December 15, 2015
දුක් ගීයක් ලියනු මැනවි....
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි....
නන්නාඳුනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි
දුක් ගීයක් ලියනු මැනවි....
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී.....
පද රචනය - මහගම සේකර
සංගීතය හා ගායනය - ඩබ්.ඞී. අමරදේව
‘‘මරණයට ගෞරවයක් ලැබ දුන්, මළවුන් මහත් ආදරයෙන් සැමරූ, සුසානය වුව මහත් පේ‍්‍රම පුරාණයක මතක සැමරුමක් වූ දේශයක අපි ජීවත් වූයෙමු. පසුකලෙක ජීවිතයට වුව එබඳු වටිනාකමක් හිමි නොවීම කොතරම් සංවේගදායකද?‘‘
2015 නොවැම්බර් ( මළවුන්ගේ මාසය )
ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
දිවිය කැප කළ උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි...
ඉසුරු සුව රස පහස හැරදා
කටුක දුක රුපු ගැහැට වළඳා
සියල් සත වෙත වතල කුළුණින්
ලොව පහන් පියසක් කරන්නට
ජීවිතය පුද දුන් ඒ උතුම් මිනිසුන්...
පෙළෙන සිත් තුල නැගෙන සුසුමන්
දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල්
දැනී කම්පිත සිතින් නැගෙමින්
මිනිස් මහිමය හෙලි කරන්නට
ඥාණනය ලැබ දුන් ඒ උතුම් මිනිසුන්...
ජීවිතය නම් කිමැයි...
ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනු නිර්මාණය - රෝහණ වීරසිංහ
‘‘ පේ‍්‍රමයේ මහඟු අස්වැන්න නම් මෙය මැ වේ. මනුෂ්‍යත්වයෙන් ලොව පුබුදුවා ලූ උතුම් මිනිසුන් ගරුබුහුමනින් පුද දෙමු. අගයමු. ආදරය දී රැක ගනිමු. එය අප සැමගේ වගකීමයි. යුතුකමයි. එය ස්වර්ගීය සැලසුම යි..’’
2015 ඔක්තෝම්බර්
එකට හිනාවෙන දවසක් ආවොතින් ඇතී...
![]() |
හරි ලස්සන කහ පාටට
උදේ පිපුනු ගංසූරිය මල්
හැන්දෑ වෙන්න වෙන්න තද රතු වෙනවා
බමන මතින් ගෙට ඇදෙනා
අප්පච්චිගෙ රත ඇවිළෙන ඇස් දෙක සිහිවෙනවා....
සිදාදියේ ඉස්කෝලෙට යන්න ඕන නෑ
අතට කරට මාල වළලූ නැතුවට කම් නෑ
අප්පච්චී හිනා වෙලා
හිතින් මැකී ගිය සෙනෙහස ගෙනාවොත් ඇතී...
උසුළු විසුළු යාළුවන්ගෙ හිත රිද්දනවා
හිතේ බයට පොතේ අකුරු අමතක වෙනවා
ගෙපැලේ ගිනි ඉවර වෙලා
එකට හිනාවෙන දවසක් ආවොතින් ඇතී...
ගී පද - සුගත් සෝමවීර
ගී තනු - සුනිල් දයානන්ද කෝනාර
ගී හඩ - දුලනි මදුමංජරී දිසානායක
‘‘ පාසල වෙත පා ඔසවන ළපටි පා පොඩිවලට පන්නරය දෙන්නට ආදරණීය අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආදරණීය පවුලක්, ආදරවන්ත ගුරු මෑණිවරු පියවරු හිඳිනා විදු පියසක්, ආදරය රැකවරණය ඇගයීම තුළ දරුවන් පුරවැසියන් කරන යහපත් සමාජයක්... අද දවසේ අපතින් ඉටු විය යුතු අතිශය වැදගත් කාර්යභාරය එයයි.‘‘
බීරි අලින්ට කොතෙක් කල් නම් විණා වයන්නද?
![]() |
| Weeping Woman Statue at the Vimy Memorial A. Vigneau |
ඇගේ දෑසින් නොනවත්වා කඳුළු කැට
කඩාහැලිණි. ඉකිබිඳුම නිසා ඒ හඬ වෙව්ලූම් ස්වරයෙන් සැලෙන්නට විය. නමුත් ඇය නොනවත්වා
කතා කළාය. ඒ දමිල බසිනි. පරිවර්තක තැන තම වගකීමද අමතක වූවා සේ නිසොල්මන්ව සිටියේය.
ඇය දිගින් දිගටම කතා කළාය. සභාවේ උන් බොහෝ දෙනෙකුට තම කතාව නොතේරෙන බව හෝ සිතන්නට
ඇගේ ළය ඇවිලි දුක්ගින්න ඉඩක් නොදෙන බව වැටහිණි.
දෙමළ වී ඉපදීම නිසාම ඉපදුණු කඳුකර
ගම්මානයෙන් පිටමං වී උතුරුකරයට නික්ම ගිය ළමා විය ගැන ද, නිමක් නැති පීඩාවන් දරනු නොහැකි තැන රටින් පිටවන්නට බෝට්ටු මගින්
නික්ම ගිය මොහොතක මහ සයුර මැද නාවික හමුදාවේ වෙඩි වරුසාවකට මැදි වූ අයුරුද,
නැගණිය ඇතුළු සමීපතමයන්ගේ මරණ දෑසින් දකිමින්
දින ගණනාවක් මුහුදේ අතරමං ව සිටි අයුරුද ඇය පැවසුවාය. ඉක්බිතිව යුද සමයේ තවත් නෑ
සියන් අහිමි වනු දෑසින් දුටු ඇය අතුරුදන් වූ සමීපතමයන් වෙනුවෙන් යුක්තිය අයදිමින්
තවමත් රට වටා ඇවිදින්නී ය. ඇගේ කතාවේ
සිංහල පරිවර්තනය අකුරු කළ නොහැකි තරමටම වේදනාත්මක ය. කම්පනීය ය. සමහර විට එය සත්‍යයක්
විය හැකි දැයි ඔබ සිතන්නට ද ඉඩ ඇත.
ඒ අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව
සංවිධානය කළ වැඩසටහනකි. තවත් දෙමල අම්මා කෙනෙකුගේ කඳුළු දෙස සිර වූ ඉකිබිඳුමක් සමඟ
බලා සිටින්නට මට සිදු විය. 2009 ට පසුත් ඉන්පෙරත් කොතෙක් නම් වාරයක් මා මෙලෙස හඬා
වැටෙන දෙමල අම්මලාගේ කඳුළු දැක ඇත්ද? තෙත්
වූ දෑසින්, සිර වූ ඉකියකින් ඔවුන්ගේ කතා අසා
සිටියාද? මේ හොඳටම ප‍්‍රමාණවත් ය. කොතෙක් නම්
කල් මේ ලෙස යුක්තිය සාධාරණය ඉල්ලි සිංහල සමාජය ඉදිරියේ දෙමළ අම්මලා හඬා වැටිය යුතු
ද? අම්මා කෙනෙකුගේ කඳුළකට වටිනාකමක් දිය
නොහැකි සමාජයක, ඒ දරු ස්නේහයට යුක්තිය ඉටු නොවන සමාජයක,
ඒ හඬට ඇහුම්කන් නොදෙන සමාජයක බීරි අලින්ට විණා
වයමින් අපි කොතෙක් කල් සාකච්ඡා සංවාද සම්මන්ත‍්‍රණ පවත්වමින් ඇවිද යා යුතු ද?
..............
බීබීසී ලෝක සේවයේ වාර්තාකාරිය ලෙස 2000
වසරේදී ශ‍්‍රී ලංකාවට පැමිණ සිව් වසරක් ලංකාවේ කටයුතු කළ ෆ‍්‍රාන්සස් හැරිසන්,
එම සේවයෙන් ඉවත් වුව ද දිගින් දිගටම දෙමල
ජනතාවගේ හිමිකම් වෙනුවෙන් මානුෂිකව මැදිහත් වෙමින් සිටින්නීය. ජේඞීඑස් වෙබ් අඩවිය
ෆ‍්‍රාන්සස් හැරිසන් සමඟ කළ සාකච්ඡාවකදී ඇය කළ ප‍්‍රකාශයක් මසිත තදින්ම සනිටුහන්
විය.
‘‘මට හමු වූ දිවි ගළවාගත් ඇතැම් දෙමළ ජනයා ඒ තරම්
සන්සුන්ව ඉන්නේ කොහොමද කියලා මට ඇත්තටම වැටහෙන්නේ නැහැ. ඔවුන් කිසිවිටක පළිගැනීම්
ගැන කතා කරන්නේ නැහැ. එසේ කළ යුතු යැයි මම යෝජනා කරනවා නෙවෙයි, නමුත් ඔවුන් අත්විඳ තියෙන බිහිසුණු ඉරණම්වලට
ඇහුම් කන් දුන්නාම මට හිතාගන්න බැහැ ඔවුන් එවැනි උපේක්ෂාවක් ඇති කරගත්තේ කොහොමද
කියලා.
උදාහරණයක් විදියට දිගු කාලයක් එල්ටීටීඊ
සංවිධානයේ සාමාජිකයෙක්ව සිටීම නිසා යුද්ධයෙන් පසු අත් අඩංගුවට ගෙන දරුණු වද
හිංසාවන්ට පාත‍්‍ර වූ අයෙක් මට පසුගිය සතියේ මුණ ගැහුණා. තමන් අත් විඳි ඉරණම ගැන
මට දීර්ඝව පැහැදිලි කිරීමෙන් පස්සේ, සියළුම
හමුදා සෙබළුන් අමානුෂික නැති බවත්, ඔහු
හමුවුණු ඇතැම් දෙනෙක් මානුෂීයව තමන්ට සැළකූ බවත් ඔහු කියා සිටියා. ඔහු විඳපු
වචනයෙන් කිව නොහැකි තරම් වන වධ හිංසා ගැන පැය කිහිපයක් තිස්සේ කළ කතාවට
සවිස්තරාත්මකව ඇහුම් කන් දීමෙන් මානසික වෙහෙසට පත්ව සිටි මට ඔහුගේ උපේක්ෂා සහගත
නිගමනය විස්මයක් ඇති කළා. ඒකට හේතුව, ඒ
සියළු වධ හිංසාවන්වලින් පසුවත් මනුෂ්‍යත්වය ගැන ඇති විශ්වාසය පවත්වාගෙන යන්න ඔහුට
තිබුණ හැකියාවයි. ඒ මගින් ඇත්තටම ඔහු කළේ තමන් තුළ වූ මනුෂ්‍යත්වය පවත්වාගෙන
යාමයි. යුද්ධය නිමා වුණාට පස්සෙත්, බිහිසුණු
වද හිංසා අත් වින්ද ඔහුට හොඳ සොල්දාදුවන් සහ නරක සොල්දාදුවන් අතර වෙනස දකින්න හැකිව තිබුණා. අසීරුවෙන්
පැහැදිලි කළ වද හිංසා ගැන විස්තරයෙන් පස්සේ, අවශ්‍ය නම් සියළුම සිංහල සෙබලූන් දුර්ජනයන් යැයි කීම ඔහුට පහසුවෙන්ම
කළ හැකිව තිබූ දෙයක්. නමුත් ඒ වෙනුවට හොඳ සහ නරක අතර වෙනස ගැන අවබෝධයකින් කතා
කිරීමට ඔහුට පුළුවන්කමක් තිබුණා.
ලංකාවේ අනාගතය ගැන මට බලාපොරොත්තු ඇති
කරන්නේ මේ උපේක්ෂාවයි.‘‘
උපුටා ගැනීම - ජේඩීඑස් වෙබ් අඩවිය
ඇයගේ උපේක්ෂා සහගත සිතුවිල්ල සංහිඳීම
පිළිබඳ අපේක්ෂා දල්වන අතරම, උපේක්ෂාවෙන් පමණක් මනුෂ්‍යත්වය උපදිනු
ඇත් ද යන ගැටලූව මසිත පෙරළි කරයි. උතුරු දකුණු සිංහිඳියාව වෙනුවෙන් දේශපාලනික
විසඳුමක් සඳහා පුරවැසි මැදිහත්වීම ද අත්‍යවශ්‍ය මොහොතකි මේ. කරුණාකර අපි අපේ
පවුල්වලට, දූ දරුවන්ට, දේවස්ථාන සංඝයට, ගමට රටට කියමු, ජාති ආගම් භේදයෙන් තොරව ආදරයෙන් ජීවත්වීම ඉතාම
වැදගත් බව.. ඒ වගේම ජාතිවාදය අවුලූවන්නට දිරිදෙන දේශපාලඥයන් දේශපාලන පොර පිටියෙන්
පන්නා දැමිය යුතු බව...
2015 ජූලි
යුද්ධය නිසා වැන්දඹු වූ කාන්තාවන් අනූදාහක්
![]() |
| From BBC |
ලෙච්චමී බලන් උන්නෙ පැලලි දොර දිහාමයි.. පුරුද්දට වගේ තාමත් හිතේ ගිනි පත්තු වෙනවා. පැලලි දොර පැද්දිලා ක‍්‍රීස් හඬක් නංවලා හෙමිහිට ඇරුණා. නමයටත් කිට්ටුයි. ලාම්පුවෙ මලානික දැල්ල යාම්තමට පැද්දි පැද්දි තිබුණා. පුංචි උන් තුන්දෙනා වකුටු වෙලා පැදුරෙ නිදි. හැන්දෑවෙ හදල දුන්න තේ කහට ඩිංගට යාම්තම් උන්ගෙ කන්කෙඳීරිය නැවතුණා. දවසටම උන්ට ලැබුණෙ ඒ තේ කහට ඩිංග විතරයි.
‘‘අම්මා... ළමයි නිදි ද?’’ ලේලි කළ්‍යාණි නැන්දම්මාගෙ ඇස් මගෑරලා දරුවන් දිහා බැලූවා.
‘‘බඩගිනි කිය කිය උන්නා. එහෙමම නින්ද ගියා..’’ ඒ විඩාබර මුහුණ දිහාම බලන් උන්නු ලෙච්චමීගෙ ඇස්වල කඳුළු පටලයක් පැටළුණා.
රස්සාවටයි කිය කියා වෙලාවක් අවේලාවක් නැතිව එළියට බහින කළ්‍යාණි ගැන ලෙච්චමීගෙ පපු කුහරෙ මහා වේදනාවකුයි, බයකුයි නිරන්තරයෙන් ඇවිළි ඇවිළි තිබුණා.. යුද්ද කාලෙත්, යුද්දෙන් පස්සෙත් ගැහැණුන්ට විඳින්න වුණු අනන්තාප‍්‍රමාණ හිරිහැර ලෙච්චමී දෑහින්ම දැකල තිබුණා.
‘‘පාන් ගෙනාවා. ඇහැරවල කන්න දෙමු. හෙට උදේට බත් ටිකක් උයල දෙන්න පුළුවන් වෙයි..’’ කළ්‍යාණි ඇස්වල නැගුණු කඳුළු හංගගෙන ලිප අවුළුවන්න හැරුණා.
යුද්ධයෙන් අස්වාමික වුණු උතුරුකරේ අනූදාහක් විතර ගැහැනු අතර වැඩි දෙනෙකුට උරුම වෙලා තිබුණෙ මේ වගේ ඉරණමක්... එක්කො කාට හරි අත පාලා ජීවත් වෙන්න. ඉඳහිට ලැබෙන කුලියක් මලියක් කරගෙන එදා වේල යාම්තමට හොයාගන්න. විකුණන්න කියල සන්තකයේ කිසිම දෙයක් නැති වුණාට පස්සේ කරකියා ගන්නම දෙයක් නැති තරුණ වැන්දඹු ගැහැණුන්ට සිද්දවුණා තමන්ගෙ ශරීරය විකුණන්න.. බලහත්කාරකම්වලින් තැලිලා පොඩිවෙලා සිදුරු වුණු ශරීර බොහොම අඩු ලංසුවකට වෙන්දේසි වෙද්දිත් දරුවො වෙනුවෙන්, එහෙම නැත්නම් දෙමව්පියො වෙනුවෙන් ඒ කඳුළු උහුලගන්න ඔවුන්ට සිද්ද වුණා...
තමන්ගෙ එකම පුතා ෂෙල් වෙඩිල්ලකින් කීතු කීතු වෙලා ගියේ ලෙච්චමීගෙ ඇස් ඉස්සරහමයි. ලේලියි දරු තුන්දෙනයි තුරුල් කරගෙන කොහොම හරි පණ බේරගන්න ලෙච්චමීට පුළුවන් වුණා. ඒත් මොකටද අපි ඉතිරි වුණේ නොමැරී කියල හිතෙන්නෙ රාත්තිරියෙ තැලූණු, පොඩිවුණු, ලේ පිරුණු සරීර කූඩුව අත ගගා කළ්‍යාණි හොරැුහින්ම ඉකිබිඳින විදිය දකිද්දි...
......................
යුද්ධය නිසා වැන්දඹු වූ ගැහැනුන් අනූදාහක් ජීවිතය ගැටගසා ගන්නට අප‍්‍රමාණ දුකක් විඳින රටක, පුතුන් අහිමි වූ මව්වරුන්, පියවරුන් අහිමි වූ දරුවන්, යුද්දය නිසා ආබාධිත වූවන් තවමත් දුක්ගිනි උහුළන රටක, ජාතිවාදයට උඩ ගෙඩි දෙන දේශපාලඥයන් සිටීම, ඔවුන් බලයට ගේන්නට දත කන මිනිසුන් සිටීම කොතරම් අවසනාවක් ද?
මේ ගැහැනුන්ගේ, දරුවන්ගේ දුක්ඛදායී ඉරණමට ඔබත් මමත් වගකිව යුතු නැද්ද?
2015 ඔක්තෝම්බර්
January 11, 2015
‘‘අනිත් කොන” අරන් එන උතුරුකර ඛේදාන්ත
![]() |
| by Katie m. Berggren |
‘‘... රංගම්මා 42 හැවිරිදි වියේ පසු වේ. කළින් දරුවන් හත් දෙනෙකු ලැබී ඇත.
‘‘පවුල් සැලසුම් ක‍්‍රමයක් ගැන දන්නෙම නැද්ද අම්මා.. බලන්න ඔයාගෙ වයස, ඔයාගෙ හිමොග්ලොබින් හොඳටම අඩුයි.” ඒ වෙලාවට නම් එන්නේ කේන්තියකි.
‘‘ළමයි හත්දෙනෙක් ලැබුණට නෝනා දැන් ඉන්නෙ එක ළමයයි.”
‘‘ඇයි ඉතිරි ළමයින්ට මොකද වුණේ”
‘‘හතර දෙනෙක් යුද්දෙදි නැතිවුණා. දෙන්නෙක් සුනාමිවලින් නැති වුණා.”
ඇස්වලින් කඳුලූ කැට කම්මුල් දිගේ බේරෙද්දී ඈ පවසයි....’’
‘අනිත් කොන‘ කෘතිය 21 පිටුව
පොත කියවන් යද්දි මහා කම්පනයක් හිතට දැණුනු අතිසංවේදී සිදුවීමක් මේ. මෙවන් අම්මාවරු කීදෙනෙක් නම් උතුරුකරයේ වෙසෙනවාද? අවම වශයෙන් තම දරුවන්ට සිදුවූ දෙයක් දැනගන්නට නොහැකිව, තම අහිමි වූ දරුවන් වෙනුවෙන් පහනක් දල්වන්නවත් ඉඩක් නැතිව ඒ හිත්වල මොන දුක් ගින්දරක් ඇවිළෙනවා ඇද්ද?
වෛද්‍ය බෝධිනී ආර් සමරතුංග සොයුරිය උතුරුකරයේ වෛද්‍ය සේවයේ සිය අත්දැකීම් තුළින් ලියන ලද අනිත් කොන කෘතිය පශ්චාත් යුද සමයේ උතුරුකරයේ මිනිසුන් මුහුණ දෙන අප‍්‍රමාණ දුක් වේදනා, ගැටලූ අතරින් අල්පයක් අප වෙත අරන් එනවා. බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගැනීම වළක්වා ගන්නට ළමා වියේදීම විවාහ කර දුන් ළමා මව්වරු, අලූත උපන් දරුවාට අන්දන්න ඇඳුමක් පවා නැතිව ළතවෙන මව්වරු, යුද්දය නිසා තම සමීපතමයන් අහිමිව තනි වූවන්, මානසික රෝගවලට ලක්වූවන්, වකුගඩු රෝගීන්, දරිද්‍රතාව විසින් රෝගී බවට පත්කළ වුන් , විවිධාකාර ප‍්‍රශ්න නිසා සියදිවි නසාගන්නවුන් මේ කෘතිය පුරාම අපට හමුවෙනවා.
ඒ ඇත්ත ජීවිත කතා හරිම අනුවේදනීයයි. උතුරු සන්තානයන්හි ඇවිළෙන ගින්දර තරමක් හෝ තේරුම් ගන්න මේ පොතත් යම් උපකාරයක් වේවි දකුණට...
වෛද්‍යවරියක් ලෙස දුෂ්කර සේවා අත්දැකීමට ඉතා කැමැත්තෙන් මුහුණ දෙමින්, දෙමළ භාෂාව ඉගෙනගනිමින් දෙමල ජනතාවගේ හදවත්වලට සමීප වෙමින් ඇය සිය මෙහෙවර ඉටු කරන ආකාරයත් ප‍්‍රශංසනීයයි. ඇත්තෙන්ම උතුරු දකුණු හදවත් යා කරන්න එවැනි කැපවීමක්, ආදරයක්, ඉවසීමක් අවශ්‍යයි. මුදල් පසුපසම ලූහුබඳිමින් වෛද්‍ය වෘත්තියේ ගරුත්වය කෙලෙසී ඇති මෙවන් යුගයක උතුරු කොන වෛද්‍යවරුන්ගේ කැපවීම අගය කළ යුතුයි.
යුද ජයග‍්‍රහණය සමඟ උතුරට වසන්තය කැන්දමින් නව යුගයක අරුණළු නැග එන බව කතුවරිය සිය පෙරවදනේ සඳහන් කළත්, එය තවමත් අත පොවන මානයේ නොවන සිහිනයක් බව පැහැදිලියි. බෝධිනී සොයුරියගේ ඒ පෞද්ගලික මතය හා එකඟ විය නොහැකි වුවත් ඇය අප හා බෙදා ගන්නා මානව ජීවිත සටහන් ගොන්න සමග ගලා එන මනුෂ්‍යත්වයේ කතන්දරයට මං කැමතියි. උතුරු මිතුරු පෑහීමට ඇය දැරූ තැත උතුම්...
2015 ජනවාරි
November 16, 2014
අනාථ කවියකු සඳට කී කව
සිත අවුළුවා ලූ කවියකි. ඇස උණන සීතල කඳුලකි.
වරදකාරී හැඟුමකින් හදවත රිදුම් දේ.
නිලාර් එම් කාසිම් සිංහල බසට නඟන ලද ‘සහෝදර පියාපත්’ කාව්‍ය එකතුවේ
එන සෝලෙයික්කිලි කවියාගේ අතිශය සංවේදී කවියකි මේ. අනාථ කවියා අමතන්නේ සඳට යි.
නමුත් ඒ ඇමතුම මනුෂ්‍යත්වය අවදි කරනු පිණිස අපේ හදවත් ස්පර්ශ කරනු නිසැකයි.
ස්වකීයයන් අහිමි වීම, තම ගම්බිම්
අහිමි වීම, ජීවන මාර්ග
අහිමි වීම, සැකයේ
අවිශ්වාසයේ, පීඩනයේ ගොදුරු
බවට පත්වීම, තමන්ගේම
භූමියේ අවතැන් වීම අනාථ වීම, අන්‍ය බිමකට පිටුවහල් වීම අප අරුත් ගන්වන්නේ
කෙසේද? එය අපට
ආගන්තුක අත්දැකීමක් විය හැකිය. එනිසාම එහි බරපතළකම අපට නොදැනෙනු විය හැකිය.
මේ කවිය ඉවසිල්ලේ, නැවතිල්ලේ
කියවා බලන්න. ඒ වචනවලට ඔබේ ආත්මයට කතා කිරීමට ඉඩහරින්න. උතුරුකරයේ සීත සුළඟ දැවී
ගියේ එක් කවියකුගේ සුසුමකින් පමණක් ම නොවේ. ඒ සුසුම් ගින්දරට නිවීමක් තවමත් පේන
මානයේ නොවේ.
බල අරගල නිසා ලොව පුරා අවතැන් වන සුවහසක්
මිනිසුන්ගේ ආත්මීය විලාපය මේ කව් පද අතර අපට හමුනොවන්නේද?
සඳ සකිය ඉදින් අද ගීයකුදු නොලියමි
තාවකාලික ගෙයක
මටම යැයි අයිති වූ සාලයක්වත් නොමැත
සිතූ සේ මලක් සිඳ
මල් සුවඳ විඳගන්න
උරුම වූ ගසක් නැත....
නුඹ පවා මට ආගන්තුකය අද,
සකිසඳ
මගේ දොරකඩ වැටෙන
නුඹෙ එළිය මෙන් නොවේ....
මෙබඳු ආගන්තුක ගෙයක
දොරකඩක වැටෙන මේ එළිය....
නුඹේම එළි දෙබිඩියැයි මට සිතෙයා..
නපුරු සිතුවිලිවලින්
මසිත දූෂණය වෙයි..
තුන් දොහක සිට ම මා අනාථයි
මේ කටුක දිවිමඟත්
එහි උනන කවි ගඟත්
සුරැක ජය ලැබූවෙමි...
මගේ ගෙය දුටු එවුන් පවසන්නෙ
එහි මුහුණු පහුරු ගා බිඳ දමා ඇති බවයි...
ආදරෙන් හැදු වැඩු මල් පැළත්
ගවයන්ගෙ බඩවැලේ රැඳී කැලතී පසුව
පහවෙලා ගිය වගයි....
මෙහි උරුම වූ අහසක් නොමැත..
උරා බොන සුළඟ වුව
අනුන්ගේ වස්තුවක් මෙන් දැනෙයි
කොහොම මා ලියන්නද ගීතයක්
තරු අනූදාහකුත්, නුඹත්, අහසත්
අහිමි වූ විටෙක මට....?
මගේ සමනළ රැළ ද
ඇඳ ඉහත්තාවේ හූනන්ද
අහිමි වූ විටෙක ?
වළාකුල රැගෙන නුඹ වසාගනු මැනව
මුළු මුව ම..
කවියෙකුගෙ සුසුමකින්
සීත සුළඟත් දැවී යනු ඇත....
Subscribe to:
Posts (Atom)






