සිඟිති සුරංගනාවිගෙ දිනපොතෙන්...
සුරංගනා ලෝකෙ ගැන ඔයාල වැඩි දෙයක් දන්නෙ නැහැනෙ...
සුරංගනා ලෝකෙ ගොඩක් සුරංගනාවියො ඉන්නව තමයි. ඒ වගේමයි සිඟිති සුරංගනාවියොත් මහ
හුඟක් ඉන්නවා. සිඟිති සුරංගනාවියන්ගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි ළමයිව බලා
ගන්න එක.... එයාලව සතුටින් තියන එක... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.. වැඩියක්ම ඒ
රාජකාරිය අමාරු වෙලා තියෙන්නෙ අම්මල, තාත්තල, වැඩිහිටියො නිසාම තමයි.... සුරංගනා ලෝකෙ තියෙන දින පොතේ සිඟිති
සුරංගනාවියො තමන්ගෙ අත්දැකීම් ලියනවා.. සුන්දර, දුක්බර,
කටුක අත්දැකීම්... සිඟිති සුරංගනාවියක් කැමති උණා ඒ අත්දැකීම්
අපිත් එක්ක බෙදා ගන්න. ඇයි කියනවනම් අම්මල, තාත්තල,
වැඩිහිටියන්ට පුංචි අයගෙ හිත් කියවන්න පහසු වෙන්නයි... අපිත්
කියවල බලමු මොනවද එයාල ලියල තියෙන්නෙ කියල...
''
රන් කිරි කැටියා ''
මේ චුටි පුතෙක් ගැන කතාවක්... චූටි පුතු ඉපදෙද්දිම එයාගෙ
උඩු තොල හරියට පිහිටල තිබුණෙ නැහැ. කැපුම් පාරක් වගේ උඩු තොල බෙදිලයි තිබුණෙ. ඒ
නිසා පුංචිම කාලෙ එයාට හරියට කිරි උරන්නවත් බැරි උණා. එයා ඉපදුණු දවසෙ අම්මටයි,
තාත්තටයි හැමෝටමයි හරිම දුකයි ඉතින්... චූටි පුතු අයිය වගේ නෙවෙයි. කෙට්ටුයි. බරත්
අඩුයි. අම්මයි, තාත්තයි දෙන්න ගොඩක් සල්ලි වියදම් කරල
තොල්පට හැදුවා. දැන් නම් හොයන්නවත් බැහැ. සීරුවෙන් බැලුවොත් පේන පුංචි කැලලක්
විතරයි තියෙන්නෙ. ඒ වුණත් චූටි පුතු තාමත් කෙට්ටුයි. අත් කකුල් කෝටු වගේ. ඒ හින්ද
අම්ම චූටි පුතුට කිව්වෙ '' කෝටු චූටි '' කියලයි. ආදරේටයි එහෙම කිව්වෙ. චූටි පුතුට දුක හිතුණා එහෙම කියද්දි. ඒත්
එයා දන්නෙ නෑ කොහොමද මේක අම්මට තේරුම් කරන්නෙ කියල. තාම එයා පුංචියි අවුරුදු
තුනකුත් නැහැනෙ.
අම්ම වැඩට ගියාම චූටි පුතුව බලා ගන්නෙ මම්මාච්චි. ..
මම්මාච්චි නම් චූටි පුතුට කතා කරන්නෙ '' මගෙ රන් කිරි කැටියා ''
කියලයි. ඉතින් දවසක් චූටි පුතු මම්මාච්චිගෙ තුරුලෙ හුරතල් වෙවී
ඉන්න ගමන් කියනව මෙහෙම...
''
මම්මාච්චි නම් මට කියන්නෙ රන් කිරි කැටියා කියල. ඒත් අම්ම
කියන්නෙ කෝටු චූටි කියලනේ..."
ඒ කියපු තාලෙටයි, ඒ වෙලාවෙ චූටි පුතුගෙ
මූණෙ තිබුණ අහිංසකකමටයි මම්මාච්චිගෙ ඇස්වල කඳුළු පිරුණා. මම්මාච්චි හීන් සීරුවෙම
චූටි පුතුගෙ අම්මට දොස් කිව්වා.
" ආයෙ එහෙම කවදාවත් ළමයට ඔය වගේ නම් කියල කතා කරන්න
එපා... පුංචි උනාට ළමයින්ගෙ හිතට බලපානව ඕවා.."
මම්මාච්චි තරවටු කළා.
ඉතින් දැන් අම්ම වැඩ ඇරිල ගෙදර එන්නෙම කෝ මගෙ රන් කැටියා
කියාගෙන... අම්ම දැන් ආදර වචන ගොඩක් කියනවා. මගේ වස්තුව, මගේ
රන් කැටේ, මගේ සුදු පුතා... වගේ... ඉතින් චූටි පුතුට හරිම
සතුටුයි. සිඟිති සුරංගනාවිටත් සතුටුයි...
ප.ලි.
මම මේ සිඟිති සුරංගනාවිගෙ ලිපි පෙළ ලියන්න පටන් ගත්තෙ
සාමන්ත සොයුරාගෙ කැඩපත සඟරාවට. මට ඕන වැඩි දුර නොහිතා නොබලා අපි කරන කියන දෙයින්
පුංචි දරුවන්ට සිදු වන අසාධාරණකම් ගැන සරලව, හිතට දැනෙන විදියට,
කෙටියෙන් කතා කරන්නයි. මේ කතා එකක්වත්
මනඃකල්පිත කතා නම් නෙවෙයි. මගේම අත්දැකීම්
හෝ මම ඇසු දුටු දේවල්...
No comments:
Post a Comment