February 11, 2016

අප ම වැපිරූ ඛේදයේ අස්වැන්න


පුංචි දැරියක් ඈ.. ළමා නිවාසයක කන්‍යා සොයුරියන් ඇසුරේ හැදෙන වැඩෙන. පරිවාසය හරහා ළමා නිවාසයට බාර වුණු ඇයගේ වගතුග කිසිවෙක් දන්නෙ නැහැ. ඇය කතා කරන්නත් නැහැ. ඉතින් ඇයට නමකුත් නැහැ. ළමා නිවාසයේ දැරියන්ට සංගීතය උගන්වන්න එන තරුණිය නන්දිතා. දැරිය ඇයව දකින්නෙ තමන්ගෙ අම්මා විදියට.

ඇය මුලින්ම කතා කරන වචනයත් එයයි "අම්මා..."

නන්දිතා පුංචි දැරියට නමක් දෙනවා. ඒ තමයි "තාරා"

මේ කතාව දිග හැරුණෙ "තාරා" ටෙලි නාට්‍යයේ. කොටස් තිහකින් යුතු එය ස්වර්ණවාහිනියෙ සෙනසුරාදා රාත‍්‍රී විකාශය වී අවසන් වුණා. අන්තර්ජාලය හරහා "තාරා" ඔබට නැරඹිය හැකියි. යුද්ධය සහ පශ්චාත් යුදසමය, ඒ අතර මනුෂ්‍යත්වය ආදරය ගැන ඉතාම ගැඹුරින් සහ සංවේදීව සාකච්ඡාවූ මෙවන් ටෙලි නාට්‍යයක් මෑතක විකාශය වූ බවට මට මතකයක් නැහැ. තිර රචනය නාමල් ජයසිංහ. අධ්‍යක්ෂණය ආනන්ද අබේනායක.

නන්දිතා තාරාට හදවතින්ම බැඳෙනවා. ඇයට උවමනා වෙනවා තාරාව තමන්ගේම දියණිය විදියට හදා වඩා ගන්න. ඇය ඒ වෙනුවෙන් තම මව්පියන්, තම පෙම්වතා, පෙම්වතාගේ සිංහල බෞද්ධ කුලීන මව්පියන් සමඟ නිරන්තර අරගලයක යෙදෙමින් වෙහෙස දරමින් ඉන්න අතර දැරියගේ සැබෑ මව්පියන් ළමා නිවාසය සොයා ගෙන එනවා. ඒ යුද්ධයෙන් පීඩාවට පත් වුණු තරුණ දෙමළ මවක් සහ පියෙක්. ඇයගේ සැබෑ නම ‘‘යාති“ බවත් යුද්ධය අතරතුර පියා ආබාධිත වීමත්, දැරිය මිය ගියා යැයි අනුමාන කිරීම නිසා දැරියව මග හැරී යාමත් ගැන කරුණු අනාවරණය වෙන්නෙ ඉතාම අනුවේදනීය ආකාරයෙන්..

දැරිය තම රැකවරණයට ගැනීමට පෙරුම් පුරන නන්දිතා සහ අසරණ දමිළ යුවළ අතර ඇති වෙන්නෙ අතිශය මානුෂීය ගැටුමක්. මේ අතර නිතර නිතර සිහිසුන් තත්වයට පත් වෙන තාරා වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරන වෛද්‍යවරයා පවසන්නෙ ඇයට හදිසි සැත්කමක් කළ යුතු බව. ඇයගේ හිසේ යකඩ කැබලි දෙකක් ඇති බවත්, ජීවිතය බේර ගන්න නම් එක් කැබැල්ලක් ඉවත් කළ යුතු බවත් වෛද්‍යවරයා පවසනවා.

‘‘අපි මුලතිව් ඩොක්ට. මේ යුද්දෙ අන්තිම කාලෙ. හැම තැනම බ්ලාස්ට් වුණා. කොහෙ දුවන්නද කියල අපි දැනගෙන උන්නෙ නෑ. හොස්පිට්ල් තිබුණෙත් නෑ. රෙඩ් ක්‍රොස් එකේ අයත් ගියා. අපි දිව්වා ඩොක්ට..“

ශල්‍ය කර්මයට අවශ්‍ය මුදල දෙන්නෙ නන්දිතා සහ ඇගේ මව්පියන්. පන්සල්, පල්ලි, කෝවිල් යමින් දැරියගේ සුවය වෙනුවෙන් ඔවුන් දෙවියන් බුදුන් යදින්නෙ එකටම. අඬන්නෙ, ජීවිතය බෙදා ගන්නෙ එකටම. ක‍්‍රමයෙන් මේ දමිළ යුවළ සහ නන්දිතාත් ඇගේ පෙම්වතාත් අතර බැඳීම තහවුරු වෙමින් මනුෂ්‍යත්වය අවදි වන ආකාරය, එකිනෙකාට උදව්වන ආකාරය හරිම මානුෂීයව සහ සංවේදීව දිග හැරෙනවා. ජාති, ආගම් භේද ඉක්මවන මනුෂ්‍යත්වය කොතරම් අපූරුද?  

‘‘මට පුළුවන් වුණා නම් ඔය ඔපරේෂන් එකට කැමති වෙන්නෙ නෑ මැඩම්. ඒත් අපට කොහෙන්ද එච්චර හයියක්. මට මගෙ දුවව තවත් කපන්න කොටන්න  ඕන නෑ මැඩම්. අපේ ආයෙ මොනවද කපන්න කොටන්න ඉතුරු වෙලා තියෙන්නෙ. කමක් නෑ. දැන් සිහිය නෑනෙ..‘‘

එහෙම කියන්නෙ දැරියගේ තාත්තා යෝගා.

‘‘මට මේක තවත් දරාගන්න බෑ. මට බයයි. අපේ දුව ආයෙත් අපට නැති වෙයි කියල. අපිට හැමවෙලේම මොනව හරි නැති වෙයි කියල හිතෙන එක නවතින්නෙ නැද්ද? “

එහෙම අඬා වැටෙන්නෙ දැරියගේ අම්මා මනෝ.

දින කිහිපයකට පසුව සිහිය එන තාරාට කිසිවක්ම මතක නැහැ. කිසිවෙක්ම මතක නැහැ. ඇයට ඇගේ මව්පියන් හෝ ඇය මහත් ආදරයෙන් අම්මා යැයි කියූ නන්දිතා හෝ ළමා නිවාසයේ දී ඇය රැක බලා ගත් පැවිදි සොයුරිය හෝ මතකයට එන්නෙ නැහැ. ඇය සියල්ලන් දිහා බලන්නෙ හිස් බැල්මකින්. තාරාගේ අයිතිය වෙනුවෙන් අරගල කළ අයට අවසන හිමිවෙන්නෙ ඒ හිස් බැල්ම පමණයි. යුද්දයෙන් දිනා ගත හැකි දේ කුමක්ද? ‘‘තාරා‘‘ නාට්‍යෙය් අවසානය ඒ හිස්කම තීව්ර කරනවා.  



‘‘යුද්දෙ දින්නා... කවුද?“

‘‘අපි!! කවුද කියල අහන්නේ?“

‘‘අපි!! කවුද අපි? අම්මෙ දකුණෙ හැම සිංහල ගමකටම මිනී පෙට්ටියක් ආවා. දෙමල කොල්ලො කෙල්ලො කී දෙනෙක් නම් මැරෙන්න ඇද්ද? දැන් කවුද අපි? හැම දුප්පත් පවුලකටම මිනියක් ලැබුණා. කවුද යුද්දෙ දින්නෙ. දැන් කවුද අපි?‘‘

තාරා දැරිය හිස් බැල්මෙන් අප දෙස බලා සිටිනා අවසන් රූප රාමුව සමඟ සටහන් වන්නේ මේ වදන් පෙළ... 

‘‘අතීත පරම්පරාවල් වැපිරූ අපේ පරම්පරාව නෙළා ගත් ඛේදයේ අස්වැන්න...“

ඒ ඛේදයේ අස්වැන්න ඉදිරි පරම්පරාවලටත් උරුම කර දෙනවාද යන්න අපි වගකීමෙන් සිතා බැලිය යුතු නොවේද?

2016 මාර්තු

December 15, 2015

මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය..


වප් මහේ 27 වන දා රද්දොළුගම මංසන්ධියේ අතුරුදහන් වූවන්ගේ ස්මාරකය අබියස පැවති අතුරුදහන්වූවන් සැමරුමට සහභාගි වීමි. මෙවර අතුරුදහන් වූවන් සැමරුමට පැමිණ සිටි වැඩි පිරිස උතුරුකර දමිල සහෝදර ජනතාව ය. අම්මලා, තාත්තලා, දරුවන් අත අතුරුදහන් වූ සමීපතමයන්ගේ පින්තූර ය. ඇසි පිය අග සැලෙන කඳුළු ය. වේදනාවෙන් සහ අවිනිශ්චිතබවින් ඔද්දල්ව ගිය මුහුණු ය. 88, 89 දකුණේ භීෂණය තුළ අහිමි වූ තම දූ දරුවන් වෙනුවෙන් තවමත් වැළපෙනා මව්වරු ය. අතිශය වේදනාකාරී ය.

ඒ කම්පිත මුහුණු අත රැඳි පින්තූරය සමඟ නාභිගත කරගන්නා ඡායාරූප ශිල්පීන් සමූහයකි. ඔවුන් කැමරාව මානන හැම මොහොතක තම අත රැඳි ඡායාරූපය වඩාත් හොඳින් පෙනෙන සේ කැමරා ඇසට යොමු කරනා ඔවුන්ගේ පැතුම කවදා හෝ තම ආදරණීයයන් ජීවමානව හමුවීම නොවේද?

එහිදී කතා කළ හම්බන්තොට එම්. පියසීලි මාතාව උද්වේගකාරී වේදනාත්මක කතාවක් කරමින් කියා සිටියේ තම ස්වාමියා, සහෝදරයන් මරා දැමුවේ ඇයට ද බරපතල හිංසා සිදුකළේ අන් ජාතියක අය නොව සිංහලයින් ම බවයි. මෙවැනි අසාධාරණයන්ට එරෙහිව ධෛර්යයෙන් කටයුතු කිරීමට එක්වන්නයි ඇය දෙමළ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටියාය. 

පාලකයින්ගෙ මර්දනයේ හස්තය සැමදා පතිත වන්නේ අසරණ, දිළිඳු, පීඩිත ජනතාව මත ම නොවේද? උතුරේ දකුණේ කියා එහි වෙනසක් නැත. එයට එකාවන්ම දිරිමත්ව මුහුණ දිය යුතු බව ඇයගේ කතාවේ සාරාංශයයි.

දෙසැම්බරය උදාවන්නේම නත්තල් සිහිලස් චමත්කාරයෙන් හද පුරවමිනි. අපි හැකි ඉහළම අන්දමින් නත්තල සමරන්නට සූදානම් වන්නෙමු. නමුත් තවමත් නත්තල කඳුළක් මිස අනෙකක් නොවන, සාමය සතුට සිහිනයක් වූ ජීවිත කොතරම් නම් මේ බිම මත ම වේදනාවෙන් කල් ගෙවන්නේ ද? 

අතුරුදහන් වූවන් සොයමින් දසඅත ඇවිදින මේ මව්වරුනට හිත හැදෙන්නට වගකීමෙන් යමක් කියන්නට කිසිවෙක් නැත. අඩුම තරමේ ඔවුන් ජීවතුන් අතරද? නැතිද? යන්නවත් පවසන ලෙස ඔවුන් කරනා ඉල්ලීම කොතරම් සාධාරණද? ‘ඉන්නවානම් මොහොතකට දකින්න දෙන්න’ මේ ඔවුන්ගේ ආයාචනයයි. 

මේ මොහොත වන විට ද දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ අරගලයක් දියත් වෙමින් පවතී. ඇති හැකි මිිනිසුන් සිරබතින් නිදහස් ය. එතැන ද දඬුවම අසරණයින්ටම ය. රජය සහ වගකිව යුතු අය කඹ ඇදිල්ලක ය. අසරණ දෙනෙත්වලින් නොසිඳී ගලා හැලෙනා කඳුළු උල්පත් ගැන කාටවත් වගක් නැත. 


මේ සියල්ල මැද අපි නත්තල් සමරමු. පීඩාවට පත්වූ ජනතාවගේ හිත් සනසන්නට සිතින්, වචනයෙන්, ක‍්‍රියාවෙන් අවම දායකත්වයක් හෝ සැපයිය හැකි නම් එය සැබෑ නත්තලක් නොවන්නේ ද?  ගරු මර්සලින් ජයකොඩි පියතුමා නත්තලේ සැබෑ අරුත දුටුවේ මෙලෙසිනි. එය යථාර්ථයක් බවට පත්කිරීමේ නොනවතින අරගලය ඇත්තේ අප අභිමුව ය.

මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරැුහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය

2015 දෙසැම්බර්

දුක් ගීයක් ලියනු මැනවි....


මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි....

නන්නාඳුනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි 
දුක් ගීයක් ලියනු මැනවි....

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී.....

පද රචනය - මහගම සේකර
සංගීතය හා ගායනය - ඩබ්.ඞී. අමරදේව


‘‘මරණයට ගෞරවයක් ලැබ දුන්, මළවුන් මහත් ආදරයෙන් සැමරූ, සුසානය වුව මහත් පේ‍්‍රම පුරාණයක මතක සැමරුමක් වූ දේශයක අපි ජීවත් වූයෙමු. පසුකලෙක ජීවිතයට වුව එබඳු වටිනාකමක් හිමි නොවීම කොතරම් සංවේගදායකද?‘‘ 

2015 නොවැම්බර් ( මළවුන්ගේ මාසය ) 

ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි



ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
දිවිය කැප කළ උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි...

ඉසුරු සුව රස පහස හැරදා
කටුක දුක රුපු ගැහැට වළඳා
සියල් සත වෙත වතල කුළුණින්
ලොව පහන් පියසක් කරන්නට
ජීවිතය පුද දුන් ඒ උතුම් මිනිසුන්...

පෙළෙන සිත් තුල නැගෙන සුසුමන්
දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල්
දැනී කම්පිත සිතින් නැගෙමින්
මිනිස් මහිමය හෙලි කරන්නට
ඥාණනය ලැබ දුන් ඒ උතුම් මිනිසුන්...

ජීවිතය නම් කිමැයි...


ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනු නිර්මාණය - රෝහණ වීරසිංහ

‘‘ පේ‍්‍රමයේ මහඟු අස්වැන්න නම් මෙය මැ වේ. මනුෂ්‍යත්වයෙන් ලොව පුබුදුවා ලූ උතුම් මිනිසුන් ගරුබුහුමනින් පුද දෙමු. අගයමු. ආදරය දී රැක ගනිමු.  එය අප සැමගේ වගකීමයි. යුතුකමයි. එය ස්වර්ගීය සැලසුම යි..’’

2015 ඔක්තෝම්බර්

එකට හිනාවෙන දවසක් ආවොතින් ඇතී...

Logo


හරි ලස්සන කහ පාටට
උදේ පිපුනු ගංසූරිය මල්
හැන්දෑ වෙන්න වෙන්න තද රතු වෙනවා
බමන මතින් ගෙට ඇදෙනා
අප්පච්චිගෙ රත ඇවිළෙන ඇස් දෙක සිහිවෙනවා....

සිදාදියේ ඉස්කෝලෙට යන්න  ඕන නෑ
අතට කරට මාල වළලූ නැතුවට කම් නෑ
අප්පච්චී හිනා වෙලා
හිතින් මැකී ගිය සෙනෙහස ගෙනාවොත් ඇතී...

උසුළු විසුළු යාළුවන්ගෙ හිත රිද්දනවා
හිතේ බයට පොතේ අකුරු අමතක වෙනවා
ගෙපැලේ ගිනි ඉවර වෙලා
එකට හිනාවෙන දවසක් ආවොතින් ඇතී...

ගී පද - සුගත් සෝමවීර
ගී තනු - සුනිල් දයානන්ද කෝනාර
ගී හඩ - දුලනි මදුමංජරී දිසානායක

‘‘ පාසල වෙත පා ඔසවන ළපටි පා පොඩිවලට පන්නරය දෙන්නට ආදරණීය අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආදරණීය පවුලක්, ආදරවන්ත ගුරු මෑණිවරු පියවරු හිඳිනා විදු පියසක්, ආදරය රැකවරණය ඇගයීම තුළ දරුවන් පුරවැසියන් කරන යහපත් සමාජයක්... අද දවසේ අපතින් ඉටු විය යුතු අතිශය වැදගත් කාර්යභාරය එයයි.‘‘  

බීරි අලින්ට කොතෙක් කල් නම් විණා වයන්නද?

Weeping Woman Statue at the Vimy Memorial
A. Vigneau


ඇගේ දෑසින් නොනවත්වා කඳුළු කැට කඩාහැලිණි. ඉකිබිඳුම නිසා ඒ හඬ වෙව්ලූම් ස්වරයෙන් සැලෙන්නට විය. නමුත් ඇය නොනවත්වා කතා කළාය. ඒ දමිල බසිනි. පරිවර්තක තැන තම වගකීමද අමතක වූවා සේ නිසොල්මන්ව සිටියේය. ඇය දිගින් දිගටම කතා කළාය. සභාවේ උන් බොහෝ දෙනෙකුට තම කතාව නොතේරෙන බව හෝ සිතන්නට ඇගේ ළය ඇවිලි දුක්ගින්න ඉඩක් නොදෙන බව වැටහිණි.

දෙමළ වී ඉපදීම නිසාම ඉපදුණු කඳුකර ගම්මානයෙන් පිටමං වී උතුරුකරයට නික්ම ගිය ළමා විය ගැන ද, නිමක් නැති පීඩාවන් දරනු නොහැකි තැන රටින් පිටවන්නට බෝට්ටු මගින් නික්ම ගිය මොහොතක මහ සයුර මැද නාවික හමුදාවේ වෙඩි වරුසාවකට මැදි වූ අයුරුද, නැගණිය ඇතුළු සමීපතමයන්ගේ මරණ දෑසින් දකිමින් දින ගණනාවක් මුහුදේ අතරමං ව සිටි අයුරුද ඇය පැවසුවාය. ඉක්බිතිව යුද සමයේ තවත් නෑ සියන් අහිමි වනු දෑසින් දුටු ඇය අතුරුදන් වූ සමීපතමයන් වෙනුවෙන් යුක්තිය අයදිමින් තවමත්  රට වටා ඇවිදින්නී ය. ඇගේ කතාවේ සිංහල පරිවර්තනය අකුරු කළ නොහැකි තරමටම වේදනාත්මක ය. කම්පනීය ය. සමහර විට එය සත්‍යයක් විය හැකි දැයි ඔබ සිතන්නට ද ඉඩ ඇත.

ඒ අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව සංවිධානය කළ වැඩසටහනකි. තවත් දෙමල අම්මා කෙනෙකුගේ කඳුළු දෙස සිර වූ ඉකිබිඳුමක් සමඟ බලා සිටින්නට මට සිදු විය. 2009 ට පසුත් ඉන්පෙරත් කොතෙක් නම් වාරයක් මා මෙලෙස හඬා වැටෙන දෙමල අම්මලාගේ කඳුළු දැක ඇත්ද? තෙත් වූ දෑසින්, සිර වූ ඉකියකින් ඔවුන්ගේ කතා අසා සිටියාද? මේ හොඳටම ප‍්‍රමාණවත් ය. කොතෙක් නම් කල් මේ ලෙස යුක්තිය සාධාරණය ඉල්ලි සිංහල සමාජය ඉදිරියේ දෙමළ අම්මලා හඬා වැටිය යුතු ද? අම්මා කෙනෙකුගේ කඳුළකට වටිනාකමක් දිය නොහැකි සමාජයක, ඒ දරු ස්නේහයට යුක්තිය ඉටු නොවන සමාජයක, ඒ හඬට ඇහුම්කන් නොදෙන සමාජයක බීරි අලින්ට විණා වයමින් අපි කොතෙක් කල් සාකච්ඡා සංවාද සම්මන්ත‍්‍රණ පවත්වමින් ඇවිද යා යුතු ද?

..............

බීබීසී ලෝක සේවයේ වාර්තාකාරිය ලෙස 2000 වසරේදී ශ‍්‍රී ලංකාවට පැමිණ සිව් වසරක් ලංකාවේ කටයුතු කළ ෆ‍්‍රාන්සස් හැරිසන්, එම සේවයෙන් ඉවත් වුව ද දිගින් දිගටම දෙමල ජනතාවගේ හිමිකම් වෙනුවෙන් මානුෂිකව මැදිහත් වෙමින් සිටින්නීය. ජේඞීඑස් වෙබ් අඩවිය ෆ‍්‍රාන්සස් හැරිසන් සමඟ කළ සාකච්ඡාවකදී ඇය කළ ප‍්‍රකාශයක් මසිත තදින්ම සනිටුහන් විය.

‘‘මට හමු  වූ දිවි ගළවාගත් ඇතැම් දෙමළ ජනයා ඒ තරම් සන්සුන්ව ඉන්නේ කොහොමද කියලා මට ඇත්තටම වැටහෙන්නේ නැහැ. ඔවුන් කිසිවිටක පළිගැනීම් ගැන කතා කරන්නේ නැහැ. එසේ කළ යුතු යැයි මම යෝජනා කරනවා නෙවෙයි, නමුත් ඔවුන් අත්විඳ තියෙන බිහිසුණු ඉරණම්වලට ඇහුම් කන් දුන්නාම මට හිතාගන්න බැහැ ඔවුන් එවැනි උපේක්ෂාවක් ඇති කරගත්තේ කොහොමද කියලා.

උදාහරණයක් විදියට දිගු කාලයක් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක්ව සිටීම නිසා යුද්ධයෙන් පසු අත් අඩංගුවට ගෙන දරුණු වද හිංසාවන්ට පාත‍්‍ර වූ අයෙක් මට පසුගිය සතියේ මුණ ගැහුණා. තමන් අත් විඳි ඉරණම ගැන මට දීර්ඝව පැහැදිලි කිරීමෙන් පස්සේ, සියළුම හමුදා සෙබළුන් අමානුෂික නැති බවත්, ඔහු හමුවුණු ඇතැම් දෙනෙක් මානුෂීයව තමන්ට සැළකූ බවත් ඔහු කියා සිටියා. ඔහු විඳපු වචනයෙන් කිව නොහැකි තරම් වන වධ හිංසා ගැන පැය කිහිපයක් තිස්සේ කළ කතාවට සවිස්තරාත්මකව ඇහුම් කන් දීමෙන් මානසික වෙහෙසට පත්ව සිටි මට ඔහුගේ උපේක්ෂා සහගත නිගමනය විස්මයක් ඇති කළා. ඒකට හේතුව, ඒ සියළු වධ හිංසාවන්වලින් පසුවත් මනුෂ්‍යත්වය ගැන ඇති විශ්වාසය පවත්වාගෙන යන්න ඔහුට තිබුණ හැකියාවයි. ඒ මගින් ඇත්තටම ඔහු කළේ තමන් තුළ වූ මනුෂ්‍යත්වය පවත්වාගෙන යාමයි. යුද්ධය නිමා වුණාට පස්සෙත්, බිහිසුණු වද හිංසා අත් වින්ද ඔහුට හොඳ සොල්දාදුවන් සහ නරක සොල්දාදුවන්  අතර වෙනස දකින්න හැකිව තිබුණා. අසීරුවෙන් පැහැදිලි කළ වද හිංසා ගැන විස්තරයෙන් පස්සේ, අවශ්‍ය නම් සියළුම සිංහල සෙබලූන් දුර්ජනයන් යැයි කීම ඔහුට පහසුවෙන්ම කළ හැකිව තිබූ දෙයක්. නමුත් ඒ වෙනුවට හොඳ සහ නරක අතර වෙනස ගැන අවබෝධයකින් කතා කිරීමට ඔහුට පුළුවන්කමක් තිබුණා.

ලංකාවේ අනාගතය ගැන මට බලාපොරොත්තු ඇති කරන්නේ මේ උපේක්ෂාවයි.‘‘

උපුටා ගැනීම - ජේඩීඑස් වෙබ් අඩවිය

ඇයගේ උපේක්ෂා සහගත සිතුවිල්ල සංහිඳීම පිළිබඳ අපේක්ෂා දල්වන අතරම, උපේක්ෂාවෙන් පමණක් මනුෂ්‍යත්වය උපදිනු ඇත් ද යන ගැටලූව මසිත පෙරළි කරයි. උතුරු දකුණු සිංහිඳියාව වෙනුවෙන් දේශපාලනික විසඳුමක් සඳහා පුරවැසි මැදිහත්වීම ද අත්‍යවශ්‍ය මොහොතකි මේ. කරුණාකර අපි අපේ පවුල්වලට, දූ දරුවන්ට, දේවස්ථාන සංඝයට, ගමට රටට කියමු, ජාති ආගම් භේදයෙන් තොරව ආදරයෙන් ජීවත්වීම ඉතාම වැදගත් බව.. ඒ වගේම ජාතිවාදය අවුලූවන්නට දිරිදෙන දේශපාලඥයන් දේශපාලන පොර පිටියෙන් පන්නා දැමිය යුතු බව...

2015 ජූලි


යුද්ධය නිසා වැන්දඹු වූ කාන්තාවන් අනූදාහක්


From BBC


ලෙච්චමී බලන් උන්නෙ පැලලි දොර දිහාමයි.. පුරුද්දට වගේ තාමත් හිතේ ගිනි පත්තු වෙනවා. පැලලි දොර පැද්දිලා ක‍්‍රීස් හඬක් නංවලා හෙමිහිට ඇරුණා. නමයටත් කිට්ටුයි. ලාම්පුවෙ මලානික දැල්ල යාම්තමට පැද්දි පැද්දි තිබුණා. පුංචි උන් තුන්දෙනා වකුටු වෙලා පැදුරෙ නිදි. හැන්දෑවෙ හදල දුන්න තේ කහට ඩිංගට යාම්තම් උන්ගෙ කන්කෙඳීරිය නැවතුණා. දවසටම උන්ට ලැබුණෙ ඒ තේ කහට ඩිංග විතරයි. 

‘‘අම්මා... ළමයි නිදි ද?’’ ලේලි කළ්‍යාණි නැන්දම්මාගෙ ඇස් මගෑරලා දරුවන් දිහා බැලූවා. 

‘‘බඩගිනි කිය කිය උන්නා. එහෙමම නින්ද ගියා..’’ ඒ විඩාබර මුහුණ දිහාම බලන් උන්නු ලෙච්චමීගෙ ඇස්වල කඳුළු පටලයක් පැටළුණා. 

රස්සාවටයි කිය කියා වෙලාවක් අවේලාවක් නැතිව එළියට බහින කළ්‍යාණි ගැන ලෙච්චමීගෙ පපු කුහරෙ මහා වේදනාවකුයි, බයකුයි නිරන්තරයෙන් ඇවිළි ඇවිළි තිබුණා.. යුද්ද කාලෙත්, යුද්දෙන් පස්සෙත් ගැහැණුන්ට විඳින්න වුණු අනන්තාප‍්‍රමාණ හිරිහැර ලෙච්චමී දෑහින්ම දැකල තිබුණා. 

‘‘පාන් ගෙනාවා. ඇහැරවල කන්න දෙමු. හෙට උදේට බත් ටිකක් උයල දෙන්න පුළුවන් වෙයි..’’ කළ්‍යාණි ඇස්වල නැගුණු කඳුළු හංගගෙන ලිප අවුළුවන්න හැරුණා. 

යුද්ධයෙන් අස්වාමික වුණු උතුරුකරේ අනූදාහක් විතර ගැහැනු  අතර වැඩි දෙනෙකුට උරුම වෙලා තිබුණෙ මේ වගේ ඉරණමක්... එක්කො කාට හරි අත පාලා ජීවත් වෙන්න. ඉඳහිට ලැබෙන කුලියක් මලියක් කරගෙන එදා වේල යාම්තමට හොයාගන්න. විකුණන්න කියල සන්තකයේ කිසිම දෙයක් නැති වුණාට පස්සේ කරකියා ගන්නම දෙයක් නැති තරුණ වැන්දඹු ගැහැණුන්ට සිද්දවුණා තමන්ගෙ ශරීරය විකුණන්න.. බලහත්කාරකම්වලින් තැලිලා පොඩිවෙලා සිදුරු වුණු ශරීර බොහොම අඩු ලංසුවකට වෙන්දේසි වෙද්දිත් දරුවො වෙනුවෙන්, එහෙම නැත්නම් දෙමව්පියො වෙනුවෙන් ඒ කඳුළු උහුලගන්න ඔවුන්ට සිද්ද වුණා...  

තමන්ගෙ එකම පුතා ෂෙල් වෙඩිල්ලකින් කීතු කීතු වෙලා ගියේ ලෙච්චමීගෙ ඇස් ඉස්සරහමයි. ලේලියි දරු තුන්දෙනයි තුරුල් කරගෙන කොහොම හරි පණ බේරගන්න ලෙච්චමීට පුළුවන් වුණා. ඒත් මොකටද අපි ඉතිරි වුණේ නොමැරී කියල හිතෙන්නෙ රාත්තිරියෙ තැලූණු, පොඩිවුණු, ලේ පිරුණු සරීර කූඩුව අත ගගා කළ්‍යාණි හොරැුහින්ම ඉකිබිඳින විදිය දකිද්දි... 

......................

යුද්ධය නිසා වැන්දඹු වූ ගැහැනුන් අනූදාහක් ජීවිතය ගැටගසා ගන්නට අප‍්‍රමාණ දුකක් විඳින රටක, පුතුන් අහිමි වූ මව්වරුන්, පියවරුන් අහිමි වූ දරුවන්, යුද්දය නිසා ආබාධිත වූවන් තවමත් දුක්ගිනි උහුළන රටක, ජාතිවාදයට උඩ ගෙඩි දෙන දේශපාලඥයන් සිටීම, ඔවුන්  බලයට ගේන්නට දත කන මිනිසුන් සිටීම කොතරම් අවසනාවක් ද?

මේ ගැහැනුන්ගේ, දරුවන්ගේ දුක්ඛදායී ඉරණමට ඔබත් මමත් වගකිව යුතු නැද්ද? 

2015 ඔක්තෝම්බර්