July 2, 2014

නෑසියන් කොයි වෙද? නෑකම් තවම වෙද?



‘‘දුවේ... දෙමටගොඩ සමන්තා හෝල් එක තියෙන්නෙ ඒ හරියෙ ගිහින් බලන්නකො.. ඒ හරියෙ තමයි අපි උන්නෙ. තාමත් අපේ මනුස්සයගෙ නෑදෑයො ඇති. නම කිව්වම මතක් වෙයි. අපි ඉන්නව කියල දන්නෙ නැතුවත් ඇති. ’’ ඇය මට ස්වාමිපුරුෂයාගේ නම පවසන්නීය. සිය නෑසියන් ගැන පවසන්නීය. මම දසඅතේ කල්පනා කරමි. සමන්තා හෝල් එක මතකයට නැගෙන්නේ නැත.

ඈ සැත්තෑ වියට ආසන්න යැයි සිතිය හැකි දෙමළ මවකි. මට හමුවුණේ පසුගිය වෙසක් පුන් පොහෝ දා කිලිනොච්චියේ දී ය. දෑතින්ම අල්ලාගෙන සිනා මුහුණින් කතා කරන ඈ මගේ දෙනෙතට ම එබී හිඳින්නීය. ඒ දෙනෙතින් ගලා හැලෙන්නේ අප‍්‍රමාණ මාතෘ ස්නේහයකි.

‘‘ අපි කාලයක්ම ජීවත් වුණේ දෙමටගොඩ දුම්රිය නිවාසවල. 83 කලබල වෙලාවෙ අපිට ගොඩක් කරදර වුණා. හැමදේම නැතිවුණා. අපිව මෙහෙට ගෙනත් දැම්මා... ඉන්පස්සෙ ඉතින් යුද්දෙ...’’ ඈ දිගු සුසුමක් හෙළන්නීය.
ඇයට හොඳින් සිංහල බස හසුරුවනු හැකිය. මට දැණුනේ විස්මයකි. එලෙසම මා ගැන ලැජ්ජාවකි. මට හැක්කේ යාම්තමින් දෙමළ වචන කිහිපයක් ගැට ගසා ගැනීමට පමණි.

‘‘අපි කොළඹනෙ. ඒ හින්ද සිංහල හොඳට පුළුවන්...’’ මොහොතක විරාමයකින් අනතුරුව ඈ පවසන්නේ සිනාමුසුව ය. දිගුකලකින් ඥාති සමූහයක් දුටු කලෙක මෙන් උද්දාමයක් ඈ තුළින් පළවේ. එය ව්‍යාජ හැඟුමක් යැයි නොසිතෙන්නේ ඇගේ දෑතින්, දෑසින්, සිනාවෙන් ගලා හැලෙනා ස්නේහය නිසාවෙනි.

‘‘අපේ එක්කෙනා රේල්ලූවෙ වැඩ කෙරුවෙ. ඉන්දියන් හමුදාව ඇවිත් උන්න දවස්වල වැඩට ගියා ගියාමයි ආවෙ නෑ.. එයා ගැන හොයන්න යන්න එල්ටීටීඊ එකෙන් ඉඩ දුන්නෙ නෑ. මාස ගාණකට පස්සෙ ආරංචි උණා ඉන්දියන් හමුදාවෙන් වෙඩි තියල මැරුණ කියල. මරණ සහතිකයක්, මොනවත් ලියකියවිලි නැති හින්ද පෙන්ෂන් එකක් හම්බ වෙන්නෙත් නෑ...’’

රැළි වැටුණු කාලවර්ණ දෙකොපුල් මතින් කඳුලූ දෙපේළියක් රූරා වැටෙයි. ජීවත් වීමේ අසීරුව ඇගේ වත මත ලියැවී ඇත.
‘‘කොළඹ රේල්ලූවට ගියොත් විස්තර මොනවත් දැනගන්න පුළුවන් වෙයි. දුවට පුළුවන්ද ගිහින් බලන්න.’’ එලෙසින් කීවද ස්වාමියාගේ රැකියාව තහවුරු කළ හැකි ලියකියවිලි කිසිවක්ම ඈ සතුව නැත.

දවසේ වැඩසටහන නිම කර පැමිණෙන්නට පෙර කිහිප වතාවක්ම මා වටා දැවටෙමින් ඇය මේ ඉල්ලීම සිහිපත් කළාය. එය ඉටුකරමැයි ප‍්‍රතිඥාවක් දිය හැකි වටපිටාවක් නොවුණි. සැනසිලි බසකින් පමණක් සෑහිය නොහැකි තරමට ඇගේ දයාර්ද බැල්ම මසිත පාරයි. අදටත් සිත ළතවේ. ඒ අම්මා වෙනුවෙන් මට කිසිවක්ම කළ නොහැකි විය.

සන්තකයම අහිමි කළ, ස්වකීයයන් පැහැර ගත්, යුද්ධය නිමා වුවද තවමත් ඔවුන්ගේ දුක් වේදනාවන් නිමා වී නැත. ජීවත් වීම ඉමක් කොණක් නැති යුද්දයක් බවට පත් වී ඇත. පින් පඩිය හැරුණු විට අන් සහනයක් ද නැත. නමුත් ඒ අම්මාගේ සෙනෙහස, දයාව, මනුෂ්‍යත්වය සිඳී ගොස් නැත. අසිරිය නම් එයයි.

මේ වැන්දඹු අම්මාවරුන් 107 ක් සිටි තැනක එක් අම්මා කෙනෙකුගේ කතාවකින් අංශු මාත‍්‍රයක් පමණි.

 2014 ජූනි


5 comments:

  1. අසරණ ජීවිත තරුරසී

    යුද්ධය මේ රටේ ගොඩක් දේවල් ඩැහැගත්තා. අපෙන් අපේ ජීවිත උදුරගත්තා. ඒ උදුරගත්ත දේවල් එල්.එල්.ආර්.සී වාර්තාවලින් හරි කොෆී අන්නන් ලංකාවට ඇවිලා හරි හොයන්න හදන ඒවගේ නෑ. ඒ දේශපාලනයක් නෙමෙයි දෙයියනේ මනුස්ස ජීවිත..... මනුස්සයින්ගේ සම්බන්ධතා, ආදරය, දරු සෙනෙහස, මව් සෙනෙහස වගේ දේවල්.. ඒවා ඔය කාටවත් හොයන්න ඕනත් නෑ.... ඇත්ත ඕකයි....

    ReplyDelete
  2. කාළකන්නි මිලේඡ්ච රටක් මුන්ට ඒත් මදි...

    ReplyDelete
    Replies
    1. මදි බං තව මදි වැඩිවෙන්න වැඩිවෙන්න ටී ෂර්ට් එකකුත් ගහගෙන ෂෝ ඒක දාන්න පුළුවන්නෙ.මෙදා සැරේ ඡන්දෙ ගොඩදාගන්න ඉන්නෙ මේ විදියට වගෙයි.

      Delete
  3. හ්ම්ම්, මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ තරූ අක්කේ.. ඒත් ඉතින් ජීවිතනේ..

    අක්කගේ මේ බ්ලොග් එක අදයි දැක්කේ මම..

    ReplyDelete
  4. යුද්ධය ලබා දෙන දෙයක් නැත.කරන්නේ අහිමි කිරීම් පමණය.මේ ඇත්ත කතා කරන විට වියරු වැටෙන්නෝ අපිව ද අහිමි කරන්නට මාන බලන බව දත යුතුය.එය නැති කිරීම විනාශ කිරීම සහ අහිමි කිරීම කියන කාරණා වලට කේන්ද්‍ර වී තැණුනු ජනතා ආදරයෙන් මානව දයාවෙන් වියුක්ත වූ කාලකණ්නිකමක් පමණි.

    ReplyDelete