May 11, 2014

මුනිවත ද ගොළු විය එසැණෙහි..



හමුවිය ඔහු මට

අඳුරු වැහිබර සැඳෑවක

දෙව් මැදුරු දොර අබියස

ඒ දේශද්‍රෝහී මිනිසා...

පාළුකරයේ සිට

පීඩිතයින්ට යුක්තිය ඉල්ලා

මොර ගැසූ මිනිසා...


සැප දුක කෙලෙසදැයි

විමසනු ඉතින් කුමකට

වුවනත ම ගුප්ත කවියකි

පිලාත්තු අධිකරණයෙහි

ගෙවී ගිය විත්තිමය හෝරාවන්හි

භයංකර ශෝකාලාපය ලියැවුණ...

ගල්ගැහුණු නිහඬතාවය පතුළ කිමිදී

අත ගා බලා සොයා පහදා හදවත

දිග හරියි ඔහු මා අබියස....


zzසත්‍යය නම් මෙයයි

අතැඹුලක් සේ රුවා අත්ලෙහි

භයංකර උකුසු ඇස් විදාගෙන

ඔවුහු මා විමසූහ...

ඉදින් සැබවින්ම සත්‍ය යැයි

මා ඇදහූ සත්‍යය

උකුසු නිය පහරට හසුව

පෑරී ඉරී වැහැරී

මියැදෙන අයුරු දුටුයෙමි

මුනිවත ද ගොළු විය එසැණෙහි..
 

උස් අසුන් අරා වැජඹෙන

පිලාත් උතුමෝ

සෝදා දෑත

පිසදා ධවල පිළියෙන්

මා ඇමතූහ..


z... පැවසිය හැකිය ඔබට

දෙවියන් ගැන

දෙවියන්ගෙ ආදරය ගැන

දේව රාජ්‍යය ගැන...

නමුත්

කිසිවිටක නොපැවසිය යුතුය

මිනිසුන් ගැන

මිනිසුන්ගෙ පීඩනය ගැන

මිනිස් රාජ්‍යය ගැන...‘

අගුළු ලා මුවට

ගසා දේශද්‍රෝහී ලේබලය

ඔවුහු මා මුදා හැරියහ..


ඉනික්බිති, සුසුමකි...


දේව¥තයන් පවා

විපිළිසර මොහොතක

දෑසින් දෑස විමසා

හදින් හද නොවිමසා

ගොළු වීමු අපි....


ප‍්‍රවේසම් විය යුතු නොවෙද

දේශපේ‍්‍රමීන් හැමතැනම...


 
වමත් අවි අමෝරා ගැනෙති. අවි ගැටෙති. උණ්ඩයට බිලිවෙති. චෝදනා, ඇණුම් බැනුම්, තර්ක විතර්ක හිගයක් නැත. හදිසි නීතිය, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත මෙකී නොකී බොහෝ අණපණත් මුවාවෙන් මිනිස්සු සිරභාරයට පත් කෙරෙති. පීඩාවට පත් කෙරෙති. ජාති, ආගම්, පක්ෂ භේද මවමින් තව තවත් මිනිසුන් වෙතින් මනුෂ්‍යත්වය දුරු කෙරෙන තැනට වැඩ සිද්ධ වෙමින් පවතී. යුද්ධය නිම වී යැයි උදම් ඇනුව ද සාමය කොතරම් අප වෙතින් දුරස්දැයි යන්නට නිදසුන් මෑත ඉතිහාසය තුළම වුව කොතරම් ද?

සාමය හුදු වචනයක් පමණම නම් උතුරු මිතුරු යන්න සිහිනයක් ම පමණක් ද? නමුත් සාමය ඇති කරන්නෝ භාග්‍යවන්ත වන බව ද, ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් වන බව ද කිසිවිටක අප අමතක කළ යුතු නැත.  
 
2014 ජුනි

සිඟිති සිතුවිලි...



‘‘මංඤ්ඤම්මෙ.... අම්ම මොකක්ද කිව්වා.. මං ඒක දන්නෙ නෑ...’’
පුංචි සාරා වැට ළඟ ඉඳන් කෑ ගැහුවා එයාගෙ මංඤ්ඤම්මට. සාරා තවම මොන්ටිසෝරි යන පුංචි පැංචියෙක්. හරියට ජපන් බෝනික්කියක් වගේ. හුරුබුහුටියි. හරි හුරතල්. එයා ඉන්නෙ අම්මයි, ආච්චි අම්මයි එක්ක... එයාගෙ තාත්තා පුංචි සාරවයි අනිත් හැමෝවමයි දාල ස්වර්ගෙට ගියේ සාරට මාස අටක් වෙද්දි.. සාරාගෙ මංඤ්ඤම්මා තමයි චූටි මිමීගෙ මම්මා.
ඔයාලට මතකයි නේද චූටි මිමීගෙ මම්මව? සාරාගෙ තාත්ත තමයි ඉතින් චූටි මිමීගෙ මම්මව සාරාගෙ මංඥම්මා විදියට තෝර ගත්තෙ. හරියට ‘‘මං ඉක්මණින්ම මේ ලෝකෙ දාල යනවා මගෙ පුංචි මැණික් කැටේ ආදරෙන් බලාගන්න’’ කියනවා වගේ.


චූටි මිමීගෙ මම්මා දැනටමත් දරුවො නවදෙනෙක්ගෙ මංඥම්මා වෙලා. ඔයාල දන්නවද කවුද මංඤ්ඤම්මා කියන්නෙ කියල. ඉංග‍්‍රීසියෙන් නම් කියන්නෙ  God Mother කියල. ඒ කියන්නෙ දේව අම්මා. දරුවෙක් ක‍්‍රිස්තියානි කරන මොහොතෙදි අම්ම තාත්ත වගේම දරුවන් හොඳින් රැක බලා ගන්නවා කියල දෙවියන් ඉදිරියෙ පොරොන්දු වෙන කැපකරු මව්පියන් තමයි මේ දේව අම්මත්, දේව තාත්තත්..

මංඤ්ඤම්මාගෙ ගේ තියෙන්නෙ සාරාගෙ ගේ ළඟමයි. ඒත් ඉතින් මංඤ්ඤම්මා හැමදාම ගෙදර නෑ. එයා ඈතක වැඩ කරන්නෙ. සතිඅන්තෙ විතරයි ගෙදර එන්නෙ. ඒ ආවම එයාගෙ තනි රකින්නෙ චුටි මිමීයි, සාරා යි තමයි. එයාලට එකතු වෙනවා තව අසල්වැසි දියණියකුත්. වෙලාවකට සුරංගනා ලෝකයක්.. හැබැයි තවත් වෙලාවකට දරුණු කුණාටුවකට අහු වුණා වගේ තමයි. මේ පුංචි සුරංගනාවියො මම්මගෙ ගෙදරින් යන්නෙ ගේ පුරාම හැඩි කරලා. මම්මට වැඩ වැඩි කරලා. ඒත් මම්මට ඒව ගාණක් නෑ. එයා ඒ තරම්ම පුංචි අයට ආදරෙයිනේ... අනික පුංචි දරුවො ඉන්න ගෙදරක පිළිවෙල කියන්නෙම හැමතැනම හැමදේම විසිරිලා තියෙන එකට තමයි. බිත්තිවල බලිරූප, බිම පුරා සෙල්ලම් බඩු. වරදින්න විදිහක් නැහැනෙ. 


 වැට ළඟ ඉඳන් සාරා කෑ ගැහුවම එයා ළඟට ගිය මංඤ්ඤම්මා සාරාගෙ පුංචි අතින් අල්ලගෙන එයාගෙ ගෙදරටම ගියා. ගිහින් අම්මගෙන් ඇහුවා මොනවද ගේන්න කිව්වෙ කියල... අම්ම ගේන්න කියල තියෙන්නෙ රේක්කෙ. ඉතින් සාරට අමතක වෙලා තියෙන්නෙ ඒ වචනෙ තමයි. රේක්කෙ කියන එක නිතර පාවිච්චි වෙන වචනයකුත් නෙවෙයිනේ.. ඒ නිසා සාරට අමතක වෙන්න ඇති.


ඔන්න ඉතින් සාරයිමංඤ්ඤම්මයි අත් අල්ලන් ආපහු ඇවිදින් රේක්කෙත් අරන් යනකොට අහස් යන්තරාවක් ඒ කියන්නෙ ප්ලේන් එකක් පාතින් ගියා. සද්ද දාගෙන. හරියට පොල් ගස් මුදුන්වල ගෑවිල යනවා වගෙයි දැණුනෙ. සාරයිමංඤ්ඤම්මයි ප්ලේන් එක ඈත නොපෙනී යනකල් බලන් උන්නා. මංඤ්ඤම්මා දන්නවා පුංචි අය ප්ලේන්වලට ආසයි කියල.

‘‘ප්ලේන්වලින් අළුත් වලාකුළු අරන් ඇවිත් අහසෙ තියල පරණ වළාකුළු අරන් යනවා...’’ පුංචි සාරා මංඤ්ඤම්මට කිව්වා.


‘‘ආනේ ඇත්තද? කවුද ඔයාට එහෙම කිව්වෙ..’’ මංඤ්ඤම්මත් පුදුමෙන් වගේ ඇහුවා.


‘‘කවුරුත් කිව්වෙ නෑ... ප්ලේන් ඇවිත් යනකොට මං මයි එහෙම කිව්වෙ...’’ සාරා හිනැහිලා බෙල්ලත් ඇද කරලා කියද්දි මංඤ්ඤම්මට හිතුණා කිටි කිටියෙ තුරුල් කරගෙන ඒ රෝස මූණට හාදුවක් දෙන්න.


බලන්න, පුංචි හිත්වල සිතුවිලි කොයි තරම් අපූරුද? අපි හීනෙකින්වත් නොහිතන දේවල් තමයි එයාල හිතන්නෙ. ඒ ලස්සන සිතුවිලි ලෝකෙ වෙනස් වෙන්නෙ වැඩිහිටි අපි ඒ පුංචි හිත්වලට පටවන මහා බර නිසා. ළමයින්ට ළමයින්ගෙ ලෝකෙ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ළමා කාලය හරිම කෙටියි. හැමදාම නැහැනෙ. ඒ ළමා වියේ අහිංසක ලස්සන, පිවිතුරු කම රැක ගන්නයි අපි උදව් වෙන්න  ඕන.


 අළුත් විදියට හිතන්න, ආදරයෙන් ජීවත් වෙන්න අපි දරුවන්ට ධෛර්යය දෙන්න  ඕන.  එවැනි ආදරයෙන් පිරුණු සුන්දර ළමාවියක් ගත කරන දරුවෙක් අනිවාර්යයෙන්ම මානව දයාවෙන් පිරුණු සුන්දර වැඩිහිටියෙක් විදියට ලෝකය ඉදිරියට ඒවි.    
2014 මැයි





March 26, 2014

ආදරවන්තයෝ


මට නම් හැම හුස්මක් පිටුපසම ශුද්ධවර වැලන්ටයින් ය. හැම හුස්ම පොදක්ම දිව්‍යමය පේ‍්‍රමයේ සෞම්‍ය සුළං දහරක් ය. සෑම නිමේෂයක්ම ශුද්ධවර වැලන්ටයින් හස්තයෙන් ආසිරි ගැන්වී ඇතුවාක් මෙනි. හැම දවසක්ම පේ‍්‍රමයේ නිමැවුමකි. සැබවින්ම එය එසේ වන්නේ ජීවිතය යනු පේ‍්‍රමයේ ඓශ්චර්යයක් යැයි මා අදහන නිසා මිස සැබවින්ම ලෝකය නිරන්තරයෙන් නොමසුරුව පේ‍්‍රමය පුද දෙන්නට ම සැදී පැහැදී සිටිනා නිසා නම් නොවේ. ‘‘ආදරය යනු ක‍්‍රියාවක් මිස ප‍්‍රතික‍්‍රියාවක් නොවේ’’ ය යන්න මා හද ගැඹුරින්ම පිළිගන්නා ජීවන සත්තාවකි.

හැම දවසක්ම ආදරවන්ත විය යුතු යැයි අදහනා බැවින්ම ශුද්ධවර වැලන්ටයින් නාමයට නාමමාත‍්‍රිකව වෙන් වුණු නවම් මහේ දාහතරවෙනිදාවෙහි කිසිදු විශේෂත්වයක් කිසි දවසක මට දැනී නැත.
නමුත් මේ ආදරවන්ත දාහතරවෙනිදාවේ මා උන්නේ සැබවින්ම පේ‍්‍රමණීය ආදරවන්ත යුවළකගේ ඇල්ම බැල්ම රිසි සේ රස විඳිමිනි. රෝසම්මාගේ රෝස මල් නිවහනේ රෝස සුවඳැති ස්නේහ වැස්සේ නැහැවෙමිනි. ඈ මගේ ළබැඳි මිතුරියකගේ මව ය. ලොවෙහිම දරුවන්ට මවක් විය හැකි තරමට විසල් හදවතක් ඇති දිරිය කතකි.

ඇය ඇනා රෝස් මායාදුන්න ය. අසූ හැවිරිදි ය.

ඔහු තෝමස් සිංඤා් අප්පුහාමි ය. අසූ දෙහැවිරිදි ය.

ඇය සහ ඔහු දෙවි සමිඳුන් අබියස පේ‍්‍රමයේ ගිවිසුමින් බැඳී, එක වහලක් යට කූඩු වී මේ වන විට පණස්තුන් වසරකි. දරුවන් සයදෙනෙකි. ‘‘මගේ දරුවො දේව දූතයො වගේ’’ රෝසම්මා දරුවන් ගැන නිහතමානී සාඩම්බරයෙන් පවසන්නේ එලෙසිනි. ‘‘මං වින්ද දුක් කන්දරාවෙ හැටියට මගේ අවසන් කාලෙ මේ වගේ සැප සම්පත් ලැබෙයි කියල හිතුවෙ නෑ රත්තරනේ.. මේ හැමදේම මගෙ දරුවො නිසා..’’ ඈ නෙතඟ කඳුලක් පිසින්නී ය.

‘‘මයෙ රත්තරන් පුතේ.. මං මේ කියන කාරණේ කනට ගත්තොත් මගෙ පුතාට කවදාවත් වරදින්නෙ නෑ.’’ ඈ පවසන්නේ මට ය. ඉමහත් ස්නේහයෙනි.

‘‘ අද වනතුරා මේ මනුස්සයා මට අතක් උස්සල නෑ. නිය පිටින් පාරක් ගහල නෑ.  එහෙම වුණේ මගේ රත්තරන් අම්ම හින්ද. මං දීග යන්න කළින් අම්ම මට දැනමුතුකං දුන්නෙ මෙහෙම. නැන්දම්මා කියන්නෙ උඹේ මනුස්සයගෙ අම්ම. ඒ අම්ම නැත්නං උඹේ මනුස්සයත් නෑ. ඒ හින්ද නැන්දම්මා එක්ක එකට එක කියාගෙන යන්න එපා. නැන්දම්මට විරුද්ධව මනුස්සයට ගතු කේලම් කියන්න එපා. ජේසු සුවාමිදරුවො ඉස්ඉස්සිල්ලම පල්ලියට වඩාගෙන ගිය වෙලාවෙ සීමොන් දිවැසිවරයා මරියතුමීට කිව්වා ඔබේ හදවත කඩුවකින් අනිනවා වගේ තුවාල වෙනු ඇත කියල. කසාද බැන්දයින් පස්සෙ මිනිහ උඹේ පැත්ත අරන් අම්මට දොස් කිව්වොත් ඒ අම්මගෙ හිත පෑරෙන්නෙත් අන්න ඒ වගේ. ඒක අමතක කරන්න එපා දුවේ...කියල....

ඉතින් පුතේ කවදාවත් කිසිම ප‍්‍රශ්නයක් වෙලා නෑ අපි අතර. අපේ මනුස්සයගෙ පවුලෙ පිරිමිම තුන්දෙනයි. අපි නෑනල තුන්දෙනා නැන්දම්මා එක්ක එක වහළක් යට උන්නා අවුරුදු ගානක්. උඹ බං බොලන් කියාගෙනවත් නෑ....’’ අතීතය මෙනෙහි කරන රෝසම්මාගේ දෑස් දිදුළයි.

රෝසම්මාගේ රෝස නිම්නයේ කතා ගොන්නට නිමාවක් නම් නැත. අසා ඉන්නට ඉන්නට ආශාවක්ම මිස එපා වීමක් ද නැත. විටින් විට එබෙන ඇගේ ස්වාමියාගේ කවට වදන් ද ඔවුන්ගේ නිම් නොවන ස්නේහයේ නිම්නාද නඟන ගීතයක් බඳු ය. සැණෙකින් සියල්ල අමතක වන සිය ස්වාමියා දරුවකු සේ මහත් ආදරයෙන් රැක බලා ගන්නී රෝසම්මා ය. වෙලාවට කෑම බීම, බෙහෙත් වේල ළං කර දීම, නාන්නට ළිඳ ළඟට කැන්දන් යාම, තේ බිවූ බව අමතක වන බැවින් නිතර නිතර ඔහුගේ නෝක්කඩු ඉල්ලීමට කන්දෙමින් සීනි නැති තේ සදා දීම, සීනි බෝතලය ඔහු අතට අසු නොවන සේ විටින් විට, තැනින් තැන සැඟවීම ඇගේ දෛනික රාජකාරි ය. බලා සිටින්නට ලෝබ ය. එතරම්ම ස්නේහවන්ත ය.

‘‘මං දෙයියන්ගෙන් ඉල්ලන්නෙ දුවේ.. මගේ ඇස් දෙක පියවෙන්න කළින් මගෙ මනුස්සයගෙ ඇස් දෙක පියවෙන්න  ඕන කියලයි. මං තරම් ආදර කරුණාවෙන් සැලකිල්ලෙන් ඔය මනුස්සයව රැක බලා ගන්න දරුවන්ට බෑ. බෑ කියන්නෙ වෙලාවක් නෑ....’’ ඇසග දිලිසෙන කඳුලක් ඇතිව ඈ පවසන්නී ය. 

‘‘දැන් ඉතින් හැමදේම ඩේට් එකටනෙ දුවේ. ආදර කරුණාව කියන්නෙ දවසක වැඩක් නෙමෙයිනෙ. ජීවිත කාලෙම පවතින්න  ඕන දෙයක්. මේක නම් මහ විපරීත කාලයක්.. ගෑණු මිනිස්සුන්ට ඉවසීම නෑ. දෙයියො බුදුන් ගැන ගෞරව භක්තියක් නෑ. පවුල් පන්සල් උණාම  ඕනැම දුකක් විඳ දරාගෙන ඉස්සරහට යන්න හිතේ හයිය තියෙන්න  ඕන. ඒකට දෙයියන්ගෙ පිහිට ඉල්ලන්න  ඕන. නිතරෝම. මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ හිතේ හයියයි, ආගම දහමට තියෙන භක්තියයි හින්දා නෝනො..’’


අසූ හැවිරිදි රෝසම්මා වැලන්ටයින් දිනය ගැන සිය මතය පළ කලේ එලෙසිනි. ඉදින් මේ අරුම පුදුම ස්නේහ මන්දිරයේ ඓශ්චර්යය අසමින් දකිමින් විඳිමින් මෙදා ආදරවන්තයන්ගේ දිනය ගත විය. සැබවින්ම එය ආදරවන්තයින්ගේ දිනයක්ම විය. පේ‍්‍රමය ගැන අප ලියන කව් ගී දහසක් පරදන සැබෑ පේ‍්‍රමයක් ඔවුන් සතුව ඇතැයි සිතිය නොහැකි ද?

2014 මාර්තු

March 13, 2014

පාප් වහන්සේ ඔයාගෙ නෙමෙයි...





ජාති, ආගම්, කුලමල, භාෂා, වර්ණ, ඇති නැති ආදී වූ නානාප‍්‍රකාර හේතු මුල් කරගෙන සමාජය භේද භින්න වෙලා. ගහමරා ගන්නවා. යුද්ධ කලකෝලහාල හැමතැනම. මේ හැමදේකින්ම වැඩියෙන්ම තැලෙන්නෙ පොඩි වෙන්නෙ පුංචි ළමයි... සිඟිති සුරංගනාවි විතරක් නෙවෙයි මුලූ සුරංගනා ලෝකෙම ඉන්නෙ මේ ගැන මහත් කණස්සල්ලෙන්. වැඩියක්ම නරක පුංචි අයගෙ හිත්වලටත් වැඩිහිටි ලෝකෙ එකතු වෙලා මේ භේද බින්න වීමේ විස පුරවන එකනෙ....
............................

සිඟිති සුරංගනාවි දන්න සුන්දර පවුලක් තියෙනවා. තාත්ත බෞද්ධ, අම්ම කතෝලික.. ඒත් ආගම් භේදයක් නැතිව සමගි සමාදානෙන් ඉන්න පවුලක්.. දරුවො දෙන්න අම්ම එක්ක පල්ලිත් යනවා. තාත්ත එක්ක පන්සලූත් යනවා. පවුලම එකටත් පල්ලියට, පන්සලට යනවා. ගෙදර බුදු හාමුදුරුවන්ටත්, ජේසුටත් පහන් පත්තු කරනවා. ළමා ලෝකෙ විස්තර දැන ගන්න සංචාරයක යෙදිල ඉන්න හැන්දෑවක  සිඟිති සුරංගනාවි ඒ පැත්තටත් පියාසර කළා. 

එදා ඔන්න අම්ම, තාත්තා, ආච්චි අම්ම, දරුවො දෙන්න එකතු වෙලා සාලයේ කතාබහක. ඒ වෙලාවෙ ටීවී එකේ ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය වෙනවා. ප‍්‍රවෘත්තිවලට කිව්වෙ පාප් වහන්සේ ඉල්ලා අස්වන බව. තාත්ත හොඳට රූපවාහිනිය ළඟට කිට්ටු වෙලා බලන් හිටියා. ‘‘ ඇයි දන්නෙ නෑ පාප්වහන්සේ ඉල්ලා අස් වෙන්නෙ ’’ කියල. 

මේ වෙලාවෙ ලොකු පුතා ටිකක් හයියෙන් සැරෙන් වගේ තාත්තට මේ විදියට කියන්න ගත්තා.. 

 ‘‘ පාප් වහන්සේ ඔයාගෙ නෙමෙයි.. පාප් වහන්සේ අපේ. ඔයාට වැඩක් නෑ. ඔයා පන්සල් යන්නෙ. පල්ලි යන අයගෙයි පාප් වහන්සෙ...’’ 

 තවත් මහා පණ්ඩිත කතා ගොඩක්. අම්මටත් පුදුමයි. මේ දරුවා කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල. ගෙදර පරිසරයෙදි මේ වගේ දෙයක් කියන්න බලපෑමක් කොහෙත්ම තිබුණෙ නෑ. ආගම්වාදී අදහස් කොහොමද මේ පුංචි එකාගෙ ඔලූවට ඇතුල් උණේ. 

අම්ම ඉක්මණින් තාත්තගෙ මූණ බැලූවෙ එයාට දුක හිතුණද කියල දැන ගන්නයි. ඒත් තාත්තා හිනා වෙවී අහගෙන හිටිය. පුතාගෙ  දඟකාර කතාබහ ගැන හිනාවක් මිස තාත්තගෙ මූණෙ තරහක් තිබුණෙ නෑ. එක්කො එයාට ඒ අදහස් බරපතළ විදියට දැනෙන්න නැතිව ඇති. 

තාත්ත ගෙදර නැති වෙලාවක අම්මා පුතාව ළඟට අරගෙන මේ විදියට කියල දුන්නා.

 ‘‘හැම ආගමක්ම එක වගේ වටිනවා පුතේ. තාත්ත අපිව පල්ලිත් එක්කරන් යනවා. පන්සලූත් එක්කරන් යනවා. තාත්ත වැඩ ඇරිල ආවම බුදුන් වඳින්න මං හැමදාම හැන්දෑවට මල් කඩලත් තියනව නේද? තාත්ත නේද ජේසු ළඟත් පහන පත්තු කරන්නෙත්. අම්මටයි, තාත්තටයි ආගම් භේදයක් නැහැ නේද? හැම ආගමක්ම අපිට කියල දෙන්නෙ හොඳ මිනිස්සු වෙන්න කියල. ඒ නිසා හැම ආගමක්ම එක වගේ වටිනව පුතේ.. ආගම ගැන කියල කාගෙවත් හිත රිද්දන්න හොඳ නැහැ...’’

සිඟිති සුරංගනාවිටත් දුකයි මේ සිද්ධිය ගැන. ළමයින්ගෙ හිත්වලට ඇතුළ් වෙන මේ විස වැඩිහිටි විය වෙද්දි තවත් බරපතළ වෙනවනේ හරි මගපෙන්වීමක් නොලැබුණොත්. මේ පුතා ඉගෙන ගන්නෙ දිවයිනේ ප‍්‍රසිද්ධ කතෝලික පාසලක. පාසලේදි වැඩි අවධානය දෙන්නෙ කතෝලික ආගම පැත්තට. නොදැනීම ළමයින්ගෙ හිතට ඇතුළ් වෙනවා තමන්ගෙ ආගම අනෙකුත් ආගම්වලට වඩා වටින බවට අදහසක්. 

තමන් අදහන දහමට ළැදිව ජීවත් වීමත් අනිකුත් ආගම්වලට ගරු කිරීමත් සැබෑ ධාර්මිකත්වයනෙ. ඉතින් සිඟිති සුරංගනාවිට හිතෙනවා ඉස්කෝලෙදි ළමයින්ට වෙන වෙනම තම තමන්ගෙ ආගම ගැන විතරක් උගන්වනවට වඩා හොඳයි හැම ආගමක් ගැනම  අවබෝධයක් ලැබෙන විදියට ආගම පොදු විෂයක් බවට පත් කරන එක කියල. ලෝකයේ ප‍්‍රධාන ආගම්වල ආරම්භය, ඒවායේ හරය, වත්පිළිවෙත් ගැන පොදුවේ ළමුන්ට කියා දෙන එක හොඳයි. ඉරිදා දහම් පාසල විභාග ඉලක්ක කර ගත් තවත් ටියුෂන් පන්තියක් නොවී දහම ළමුන්ගේ ජීවිතයට සමීප කරවන සරල සුන්දර තැනක් වෙන්නත්  ඕන. 

2013 මාර්තු

කවීතා.... ඈ මට කතා කළා.





මනුෂ්‍යත්වය විඳින්නට, මනුෂ්‍යත්වය හඳුනා ගන්නට භාෂාව නොදැනීම බාධාවක්ද? සංස්කෘතිය නොදැනීම බාධාවක්ද


එය එසේ නොවේ යැයි මම සිතමි.

නමුත් ගැඹුරින් හදවත් ස්පර්ශ කරන්නට, එකිනෙකාව ගැඹුරින් තේරුම් ගන්නට භාෂාව නොදැනීම, සංස්කෘතිය නොදැනීම බාධාවක් බව මම වටහා ගෙන සිටිමි. 

විශේෂයෙන්ම ජනවාර්ගික අර්බුදයක ගිනි පුපුරු අළු යට සැඟවී ඇති යුගයක, යුද්ධය විසින් බිඳ දැමුණු සිත්වල ගැඹුරු තුවාල රිදුම් දෙමින්, කකියමින් පවතින සමයක අන්‍යෝන්‍ය සිත් සුවපත් කර ගැනීමේ, නිවා ගැනීමේ භාරදුර කාර්යය සඳහා භාෂාව, සංස්කෘතිය පිළිබඳ අවබෝධය ඉතා වැදගත් යැයි මම සිතමි.

........................

හිරු ගිනි ගන්නා මධ්‍යහනයේ නාඳුනන අංකයකින් ඇමතුමක්. 

‘‘ අක්කා නාන් කවීතා...’’

‘‘  ඕ ගෝඞ් කවීතා...’’ මගේ හිතේ හිනා මලක්. 

කවීතා අවුරුදු 16 ක පමණ අහිංසක දමිළ යුවතියක්. ඈ මට මුණ ගැසුණේ පසුගිය සතියේ පැවති මගේ ඥාති සොයුරෙකුගේ විවාහ මංගල්‍යයකදී. වව්නියාවේ සිට පැමිණි ඥාති පිරිසක් සමග ඈ පැමිණ සිටියා. නිවසේ මෙහෙයට සිටින බවයි දැන ගන්නට ලැබුණේ. මා දෙමළ දන්නේ නැහැ. ඇය සිංහල දන්නේ නැහැ. නමුත් දන්නා දෙමළ වචන කිහිපයෙන්, සිනාවෙන්, නෙත් බැල්මෙන්, අංග චලනයන්ගෙන් මා ඈ සමග හිතවත් උණා. 

නන්නාඳුනන සෙනගක් මැද තනි වූ ඇය ගැන කාටවත්ම හැඟීමක් තිබුණෙ නැහැ. රාත‍්‍රියේ බිත්තියකට හේත්තු වූ ඈ නිදා වැටෙමින් සිටියා. මම කවීතාව මගේ ගෙදරට කැන්දන් ගියා නිදා ගන්න. භාෂාව නොදැනීම අප දෙදෙනාගේ සමාගමයට බාධාවක් උණේ නැහැ කොහෙත්ම. ඇය දීර්ඝ ලෙස දමිල බසින් කියනා දේවල, අසනා ප‍්‍රශ්නවල වදනක් දෙකක් අහුලාගෙන මමත් උත්තර බැන්ඳා. හිනාවයි, නෙත් බැල්මයි කොයි තරම් ශක්තිමත් රැහැන්ද නාඳුනන සිත් යා කරන්නට. 

මගේ ගෙයි තවමත් වැඩ ඉවර එක කාමරයයි. කාමරයට තියෙන්නෙ එක පුංචි ඇඳක් පමණයි. ඇයට රාත‍්‍රී නිදන ඇඳුමකුත් දීලා, බිමට පැදුරක් දාලා, මදුරු දැලත් දාල නිදා ගන්න සැලැස්සුවා. ‘‘තැන්ක් යූ අක්කා’’ ඇය හිනා වෙලා කිව්වා.  ‘‘ ගුඞ් නයිට් තංගච්චී’’ මමත් හිනාවෙලා සුබ පැතුවා. නිදා ගන්න ඇඳට ගියාම නම් මට දුකත් හිතුණා. ඇයි මම ඇයට ඇඳ දීල බිම නිදා ගන්න නොගියෙ කියල. නමුත් ඒ වෙද්දිත් ඈ සුව නින්දක. 

ඒ කවීතා මෙලෙස මා ඇමතුවේ ඈ මගේ මතකයෙන් ගිලිහී යමින් සිටියදී. 

‘‘ කවීතා එප්පඩි සුහම් තංගච්චී’’ 

‘‘නල්ලම් අක්කා ’’ තේරුණේ එපමණයි. තවත් දිග හෑල්ලක්. අණ්ඩර දෙමළ වගේ. මම කමල් සොයා ගෙන දිව්වා. ඔහු දමිළ. යාපනේ වැසියෙක්. වැඩ කරන්නෙ අපි එක්ක කොළඹ. සිංහල දමිළ භාෂා දෙකම මැනවින් හසුරුවනවා. කමල් කැමැත්තෙන්ම භාෂා පරිවර්තක බවට පත් උණා මාත් කවීතාත් අතර. 

‘‘ අක්කා ඇන්ටිගෙ ෆෝන් එක නැති උණා. එයාට කෝල් එකක් ආවා. මමයි ෆෝන් එක ගෙනිහින් දුන්නෙ. එයා ළිඳ ළඟ ඉඳන් කතා කළේ. ළිඳ ළඟ තියන්න ඇති. වඳුරො ගෙනිච්චද දන්නෙ නැහැ. ළිඳට වැටුණද දන්නෙ නැහැ. මම හොරකම් කළා කියල හිතල  මාව ගෙදරින් යැව්වා. ’’   

ඈ කී දිගු කතාව කමල් මට සාරාංශ කළේ එලෙසින්. 

‘‘දැන් ඔයා කොහෙද ඉන්නෙ’’ මගේ සිංහල ප‍්‍රශ්නය කමල් දමිල බසට හරවනවා. 

‘‘පුංකුඩතිව්. මේ අම්මගේ ෆෝන් එක. අක්කා  ඕන වෙලාවක කතා කරන්න. මම හොරකම් කළේ නෑ අක්කා. ’’  

කමල් සහ කවීතා අතර සංවාදය ඇදෙද්දී මගේ හිත දැවෙනවා. ඈ අහිංසක කෙල්ලක්. කෙසේවත් මෙවන් වරදක් ඈ අතින් සිදු විය නොහැකි බවයි මට හිතෙන්නෙ. කිසිවක් සිතා ගත නොහැකියි. 

නමුත් ඈ මට කතා කළා ඇගේ දුක කියන්නට. මගේ දෙනෙත් තෙත් වන්නේ ඒ ආදරය, ගෞරවය සහ විශ්වාසය නිසයි. 

‘‘ අක්කා සී යු බායි..’’ මට වැටහෙන බසින් ඈ මට සමු දුන්නා.

‘‘දෙවි පිහිටයි සතුටින් ඉන්න නංගී.  මම ඔයාට කතා කරන්නම්’’ මගේ සිංහල සිතුවිලි කමල්ගේ පිහිටෙන් දමිල බසට හරවාගෙන මමද ඇයට සමුදුන්නා.

නමුත් මහා හිස්තැනක් හිතේ ඉතිරි වුණා වගේ මට දැණුනා.

හිතේ හැටියට ඇගේ දුකට සවන් දෙන්නට, ඇගේ හිත හදන්නට නොහැකි උණේ භාෂා ප‍්‍රශ්නය හරස් වූ නිසා. ඒ ළතැවිල්ල තාමත් හිත පුරා.

2013 පෙබරවාරි