January 11, 2015

‘‘අනිත් කොන” අරන් එන උතුරුකර ඛේදාන්ත


by Katie m. Berggren

‘‘... රංගම්මා 42 හැවිරිදි වියේ  පසු වේ. කළින් දරුවන් හත් දෙනෙකු ලැබී ඇත. 

‘‘පවුල් සැලසුම් ක‍්‍රමයක් ගැන දන්නෙම නැද්ද අම්මා.. බලන්න ඔයාගෙ වයස, ඔයාගෙ හිමොග්ලොබින් හොඳටම අඩුයි.” ඒ වෙලාවට නම් එන්නේ කේන්තියකි. 

‘‘ළමයි හත්දෙනෙක් ලැබුණට නෝනා දැන් ඉන්නෙ එක ළමයයි.” 

‘‘ඇයි ඉතිරි ළමයින්ට මොකද වුණේ”

‘‘හතර දෙනෙක් යුද්දෙදි නැතිවුණා. දෙන්නෙක් සුනාමිවලින් නැති වුණා.”

ඇස්වලින් කඳුලූ කැට කම්මුල් දිගේ බේරෙද්දී ඈ පවසයි....’’

‘අනිත් කොන‘ කෘතිය 21 පිටුව

පොත කියවන් යද්දි මහා කම්පනයක් හිතට දැණුනු අතිසංවේදී සිදුවීමක් මේ. මෙවන් අම්මාවරු කීදෙනෙක් නම් උතුරුකරයේ වෙසෙනවාද? අවම වශයෙන් තම දරුවන්ට සිදුවූ දෙයක් දැනගන්නට නොහැකිව, තම අහිමි වූ දරුවන් වෙනුවෙන් පහනක් දල්වන්නවත් ඉඩක් නැතිව ඒ හිත්වල මොන දුක් ගින්දරක් ඇවිළෙනවා ඇද්ද?



වෛද්‍ය බෝධිනී ආර් සමරතුංග සොයුරිය උතුරුකරයේ වෛද්‍ය සේවයේ සිය අත්දැකීම් තුළින් ලියන ලද අනිත් කොන කෘතිය පශ්චාත් යුද සමයේ උතුරුකරයේ  මිනිසුන් මුහුණ දෙන අප‍්‍රමාණ දුක් වේදනා, ගැටලූ අතරින් අල්පයක් අප වෙත අරන් එනවා. බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගැනීම වළක්වා ගන්නට ළමා වියේදීම විවාහ කර දුන් ළමා මව්වරු, අලූත උපන් දරුවාට අන්දන්න ඇඳුමක් පවා නැතිව ළතවෙන මව්වරු, යුද්දය නිසා තම සමීපතමයන් අහිමිව තනි වූවන්, මානසික රෝගවලට ලක්වූවන්, වකුගඩු රෝගීන්, දරිද්‍රතාව විසින් රෝගී බවට පත්කළ වුන් , විවිධාකාර ප‍්‍රශ්න නිසා සියදිවි නසාගන්නවුන් මේ කෘතිය පුරාම අපට  හමුවෙනවා. 

ඒ ඇත්ත ජීවිත කතා හරිම අනුවේදනීයයි. උතුරු සන්තානයන්හි ඇවිළෙන ගින්දර තරමක් හෝ තේරුම් ගන්න මේ පොතත් යම් උපකාරයක් වේවි දකුණට... 

වෛද්‍යවරියක් ලෙස දුෂ්කර සේවා අත්දැකීමට ඉතා කැමැත්තෙන් මුහුණ දෙමින්, දෙමළ භාෂාව ඉගෙනගනිමින් දෙමල ජනතාවගේ හදවත්වලට සමීප වෙමින් ඇය සිය මෙහෙවර ඉටු කරන ආකාරයත් ප‍්‍රශංසනීයයි. ඇත්තෙන්ම උතුරු දකුණු හදවත් යා කරන්න එවැනි කැපවීමක්, ආදරයක්, ඉවසීමක් අවශ්‍යයි. මුදල් පසුපසම ලූහුබඳිමින් වෛද්‍ය වෘත්තියේ ගරුත්වය කෙලෙසී ඇති මෙවන් යුගයක උතුරු කොන වෛද්‍යවරුන්ගේ කැපවීම අගය කළ යුතුයි.  

යුද ජයග‍්‍රහණය සමඟ උතුරට වසන්තය කැන්දමින් නව යුගයක අරුණළු නැග එන බව කතුවරිය සිය පෙරවදනේ සඳහන් කළත්, එය තවමත් අත පොවන මානයේ නොවන සිහිනයක් බව පැහැදිලියි. බෝධිනී සොයුරියගේ ඒ පෞද්ගලික මතය හා එකඟ විය නොහැකි වුවත් ඇය අප හා බෙදා ගන්නා මානව ජීවිත සටහන් ගොන්න සමග ගලා එන මනුෂ්‍යත්වයේ කතන්දරයට මං කැමතියි. උතුරු මිතුරු පෑහීමට ඇය දැරූ තැත උතුම්...  

2015 ජනවාරි

November 16, 2014

අනාථ කවියකු සඳට කී කව


සිත අවුළුවා ලූ කවියකි. ඇස උණන සීතල කඳුලකි. වරදකාරී හැඟුමකින් හදවත රිදුම් දේ.

නිලාර් එම් කාසිම් සිංහල බසට නඟන ලද සහෝදර පියාපත්කාව්‍ය එකතුවේ එන සෝලෙයික්කිලි කවියාගේ අතිශය සංවේදී කවියකි මේ. අනාථ කවියා අමතන්නේ සඳට යි. නමුත් ඒ ඇමතුම මනුෂ්‍යත්වය අවදි කරනු පිණිස අපේ හදවත් ස්පර්ශ කරනු නිසැකයි. 

ස්වකීයයන් අහිමි වීම, තම ගම්බිම් අහිමි වීම, ජීවන මාර්ග අහිමි වීම, සැකයේ අවිශ්වාසයේ, පීඩනයේ ගොදුරු බවට පත්වීම, තමන්ගේම භූමියේ අවතැන් වීම අනාථ වීම, අන්‍ය බිමකට පිටුවහල් වීම අප අරුත් ගන්වන්නේ කෙසේද? එය අපට ආගන්තුක අත්දැකීමක් විය හැකිය. එනිසාම එහි බරපතළකම අපට නොදැනෙනු විය හැකිය.

මේ කවිය ඉවසිල්ලේ, නැවතිල්ලේ කියවා බලන්න. ඒ වචනවලට ඔබේ ආත්මයට කතා කිරීමට ඉඩහරින්න. උතුරුකරයේ සීත සුළඟ දැවී ගියේ එක් කවියකුගේ සුසුමකින් පමණක් ම නොවේ. ඒ සුසුම් ගින්දරට නිවීමක් තවමත් පේන මානයේ නොවේ.

බල අරගල නිසා ලොව පුරා අවතැන් වන සුවහසක් මිනිසුන්ගේ ආත්මීය විලාපය මේ කව් පද අතර අපට හමුනොවන්නේද?


සඳ සකිය ඉදින් අද ගීයකුදු නොලියමි
තාවකාලික ගෙයක
මටම යැයි අයිති වූ සාලයක්වත් නොමැත
සිතූ සේ මලක් සිඳ
මල් සුවඳ විඳගන්න
උරුම වූ ගසක් නැත....

නුඹ පවා මට ආගන්තුකය අද,
සකිසඳ
මගේ දොරකඩ වැටෙන
නුඹෙ එළිය මෙන් නොවේ....
මෙබඳු ආගන්තුක ගෙයක
දොරකඩක වැටෙන මේ එළිය....
නුඹේම එළි දෙබිඩියැයි මට සිතෙයා..
නපුරු සිතුවිලිවලින්
මසිත දූෂණය වෙයි..
තුන් දොහක සිට ම මා අනාථයි
මේ කටුක දිවිමඟත්
එහි උනන කවි ගඟත්
සුරැක ජය ලැබූවෙමි...

මගේ ගෙය දුටු එවුන් පවසන්නෙ
එහි මුහුණු පහුරු ගා බිඳ දමා ඇති බවයි...
ආදරෙන් හැදු වැඩු මල් පැළත්
ගවයන්ගෙ බඩවැලේ රැඳී කැලතී පසුව
පහවෙලා ගිය වගයි....

මෙහි උරුම වූ අහසක් නොමැත..
උරා බොන සුළඟ වුව
අනුන්ගේ වස්තුවක් මෙන් දැනෙයි
කොහොම මා ලියන්නද ගීතයක්
තරු අනූදාහකුත්, නුඹත්, අහසත්
අහිමි වූ විටෙක මට....?

මගේ සමනළ රැළ ද
ඇඳ ඉහත්තාවේ හූනන්ද
අහිමි වූ විටෙක ?

වළාකුල රැගෙන නුඹ වසාගනු මැනව
මුළු මුව ම..

කවියෙකුගෙ සුසුමකින්

සීත සුළඟත් දැවී යනු ඇත....

October 1, 2014

පිළිම නෙලා නැති විරුවන්



පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී...
පුපුරා දෙස් දේවී..

පීඩිතභාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියාදෙමින් ඒ විරුවන් මියැදුණි
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුණි....

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්.......

මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුබසෙත සලකා මළෝය උන් සැම...

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්.......

ගායනය - නන්දා මාලනී
පද රචනය - සුනිල් ආරියරත්න
තනු නිර්මාණය - එච්.එම්. ජයවර්ධන



ජීවිතය වෙනුවෙන් ජීවිතය පුද දී, මනුෂ්‍යත්වයට මහත් වූ පේ‍්‍රමයෙන් හෙලා ලූ හුස්ම මිස, හෙලා ලූ දහදිය කඳුළු මිස, අන් කිසිදු මතකයක් ඉතිරි නොකොට, මිහිමව් තුරුලේ සැඟවී ගිය අපමණ මිනිසුන් වෙනුවෙනි මේ ගීතය. 

‘‘මිහිමත පය ගසා සිටින, මිහිමවටද බරක් වූ මළගිය මිනිසුන් අතරින් මිදී ඔබ එන්න. 

පීඩිතභාවය දිනෙන් දින රුදුරුව හිස ඔසවයි. ඔබ සමාධි සුවයෙන් නොසිටිය යුතුය. 

නැඟී සිටින්න..... 

ජීවිතය වෙනුවෙන් නැඟී සිටින්න.’’ 

පිළිම නෙළා නැති එකී විරුවෝ අප අමතා අභියෝග  කරති.

September 2, 2014

ගින්නෙන් උපන් ස්නේහය....


අලුත්ගම ගිනි ඇවිළිණි. සැබවින්ම එය ඇවිළුණු ගින්නක් නොව අවුළුවා ලූ ගින්නකි. පශ්චාත් නන්දිකඩාල් සමයේ ආරම්භයේ සිට අලු යට සඟවමින් නමුත් නිවෙන්නට නොදෙමින්, සෙමෙන් සෙමෙන් හුස්ම පිඹ අවුලුවා ලූ ගින්නකි. එක් ජාතිවාදී අරගලයක ගිනිදැල් නිවී යන්නටත් පෙර තවත් ජාතිවාදී ගින්නක හදවත් දවාලන ගිනියම විඳින්නට තරම් අපි අවාසනාවන්තයෝ වීමු. වරද එක් පසෙකට පමණක් බැර කිරීම නොහොබී. ජාතීන් අතර විවිධත්වය අගයන්නට නොහැකි, එකිනෙකාව පිළිගන්නට, ඉවසන්නට, සමාව දෙන්නට නොහැකි, වෛරය වෙනුවට ආදරය ජීවිතය කර ගත නොහැකි අපි සියල්ලෝම මෙහි වරදකරුවෝ වෙමු.

ජීවිතයේ වටිනාකම තේරුම් ගත් එවැනි දයාවන්ත මිනිසුන් සිහසුන් නොගැන්වූ අපි සියල්ලෝම වරදකරුවෝ වෙමු.

අලූත්ගම ගින්නෙන් නැගුණු වේදනාවෙන් කම්පනයට පත් හදවත් විවිධ අයුරින් එයට සිය විරෝධය පළ කරනු  අපි දුටිමු.

මේ ගින්නෙන් උපන් ස්නේහයක් පිළිබඳ මට අසන්නට ලැබුණු කතාවකි.

යුද්ධයෙන් පීඩාවට පත් නැගෙනහිර ප‍්‍රදේශයේ කාන්තා සමූහයක් අලුතින් අලුත්ගමින් අවලූවා ලූ නොමිනිස් ක‍්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළේ එදා මෙදාතුර නොමිනිස්කම් නිසා දිවි දුන් සියලුම මිනිසුන් වෙනුවෙන් සහ සැබෑ සාමය මේ මිහිතලය මත උදාකරලන්නට සැම සිත් පහන් වේවා යන පැතුමින් පහනක් දල්වමිනි. මේ කාන්තා එකතුවේ බහුතරය දමිළ ය. සිංහල හා මුස්ලිම් අතළොස්සක් වෙති.
නැගී සිටි මුස්ලිම් සොයුරියක් කතා කළේ කඳුළු පිරි දෙනෙතිනි.

‘‘ඔයාලට යුද්දෙන් කරදර වෙද්දි ඒක අපිට දැණුනෙ නෑ. අපි ගණන් ගත්තෙ නෑ. අපි මොනවත්ම කළේ නෑ. ඒත් අද අපිට කරදර වෙද්දි පහනක් පත්තු කරන්න හරි මුලින්ම එකතු වෙන්නෙ ඔයාල.. අපි තනිවෙලා නැහැ කියල දැනෙනවා.’’

ඒ හෘදයාංගම කතාව එතැන සිටි බොහෝ දෙනෙකුගේ නෙත කඳුළු නැංවීය.

‘‘අපි දන්නවා මරණ බය.... ඒ වගේම අපි දන්නවා ප‍්‍රතික්ෂේප වෙන එක, අත්හැර දමන එක, නොසලකා හරින එක, තමන්ගෙම අය නැති වෙන එක, උන්හිටි තැන් දාල යන්න වෙන එක කොයි තරම් වේදනාවක්ද කියල... ආයෙමත් ඒ වගේ දේවල් කිසිම මනුස්සයෙකුට සිද්ද වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවෙනුයි අපි එකතු වෙන්න  ඕන...’’

ඒ හඬ දෙමළ සොයුරියකගේ ය. 


දැල්වූ පහනින් හදවත් දැල්වුනේ එලෙසිනි. කඳුලින් අලුත් සෙනෙහස් බැම්මක් ගොඩනැගුණි. සිනා නැගුණි. ඒ සිනහව වෙනදාට වඩා අවබෝධයෙන්ද, ආදරයෙන්ද, ධෛර්යයයෙන්ද පිරී පැවතිණි. සිදුවිය යුත්තේත් එයම නොවේද?

August 21, 2014

ළක්‍රිවී දිවියෙන්..........

By Agnes Nicholl

පොසොන් මස 22 වන ඉරිදා සැඳෑව ගත වුණේ පොල්වත්ත ළ.ක්‍රි.වී. ඒකකයේ දූ දරුවන් සමඟ‍. පුංචි පැටවුන්ගේ දස්කම් විස්කම් ඔපවැටුණු ගිනිමැලයට හදවතින්ම ඇතුළ් වෙමින්. ප්‍රීතියෙන් රඟදෙන ගිනිදලු මැද අන්ධකාරය බිඳී විසිරී ගිය ඒ සිහිලැල් සැඳෑවේ මගේ හිත දිව ගියේ ඈත අතීතයට‍. ඒ 1999 වසරට. 

උසස් අධ්‍යාපනය වෙනුවෙන් ගමෙන් පිටවෙන්නට පෙර මගේ ළ.ක්‍රි.වී. ඒකකයේ  දරුවන් සමඟ පැවැත්වූ අවසන් ගිනිමැලයට. එදා ගිනිමැලය අවසානයේ මා ළඟට පැමිණි අම්මා කෙනෙක් මෙහෙම කිව්වා...

“ඔයා ගමෙන් ගියාම අපේ දරුවන්ට තමයි පාඩු. අපේ ළමයින්ට මේ වගේ දක්ෂකම් තියෙනව කියල අපිවත් දැනන් උන්නෙ නැහැනෙ....” 

වසර ගණනක අනුශාසක දිවියට ඉපදුණු හැදුණු වැඩුණු ‍ගමේදිම ලැබුණු උපහාරයක් වගෙයි ඒ වචන...

මට ජීවිතය දුන්නෙ මගේ අම්මා. නමුත් මං ජීවිතයේ අරුත් පහදවා ගත්තෙ ළ.ක්‍රි.වී. අම්මාගෙන්. ඒ නිසයි මං නිතරම  ළ.ක්‍රි.වී. ය මගේ දෙවෙනි අම්මා විදියට හඳුන්වන්නෙ. ඇයයි මට ජීවිතයට පාර පෙන්නුවෙ. 

1997 වසරෙ ඉඳල අනුශාසක කෙනෙක් විදියට මෙතෙක් ආ ගමන්මග දෙස ආපසු හැරී බලද්දි හිතට දැනෙන්නෙ අප්‍රමාණ සතුටක්... ඒ සතුට මහා යුග මෙහෙවරක් කළා කියල දැනෙන ආඩම්බරයක් නෙවෙයි. දරුවන් වෙනුවෙන් ලස්සන ලෝකයක් ගොඩනගන්න, අනුශාසක සොයුරු සොයුරියන් සමග කළ පුංචි පුංචි ආදරවන්ත වැඩ ගැන දැනෙන නිහතමානී සතුටක්.

මව්පියන්ට, වැඩිහිටියන්ට, ගහකොල, සතාසීපාවුන්ට, ඉරට හඳට වැහි බිඳුවට පවා ආදරය කරන්න කියල දුන්නෙ ළ.ක්‍රි.වී. අම්මා... ළ.ක්‍රි.වී. දරුවෙක් විදියට ගුණාංග පහත්, වසරින් වසර  ලැබුණු තේමාවනුත් ජීවිතයට අළුත් දැක්මක් ලබා දුන්නා තමයි. ඒත් ළමා කාලයටත් වඩා වැඩියෙන් ඒ වටිනාකම් ජීවිතයට පන්නරයක් වුණේ අනුශාසක කෙනෙක් විදියට කටයුතු කළ අවදියෙදි... ළ.ක්‍රි.වී. වටිනාකම් අවබෝධයකින් ජීවිතයට මුල් ඇද්දෙ තාරුණ්‍යයේදි කියල මට හිතෙනවා.

මේ පුංචි කොදෙව්ව පුරාම මගේම කියල යන්න එන්න නිවහනක්, අම්මල තාත්තල, සොයුරු සොයුරියන් ඈ මට ලබා දුන්නා නොමසුරුවම. යහපත් සමාජ ජීවිතයක් ගත කරන්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ මේ මානව සම්බන්ධතා හරහා...  ‍

මානව දයාවෙන් පිරුණු ලේඛන කලාවක් ගැන සිහිනයක ජීවත් වුණු මට ඒ සිහිනය යථාර්ථයක් කර ගන්න මග පෙන්වූයෙත් ඇය.. ඒ ළමාහඬ පුවත්පත ත්, සබඳ සඟරාවත් හරහා...

ඕනෑම තැනක, ඕනෑම පිරිසක් ඉදිරියෙ කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න හිතට දිරි දුන්නෙ ඇය. මමවත් නොදන්න මගේ හැකියාවන් උර ගාල, ඔපමට්ටම් කරල මං සමාජයට වටින දියණියක් කළේ ඇය. ඒ තරම්ම වෙනසක් මගෙ ජීවිතයේ සිද්ද වෙන්නෙ ළ.ක්‍රි.වී. යත් එක්ක අවංකවම කැපවීමෙන් දුර ගමනක් ආ නිසයි...

මේ ලියන නිමේෂයෙදි ‍මගේ හිත සිතිවිලි ගඟක් වෙලා.. අතීතය රැලි නග නගා ගලනවා. ඒ හැම දෙයක්ම ලිව්වොත් සබඳ සඟරා සීයක් වත් උවමනා වෙයි. මගේ හිත අද්දර ඉඳන් හිනැහෙන ආදරවන්ත මුහුණු රැසයි. අත්දැකීම් ගොන්නයි. සිනාවෙන් වගේම කඳුලින් සුසුමින් පිරුණු මතකයන්ගෙනුත් අඩුවක් නෑ.

ජීවිතය සුවපත් වෙන්නෙ රෝස මල් පාවඩ මතින් එද්දි තමයි. නමුත් ජීවිතය පොහොසත් වෙන්නෙ රෝස කටු ඇනෙන වේදනාව දරා ගැනීමෙන් සහ එයින් ලබන පන්නරයෙන්. අතීතයට ආපහු හැරිල බලද්දි පසක් වෙන සත්‍යය එයයි. ළ.ක්‍රි.වී.ය මේ දෙයාකාරයෙන්ම මගේ ජීවිතය පොහොසත් කළා...

ඉතින් මං ළ.ක්‍රි.වී. අම්මට ණයගැතියි. ළ.ක්‍රි.වී. අම්මට ආදරෙයි. ඒ ණයගැති බව සහ ආදරය නිසාම නව ලොවක් ගොඩනැගී‍මේ සිහිනය යථාර්ථයක් කර ගන්න මං දිවි ඇති තුරුම කැපවීමෙන් වැඩ කරනවා.

2014 අගෝස්තු

July 2, 2014

නෑසියන් කොයි වෙද? නෑකම් තවම වෙද?



‘‘දුවේ... දෙමටගොඩ සමන්තා හෝල් එක තියෙන්නෙ ඒ හරියෙ ගිහින් බලන්නකො.. ඒ හරියෙ තමයි අපි උන්නෙ. තාමත් අපේ මනුස්සයගෙ නෑදෑයො ඇති. නම කිව්වම මතක් වෙයි. අපි ඉන්නව කියල දන්නෙ නැතුවත් ඇති. ’’ ඇය මට ස්වාමිපුරුෂයාගේ නම පවසන්නීය. සිය නෑසියන් ගැන පවසන්නීය. මම දසඅතේ කල්පනා කරමි. සමන්තා හෝල් එක මතකයට නැගෙන්නේ නැත.

ඈ සැත්තෑ වියට ආසන්න යැයි සිතිය හැකි දෙමළ මවකි. මට හමුවුණේ පසුගිය වෙසක් පුන් පොහෝ දා කිලිනොච්චියේ දී ය. දෑතින්ම අල්ලාගෙන සිනා මුහුණින් කතා කරන ඈ මගේ දෙනෙතට ම එබී හිඳින්නීය. ඒ දෙනෙතින් ගලා හැලෙන්නේ අප‍්‍රමාණ මාතෘ ස්නේහයකි.

‘‘ අපි කාලයක්ම ජීවත් වුණේ දෙමටගොඩ දුම්රිය නිවාසවල. 83 කලබල වෙලාවෙ අපිට ගොඩක් කරදර වුණා. හැමදේම නැතිවුණා. අපිව මෙහෙට ගෙනත් දැම්මා... ඉන්පස්සෙ ඉතින් යුද්දෙ...’’ ඈ දිගු සුසුමක් හෙළන්නීය.
ඇයට හොඳින් සිංහල බස හසුරුවනු හැකිය. මට දැණුනේ විස්මයකි. එලෙසම මා ගැන ලැජ්ජාවකි. මට හැක්කේ යාම්තමින් දෙමළ වචන කිහිපයක් ගැට ගසා ගැනීමට පමණි.

‘‘අපි කොළඹනෙ. ඒ හින්ද සිංහල හොඳට පුළුවන්...’’ මොහොතක විරාමයකින් අනතුරුව ඈ පවසන්නේ සිනාමුසුව ය. දිගුකලකින් ඥාති සමූහයක් දුටු කලෙක මෙන් උද්දාමයක් ඈ තුළින් පළවේ. එය ව්‍යාජ හැඟුමක් යැයි නොසිතෙන්නේ ඇගේ දෑතින්, දෑසින්, සිනාවෙන් ගලා හැලෙනා ස්නේහය නිසාවෙනි.

‘‘අපේ එක්කෙනා රේල්ලූවෙ වැඩ කෙරුවෙ. ඉන්දියන් හමුදාව ඇවිත් උන්න දවස්වල වැඩට ගියා ගියාමයි ආවෙ නෑ.. එයා ගැන හොයන්න යන්න එල්ටීටීඊ එකෙන් ඉඩ දුන්නෙ නෑ. මාස ගාණකට පස්සෙ ආරංචි උණා ඉන්දියන් හමුදාවෙන් වෙඩි තියල මැරුණ කියල. මරණ සහතිකයක්, මොනවත් ලියකියවිලි නැති හින්ද පෙන්ෂන් එකක් හම්බ වෙන්නෙත් නෑ...’’

රැළි වැටුණු කාලවර්ණ දෙකොපුල් මතින් කඳුලූ දෙපේළියක් රූරා වැටෙයි. ජීවත් වීමේ අසීරුව ඇගේ වත මත ලියැවී ඇත.
‘‘කොළඹ රේල්ලූවට ගියොත් විස්තර මොනවත් දැනගන්න පුළුවන් වෙයි. දුවට පුළුවන්ද ගිහින් බලන්න.’’ එලෙසින් කීවද ස්වාමියාගේ රැකියාව තහවුරු කළ හැකි ලියකියවිලි කිසිවක්ම ඈ සතුව නැත.

දවසේ වැඩසටහන නිම කර පැමිණෙන්නට පෙර කිහිප වතාවක්ම මා වටා දැවටෙමින් ඇය මේ ඉල්ලීම සිහිපත් කළාය. එය ඉටුකරමැයි ප‍්‍රතිඥාවක් දිය හැකි වටපිටාවක් නොවුණි. සැනසිලි බසකින් පමණක් සෑහිය නොහැකි තරමට ඇගේ දයාර්ද බැල්ම මසිත පාරයි. අදටත් සිත ළතවේ. ඒ අම්මා වෙනුවෙන් මට කිසිවක්ම කළ නොහැකි විය.

සන්තකයම අහිමි කළ, ස්වකීයයන් පැහැර ගත්, යුද්ධය නිමා වුවද තවමත් ඔවුන්ගේ දුක් වේදනාවන් නිමා වී නැත. ජීවත් වීම ඉමක් කොණක් නැති යුද්දයක් බවට පත් වී ඇත. පින් පඩිය හැරුණු විට අන් සහනයක් ද නැත. නමුත් ඒ අම්මාගේ සෙනෙහස, දයාව, මනුෂ්‍යත්වය සිඳී ගොස් නැත. අසිරිය නම් එයයි.

මේ වැන්දඹු අම්මාවරුන් 107 ක් සිටි තැනක එක් අම්මා කෙනෙකුගේ කතාවකින් අංශු මාත‍්‍රයක් පමණි.

 2014 ජූනි


June 23, 2014

මගේ පුතා දිනුම්.........


 
සුරංගනා ලෝකෙ සිඟිති සුරංගනාවියො මහ ගොඩක් ඉන්නවා. එයාලගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි දරුවන්ව රැක බලාගන්න එක. එයාලව සතුටින් තියන එක... ඒ එක් සිඟිති සුරංගනාවියකගෙ දිනපොතේ  සටහන් අතරින් තමයි මම මේ කතා ඔයාලට අරන් එන්නෙ....

මගේ පුතා දිනුම්.........

ජාරක කියන්නෙ සුන්දරම හිනාවක් තියෙන, නිර්මල ම හදවතක් තියෙන අතිශය ප්‍රියමනාප සුවිශේෂ දරුවෙක්. ඇත්තටම කියනවනම් සුන්දර ගැටවරයෙක්.  විශේෂ අධ්‍යාපනය ලබන බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියලයි ජාරක පුතාගෙ තාත්තා එයාගේ බ්ලොග් ලිපියක සඳහන් කළේ. ‘‘මගේ පුතා දිනුම් කියන ඒ ලිපිය නෙත කඳුළු නංවන සංවේදී සටහනක්. ඒ ලිපිය පුරාම ජාරක පුතාගෙ මානුෂික හදවත විහිදිලා විසිරිලා තියෙනවා. පුතාගෙ ඡායාරූපය දකින කිසි කෙනෙක් නම් හිතන එකක් නැති වෙයි එයා බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියල.

මේ ලිපිය දුටුව දරුවන්ට ගොඩක් ආදරය කරන එක නැන්දා කෙනෙකුට හිතුණා ජාරක පුතාට කතා කරන්න. ඒ නැන්දාගෙ නම තරූ. ඉතින් එයා ජාරක පුතාගෙ දුරකථන අංකය හොයාගෙන එයාට කතා කළා. සුන්දර ගැටවරයෙක් වුණ පුතාගෙ කටහඬ නම් තවම පුංචි ළමයෙක් ගානයි. එයා බොහොම සතුටින් නැන්දත් එක්ක කතා කළා. එයා බලන ටීවී වැඩසටහන්, එයා ක්‍රීඩා තරඟවලින් ජය ගත්ත හැටි හරිම උනන්දුවෙන් විස්තර කළේ. හිටි ගමන් දුරකථනය තාත්තා අතට දීලා දිව්වා. ඉතින් නැන්ද හිතුවෙ පුතා වැඩිය කතා කරන්න කැමති නැහැ කියලයි.
නැන්ද එක්ක කතා කරන්න කැමැත්තෙන් උන්නු ජාරකගෙ නංගි එක්කත් එයා කතා කලා. නංගි කවෝදි හතර වසරෙ. එයා බොහොම දක්ෂ කටකාර දුවණියක්...

පස්සෙ දවසක තමයි තරූ නැන්දා දැන ගත්තෙ එයාලගෙ මිනිත්තු කිහිපයක කතා බහට ජාරක පුතා කොයි තරම් වැදගත්කමක් එකතු කරලද කියල.

ජාරක පුතාගෙ තාත්තා මාධ්‍යවේදියෙක්. ඒ වගේම නාට්‍ය ශිල්පියෙක්. වැලිකඩ බන්ධනාගාරෙ රැඳවියන් එක්කත් එයා වැඩ කරනවා. ඒ ගමන්වලට තාත්තා එක්ක පුතත් එකතු වෙනවා. මේ වතාවෙ බන්ධනාගාරෙ යාළුවො හැමෝම එක්ක එයා කතා කළේ මාමා කෙනෙක් එයා ගැන මූණුපොතේ ලියා තිබුණු සටහනත්, තරු නැන්දත් එක්ක කළ දුරකථන සංවාදයත් ගැනලු.  දැන් නාට්‍ය කණ්ඩායමේ සෑම රැඳවියෙක්ම තරු නැන්දා ගැනත් දන්නවාලු. ඒ ගැන ජාරක පුතාගෙ තාත්තා ලියා තිබුණ මේ සටහන දැකල තරු නැන්දගෙ ඇස්වලට කඳුළුත් පිරුණා.

‘‘තරු මාවත් දැක නැත්තේය. එහෙත් දැන් පුතා ඇයවත් දැක ඇත. දුරකතනය ඔස්සේ පැමිණි ඒ හඬ බොහෝ ලස්සන කර කරුණු දැක්වීම ඔහුගේ සෙනෙහේ ස්වභාවය ය.

ජාරකගෙ තාත්තා ‘‘මගේ පුතා දිනුම් ලිපිය අවසන් කර තිබුණේ මෙහෙමයි.

‘‘.. ඔහු‍ විශේෂ ළමයෙක් බව දැනෙන්නේ මේ හැසිරීම් තුළ ය. නැතිනම් පෙණුමට ඔහු අපූරු කොලු ගැටයෙක් පමණය.ඉදිරි අභියෝගය ඔහු යමක් කියවන්නට ලියන්නට හැකි තරමට කෙසේ හෝ දියුණු කිරීමය. දැනට ද ඔහු මිනිසුන් ඇසුරේ ප්‍රියමනාප වීමේ කඩ ඉම ජයගෙන ඇත. ඒ නිසා අනතුරුව ඔහුට ජීවිතය ජය ගැනීමට පහසු වනු ඇත. අමාරුම මිනිසුන් දිනා ගැනීමය. ඒ සදහා වූ ආකර්ශනය පෙණුමේ පමණක් නොව ඇවතුම් පැවතුම් වල ද,හදවතේ තෙතමනය තුළ ද, තිබෙන බව සහතිකය.

ඒ නිසාම මගේ පුතා දිණුම් ..

දරුවන්ගේ දිනුම් මනින දෙමව්පියන්ගේ මිම්ම ආත්මාර්ථයෙන්, මාන්නයෙන්, තණ්හාවෙන් පිරුණු ලෝකයක මෙවැනි මානුෂීය දහමක පිහිටා දරුවන් ගැන සිතන්නට හැකි නම් කොතරම් අපූරුද?  හැම දරුවෙකුටම මෙවැනි ආදරවන්ත මව්පියන්, වැඩිහිටියන් හමුවන්නේ නම් ලෝකය කොතරම් දයාවෙන් පිරුණු සුන්දර තැනක් වේවිද ?

සිඟිති සුරංගනාවි දින පොතේ සටහන නිමා කර තිබුණේ එහෙමයි...
 
2014 ජූලි