Showing posts with label මිනිසි අසිරි (කැඩපත). Show all posts
Showing posts with label මිනිසි අසිරි (කැඩපත). Show all posts

March 26, 2014

ආදරවන්තයෝ


මට නම් හැම හුස්මක් පිටුපසම ශුද්ධවර වැලන්ටයින් ය. හැම හුස්ම පොදක්ම දිව්‍යමය පේ‍්‍රමයේ සෞම්‍ය සුළං දහරක් ය. සෑම නිමේෂයක්ම ශුද්ධවර වැලන්ටයින් හස්තයෙන් ආසිරි ගැන්වී ඇතුවාක් මෙනි. හැම දවසක්ම පේ‍්‍රමයේ නිමැවුමකි. සැබවින්ම එය එසේ වන්නේ ජීවිතය යනු පේ‍්‍රමයේ ඓශ්චර්යයක් යැයි මා අදහන නිසා මිස සැබවින්ම ලෝකය නිරන්තරයෙන් නොමසුරුව පේ‍්‍රමය පුද දෙන්නට ම සැදී පැහැදී සිටිනා නිසා නම් නොවේ. ‘‘ආදරය යනු ක‍්‍රියාවක් මිස ප‍්‍රතික‍්‍රියාවක් නොවේ’’ ය යන්න මා හද ගැඹුරින්ම පිළිගන්නා ජීවන සත්තාවකි.

හැම දවසක්ම ආදරවන්ත විය යුතු යැයි අදහනා බැවින්ම ශුද්ධවර වැලන්ටයින් නාමයට නාමමාත‍්‍රිකව වෙන් වුණු නවම් මහේ දාහතරවෙනිදාවෙහි කිසිදු විශේෂත්වයක් කිසි දවසක මට දැනී නැත.
නමුත් මේ ආදරවන්ත දාහතරවෙනිදාවේ මා උන්නේ සැබවින්ම පේ‍්‍රමණීය ආදරවන්ත යුවළකගේ ඇල්ම බැල්ම රිසි සේ රස විඳිමිනි. රෝසම්මාගේ රෝස මල් නිවහනේ රෝස සුවඳැති ස්නේහ වැස්සේ නැහැවෙමිනි. ඈ මගේ ළබැඳි මිතුරියකගේ මව ය. ලොවෙහිම දරුවන්ට මවක් විය හැකි තරමට විසල් හදවතක් ඇති දිරිය කතකි.

ඇය ඇනා රෝස් මායාදුන්න ය. අසූ හැවිරිදි ය.

ඔහු තෝමස් සිංඤා් අප්පුහාමි ය. අසූ දෙහැවිරිදි ය.

ඇය සහ ඔහු දෙවි සමිඳුන් අබියස පේ‍්‍රමයේ ගිවිසුමින් බැඳී, එක වහලක් යට කූඩු වී මේ වන විට පණස්තුන් වසරකි. දරුවන් සයදෙනෙකි. ‘‘මගේ දරුවො දේව දූතයො වගේ’’ රෝසම්මා දරුවන් ගැන නිහතමානී සාඩම්බරයෙන් පවසන්නේ එලෙසිනි. ‘‘මං වින්ද දුක් කන්දරාවෙ හැටියට මගේ අවසන් කාලෙ මේ වගේ සැප සම්පත් ලැබෙයි කියල හිතුවෙ නෑ රත්තරනේ.. මේ හැමදේම මගෙ දරුවො නිසා..’’ ඈ නෙතඟ කඳුලක් පිසින්නී ය.

‘‘මයෙ රත්තරන් පුතේ.. මං මේ කියන කාරණේ කනට ගත්තොත් මගෙ පුතාට කවදාවත් වරදින්නෙ නෑ.’’ ඈ පවසන්නේ මට ය. ඉමහත් ස්නේහයෙනි.

‘‘ අද වනතුරා මේ මනුස්සයා මට අතක් උස්සල නෑ. නිය පිටින් පාරක් ගහල නෑ.  එහෙම වුණේ මගේ රත්තරන් අම්ම හින්ද. මං දීග යන්න කළින් අම්ම මට දැනමුතුකං දුන්නෙ මෙහෙම. නැන්දම්මා කියන්නෙ උඹේ මනුස්සයගෙ අම්ම. ඒ අම්ම නැත්නං උඹේ මනුස්සයත් නෑ. ඒ හින්ද නැන්දම්මා එක්ක එකට එක කියාගෙන යන්න එපා. නැන්දම්මට විරුද්ධව මනුස්සයට ගතු කේලම් කියන්න එපා. ජේසු සුවාමිදරුවො ඉස්ඉස්සිල්ලම පල්ලියට වඩාගෙන ගිය වෙලාවෙ සීමොන් දිවැසිවරයා මරියතුමීට කිව්වා ඔබේ හදවත කඩුවකින් අනිනවා වගේ තුවාල වෙනු ඇත කියල. කසාද බැන්දයින් පස්සෙ මිනිහ උඹේ පැත්ත අරන් අම්මට දොස් කිව්වොත් ඒ අම්මගෙ හිත පෑරෙන්නෙත් අන්න ඒ වගේ. ඒක අමතක කරන්න එපා දුවේ...කියල....

ඉතින් පුතේ කවදාවත් කිසිම ප‍්‍රශ්නයක් වෙලා නෑ අපි අතර. අපේ මනුස්සයගෙ පවුලෙ පිරිමිම තුන්දෙනයි. අපි නෑනල තුන්දෙනා නැන්දම්මා එක්ක එක වහළක් යට උන්නා අවුරුදු ගානක්. උඹ බං බොලන් කියාගෙනවත් නෑ....’’ අතීතය මෙනෙහි කරන රෝසම්මාගේ දෑස් දිදුළයි.

රෝසම්මාගේ රෝස නිම්නයේ කතා ගොන්නට නිමාවක් නම් නැත. අසා ඉන්නට ඉන්නට ආශාවක්ම මිස එපා වීමක් ද නැත. විටින් විට එබෙන ඇගේ ස්වාමියාගේ කවට වදන් ද ඔවුන්ගේ නිම් නොවන ස්නේහයේ නිම්නාද නඟන ගීතයක් බඳු ය. සැණෙකින් සියල්ල අමතක වන සිය ස්වාමියා දරුවකු සේ මහත් ආදරයෙන් රැක බලා ගන්නී රෝසම්මා ය. වෙලාවට කෑම බීම, බෙහෙත් වේල ළං කර දීම, නාන්නට ළිඳ ළඟට කැන්දන් යාම, තේ බිවූ බව අමතක වන බැවින් නිතර නිතර ඔහුගේ නෝක්කඩු ඉල්ලීමට කන්දෙමින් සීනි නැති තේ සදා දීම, සීනි බෝතලය ඔහු අතට අසු නොවන සේ විටින් විට, තැනින් තැන සැඟවීම ඇගේ දෛනික රාජකාරි ය. බලා සිටින්නට ලෝබ ය. එතරම්ම ස්නේහවන්ත ය.

‘‘මං දෙයියන්ගෙන් ඉල්ලන්නෙ දුවේ.. මගේ ඇස් දෙක පියවෙන්න කළින් මගෙ මනුස්සයගෙ ඇස් දෙක පියවෙන්න  ඕන කියලයි. මං තරම් ආදර කරුණාවෙන් සැලකිල්ලෙන් ඔය මනුස්සයව රැක බලා ගන්න දරුවන්ට බෑ. බෑ කියන්නෙ වෙලාවක් නෑ....’’ ඇසග දිලිසෙන කඳුලක් ඇතිව ඈ පවසන්නී ය. 

‘‘දැන් ඉතින් හැමදේම ඩේට් එකටනෙ දුවේ. ආදර කරුණාව කියන්නෙ දවසක වැඩක් නෙමෙයිනෙ. ජීවිත කාලෙම පවතින්න  ඕන දෙයක්. මේක නම් මහ විපරීත කාලයක්.. ගෑණු මිනිස්සුන්ට ඉවසීම නෑ. දෙයියො බුදුන් ගැන ගෞරව භක්තියක් නෑ. පවුල් පන්සල් උණාම  ඕනැම දුකක් විඳ දරාගෙන ඉස්සරහට යන්න හිතේ හයිය තියෙන්න  ඕන. ඒකට දෙයියන්ගෙ පිහිට ඉල්ලන්න  ඕන. නිතරෝම. මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ හිතේ හයියයි, ආගම දහමට තියෙන භක්තියයි හින්දා නෝනො..’’


අසූ හැවිරිදි රෝසම්මා වැලන්ටයින් දිනය ගැන සිය මතය පළ කලේ එලෙසිනි. ඉදින් මේ අරුම පුදුම ස්නේහ මන්දිරයේ ඓශ්චර්යය අසමින් දකිමින් විඳිමින් මෙදා ආදරවන්තයන්ගේ දිනය ගත විය. සැබවින්ම එය ආදරවන්තයින්ගේ දිනයක්ම විය. පේ‍්‍රමය ගැන අප ලියන කව් ගී දහසක් පරදන සැබෑ පේ‍්‍රමයක් ඔවුන් සතුව ඇතැයි සිතිය නොහැකි ද?

2014 මාර්තු

March 13, 2014

කවීතා.... ඈ මට කතා කළා.





මනුෂ්‍යත්වය විඳින්නට, මනුෂ්‍යත්වය හඳුනා ගන්නට භාෂාව නොදැනීම බාධාවක්ද? සංස්කෘතිය නොදැනීම බාධාවක්ද


එය එසේ නොවේ යැයි මම සිතමි.

නමුත් ගැඹුරින් හදවත් ස්පර්ශ කරන්නට, එකිනෙකාව ගැඹුරින් තේරුම් ගන්නට භාෂාව නොදැනීම, සංස්කෘතිය නොදැනීම බාධාවක් බව මම වටහා ගෙන සිටිමි. 

විශේෂයෙන්ම ජනවාර්ගික අර්බුදයක ගිනි පුපුරු අළු යට සැඟවී ඇති යුගයක, යුද්ධය විසින් බිඳ දැමුණු සිත්වල ගැඹුරු තුවාල රිදුම් දෙමින්, කකියමින් පවතින සමයක අන්‍යෝන්‍ය සිත් සුවපත් කර ගැනීමේ, නිවා ගැනීමේ භාරදුර කාර්යය සඳහා භාෂාව, සංස්කෘතිය පිළිබඳ අවබෝධය ඉතා වැදගත් යැයි මම සිතමි.

........................

හිරු ගිනි ගන්නා මධ්‍යහනයේ නාඳුනන අංකයකින් ඇමතුමක්. 

‘‘ අක්කා නාන් කවීතා...’’

‘‘  ඕ ගෝඞ් කවීතා...’’ මගේ හිතේ හිනා මලක්. 

කවීතා අවුරුදු 16 ක පමණ අහිංසක දමිළ යුවතියක්. ඈ මට මුණ ගැසුණේ පසුගිය සතියේ පැවති මගේ ඥාති සොයුරෙකුගේ විවාහ මංගල්‍යයකදී. වව්නියාවේ සිට පැමිණි ඥාති පිරිසක් සමග ඈ පැමිණ සිටියා. නිවසේ මෙහෙයට සිටින බවයි දැන ගන්නට ලැබුණේ. මා දෙමළ දන්නේ නැහැ. ඇය සිංහල දන්නේ නැහැ. නමුත් දන්නා දෙමළ වචන කිහිපයෙන්, සිනාවෙන්, නෙත් බැල්මෙන්, අංග චලනයන්ගෙන් මා ඈ සමග හිතවත් උණා. 

නන්නාඳුනන සෙනගක් මැද තනි වූ ඇය ගැන කාටවත්ම හැඟීමක් තිබුණෙ නැහැ. රාත‍්‍රියේ බිත්තියකට හේත්තු වූ ඈ නිදා වැටෙමින් සිටියා. මම කවීතාව මගේ ගෙදරට කැන්දන් ගියා නිදා ගන්න. භාෂාව නොදැනීම අප දෙදෙනාගේ සමාගමයට බාධාවක් උණේ නැහැ කොහෙත්ම. ඇය දීර්ඝ ලෙස දමිල බසින් කියනා දේවල, අසනා ප‍්‍රශ්නවල වදනක් දෙකක් අහුලාගෙන මමත් උත්තර බැන්ඳා. හිනාවයි, නෙත් බැල්මයි කොයි තරම් ශක්තිමත් රැහැන්ද නාඳුනන සිත් යා කරන්නට. 

මගේ ගෙයි තවමත් වැඩ ඉවර එක කාමරයයි. කාමරයට තියෙන්නෙ එක පුංචි ඇඳක් පමණයි. ඇයට රාත‍්‍රී නිදන ඇඳුමකුත් දීලා, බිමට පැදුරක් දාලා, මදුරු දැලත් දාල නිදා ගන්න සැලැස්සුවා. ‘‘තැන්ක් යූ අක්කා’’ ඇය හිනා වෙලා කිව්වා.  ‘‘ ගුඞ් නයිට් තංගච්චී’’ මමත් හිනාවෙලා සුබ පැතුවා. නිදා ගන්න ඇඳට ගියාම නම් මට දුකත් හිතුණා. ඇයි මම ඇයට ඇඳ දීල බිම නිදා ගන්න නොගියෙ කියල. නමුත් ඒ වෙද්දිත් ඈ සුව නින්දක. 

ඒ කවීතා මෙලෙස මා ඇමතුවේ ඈ මගේ මතකයෙන් ගිලිහී යමින් සිටියදී. 

‘‘ කවීතා එප්පඩි සුහම් තංගච්චී’’ 

‘‘නල්ලම් අක්කා ’’ තේරුණේ එපමණයි. තවත් දිග හෑල්ලක්. අණ්ඩර දෙමළ වගේ. මම කමල් සොයා ගෙන දිව්වා. ඔහු දමිළ. යාපනේ වැසියෙක්. වැඩ කරන්නෙ අපි එක්ක කොළඹ. සිංහල දමිළ භාෂා දෙකම මැනවින් හසුරුවනවා. කමල් කැමැත්තෙන්ම භාෂා පරිවර්තක බවට පත් උණා මාත් කවීතාත් අතර. 

‘‘ අක්කා ඇන්ටිගෙ ෆෝන් එක නැති උණා. එයාට කෝල් එකක් ආවා. මමයි ෆෝන් එක ගෙනිහින් දුන්නෙ. එයා ළිඳ ළඟ ඉඳන් කතා කළේ. ළිඳ ළඟ තියන්න ඇති. වඳුරො ගෙනිච්චද දන්නෙ නැහැ. ළිඳට වැටුණද දන්නෙ නැහැ. මම හොරකම් කළා කියල හිතල  මාව ගෙදරින් යැව්වා. ’’   

ඈ කී දිගු කතාව කමල් මට සාරාංශ කළේ එලෙසින්. 

‘‘දැන් ඔයා කොහෙද ඉන්නෙ’’ මගේ සිංහල ප‍්‍රශ්නය කමල් දමිල බසට හරවනවා. 

‘‘පුංකුඩතිව්. මේ අම්මගේ ෆෝන් එක. අක්කා  ඕන වෙලාවක කතා කරන්න. මම හොරකම් කළේ නෑ අක්කා. ’’  

කමල් සහ කවීතා අතර සංවාදය ඇදෙද්දී මගේ හිත දැවෙනවා. ඈ අහිංසක කෙල්ලක්. කෙසේවත් මෙවන් වරදක් ඈ අතින් සිදු විය නොහැකි බවයි මට හිතෙන්නෙ. කිසිවක් සිතා ගත නොහැකියි. 

නමුත් ඈ මට කතා කළා ඇගේ දුක කියන්නට. මගේ දෙනෙත් තෙත් වන්නේ ඒ ආදරය, ගෞරවය සහ විශ්වාසය නිසයි. 

‘‘ අක්කා සී යු බායි..’’ මට වැටහෙන බසින් ඈ මට සමු දුන්නා.

‘‘දෙවි පිහිටයි සතුටින් ඉන්න නංගී.  මම ඔයාට කතා කරන්නම්’’ මගේ සිංහල සිතුවිලි කමල්ගේ පිහිටෙන් දමිල බසට හරවාගෙන මමද ඇයට සමුදුන්නා.

නමුත් මහා හිස්තැනක් හිතේ ඉතිරි වුණා වගේ මට දැණුනා.

හිතේ හැටියට ඇගේ දුකට සවන් දෙන්නට, ඇගේ හිත හදන්නට නොහැකි උණේ භාෂා ප‍්‍රශ්නය හරස් වූ නිසා. ඒ ළතැවිල්ල තාමත් හිත පුරා.

2013 පෙබරවාරි

March 12, 2014

සන්තකයම බෙදා ගත් නත්තල් සීයා....


නත්තල නම් දේවත්වය හා මනුෂ්‍යත්වය ඒකාත්මික වීමේ අසිරිය සමරන උත්සවයයි. මිහිමත ආදරයේ, සාමයේ, ප‍්‍රීතියේ උත්කර්ෂය ගලා ගිය අපූරු උපතක් සමරන දිනයයි. නත්තල මනුෂ්‍යත්වයේ උත්තරීතරභාවයන් විකසිත වන දවසයි. මෙය ක‍්‍රිස්තියානි ආගමික උත්සවයක් වුවද අද සකල ලෝකවාසී ජනතාව කිසිදු ආගම්, ජාති භේදයකින් තොරව නත්තල් ප‍්‍රීතිය හා එක් වෙති. නත්තල නම් අන්‍යයන්ගේ සතුට සැනසුම වෙනුවෙන් තමන් සන්තකයෙන්ම පරිත්‍යාගී විය යුතු බව පෙන්වා දුන් දේව පුතාගේ උපන්දිනය බව සිහි කරමින්, අපේ ගමේ නත්තල් සීයා ඉපදුණු අසිරිය අද මිනිසි අසිරි ඔබ වෙත ගෙන එයි.
2004 වසරේ නත්තල් දිනයයි. අපි උඳුවප් මහේ 24 වන දා රාත‍්‍රීයේ ගමේ පල්ලියේ පැවති නත්තල් දිව්‍ය පූජා මෙහෙයට සහභාගී වෙමින් සිටියෙමු.

‘‘ යන්න.... නත්තල් දින ඉපදුණු ජේසු කුමරුන් ලොවට ගෙන ආ ආදරයේ සාමයේ පණිවිඩය රැගෙන යන්න... ’’ පියතුමා අවසාන ආශිර්වාදය දානය කළේය. අපි සැවොම ප‍්‍රීතියෙන් මෙලෙස ගායනා කළෙමු.

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ... ලස්සන බිළිඳෙක් මල් වගේ
මවගෙ ළයේ සුරතල් විඳින්නා ... මුතු වැනි රූ සපුවයි ඇගේ
ජය ජය ජය සිරි ... ජය මංගල සිරි ... මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ...

ගීතිකාවෙන් පසුව එකිනෙකාට නත්තල් සුබ පැතුම් පිරිනමමින්, සිපාචාර දක්වමින් අපි පල්ලිය ඉදිරිපසට එමින් සිටියදී ‘‘ අනේ.............. මෙන්න නත්තල් සීයෙක් එනවා... ’’ ළමෝ කෑ ගසන්නට වූහ. සියල්ලෝ දෙව් මැදුරු අංගනයට පිවිසුණහ. පොල් ගස් පේළි අතරින්, අන්ධකාරය මැදින් නත්තල් සීයා කෙනෙක් හෙමිහිට පැමිණේ. අතක වර්ණවත් බැලූම් පිරුණු සැරයටියකි. අනෙක් අතින් ගත් කුඩා සීනුවේ නාදය සුර ලොව සිට විහිදෙන නාදයක් මෙන් නිසල රැය පුරා රැව් දේ. නත්තල් සීයාගේ ඇඳුම අංග සම්පූර්ණය. උර මත කුඩා මල්ලකි. අඩුවකට ඇත්තේ පිණිමුවෙක් පමණි.

දෙව් මැදුර අසලටම පැමිණි නත්තල් සීයා ‘‘ සුබ නත්තලක් වේවා දරුවනේ... ’’ ආරූඪ කර ගත් වයස්ගත කටහඬකින් සුබ පැතුවේය. අනතුරුව මල්ලෙන් ගත් බැලූම් බෝල සහ ටොෆි දරුවන් අතර බෙදා දුන්නේය. වැඩිහිටියන්ටත් ටොෆිය බැගින් ලැබිණි. දුප්පත් නත්තල් සීයා කෙනෙක් විය යුතුය. තෑගි මල්ල එතරම් පොහොසත් නොවූයේ එබැවිනි. නමුත් අපේක්‍ෂා නොකළ මොහොතක පැමිණි නත්තල් සීයා අප හා බෙදා ගත් සතුට නම් සුළුපටු නොවීය.  ඔහු ළමුන් සමග අත්පොඩි ගසමින් නත්තල් ගීතිකා, ළමා ගී කිහිපයක් ගායනා කළේය.

‘‘ කවුද මේ නත්තල් සීයා...චුට්ටක්වත් අඳුන ගන්න බැහැනෙ...?’’

‘‘ කවුද පල්ලියෙ අඩු.... වෙන පල්ලියකින් ආව කෙනෙක්ද දන්නෙ නෑ...’’

අපට මහත් ගැටලූවකි. විමසිල්ලෙන් බැලූ මුත් කිසිදු සලකුණක් හඳුනා ගත නොහැකිය. පුළුන් වැනි සුදු රැුවුලෙන් මුළු මුහුණම වැසී ඇත. ඇහි බැමටද සුදු පුළුන් අලවා ඇත. කණ්ණාඩි කුටිටමක් පැළඳ ඇති මුත් මම දෑසට එබිකම් කළෙමි. ඒ නම් දන්නා හඳුනන දෑසකි. ‘‘ ඇස් දෙක අපේ අයියගෙ වගේ...’’ මම හෙමිහිට අපේ කට්ටිය සමග කීවෙමි. ‘‘ වෙන්න බෑ අයිය පල්ලි ආවනේ...’’ නංගී කීවාය. ‘‘ ලොකු පුතා වගේ තමයි. ’’ තාත්තාද කීවේය. අපි වටපිට බැලූවෙමු. අපේ නෑනා රේණු, දූත් වඩා ගෙන සිනාසෙමින් බලා සිටියාය. අයියා පෙනෙන්නට නැත.

‘‘ අයිය නේද නත්තල් සීයා...’’ රේණු හිස සලා හිනැහුණාය.  

‘‘ කොහෙන්ද අනේ ඇඳුම හොයා ගත්තෙ...’’

‘‘ රෙදි ගෙනත් මැහුවා..’’

‘‘ ඒ කොහොමද අපි දැක්කෙවත් නැහැනෙ...’’ අපි විස්මපත් වූයෙමු.

මේ නත්තල් සීයා අපේ බාප්පාගේ ලොකු පුතාය. අයියා කුඩා කල හදවතේ සිදුරක් නිසා හදවත් සැත්කමක් කළ හෙයින් බර වැඩ කළ නොහැකිය. ජීවනෝපාය පිණිස ඔහු කළේ කුඩා සිල්ලර වෙළඳාමකි. එය ලාබ ලැබූ වෙළඳාමකට වඩා ණයට දුන් වෙළඳාමකි. එනිසාම ඔහු අතමිට සරු කෙනෙකු නොවීය. ජීවත් වුයේද කඩයටම අල්ලා සාදා ගත් කාමරයකය. ඒ වන විට අයියාට සිටියේ එක් දියණියක පමණි.

මේ දිනවල කඩේ කොටසක අයියාගේ මිතුරකු ඇඳුම් මැසීම සිදු කළේය. නත්තල් සීයා ඇඳුම මසා ඇත්තේ ඔහු විසිනි. මාසයක පමණ කාලයක සිට කඩය වැසීමෙන් පසුව රාත‍්‍රී එකොළහට පමණ මේ ඇඳුම ටිකෙන් ටික මසා තිබිණි. සැලකිය යුතු මුදලක් ඒ සඳහා වැය කර ඇත. එම නත්තලේ බිරිඳට, දරුවාට හෝ තමාට අළුත් ඇඳුම් පැළඳුම් කිසිවක් නොගෙන, කැවිලි පෙවිලි කිසිවකට මුදල් වැය නොකර අයියා නත්තල් සීයා සිහිනය වෙනුවෙන්ම කැප වී තිබිණි.

එදා ඉපදුණු අපේ ගමේ නත්තල් සීයා දැන් සෑම නත්තලකම ගමට පැමිණේ. ඊළඟ වසර වන විට සයිප‍්‍රස්වල සිටි නැන්දා කෙනෙක් අපට තව නත්තල් සීයා ඇඳුමක් එවා තිබිණි. ඒ වසරේ නත්තල් දා හිමිදිරියේ නත්තල් සීයලා දෙදෙනෙක් ගම වටා සැරිසැරූහ. ළමුන්ට පොත්, පෑන්, පැන්සල්, ටොෆි, බැලූම් බෙදා දුන්හ. ක‍්‍රම ක‍්‍රමයෙන් නත්තල් සීයාගේ තෑගි මල්ල පොහොසත් විය. වසර කිහිපයකට පසු අපිද නත්තල් ගීතිකා ගයමින් නත්තල් සීයා සමග තෑගි බෙදමින් යන්නට පටන් ගතිමු. නත්තල් සීයලා, කැරොල් කණ්ඩායම් ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කරන අවස්ථාද අපි දැක ඇත්තෙමු. නමුත් අපේ නත්තල් සීයා තෑගි බෝග, ආදරය, සතුට ලබා දී පෙරළා ලබන්නේ ආදරය සතුට සහ ආශිර්වාදය පමණි.

වසර කිහිපයක සිට අසල්වැසි ගම්වලට ද, කොහු මෝල් තුනකට ද, වැඩිහිටි නිවාසයට ද අපි නත්තල් අසිරිය රැගෙන යන්නෙමු. දැන් එය අපේ නත්තලේ ප‍්‍රමුඛ කාර්යය වී ඇත. නත්තල් සීයාගේ තෑගි මල්ල පිරෙන්නේ අප සැමගේ දහඩිය මහන්සියෙනි. වසර ගණනක සිට මගේ දෙසැම්බර් මස වැටුපෙන් වැඩි කොටසක් වැය වන්නේ ද නත්තල් සීයාගේ තෑගි මල්ල පුරවන්නට කොළඹින් තෑගි බෝග මිල දී ගන්නටය. ඉතා දුෂ්කර දිවි ගෙවන නමුදු ඥාති සොයුරු සොයුරියෝ ද, අසල්වැසියෝ ද නත්තල් සීයාගේ තෑගි මල්ල පුරවන්නට දායක වෙති.

අතමිට දිළිඳු මුත්, හිත පොහොසත් නත්තල් සීයා කෙනෙක් ලබා දුන් ආදර්ශය අනුව යමින් අපි දැන් නත්තලේ සතුට අන්‍යයන් හා විශේෂයෙන්ම කුඩා දරුවන් හා බෙදා ගන්නෙමු. 


2012 දෙසැම්බර්

සක්මන් භාවනාව


බොහෝ විට අපි සංචාරය කරන්නේ සොබාදහමේ අපූර්වත්වය නැරඹීමේ හෝ මිනිස් නිමැවුමේ අපූර්වත්වය දැක ගැනීමේ අපේක්‍ෂාවෙනි. අප අපගේම සිත අභ්‍යන්තරයට සංචාරය කිරිමේ අවස්ථාව උදා කර ගන්නේ කොපමණ අඩුවෙන්ද? අපූරු මිනිසෙකුගේ මග පෙන්වීම තුළ මගේම සිත තුළ සංචාරය කරන්නට ලැබුණු දුර්ලභ අවස්ථාවක් ගැනයි, අද ඔබ හා මිනිසි ඇසුරින් බෙදා ගන්නේ.

 ( මේ භාවනාව හිත එක්තැන් කර ගැනීමට සිදු කළ සරල භාවනාවක් පමණි. භාවනාව පිළිබඳ ගැඹුරු අදහස් මෙයින් අපේක්‍ෂා නොකරන්නේ නම් මැනවි. )

පසුගිය මිනිසි අසිරි ලිපියේ ඔබ හමු වූ ගරු මේරියස් පියතුමා මතක ඇතැයි සිතමි. එම යොවුන් වැඩසටහනේ සෙනසුරාදා හිමිදිරියේ සරල සක්මන් භාවනාවකට අප මෙහෙයවූයේද එතුමා විසිනි. උදෑසනින්ම අපි බට පඳුරු හෙවණේ එළිමහන් භාවනා අසපුවට රැස් වූයෙමු. පාවහන් ගළවා පැමිණෙන ලෙසට කළින්ම දැනුවත් කර තිබිණි.

උදෑසන හතේ කණිසටමත් තණ බිස්සේ පිණිකැට වියළී නැත. හාත්පසින් වටවූ උස් තුරු මුදුන් හොරැහින් එබිකම් කරන හිරුගෙන් සඟවා පිණිකැට රැකගෙන තිබිණි. නිරුවත් දෙපයට දැණුනේ අපූරු සීතලකි. නිරන්තරයෙන් පාවහනින් වැසී ඇති දෙපතුල් එයින් නිදහස්ව පිණි තැවරුණු තණ බිස්සේ සිහිල් පහස විඳින්නට පින් කර ඇතුවාක් මෙනි. ගන්නා හුස්ම අතිපිරිසිදු බව ප‍්‍රත්‍යක්‍ෂ නිසා ළය පුරා හුස්ම ගැනීමට බියක් දැණුනේද නැත. හුස්මේ පිවිතුරු සිහිල නාස් පුඩු අග තැවරිණි.

සුපුරුදු තැන්පත් සරල ස්වරයෙන් පියතුමා භාවනාවට පිවිසුණේ මෙලෙසිනි. 

‘‘ මහපොළව පාගන්න ලැබීම භාග්‍යයක්..... ළමයි... ඊයා කියන්න  ඕන නැහැ. ඈක්ක කියල හිතන්න  ඕන නැහැ. මහපොළවෙ තියන කටුක බව, සීතල, උණුසුම මේ හැමදේම අපි විඳින්න  ඕන... ඒක තමයි ජීවිතය.

අපි පුරුදු වෙලා ඉන්නෙ නිතරම සෙරෙප්පු දාගෙන ඉන්න. ගෙදරදි සෙරෙප්පු දාන්න  ඕනෙ නැහැ නේද? ගෙදර වටපිටාව අපි පිරිසිදුව තියා ගන්නවනම් කිසිම අපහසුතාවයක් නැතිව අපට නිරුවත් දෙපයින් ඇවිදින්න පුළුවන්නේ.... හැකිතාක් පොළව පාගන්න. දෙපතුල් උණත්  ඕනෑවට වඩා හුරතල් කරන්න  ඕන නැහැ.....

දෙපය නිදහස්ව ඇවිදින එකෙන් දෙපයේ නිලවල තෙරපුමක් ඇති වෙනවා. එයින් ස්නායු උද්දීපනය වෙලා සුවදායක බවක් ඇති වෙනවා... මහපොළව පාගන්න ලැබෙන එක භාග්‍යයක් වෙන්නෙ ඒ නිසයි......

අද අපි යොමු වෙන්නෙ සරල සක්මන් භාවනාවකට. සක්මන් භාවනාව කියන්නේ නිහැඬියාවේ රසය අත්දකින්නට ලැබෙන මොහොතක්.. සොබාදහමත් එක්ක ඒකාත්මික වෙන මොහොතක්....

කන්වල එක එක දේවල් ගහගෙන, කන් අඩි පැලෙන සද්ද බද්දවලට හුරුවෙලා ඉන්න කොල්ලෝ කෙල්ලො මේ නිහැඬියාවේ රසයත් විඳින්න පුරුදු වෙනව නම් හොඳයි.

භාවනාව තුළ මේ වගේ කරුණු ටිකක් පිළිපදින්න අපි එකඟ වෙමු.

ඇවිදිමු තැන්පත්ව.... කලබලයකින් තොරව....

කවුරුත් දිහා නොබල ඉමු.... ඇස් හමුවෙන්නට බැහැ...

ඇවිදින අතරේ බොහෝ දේ හමුවේවි.. ඒ සියල්ල පසු කර යන්න... නමුත් අමතක නොවන, නිතර ඔබේ සිත අවදි කරන යමක් වේ නම් ආපසු ගොස් එය අතට ගන්න....

ඒ තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න. ජීවිතයට අරුතක් එක් කර ගන්නට උත්සාහ කරන්න.
ඒ දෑතට ගත් දෙය පල්ලියේ අල්තාරය මත තියෙන කුරුසිය ළඟින් තියන්න. පුංචි යැදුමක්, පැතුමක් කරන්න.

පියතුමාගේ කතාවෙන් පසුව අපි නිහඬවම සක්මන් භාවනාවට පිවිසුණෙමු. මෙතැන් සිට සක්මන් භාවනාවේ මගේ පෞද්ගලික අත්දැකීම ඔබ හා බෙදා ගනිමි.

මුලදී සැබවින්ම හෙමිහිට පා තබා යාමට අසීරු බවක් දැණිනි. උදෑසන දෑස් හරින මොහොතේ සිටම දෛනික කාර්යබහුල දිවියේ හැල්මේ දිව යන වේගවත් බවට හුරුවී ඇති මට පොළවට නොදැනෙන සේ හෙමින් පා තබා ඇවිදීම පහසු දෙයක් වූයේ නැත. දබිබිඩි ගමන් විලාසය එක්වනම සන්සුන් කර ගන්නේ කෙසේදඒ සඳහා සැලකිය යුතු වේලාවක් ගත විය.

අසීරුම කාරණය ඉන්අනතුරුවය. ඒ සිතුවිලි සන්සුන් කර ගැනීමය. අන් අයගෙන් නෙත් ඉවතට ඇද ගැනීම පහසු නැත. ඔවුන් සක්මන් භාවනාවේ යෙදෙන්නේ කෙසේද කුහුලක් සිතට නැගේ. සියල්ලෝ ගැවසෙන්නේ එකම ඉසව්වකය. සිමෙන්ති පඩියක් මත කිහිපදෙනෙක් වාඩිවී සිටිති. මිමිණුම් හඬක්ද සවන ගැටේ. සිතුවිලි රළ රැුළි සේ එක පිට එක කඩා වදියි.

මේ සුළු මොහොතවත් සැබෑම නිදහසක් අත්විඳිය යුතු නොවේද? මම හෙමිහිට හුදකලා තණ පලසක් සොයා ගියෙමි. හරිත තණ පලස මත මමම පමණකි. ටිකෙන් ටික සිතුවිලි සන්සුන් විය.

‘‘ මගේ සිත පිරිසිදුය... තැන්පත්ය... සන්සුන්ය...’’ මම හිතින් කිහිපවරක් මුමුණා ගතිමි. සැබවින්ම නිස්කලංක ගතියක් දැණිනි.

මෙලෙස සැහැල්ලූවෙන් ඇවිද යන අතරේ ගාණට කපන ලද තණ බිස්ස මතින් නැගී සිටි තුත්තිරි ගසක් මට හමු විය. මම ඒ තුත්තිරි ගස පසු කර හෙමිහිට ඉදිරියට පා නැගුවෙමි. නමුදු තුත්තිරි ගස මහිතේ නවාතැන් ගත් සෙයකි. 

‘‘............... මේ තුත්තිරි ගහ තුත්තිරි මල් යායක් වෙන්න පුළුවන්.. තුත්තිරි මල් යායක් දුරට දකින්න ලස්සනයි. ඒත් කවුරුවත් ඒ මැදට යන්න කැමති වෙන්නෙ නැහැනෙ.... තුත්තිරි ඇනෙනවා... ඒක මහා දුකක් නොවුණට කරදරයක්.... තුත්තිරි ඇළුණම ගලවන එක එපා වෙනවා... ඒ විතරක්ද ගලවල දාන දාන තැන පැළවෙනවා... අපේ හිත්වලත් මේ වගේ තුත්තිරි ගස් පැළවෙන්න පුළුවන්.... තරහ, කලකිරීම, නොරිස්සුම, උදාසීන ගති, ඊර්ෂ්‍යාව, සැකය ... මේ වගේ තුත්තිරි ගස්.... මේව විගහින්ම ගළවල දාන්න  ඕන.... නැත්නම් මමත් මේ ලෝකෙ අසුන්දර, අප‍්‍රසන්න තැනක් කරන්න දායක වෙනවා... ’’
මගේ හිත මට කතා කරයි.

‘‘ ඔයාගෙ හිතෙත් මේ දවස්වල තුත්තිරි ගස් කීපයක් තියෙනවා නේද? ඉක්මණින්ම ඒවා ගළවල දාන්න. ’’
හිත සමග සංවාදයක යෙදෙමින් මම ඉදිරියට ගමන් කළෙමි. තණකොල අතරින් සිඟිති සුදු මොට්ටු කිහිපයක් එබිකම් කරයි. හෙමිහිට පහත් වී දෙනෙත් හෙලූවෙමි. හරිත තණකොල ගස් අතරින් ලෝකය දකින්නට වෑයම් කරනා බිම් මල් කිහිපයකි. පාවහන් පැළඳි දෙපයින් ලහි ලහියේ ඇවිද ගියේ නම් මේ සිඟිති සොබාදම් දරුවන් මගේ දෙපයට පෑගී, තැලී, පොඩි වී යනවා නොවේදජීවිතේ, සොබාදමේ, විශ්වයේ සරල සුන්දර කාරණා කොතරම් නම් අහිමි වී යනවාද අපගේ කාර්යබහුල ජීවනරටාවත් සමගම.
සක්මන් භාවනාවෙන් මිදෙමින් නිහඬවම ආපසු ඇවිද එන අතර හිතේ ඇලවුණ තුත්තිරි ගහත්, තවත් තුත්තිරි ගස් කිහිපයකුත් ගළවා ගතිමි. පුංචි දෙව්මැදුරට ගොස් කුරුසිය ළඟ තුත්තිරි ගස් කිහිපය තබා සිතින් ජේසුට කතා කළෙමි.

‘‘ හෘදයෙන් සාන්ත දාන්ත වූද...... බැහැපත් වූද ජේසුනී
අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදෙට සමාන කළ මැනව.....’’

2012 නොවැම්බර්


March 11, 2014

සොබාදහමට හිත බැඳි පිය සෙවණේ අසිරිය



මනුෂ්‍යත්වයේ අපූර්වත්වය, චමත්කාරය අත්විඳි සොඳුරු නිමේෂයන්හි මතක සැමරුම.....



අනලස්ව සංචරණයට ඇති ළැදියාව මනුෂ්‍යත්වය පොහොසත් කරන බව නොකිවමනාය. ඇවිද්ද පය දහස් වටී යනුවෙන් අපේ පැරැන්නන් සඳහන් කළේ එබැවින් විය යුතුය. විවිධ පුද්ගල චරිත ඇසුරේ, විවිධ සමාජතල හරහා, ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සංචාරයට ලැබුණු අවස්ථාව මගේ ජීවිතයද යම් තරමකින් හෝ පොහොසත් කරන්නට දායක වූ බව කිව යුතුමය. මනුෂ්‍යත්වයේ අපූර්වත්වය අත්විඳින්නට ඒ ලැබූණු දුර්ලභ නිමේෂයන් රන් මිණිමුතුවලට වඩා අගනේ යැයි මට සිතේ. 

නව යොවුන් කණ්ඩායමක් සමග ජීවිත වර්ධන වැඩමුළුවක් සඳහා මග්ගොන මැසනද් යොවුන් පියසට ගොඩ වැදීමේ භාග්‍යය මෑත සති අන්තයක මවෙත හිමි විය. සොබාදහමේ අසිරියට ඉඩ දුන් අපූරු නේවාසිකයකින් සමන්විත මේ බිම සැබවින්ම සිත නිවා සනසන සුවදායක වටපිටාවකින් යුක්තය. පැරණි පන්නයේ විශාල කුළුණු සහිත දිග කොරිඩෝරය, සීතල සිමෙන්ති පොළව, චාම් පුංචි පල්ලිය, විසල් වේදිකාවක් සහිත දේශන ශාලාව, බලන බලන අත නිල්ල පිරුණු  ගෙඋයන සොබාදම් මව් තුරුලේ නිස්කලංක සුවය අත්විඳින්නට ඇරයුම් කරන්නාක් වැන්න. යොවුන් පියස ඉදිරිපිට පිරිසිදු තණ පලස උණුසුම් තේ කෝප්පක් සමග ජීවිතය ගැන කතා කරමින් සැඳෑවක් ගත කරන්නට හරිම අපූරුය. 

මේ ආයතය භාරව සිටිනුයේ නිර්මල මරිය නිකායික ගරු මේරියස් පියතුමාය.  වසර 15 ක පමණ අතීතයේ සිට මම එතුමන් හඳුනමි. නිහතමානී, සරල ගති පැවතුම්වලින් හෙබි එතුමා සොබාදහමට, මිනිස්සුන්ට හදවතින්ම ආදරය කරන දයාබර පියතුමෙකි. ලෝකය නළවන්නට හෝ කළඹන්නට කරන ආටෝප සාටෝප වැඩවලට වඩා අවුල් වියවුල් පිරුණු සිත්සතන් සුවපත් කරන්නටත්, සොබාදහම ඇසුරේ නිස්කංලකව දිවි ගෙවන්නටත් මහත් සේ ප‍්‍රිය කරන එතුමා සැබවින්ම අපට පියෙකි. 

එතුමන්ගේ සරල බව, සොබාදහමට ළැදි බව මේ පියසේ  ඕනෑම තැනකදී දැකිය හැකිය. දිග කොරිඩෝරයේ ඇති පිටපලූ ලෑලිවලින් සෑදූ බංකු පෙළ, කණ්ඩායම් සාකච්ඡා සඳහා ලී කොට තබා සාදා ඇති අඩකවය, උදෑසන භාවනා සඳහා යොදා ගන්නා බට පඳුරින් සෙවණ වූ මළුව යාන්ත‍්‍රික වූ අපේ දෛනික දිවි පෙවෙතට අපූර්ව අත්දැකීමක් වනු නොඅනුමානය. 

මෙම නේවාසික වැඩමුළුව අතරතුර අපූරු පරිසර චාරිකාවකට එක් වන්නට අවස්ථාව ලැබිණි. පියතුමාගේ මග පෙන්වීම අනුව කුරුළු ගී අසමින්, ගස්වැල් හඳුනා ගනිමින්, ගඩා ගෙඩි කමින්, පරිසරය ගැන කතාබහක යෙදෙමින් පා ගමනින් ගිය චාරිකාව අතර තුර ලැබුණේ රසවත් පැපොල් පානයකි.  

කුරුඳු වාඩියක ජීවන අත්දැකීම් විඳින්නට අවස්ථාව ලැබුණද එදින කුරුඳු තලන දිනයක් නොවීය. ගොම මැටි ගෑ පොළවේ වාඩි ගත් පියවරුන් දෙදෙනෙක් කුරුඳු කෝටුවක් ගෙන පියවරෙන් පියවර කුරුඳු තලන ආකාරය අප වෙත පහදා  දුන්නේ සිනා පිරි මුහුණිනි. කුරුඳු තලන ආම්පන්න වසර 30 ක් පමණ පැරණි බව ඔවුන් පවසන්නේ තරමක ආඩම්බරයකිනි. දවස පුරා ගොම මැටි පොළවේ වාඩි ගෙන එකම ඉරියව්වෙන් කුරුඳු තැලීම කිසිසේත් සුවපහසු කාර්යයක් විය නොහැකිය. නමුදු ඒ ජීවන බර දරා ගත් සිනා නගන රැළි වැටුණු මුහුණු, කෙසඟ සිරුරු මනුෂ්‍යත්වයේ තවත් අපූරු පැතිකඩක් අප වෙත විදහා දැක්වීය. 

වඩාත් මසිත බැඳ ගත්තේ ඒ කුරුඳු තලන පියවරුන්ගේ, යුවතියගේ නිහතමානී බව, සරල බව පමණක්ම නොවේ, ඔවුන් අගය කරමින් කතා කළ පියතුමාගේ දයාබරත්වයයි.  මනුෂ්‍යත්වය විනිවිද දකින්නට එතුමන්ට ඇති අපූරු හැකියාවයි.  

‘‘ ළමයි........... මේ තාත්තා දූවරු පස් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.. අවුරුදු 60 කට කිට්ටුයි. කුරුඳු තලල තමයි තමන්ගෙ පවුල ජීවත් කරන්නෙ... ’’

පියතුමා වචන බර කරමින් ඇද පැද තාලයට පවසන්නේ කුරුඳු තලන තාත්තාගේ අතද අල්ලා ගනිමිනි. එතුමන්ගේ දෑස් අප වෙතය. ඇගයුම අප සිත්හි ධාරණය කරන්නට මෙන් කතාව අතරමැද නැවතුම් ගන්නා හෙතෙම, විසල් කර ගත් දීප්තිමත් දෙනෙතින් ද අදහස් දහසක් පළ කරයි. 

‘‘ මේ තාත්තා......... හැමදාම උදේට දුවල දෙන්නෙක්ව බයිසිකලේ තියාගෙන හන්දියට ගෙනිහින් අරිනව ළමයි.. කිලෝමීටර් දෙකක් බයිසිකල් පදින්න  ඕන........  එක දුවෙක් බයිසිකලේ ඉස්සරහ, අනික් දුව ලගෙජ් එකේ තියාගෙන.. කුරුඳු තලන එක ලේසි නැහැ ළමයි... හැබැයි මේ හිනාව හැමදාම මෙහෙමමයි.. බලන්න කොයි තරම් අපූරු තාත්ත කෙනෙක්ද?’’

කුරුඳු තලන දුප්පත් තාත්තා ජීවිත කාලය පුරා ලැබුව ශ්‍රේෂ්ඨතම උපහාරය මෙය විය හැකිය. සමාජයේ අවධානයට ලක් නොවන දිළිඳු පියෙකුගේ ධෛර්යය මේ තරම් අගය කරන්නට නම් කොතරම් පුළුල්, දයාවන්ත හදවතක් විය යුතුද

සවස්වරුව පියතුමාගේ පරණ වෑන් රථයෙන් නැවතත් චාරිකාවකි. මෙහිදී ආගමික ස්ථාන කිහිපයක් නරඹන්නට අවස්ථාව ලැබෙන අතර මුහුදු වෙරළේ ක‍්‍රීඩා කරන්නට ද ලැබේ. මේ චාරිකාවේ රියදුරුද, මගපෙන්වන්නාද, සත්කාර සපයන්නා ද පියතුමාම ය. යහමින් කෑලි මිරිස්, පොල් කෑලි දමා තෙම්පරාදු කළ කඩල කැන්ද කොලයට දමා රස විඳින්නට අවස්ථාව ලැබුණේ මුහුදු වෙරළේදී ය. 

මෙවන් වූ පියතුමකු ඇසුරු කරන්නට ලැබීම භාග්‍යයක් යැයි මම සිතමි. සියළුම පූජ්‍ය පුජක උතුමන් ඇසුරේ මෙවන් මානව හිතවාදීබවක්, පරිසර හිතවාදී බවක්, සරල අල්පේච්ඡ දිවි පැවැත්මක් වේ නම් එය ලෝකයට කොතරම් සුවදායක වනු ඇත්ද

සුන්දර උදෑසනක එතුමන්ගේ මගපෙන්වීම තුළ කළ සක්මන් භාවනාවේ අත්දැකීම මීළඟ ලිපියෙන් ඔබ හා බෙදා ගන්නට කැමැත්තෙමි.

2012 ඔක්තෝම්බර්