November 27, 2013

සාමයේ නිරුවත සහ සීතල යුද්ධ





අතුරු මිතුරු දඹදිව තුරු
උතුරු මිතුරු වෙමු සුමිතුරු
විසිර පැතිර සඳරැස් යුරු
පැතිරි සතුරු කරනෙමු දුරු

මමංකාරයට අහංකාරය එකතු උණාම භයානකයි... එයටම උද්දච්චකමත් එකතු උණාම අති භයානකයි... මමංකාර අහංකාර උද්දච්චකම දේශපේ‍්‍රමීත්වය, ජාත්‍යාලය, දේශානුරාගය, ජාතිකානුරාගය වගේ සුන්දර සාඩම්බර වචනවලට පිටුපසින් කඩුදුනු අමෝරා ගත්තම අතිශයින් භයානකයි...

එතනදි මනුස්සකම ඇකිලිලා යනවා... සංවේදී බව නිර්වින්දනය වෙනවා... මානව සම්බන්ධතා මකුළු හුයක් තරම්වත් නොවටිනා තැනට පත් වෙනවා.... 

ජාතිය, ආගම, කුලය, ජන්මය වගේ කාරණා නිසා පෑරුණු හිතක්, කොන් උණ හිතක් සුවපත් කරන එක ලේසි නැහැ... ඒ වෙනුවෙන් හදවතින්ම කැපවීමක් අවශ්‍යයි. ආදරය අවශ්‍යයි. පිළිගැනීම සහ අගය කිරීම අවශ්‍යයි... 

නෙතට නෙත... දෑතට දෑත.... හදවතට හදවත සමීපව හමු වීම අවශ්‍යයි...
ජාති ආගම් ලෙස භේද බින්න වෙමින් අවි අමෝරා ගන්නවා වෙනුවට මනුෂ්‍යත්වය දල්වන්න, යුද්ධය නිසා පෑරුණු හිත් සුවපත් කරන්න, මිනිසුන් ලෙස ජීවත් වෙන්න හැමටම සමාන අවස්ථා දෙන්න තනි තනි පුද්ගලයන් වශයෙනුත්, සමාජ කණ්ඩායම් වශයෙනුත්, සමස්ත සමාජය විදියටත් අපට කළ හැකි දේ තියෙනවා. 

යුද්දය ඉවරයි.. දැන් සාමය කිව්වට. සාමයත් සීතාම්බර පට සළුව ඇඳගෙන ලැජ්ජාවෙන් ඇකිලිලා ඉන්නෙ. ඈ දන්නවා තවත් පට්ට ගහන එක් වචනයක් මිස ඉන් එහාට ගිය වටිනාකමක් ‘‘සාමය‘‘ ට නැති බව මේ සමාජය තුළ. 

යුද්දය නිම වෙලා බොහෝ කල් ගත උණත්.. තවමත් අපි ඉන්නෙ පශ්චාත් යුද සමයක.. සීතල යුද්ද හැමතැනකම. හැම හිතකම. තමන්ගේම අය අහිමි වීමේ වේදනාව.. තමන්ගේ බිම් අහිමි වීමේ වේදනාව.. තම වේදනාවන් ගැන කතා කිරීමේ නිදහස පවා අහිමිවීමේ පීඩාව.... තමන් ඉපදුණු බිමේම සරණාගතයින්, සතුරන්, අවතැන්වූවන්, කොන්වූවන් ලෙස සලකනු ලැබීමේ පීඩාව... මෙබදු සුවහසක් පීඩාවන්, වේදනාවන් තව කොතෙක් කලක් නම් ඉවසා හිඳින්නද

මිතුරන්, සොයුරන් ...... සතුරන්, ත‍්‍රස්තවාදීන් බවට පත් කිරීමේ ක‍්‍රියාදාමය තුළ අඩුවැඩි වශයෙන් අපි සියලූදෙනාම තවමත් නියැළී සිටිනවා නොවේද?  

සහෝදරත්වය ගොඩනගන්නට අංශුමාත‍්‍ර හෝ කැපවීමක් නැති තැනක සැබෑ සාමයක් උදා වේවිද?  

ඒ සීතල යුද්ද, ගිනි කඳු බවට පත් වී පුපුරා යන්නට ඉඩ  නොදී නිවාලිය යුතුයි නේද? එය කළ යුත්තේ, කළ හැක්කේ පේ‍්‍රමයෙන්... මෛත‍්‍රියෙන් කියලයි මට නම් හිතෙන්නෙ.



භක්ති ප‍්‍රබෝධනයේ පත්ඉරු අතර දිග හැරෙන ‘‘උතුරු මිතුරු’’ අකුරු සොඳුරු ඒ උතුම් ක‍්‍රියාවලියට මගහසර පෙන්වනු සඳහා ප‍්‍රඥාවේ ප‍්‍රදීපයක්ව දැල්වේවා කියා ඉත සිතින් පතමි. 

දෙමට පොතු කාල කට හම ගියාට නොවේ.
කහඹිලිය ගෑවිල වගේ හිත කහනවාට....
ලියා තබන මම

තරුරසී

( 2013 ජූලි )

No comments:

Post a Comment