February 11, 2014

සඳගිරි පව්ව උසයි... කිඳුරා හරිම වසයි


 
By Robert Fowler

සඳගිරි පව්ව උසයි... කිඳුරා හරිම වසයි
මං ගෙදර එන්න ආවා අම්මේ
දොර අරින්න නුඹ විතරයි ඉන්නේ...

රත්තරන් කියා කඩුතුඩ මං ඇණ ගත්තේ පපුවට
නුඹ එපා කියද්දීමයි අම්මේ
ඒ කුල ගෙය දැන් ගිනිගෙය වැන්නේ...

සල්පිලෙන් අරන් නටවන කිඳුරියන් රඟන සඳගිර
මට අරු‍මෝසම් හුරු නෑ අම්මේ
නිය පහුරු වැදුණු හිත බලපන්නේ....

ගායනය            :- විශාරද ශානිකා සුමනසේකර
පද රචනය         :- රවී සිරිවර්ධන
තනු නිර්මාණය  :- දර්ශන වික්‍රමතුංග

චන්ද කින්නර ජාතකේ වගේ සුන්දර ආදර කතාවක් ගැන හීන දකින මේ දියණියට හමුවෙන්නෙ නපුරු සඳකිඳුරෙක්. ඒ සඳගිරි පව්ව ඇයට ළං වෙන්න බැරි තරමට උසයි. කාසිවලට රඟන සඳකිඳුරියන් එමටයි එහි. ඒ අරුමෝසම් ජීවිතේ ඇයට දරා ගන්න බැහැ. ඒත් දසමසක් කුසේ තියන් ඉඳල, ජීවිතයත් මරණයත් අතර සටනක් මැදින් ඇයට උපත දුන්න, ජීවිතයම දරු සෙනෙහසට කැප කළ අම්මා කියු දේත් අහන්නෙ නැතිවයි ඇය මේ සඳකිඳුරත් එක්ක දිගු ජීවිත ගමන යන්න එකතු වෙන්න. දැන් ඇය විඩාපත්. තවදුරටත් ඇයට දුෂ්කර ක්‍රියා කළ නොහැකියි. ඇය පැතු සිහින ලොව දෙදරා ගිහින්.

ඇය තීරණය කරනවා ආපහු හැරෙන්න. නිය පහුරින් තුවාල වුණු හිතත් අරන් ඇය ආපහු එන්නෙ අම්ම ළඟට. ඇයට දොර විවර වෙන්නෙ අම්මගෙ නිවහනේ විතරයි... අම්මගෙ හදවතේ විතරයි... විශ්වාසය, බලාපොරොත්තුව අරන් ඇය එන්නෙ ඇගේ සෙනෙහසේ නවාතැනට...

වරදින තැන් ජීවිතේ අපමණයි... ඒ වැරදීම්වලින් ගොඩ එන එක, හරි පාරට වැටෙන එක හරිම දුෂ්කරයි. වරද්ද ගන්න එපා කියන්න ලේසියි. නමුත් වැරදීම් මග හැර ඉන්න අමාරුයි ජීවිතේ. නමුත් වැරදුණ බව දැන දැනම එහිම ඇලී ගැලී ඉන්නවට වඩා ආපසු හැරෙන්න, වැරදි හදා ගන්න, ජීවිතේ අළුත් කර ගන්න තීරණයක් ගැනීම අගෙයි. ජීවිතයට ආදරෙයි නම් ආපහු හැරෙන්න, වැරදීම් හදා ගන්න, අළුත් ගමනක් පටන් ගන්න සිදු වෙනවමයි නේද? එය කළ යුතුමයි.

නව යෞවනයේ ආදරය හිතට එබෙන්නෙ රන් තැටියක් වගේ දිස්න දීගෙන. සුන්දර හීන ගොඩක් අරගෙන. ආකර්ශණීයව. එයින් තොර ලොවක් නැතැයි කියන්නා වගේ. ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය අපේ ඇස් ඉස්සරහ මවන හීනයයි අපි මේ පාට පාටින් සිත්තම් කරන්න උත්සාහ ගන්නෙ.. නමුත් මුදලට විකිණෙන වෛර්ණ හීන තරම් සුන්ද නැහැ ඇත්ත ජීවිතේ. හැම ආදර කතාවක්ම සඳකිඳුරු ජාතකේ කතාව වගේ වෙන්නෙ නැහැ. යෞවනය ජීවිතේ ගැන ඉගෙන ගන්න තියෙන කාලය මිස, ජීවිතය ගැන බරපතළ තීරණ ගන්න සුදුසු කාලය නොවෙයි.

ආදරය කරන්න පොතපතට... සොබාදහමට.... අම්මට තාත්තට පවු‍ලේ අයට.... ගමට රටට ... ජීවිතයට... ආදරයෙන් බැදෙන්න මේ සියල්ල සමග... ඒ ආදරය තුළ ජීවිතය පොහොසත් වන හැටි හඳුනා ගන්න. එලෙස පොහොසත් වූ හදවතක් පසු කලෙක ජීවිතය ගැන නිවැරදි තීරණවලට එළඹෙන්නට ආලෝකයක් වේවි...

2013 ජූලි

ආයෙමත් අපි හමුනොවේවිද?





එය 2005 හෝ 2006 වසර විය යුතුය. හරියටම මතක නැත. උතුරු මිතුරු ලියන්නට පටන් ගත් දා සිට හිතේ කෙටු කැටයමක් සේ මතකයෙන් නොගිළිහී පවතින, නිතර නිතර සිහිපත් වන කඳුළු පිරුණු ඇස් දෙකක් ගැන ලියා තබන්නට මට අවැසි ය. 

එකල මම රැකියාව අතරතුර දරුවන් වෙනුවෙන් කැප වු සමාජ සේවා ආයතනයකට සම්බන්ධව වැඩ කරමින් සිටියෙමි. වසරකට වරක් දෙකක් ස්වකීය පූජක ජීවිතයට අත්දැකීමක් ලබනු වස් අප සමග එක්ව කටයුතු කිරීමට සහෝදරතුමන්ලා පැමිණීම සාමාන්‍ය සිදුවීමක් විය. කිහිපවතාවක්ම යාපනය දෙමළ සහෝදරතුමන්ලා කිහිප දෙනෙක් ද අප සමඟ එක් විය. ඒ එක් සහෝදරතුමෙක් ගැන කතාවකි මේ. ඔහු සිංහල, ඉංග‍්‍රීසි කලවම් බසින් සහ අංග චලනයෙන් කියූ කතාව මම මෙලෙස සිංහල බසින් ලියා තබමි. ඔහු තම උපන්බිම ලෙස උතුරු ප‍්‍රදේශයේ වෙරළාසන්න ගමක් පිළිබඳව සඳහන් කළ ද මට දැන් එය අමතක ය.

‘‘ අපි හිටියෙ ලස්සන ධීවර ගමක, මුහුද අද්දර ගෙදරක. ගේ කිට්ටුවම අපේ පල්ලිය තිබුණා. තාත්තට බෝට්ටු තිබුණා. අයියල හැමෝමත් කළේ ධීවර රස්සාව. අපිට කිසිම කරදරයක් තිබුණේ නෑ.. පුංචි කාලෙ ගෙවුණෙ හරිම සැහැල්ලූවෙන්. ? වුණාම අම්ම එක්ක අපි වැල්ලට ගිහින් ඈත මුහුද දිහා බලන් ඉන්නවා. මම අම්මගෙ උකුලෙ ඔලූව තියාගෙන. අම්ම මගේ ඔලූව අත ගගා කතන්දර කියනවා. ගීතිකා කියනවා. අහස හඳ, තරු පිරිවරාගෙන ඉද්දි අම්මගෙ උණුහුමේ වැල්ලට වෙලා සීතල මුහුදු හුළඟ විඳිමින් ඉන්න ලැබුණ ඒ කාලය තමයි ජීවිතේ ලස්සනම කාලෙ. ඒ මතකයත් හීනයක් වගේ. ඒත් යුද්දෙත් එක්ක හැමදේම වෙනස් වුණා...’’

දීර්ඝ සුසුමක්... ගල්ගැහුණු නිහඩතාවයක්... විඩාපත් මුහුණක්... සිත ළතැවිල්ලේ වුව ද මම ඉවසිල්ලේ අසා සිටියෙමි. 

‘‘.. යුද්ධය දරුණු වෙන්න වෙන්න මුහුදු යන්න බැරි වුණා. ආර්ථික ප‍්‍රශ්න ආවා. අපිට බෝට්ටු නැති වුණා. තාත්තා මැරුණා පපුවෙ අමාරුවකින්. අයිය කෙනෙක් අතුරුදහන් වුණා. අනිත් අයත් ගම අත්ඇරල ගියා. අපේ ජීවිත එහෙම පිටින්ම වෙනස් වුණා. මමත් කාලයක් එල්ටීටීඊ එකට සම්බන්ධ වෙලා හිටියා. කවුරුත් බල කළේ නෑ. මගේ කැමැත්තෙන්. මහා වීර දිනයට පෙන්නන චිත‍්‍රපටි, සින්දු, කතා අහන දකින ඒ වයසෙ ඉන්න  ඕනම කෙනෙකුට හිතෙනවා මරාගෙන මැරෙන්න හරි එල්ටීටීඊ එකට බැඳෙන්න. ඒ තරමට හිත වෙනස් වෙනවා. අනික මම දැක්ක යුද්දෙ නිසා මිනිස්සු විඳින දුක. පස්සෙ මට හිතුණා මේ වෛරය තේරුමක් නෑ කියල. එල්ටීටීඊ එක නිසාත් මිනිස්සුන්ගෙ පීඩනය වැඩි වුණා මිස සහනයක් තිබුණෙ නෑ.

මට මාව ම එපා වෙමින් තිබුණෙ. ඊට වඩා වෙනස් මාර්ගයක් තියෙන්නෙ  ඕන අපේ නිදහස දිනා ගන්න මම නිතරම හිතුවා. මම සෙමනේරියට බැඳුණා.. දෙවියන් තුළ විමුක්තිය හොයන්න. ඒ වෙලාවෙ මට වෙන විකල්පයක් තිබුණෙ නැහැ.. අම්පිටියට ඇවිත් ඉගෙන ගන්න කාලෙ තමයි මට සිංහල මිනිස්සු ඇසුරු කරන්න ලැබුණෙ. එතනදිත් මගේ හිත ගොඩක් වෙනස් වුණා.  අපි වෛරක්කාරයො වෙලා ඉන්න එක කිසි තේරුමක් නෑ. යුද්ධය කියන්නෙ බල අරගලයක්. දේශපාලන පොර පිටියක්.. ඒකෙන් තැලෙන්නෙ පොඩි වෙන්නෙ දුප්පත් අසරණ මිනිස්සු.. සිංහල උණත්, දෙමළ උණත්... අපි මහන්සි වෙන්න  ඕන පීඩාවට පත් වෙන මිනිස්සුන්ට අධ්‍යාත්මික විමුක්තිය හොයා ගන්න උදව් වෙන්න..’’ 

මේ කතාබහ කෙළවර සිංහල දෙමළ හදවත් දෙකක් මහා සහෝදර බැම්මකින් යා වී තිබුණි. ඉන් දින කිහිපයකට පසු සති අන්තයක  මා අදාළ ආයතනයට යන විට ඔහු පෙනෙන්නට සිටියේ නැත.

‘‘කෝ බ‍්‍රදර්?’’

‘‘උණ ගැනිලා නිදි. අක්කෙ, ඒ බ‍්‍රදර්ලගෙ ගමට ප්ලේන්වලින් බෝම්බ දාලලූ.. කිසිම තොරතුරක් දැනගන්න විදියක් නැහැ.. ඒ හිතේ අමාරුවට මං හිතන්නෙ උණ ගැනෙන්න ඇත්තෙ..’’

සංකාබර සිතින් බෙහෙත් පෙති කිහිපයක් හා වතුර වීදුරුවක් ගෙන මා ඔහු දකින්නට යන විට ඔහු සිටියේ අවදියෙනි. මැළවුණු වතිනි. මා දුටුවනම ක්ෂණිකව ඇස් අග එකතු වූ විසල් කඳුළු බිඳු දෙකක් දිලිසෙනු මම දිටිමි. ඒ කඳුළු පිරි විඩාපත් ඇස්දෙක සිහිවන විට අදත් මසිත තිගැස්සේ.

ඒ ගුවන් ප‍්‍රහාරවලින් පල්ලියට අලාබහානි වී තිබුණද ජීවිත අනතුරක් සිදු නොවූ බව පසුව දැන ගන්නට ලැබිණි.

එම සිද්ධියෙන් වසර ගණනකට පසුත් අප අතර සුහදතාව නොබිඳී තිබිණි.

‘‘අක්ක අරන් දුන්න සිංහල හෝඩිපොත තවම මං ළඟ තියෙනවා.’’ මුහුණුපොත හරහා විටින් විට පණිවිඩ එවා තිබිණි. පූජාත්වරයට පවා මට ඇරයුම් ලැබිණි. නමුත් යුද්ධය දරුණු වීමත් සමඟ, දකුණේ යුධ ජයග‍්‍රහණය වියරු සැමරුමක් බවට පත් වීමත් සමඟ සුහද සහෝදරත්වය ගිළිහී යන බව මට දැනෙමින් තිබිණි. ඉක්බිති මුනිවතම මිස මගේ සුවදුක් විමසුමකට වුව පෙරළා පිළිතුරක් ලැබුණේ නැත. හේතුව පියතුමකු ලෙස කාර්යබහුල වීම ද, මහා ජාතිය විසින් පීඩාවට පත් කරන ලද සුළු ජාතියගේ දුක් අදෝනා සිත වට කොට පවුරු පදනම් බැඳීම ද යන්න නොදනිමි. මනුෂ්‍යත්වය සුණුවිසුණු කළ යුද්ධය නිසා ගලා ගිය අනන්ත අප‍්‍රමාණ කඳුළු වරුසාවක් මැද, තනිවුණු අසරණ කඳුළු බිඳු දෙකක් අදත් නොමැකී මසිත තැන්පත්ව ඇත. 

2014 මාර්තු

සිත් යා කරන ආදරයේ භාෂාව උගනිමු.




ඥාති සොයුරෙකුගේ විවාහ මංගල්‍ය අවස්ථාවකදියි ඈ මට මුලින්ම හමුවුණේ. නිවසක මෙහෙකාර සේවයේ යෙදුණු අහිංසක දමිළ යුවතියක්. විසිවයස් නොඉක්මවූ පෙනුමක් ඈ වෙතින් දිස් වුණේ. දන්නා දෙමලක් නැතත් ඈ සමග හිතවත් වන්නට මා දන්නා මිනිස්කමේ භාෂාව උදව්වක් උණා. ආරම්භය සිනාවක්... නෙත් කැලූම් හුවමාරුවක්... 

‘‘පේර් එන්න තංගච්චි?”

‘‘කවීතා

ඌර් එන්න

‘‘නයිනතිව්

එහෙමයි ඇරඹුම හිත් යා කරන ගමනක් වුණේ.

රාත‍්‍රී 11 පමණ වන විට බිත්තියකට හේත්තු වී ඈ නිදා වැටෙමින් සිටියා.

‘‘කවිතාව අපේ ගෙදර එක්ක යන්නද? නිදා ගන්න. මම ඇගේ ස්වාමිදුවගෙන් විමසූවා.

‘‘ඔයා දෙමළ දන්නෙත් නෑ. ඒ ළමයා සිංහල දන්නෙත් නෑ. අපූරුවට තියෙයි.ඈ කිව්වා.

‘‘අවුලක් නෑ. මට මැනේජ් කර ගන්න පුළුවන්.. දැනටත් අපි කතා කළා

කවීතා කිසිම පැකිලීමක් නැතිව සතුටින් මාත් එක්ක ආවා. ගෙදරට ආවම ඇයට කුතුහලයක් දැනෙන්න ඇති. ගෙදරට ඉන්න එකම මිනිස් ප‍්‍රාණියා මමනෙ. ඇය දීර්ඝ ලෙස දමිල බසින් ඇසූ දේවල් මම තේරුම් ගත්තෙ ඉවෙන් වගේ.

‘‘තමිල් තෙරිය ඉල්ලෙ.මා කීවත් ඇගේ කතාව නැවතුණේ නැහැ.

ඉතින් ඇගේ දීර්ඝ කතාවේ වචනයක් දෙකක් අල්ලගෙන මට අනුමාන කරන්න සිද්ධ උණා ඇය අහන්නෙ කුමක්ද යන්න.

‘‘අම්මා අප්පා?”

‘‘නෝ අම්මා අප්පා... අංග චලනත් ඉංග‍්‍රීසි කෑලිත් උදව් කරගෙන මම ඇගේ ප‍්‍රශ්නවලට උත්තර දුන්නා. මට කියන්න  ඕන උණේ මව්පියන් ඉන්නෙ වෙනම නිවසක බව. නමුත් මට මව්පියන් නැතැයි ඈ සිතන්නත් ඇති. ‘‘මැරේජ්එවර ප‍්‍රශ්නයට එක වචනයයි.

‘‘නෝ මැරේජ්ඈ කුමක් සිතන්නට ඇතිද? දෙයියො දනී.

ඉන්පස්සෙ ඇය දීර්ඝ කතාවක්... මොනවත්ම නොතේරුණත් මම තේරුණා වගේ හිනැහුණා. එකම පුංචි ඇඳයි කාමරේට තියෙන්නෙ. ඇයට රාත‍්‍රී නිදන ඇඳුමකුත් දීල, බිමට පැදුරක් දාල, මදුරු දැල එලල නිදා ගන්න සැලැස්සුවා.

‘‘තැන්ක් යූ අක්කා.. ඇය හිනාවෙලා කිව්වා.

‘‘ගුඞ් නයිට් තංගච්චිමමත් කිව්වා.

නිදා ගන්න ඇඳට ගියාම නම් පුංචි දුකක් හිතුණා ඇයි මම කවීතාට ඇඳ දීලා බිම නිදා ගන්න නොගියෙ කියල. ඒත් ඒ වෙද්දිත් ඈ සුව නින්දක.

හිත් යාවෙන්න භාෂාවක්  ඕනමද?  ඕනවෙන්නෙ උවමනාවයි ආදරයයි නේද? සිංහල නොදන්නා ඇයත්, දෙමළ නොදන්නා මම ත් හදවත්වලින් බැඳුණේ ආදරයේ භාෂණයෙන්. නමුත් භාෂාව දැන උන්නා නම් මීට වඩා අපේ හිත් විවෘත වනු ඇති. අපේ අදහස් හුවමාරු වනු ඇති. අපේ හිත් ගැඹුරින් හඳුනා ගන්නට ඉඩ ලැබෙනු ඇති. වාර්ගික අනවබෝධයන් දුරු කර ගන්නට සිදු කළ යුතු බරපතළම සෙත් ශාන්තිය අන්‍යෝන්‍ය භාෂාවන්, සංස්කෘතීන් හැදෑරීම බවයි මගේ හැඟීම. එකිනෙකා පිළිගන්නට, අගය කරන්නට එයින් මහත් පිටුවහලක් ලැබෙනු ඇත නිසැකවම.

පසුවදා උදේ මංගල උත්සවයට මම සැරසුණේ සල්වාරියකින්. මා දුටුමතින්ම කවීතාගේ මුහුණේ ලස්සන සිනා මලක් පිපුණා. ඇය තමන් ඇඳ සිටි සල්වාරියටත් මා දෙසටත් ඇගිල්ල දිගු කළේ ඒ සුන්දර සිනාවෙන්මයි. 

තම සංස්කෘතිය අගය කරනු දැකීම, තම අනන්‍යතාවය පිළිගනු ලැබීම කෙනෙකුගේ සිත තුළ කොතරම් සතුටක් ඇති කරනවාද? විශේෂයෙන්ම සුළු ජාතිය ලෙස පෑගී, තැලී පොඩි වී ඇති මනුෂ්‍ය කොට්ඨාශයකට එය කොතරම් හෘදයාංගම බලපෑමක් වනු ඇතිද? කවීතාගේ පිපුණු වතමඩල ඒ බවට නිහඩ සාක්‍ෂියක් වුණා. 

2013 නොවැම්බර්

අම්මගේ සොහොන මේ මෙතැන...




මළවුන් සමරන ඉල්මහේ මළවුන්ගේ මාසයේ, හුස්මක් පාසා මළගිය මතක කැටිවුණ භූමියකට කවියෙක් පැමිණියේ ය. ඔහු සිංහල දමිල සාහිත්‍ය ලෝකයේ දිගුකාලීන ගෞරවාදරයට පාත‍්‍ර වූ කවියෙකි. මනුෂ්‍යත්වය, සත්‍යය, සාධාරණත්වය වෙනුවෙන් පන්හිඳ මෙහෙයවූ කවියෙකි. උතුරෙහි හිඳිමින් ම දකුණේ සිංහල කඳුල, සුසුම ගැන පවා දමිල බසින් කවි ලියූවෙකි. ඔහු ශ‍්‍රී ලාංකිකයෙකි. නමුත් දමිලව උපන් නිසාම උපන් බිමෙන් පිටුවහල්ව අන්‍ය දේශයක දිවිගෙවන්නට සිදුවුවෙකි. 

2006 වසරේ ජීවිතයෙන් සමුගත් ආදරණීය අම්මාගේ සොහොන පාමුල වසර ගණනක් කඳුලින්ම පිරියම් වුණු මාතෘ පේ‍්‍රමයේ උත්තරීතර කවියක් තබා යන්නට පැමිණි ඔහු, මවගේ සොහොන කරා යමින් සිටියදී 2013 නොවැම්බර් මස මාන්කුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනි. වීසා නීති කඩ කළ බව ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාව විය. කෙසේ නමුත් අත්අඩංගුවට ගත් මොහොතේම ගම්වාසීන්් ප‍්‍රබලව මැදිහත්වීම ද, ජාත්‍යන්තර අවධානය යොමු වීම ද හේතුවෙන් හිංසනයකින් තොරව ඔහු රටින් පිට කිරීමට රජය කටයුතු කළේය. 

ඔහු වී.අයි.එස්. ජෙයපාලන් කවියාය. යාපනයේ උඩුවිල් නම් ගම්මානයේ උපත ලබා, යාපනය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. මුල්ම කාව්‍ය සංග‍්‍රහය එළිදකින්නේ 1986 දී ය. වඩාත් ප‍්‍රචලිත වන්නේද කවියකු ලෙසිනි. යුද්ධය දරුණුවත්ම එල්ටීටීඊ සංවිධානයෙන් පවා ජීවිත තර්ජන එල්ලවෙමින් පැවති කාලයක ඔහු 1988 දී රටින් පිටව තම පවුලේ අය සමඟ වර්තමානයේ නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන්නේය. දකුණු ඉන්දීය චිත‍්‍රපටවල රංගනයේ යෙදෙමින් රංගන ශිල්පියකුද ලෙස නමක් දිනා ඇති ජෙයපාලන්, 1995 දී හොඳම සංක‍්‍රමණික කවියා ලෙස නෝර්වීජියානු ලේඛක සංවිධානය මගින් ද සම්මානයට පාත‍්‍ර විය. ( ඔහු පිළිබඳව වැඩිදුර විස්තර සඳහා නිලාර් කාසිම් ගේ ‘‘දමිළ කවියේ ශ‍්‍රී ලාංකික සලකුණ -ජෙයපාලන්’’ කෘතිය සහ ‘‘සහෝදර පියාපත්’’ කවි එකතුව කියවන්න.)

යුද්ධය නිමවීමෙන් පසු සියල්ල සාමකාමී නම්, සැමට සාධාරණත්වය, යුක්තිය ඉටු වන්නේ නම් වසර ගණනාවක් පියවි ඇසින් නොදුටු මවගේ සොහොන්බිම හෝ  නිදහසේ දකින්නට මිනිසකුට අවසර තිබිය යුතු නොවේ ද? අවම වශයෙන් ඔහු ශ‍්‍රී ලාංකික දමිල කවියකු ලෙස හඳුන්වා දෙන්නට තරම්වත් මහත්මා ගතියක් මාධ්‍ය වෙතින් පළ වියයුතු නොවේද? මේ සිදුවීමෙන් පවා වඩාත් පැහැදිලි වූයේ මාධ්‍ය සදාචාරයේ පිරිහීමත්, දමිල ජනයාට එරෙහිව තවමත් එල්ලවෙන පීඩනයත් නොවේද

ජෙයපාලන් කවියා කවියෙන්ම විමසන මේ පැනයට අප හමුවේ පිළිතුරු වේද?

‘‘පැසී කහගැහුණු තුරුලතා අතරින්
රත්තරන් අත්තටු ගසා පියඹන
සමනලයෙකු සේ ම ලෙළ දිදී
පරඬලා පර්ච් පත පතිත වෙයි
තණ මතට
අලූත් සරණාගතයකු ලෙසින්...

මේ මහා මිහිතලයේ
ජීවිතය හිමි නැතිව
පහසුකම් අහුලමින් හඹා යන
මිනිස් පරඬලාවන් වී අප
පොළව මත පොරබදමු...

කෝ අපිට මව්බිමක්.. ?????

2014 පෙබරවාරි