මා විදියට තෝර ගත්තෙ. හරියට ‘‘මං
ඉක්මණින්ම මේ ලෝකෙ දාල යනවා මගෙ පුංචි මැණික් කැටේ ආදරෙන් බලාගන්න’’ කියනවා වගේ.
චූටි මිමීගෙ මම්මා දැනටමත් දරුවො
නවදෙනෙක්ගෙ මංඥම්මා වෙලා. ඔයාල දන්නවද කවුද මංඤ්ඤම්මා කියන්නෙ කියල. ඉංග‍්‍රීසියෙන්
නම් කියන්නෙ God Mother
කියල. ඒ කියන්නෙ දේව අම්මා. දරුවෙක් ක‍්‍රිස්තියානි කරන මොහොතෙදි අම්ම තාත්ත වගේම
දරුවන් හොඳින් රැක බලා ගන්නවා කියල දෙවියන් ඉදිරියෙ පොරොන්දු වෙන කැපකරු මව්පියන්
තමයි මේ දේව අම්මත්, දේව
තාත්තත්..
මංඤ්ඤම්මාගෙ ගේ තියෙන්නෙ සාරාගෙ ගේ ළඟමයි.
ඒත් ඉතින් මංඤ්ඤම්මා හැමදාම ගෙදර නෑ. එයා ඈතක වැඩ කරන්නෙ. සතිඅන්තෙ විතරයි ගෙදර
එන්නෙ. ඒ ආවම එයාගෙ තනි රකින්නෙ චුටි මිමීයි, සාරා යි තමයි. එයාලට එකතු වෙනවා තව අසල්වැසි
දියණියකුත්. වෙලාවකට සුරංගනා ලෝකයක්.. හැබැයි තවත් වෙලාවකට දරුණු කුණාටුවකට අහු
වුණා වගේ තමයි. මේ පුංචි සුරංගනාවියො මම්මගෙ ගෙදරින් යන්නෙ ගේ පුරාම හැඩි කරලා.
මම්මට වැඩ වැඩි කරලා. ඒත් මම්මට ඒව ගාණක් නෑ. එයා ඒ තරම්ම පුංචි අයට ආදරෙයිනේ...
අනික පුංචි දරුවො ඉන්න ගෙදරක පිළිවෙල කියන්නෙම හැමතැනම හැමදේම විසිරිලා තියෙන එකට
තමයි. බිත්තිවල බලිරූප, බිම
පුරා සෙල්ලම් බඩු. වරදින්න විදිහක් නැහැනෙ.
ඔන්න ඉතින් සාරයි, මංඤ්ඤම්මයි
අත් අල්ලන් ආපහු ඇවිදින් රේක්කෙත් අරන් යනකොට අහස් යන්තරාවක් ඒ කියන්නෙ ප්ලේන්
එකක් පාතින් ගියා. සද්ද දාගෙන. හරියට පොල් ගස් මුදුන්වල ගෑවිල යනවා වගෙයි දැණුනෙ.
සාරයි, මංඤ්ඤම්මයි
ප්ලේන් එක ඈත නොපෙනී යනකල් බලන් උන්නා. මංඤ්ඤම්මා දන්නවා පුංචි අය ප්ලේන්වලට ආසයි
කියල.
‘‘ප්ලේන්වලින්
අළුත් වලාකුළු අරන් ඇවිත් අහසෙ තියල පරණ වළාකුළු අරන් යනවා...’’ පුංචි සාරා මංඤ්ඤම්මට කිව්වා.
‘‘ආනේ
ඇත්තද? කවුද
ඔයාට එහෙම කිව්වෙ..’’ මංඤ්ඤම්මත් පුදුමෙන් වගේ ඇහුවා.
‘‘කවුරුත්
කිව්වෙ නෑ... ප්ලේන් ඇවිත් යනකොට මං මයි එහෙම කිව්වෙ...’’ සාරා හිනැහිලා බෙල්ලත්
ඇද කරලා කියද්දි මංඤ්ඤම්මට හිතුණා කිටි කිටියෙ තුරුල් කරගෙන ඒ රෝස මූණට හාදුවක්
දෙන්න.
බලන්න, පුංචි හිත්වල සිතුවිලි කොයි තරම් අපූරුද? අපි හීනෙකින්වත් නොහිතන දේවල් තමයි එයාල හිතන්නෙ. ඒ ලස්සන සිතුවිලි ලෝකෙ වෙනස් වෙන්නෙ වැඩිහිටි අපි ඒ පුංචි හිත්වලට පටවන මහා බර නිසා. ළමයින්ට ළමයින්ගෙ ලෝකෙ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ළමා කාලය හරිම කෙටියි. හැමදාම නැහැනෙ. ඒ ළමා වියේ අහිංසක ලස්සන, පිවිතුරු කම රැක ගන්නයි අපි උදව් වෙන්න ඕන.
2014 මැයි
godak lassanai.sarage anithima kathawa agei
ReplyDelete