June 23, 2014

මගේ පුතා දිනුම්.........


 
සුරංගනා ලෝකෙ සිඟිති සුරංගනාවියො මහ ගොඩක් ඉන්නවා. එයාලගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි දරුවන්ව රැක බලාගන්න එක. එයාලව සතුටින් තියන එක... ඒ එක් සිඟිති සුරංගනාවියකගෙ දිනපොතේ  සටහන් අතරින් තමයි මම මේ කතා ඔයාලට අරන් එන්නෙ....

මගේ පුතා දිනුම්.........

ජාරක කියන්නෙ සුන්දරම හිනාවක් තියෙන, නිර්මල ම හදවතක් තියෙන අතිශය ප්‍රියමනාප සුවිශේෂ දරුවෙක්. ඇත්තටම කියනවනම් සුන්දර ගැටවරයෙක්.  විශේෂ අධ්‍යාපනය ලබන බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියලයි ජාරක පුතාගෙ තාත්තා එයාගේ බ්ලොග් ලිපියක සඳහන් කළේ. ‘‘මගේ පුතා දිනුම් කියන ඒ ලිපිය නෙත කඳුළු නංවන සංවේදී සටහනක්. ඒ ලිපිය පුරාම ජාරක පුතාගෙ මානුෂික හදවත විහිදිලා විසිරිලා තියෙනවා. පුතාගෙ ඡායාරූපය දකින කිසි කෙනෙක් නම් හිතන එකක් නැති වෙයි එයා බුද්ධිමය ඌනතා සහිත දරුවෙක් කියල.

මේ ලිපිය දුටුව දරුවන්ට ගොඩක් ආදරය කරන එක නැන්දා කෙනෙකුට හිතුණා ජාරක පුතාට කතා කරන්න. ඒ නැන්දාගෙ නම තරූ. ඉතින් එයා ජාරක පුතාගෙ දුරකථන අංකය හොයාගෙන එයාට කතා කළා. සුන්දර ගැටවරයෙක් වුණ පුතාගෙ කටහඬ නම් තවම පුංචි ළමයෙක් ගානයි. එයා බොහොම සතුටින් නැන්දත් එක්ක කතා කළා. එයා බලන ටීවී වැඩසටහන්, එයා ක්‍රීඩා තරඟවලින් ජය ගත්ත හැටි හරිම උනන්දුවෙන් විස්තර කළේ. හිටි ගමන් දුරකථනය තාත්තා අතට දීලා දිව්වා. ඉතින් නැන්ද හිතුවෙ පුතා වැඩිය කතා කරන්න කැමති නැහැ කියලයි.
නැන්ද එක්ක කතා කරන්න කැමැත්තෙන් උන්නු ජාරකගෙ නංගි එක්කත් එයා කතා කලා. නංගි කවෝදි හතර වසරෙ. එයා බොහොම දක්ෂ කටකාර දුවණියක්...

පස්සෙ දවසක තමයි තරූ නැන්දා දැන ගත්තෙ එයාලගෙ මිනිත්තු කිහිපයක කතා බහට ජාරක පුතා කොයි තරම් වැදගත්කමක් එකතු කරලද කියල.

ජාරක පුතාගෙ තාත්තා මාධ්‍යවේදියෙක්. ඒ වගේම නාට්‍ය ශිල්පියෙක්. වැලිකඩ බන්ධනාගාරෙ රැඳවියන් එක්කත් එයා වැඩ කරනවා. ඒ ගමන්වලට තාත්තා එක්ක පුතත් එකතු වෙනවා. මේ වතාවෙ බන්ධනාගාරෙ යාළුවො හැමෝම එක්ක එයා කතා කළේ මාමා කෙනෙක් එයා ගැන මූණුපොතේ ලියා තිබුණු සටහනත්, තරු නැන්දත් එක්ක කළ දුරකථන සංවාදයත් ගැනලු.  දැන් නාට්‍ය කණ්ඩායමේ සෑම රැඳවියෙක්ම තරු නැන්දා ගැනත් දන්නවාලු. ඒ ගැන ජාරක පුතාගෙ තාත්තා ලියා තිබුණ මේ සටහන දැකල තරු නැන්දගෙ ඇස්වලට කඳුළුත් පිරුණා.

‘‘තරු මාවත් දැක නැත්තේය. එහෙත් දැන් පුතා ඇයවත් දැක ඇත. දුරකතනය ඔස්සේ පැමිණි ඒ හඬ බොහෝ ලස්සන කර කරුණු දැක්වීම ඔහුගේ සෙනෙහේ ස්වභාවය ය.

ජාරකගෙ තාත්තා ‘‘මගේ පුතා දිනුම් ලිපිය අවසන් කර තිබුණේ මෙහෙමයි.

‘‘.. ඔහු‍ විශේෂ ළමයෙක් බව දැනෙන්නේ මේ හැසිරීම් තුළ ය. නැතිනම් පෙණුමට ඔහු අපූරු කොලු ගැටයෙක් පමණය.ඉදිරි අභියෝගය ඔහු යමක් කියවන්නට ලියන්නට හැකි තරමට කෙසේ හෝ දියුණු කිරීමය. දැනට ද ඔහු මිනිසුන් ඇසුරේ ප්‍රියමනාප වීමේ කඩ ඉම ජයගෙන ඇත. ඒ නිසා අනතුරුව ඔහුට ජීවිතය ජය ගැනීමට පහසු වනු ඇත. අමාරුම මිනිසුන් දිනා ගැනීමය. ඒ සදහා වූ ආකර්ශනය පෙණුමේ පමණක් නොව ඇවතුම් පැවතුම් වල ද,හදවතේ තෙතමනය තුළ ද, තිබෙන බව සහතිකය.

ඒ නිසාම මගේ පුතා දිණුම් ..

දරුවන්ගේ දිනුම් මනින දෙමව්පියන්ගේ මිම්ම ආත්මාර්ථයෙන්, මාන්නයෙන්, තණ්හාවෙන් පිරුණු ලෝකයක මෙවැනි මානුෂීය දහමක පිහිටා දරුවන් ගැන සිතන්නට හැකි නම් කොතරම් අපූරුද?  හැම දරුවෙකුටම මෙවැනි ආදරවන්ත මව්පියන්, වැඩිහිටියන් හමුවන්නේ නම් ලෝකය කොතරම් දයාවෙන් පිරුණු සුන්දර තැනක් වේවිද ?

සිඟිති සුරංගනාවි දින පොතේ සටහන නිමා කර තිබුණේ එහෙමයි...
 
2014 ජූලි

June 6, 2014

සිඟිති සුරංගනාවි ටියුෂන් පන්ති ගිහින්...



 
By Franck Kocian Morris

සුරංගනාවියක්ගෙ ජීවිතේ හරිම ප‍්‍රීතිමත් සුන්දර එකක් කියලයි හැමෝම හිතන් ඉන්නෙ. එක අතකින් ඒ කතාව ඇත්ත. සුරංගනා ලෝකෙ පිරිල තියෙන්නෙ ආදරයෙන්.. සාමයෙන්... සතුටින්.. නිදහසින්... ඒත් සුරංගනාවියන්ට උණත් දුක හිතෙන වෙලාවල් තියෙනවා. වැඩියක්ම මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් දැක්කම... විශේෂයෙන්ම පුංචි ළමයින්ව බලා ගන්න සිඟිති සුරංගනාවියන්ට නම් හිත් තැවුල් බොහොමයි. පුංචි පැංචන්ගෙ රිදෙන බිඳෙන හිත් දැක්කම..  

සිඟිති සුරංගනාවි ටියුෂන් පන්ති ගියේ සුරංගනා ලෝකෙ ශිෂ්‍යත්ව විභාගෙ තියෙන හින්ද නම් නෙවෙයි ඔන්න. එයාට බලා ගන්න නියමිත පුංචි දරුවෙක්වත් හැම සෙනසුරාදා පාන්දරකම එයාගෙ අම්මා ටියුෂන් පන්තියකට ඇදන් යනව දැකල සුරංගනාවිටත් හිතුණා ගිහින් බලන්න. අඩු තරමෙ සෙනසුරාදවත් ටිකක් නිදහසේ ඉන්න පුංචි දරුවන්ට ඉඩක් නැත්තෙ ඇයි? අම්මල තාත්තල මේ හැටිම පන්ති පස්සෙ පන්නන්නෙ ඇයි? සුරංගනා ලෝකෙ අයට හරි ප‍්‍රහේළිකාවක්. 

මේ තරෙඟ කොයි තරං දරුණුද කියල සුරංගනාවිට හරියටම දැණුනෙ ටියුෂන් පන්තිය පැත්තෙ ගියාම. පන්තියේ ඉස්සරහින්ම දරුවව වාඩි කරවන්න  ඕන නිසා අම්මල මහ පාන්දර, සීතලේ ගැහි ගැහී නිදිමත බේරෙන පැංචන්ව බලෙන්ම පන්තියට ඇදන් එනවා. ඒ මදිවට කෑම පෙට්ටි පුරවල කඩචෝරු. අධ්‍යාපන තරෙඟට මැදි වෙලා ඉන්න අම්මලට කොහෙන්ද වෙලාවක් ගෙදරදිම පෝෂ්‍යදායක කෑම වේලක් හදල ළමයින්ට දෙන්න. මේ විදියට ගියොත් නම් අධිවේගී පාරවල්, වරායවල්, ඓශ්චර්යමත් ස්මාරක නෙවෙයි ලංකාව පුරාම පිලිකා රෝහල් හදන්න වේවි. 

පන්තිය ඇතුළට ගියාම සුරංගනාවිට පුදුමෙනුත් පුදුමයි. මෙන්න අම්ම කෙනෙකුත් වාඩි වෙලා ඉගෙන ගන්නවා. අම්මටත් ශිෂ්‍යත්ව විභාගෙද? ඒ අම්මා ගුරුවරයා කියන හැමදේම ලියා ගන්නවා. ඒ මදිවට මෙන්න අනිත් දරුවන්ට දුන්න ප‍්‍රශ්න පත්තරයකටත් අම්මා උත්තර ලියනවා. ඇයි මේ? සුරංගනාවිට කතන්දරේ තේරුණේ ගුරු කාමරේ කතා බහකින්.

‘‘ මේ අම්මලට පිස්සුද මන්ද.. උණ ගැණුනු ළමයව ගෙදර දාලා ඇවිදින් මෙතන ඉගෙන ගන්නවා. මොන අම්මටද පුළුවන් අසනීප දරුවෙක්ව තනි කරල දාල එන්න... ලෙඩක් හැදුණම අම්ම ළඟ ඉන්න  ඕන නේද? ’’ 

ඒ විතරක් නම් මදෑ. පුංචි දැරිවියක් වෙව්ලනවා. ඇස්වලින් කඳුළු බේරෙනවා. තදටම උණ. අම්ම පන්තියට ඇරලවල යන්නත් ගිහින්. අසනීප තියාගෙන දරුවෙක් ඉගෙන ගන්නෙ කොහොමද? ගුරුවරයට හොඳටම කේන්ති මේ අම්මලගෙ මෝඩ වැඩ ගැන. ගුරුවරයා අම්මට කතා කළා දුරකථනයෙන්. දරුවව ඇවිත් එක්කරගෙන යන්න කිව්වෙ ටිකක් තදින්. 

අම්මා කියන වචනය ඇතුළෙ විශ්වයේම ආදරය තියෙනවා. දරුවන්ට අම්මා කෙනෙක් තරම් ළඟ වෙන කවුරුත් නැහැ. දරුවන්ගෙ හිත් තේරුම් ගන්න පුළුවන් හොඳම කෙනා අම්මා. එහෙමයි සුරංගනාවිය දැනගෙන හිටියෙ. සුරංගනා ලෝකයේ අයත් අම්මා ගැන කියන්නෙ එහෙමයි. ඒත් මේ අධ්‍යාපන තර‍ෙඟෙ ඇතුළෙ ඒ උත්තම මව්පිය ගුණත් වියැකිලා ගිහින්. 

ළමා කාලෙ ජීවිතේ ලස්සනම කාලෙ. ඉගෙන ගන්නත්  ඕන තමයි. ඒත් ඉගෙනීම කියන්නෙ විභාග සහතික ගොඩගහගන්න එකම නෙවෙයිනෙ. ළමා කාලෙ ලැබෙන ආදරය, ඇගයීම, නිදහස, ගුණධර්ම එක්ක තමයි ජීවිතේ ගොඩ නැගෙන්නෙ.. දුවල පැනල සෙල්ලම් කරන්න, අම්මල තාත්තල එක්ක ආදරෙන් හුරතලෙන් ඉන්න, සැහැල්ලූවෙන් සමනල්ලූ වගේ ඉන්න ළමයින්ට ලැබෙන්න  ඕනනෙ. ඒත් මේ යන විදියට නම් අසහනයෙන්, පීඩනයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් පිරුණු අනාගත පරපුරක් බිහි වෙයි කියලයි සිඟිති සුරංගනාවිට නම් හිතෙන්නෙ.

June 3, 2014

ගිලන් වූ සිඟිති වතක මැවුණි සොඳුරු සිනා


 

 සිඟිති සුරංගනාවි හරිම කාර්යබහුලයි. එයාට බලාගන්න ගොඩක් ළමයි ඉන්න නිසා නෙවෙයි. ළමයි හරිම ආදරෙන්, සැලකිල්ලෙන් රැක බලාගන්න  ඕන නිසා. ළමයින්ට සිද්ධ වෙන අලකලංචිත් බොහොම වැඩි නිසා. ඔයාලට මතක ඇති ගිය වතාවෙ මං ලිව්වෙ පුංචි සාරා ගැන. අද මං ලියන්න යන්නෙ සිඟිති සුරංගනාවිගෙ දිනපොතේ පිටු කීපයක්ම වෙන්වෙලා තියෙන සාරාගෙ අක්ක ගැන...

සාරාගෙ අක්කගෙ නම හෂිනි නිෂාධි... සාරාගෙ නම හෂිනි නිෂාධි සාරා.. දැන් ඔයාල හිතයි ඇයි අක්කගෙ නම ම නංගිටත් දාල තියෙන්නෙ කියල. ඒක හරිම දුක හිතෙන කතාවක්.

හෂිනි ඒ කියන්නෙ සාරාගෙ අක්කා අවුරුදු නවය වෙද්දි අසනීප වෙන්න ගත්තා. වෛද්‍යවරු කිව්වෙ මොලේ ගෙඩියක් කියල. ඔපරේෂන් එකක් කරන්නත් බැරි සියුම් තැනකලූ ගෙඩිය පිහිටල තියෙන්නෙ. හෂිනිගෙ අම්මයි තාත්තයි ලංකාවෙ ඉන්න හොඳම වෛද්‍යවරුන්ට ඇයව පෙන්නුවා. ඉන්දියාවෙත් අරන් ගියා. ඒත් අවුරුදු දහය පිරෙන්නත් කළින් 2007 අවුරුද්දෙ බක් මාසෙ හෂිනි සදහටම මේ ලෝකෙන් සමුගත්තා. ගෙදර හිටි එකම දියණිය අහිමි වුණාට පස්සෙ අම්මයි, තාත්තයි තීරණය කළා ආයෙම පුංචි දුවෙකුට උපත දෙන්න. ඒ තමයි සාරා... සාරාට අක්කගෙ නම උරුම වුණේ අහිමි වුණ අක්ක ගැන මතකය හැමදාම ජීවත් වෙන්නයි... සාරාට අවුරුද්දක් පිරෙන්නත් කළින් ඇගේ තාත්තා ජීවිතය හැර ගියා.  ජීවිතය තණ අග පිනි බින්දුවක් වගේ කියල කියන්නෙ ඒ නිසානෙ...

මට කියන්න  ඕන කතාව වෙනස් එකක්.
ඔන්න හෂිනි අසනීපෙන් ඉද්දි වැඩිපුරම හිටියෙ කොළඹ ඉස්පිරිතාලෙ. සාරාගෙ මංඥම්මා වැඩ කරන්නෙත් කොළඹනෙ. ඉතින් ඇයත් ගියා නිෂාධිව බලන්න. යන්න කළින් ඇය දහඅතේ කල්පනා කළා. මොනවද ඇයට ගෙනියන්නෙ කියල. එයාට කිසිදේකින් අඩුවක් නැහැ. හෂිනිව සතුටින් තියන්න පුලූවන්, කවුරුත්ම ගෙනියන්නෙ නැති දෙයක් ගැනයි ඈ කල්පනා කළේ. ඒ වෙලාවෙ තමයි ඇයට කතන්දර පොත් මතක් වුණේ. ඉතින් මංඥම්මා ලස්සන පින්තූර තියෙන කතන්දර පොත් කිහිපයක් තමයි මුල්ම දවසෙ අරන් ගියේ....

පොත් අරන් ගියා විතරක් නෙවෙයි. හෂිනිට අහන් ඉන්න රස කර කර කතන්දර කියෙව්වා. ඇය ඒ වැඬේට කොයි තරම් ආස වුණාද කියනවනම් ඉන්පස්සෙ  ඇගේ අම්මටත් බේරිල්ලක් නැති වුනා. නිතරම කතන්දර කියවන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි ඇයගේ රෝහල් කාමරය පිරෙන්න කතන්දර පොත් ලැබෙන්න ගත්තා. පුංචි හෂිනි ඇගේ ජීවිතේ අවසන් කාලෙ ඒ කතන්දරත් එක්ක සතුටින් ජීවත් වුණා.

කොයි තරම් බෙහෙත් බොන්න වුණත්, බෙහෙත් විද්දත් ඇය ඒව ගණන් ගත්තෙ නැහැ. රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ඇගේ අවසන් මොහොතෙදි පවා කතන්දර පොත් ගෙනත් දුන්න මංඥම්මව ඇය ඇඳුන ගත්තා. ඇගේ ඇස් විසල් වුණා. අතක් හෙලවුණා. එයින් පැය කිහිපයකට පස්සෙ ඇය සදහටම මෙලොවින් සමුගත්තා.

හෂිනි දූගෙ ජීවිතේ දුෂ්කරම කාලෙ ළඟින් උන්නු නිසාත්, ඇයව සතුටින් තියන්න මහන්සි වුණ නිසාත් තමයි සාරාගෙ තාත්තා හිතුවෙ ඇයගෙ මංඥම්මා වෙන්න චූටි මිමීගෙ මම්මා හොඳයි කියල...

දැන් ඉතින් ඒ කතන්දර පොත් ගොන්නෙ හිමිකාරි පුංචි සාරා.

‘‘දරුවන්ව සතුටින් තියන්න නම් දරුවන්ගෙ හිත් කියවන්න පුලූවන් වෙන්න  ඕන. එහෙම වෙන්න නම් අපේ හිතත් දරුවෙකුගෙ හිතක් වගේ සැහැල්ලූ වෙන්න  ඕන. නිර්මල වෙන්න  ඕන. දරුවෙකුට වැඩියෙන්ම  ඕන කරන්නෙ මොනවද කියල හිතන්න පුලූවන් වෙන්නෙ අපිත් දරුවෙකුගෙ මට්ටමට බැහැල කල්පනා කළාම විතරයි..‍

ඒ වගේම දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න ඕන වෙන්නෙ මුදල් කන්දරාවක්, යසඉසුරු සම්භාරයක් නෙවෙයි.. ආදරයෙන් ඒ පුංචි හිත් තේරුම් අරන් අපි කරන පුංචි පුංචි දේවල් දරුවන්ට ජීවත් වීම අති සුන්දර අත්දැකීමක් බවට පත් කරාවි...

සිඟිති සුරංගනාවි ඇගේ දිනපොතේ එහෙම ලියල තියෙනවා...   

2014 ජූනි

 

 

 

May 11, 2014

සිත් යා කරන සප්තස්වර....


 
පසුගිය වසරේ දුරුතු මහේ සතිඅන්තයක අපි යාපනේ ගියා. සංචාරයකට නෙවෙයි. ළමා එකමුතු කරන තරුණ පිරිසක් සමඟ නායකත්ව පුහුණු වැඩමුළුවකට.. ඒ ගමනේ හදමත කැටයම් වූ සුන්දර අත්දැකීමක් මේ..

කොළඹින් පිටත් වූ වෑන් රථයට යාපනයේදී එක් වුණා දෙමළ සොයුරන් තිදෙනෙක් සහ මන්නාරම සිට පැමිණි තවත් දෙමළ සොයුරියන් දෙදෙනෙක්.. යාපනය බස් නැවතුමට අපි ගියේ වව්නියාවේ සිට පැමිණි කන්‍යා සොයුරිය ඇතුළු නඩය හමුවන්න... එතැනත් දහයක් පමණ... දැන් වෑන් රථයට නම් හුස්ම ගන්නත් බැරි තරම්.

‘‘ අනේ  ෆාද මේ දරුවො පැය තුනක්ම බස් එකේ හිටගෙන ආවා” සිස්ට කිව්වෙ දොම්නස් හැඟීමෙන්... ෆාද අසීරුවක...

‘‘ අපි පුංචි කැපකිරීමක් කරමු නේද, ඔයාලට පුළුවන්නෙ බස් එකේ එන්න. මම මේ කට්ටියව වෑන් එකේ අරන් යන්නම් ‘‘ ෆාද අපෙන් ඇහුවා. කට්ටියම එක පයින්. වෙනස් අත්දැකීමක්නෙ.

තනියට මන්නාරමේ නංගිලා දෙන්නා සහ යාපනයේ රොෂාන් මල්ලී ආවා. අපේ ගමනාන්තය වුණේ පණ්ඩිතිරිප්පු දහම් මධ්‍යස්ථානය. ඒ පැත්තට යන අන්තිම බස් එක. පොල් පටවල වගේ සෙනඟ. අපිත් පැටවුණා. කෝච්චිවල තදබදයත් හුරු වෙලා නිසා ඒ තරම් ගාණක් උනේ නැහැ. බස් රථය පිටත් වෙද්දි හතයි... හොඳටම කරුවල. මා අසලම අසුනේ දෙමළ තරුණයෙක්. පිපිරෙන්නට ආසන්න මුහුණකින්. සිංහල අපි ගැනද, ප‍්‍රශ්නයක්....? නමුත් ඒ අපමණක් රිදුම් දුන් ජීවිතයකින් උපදින අප‍්‍රසාදයක් විය හැකියි. මුල් වරට හිතට බියක් ඇතුළු උණා.. තවමත් හොල්මන් කරන අවිශ්වසනීය සංකාවන්. අතක් පයක් හොලවන්නවත්, හෙළවෙන්නවත් බැරි තත්වයක මන්නාරමේ නැගණියන් මා අසලම සිටීම සහනයක් උණා... සැබවින්ම.

බියමුසු හැඟීම් හිත මත බරට පැලපදියම් වෙමින් තියෙන මොහොතකයි, හුරුපුරුදු දෙමළ ගීතයක මිහිරි ස්වරය පෙට්ටි බසයේ ගාලගෝට්ටිය අතරින් මිදිල හිත ළඟ නතර වුණේ. එයින් හදවත සන්සුන් වුණේ පුදුම විදියට.... ‘‘ වා වෙන්නිලා උන්නතානේ....‘‘ එස්. පී. බාලසුබ‍්‍රමනියම්ගේ හඬ. මම ආසම ගීතයක්, එකම වදනක් හෝ නොතේරුණත්... පසුවයි මා එහි අර්ථය සොයා ගත්තෙ.

‘‘එන්න සඳ.... මේ අහස ඔබව බලාපොරොත්තුවෙන් හිඳිනවා...
වළා සළුවෙන් මුව මඩල වසාගෙන ඇයි මෙසේ ඈත්ව යන්නේ...‘

සැනෙකින් අඳුරු වළා, බිය සංකා සියල්ල දුරු වී ගියා. සියුමැලි ගීතයකට පුළුවන් කාන්තාරයකදි උණත් සිහිල් දිය කඩිත්තක සුවය දෙන්න...

‘‘ නල්ල සෝන්ග්. අයි ලයික් ඉට්” මගේ හඬට ලක්ෂණාගේ සහ රොක්සිගේ තිලක තැබූ මුහුණු විකසිත උණා... දෙමළ ගීතය කෙරෙහි මා දැක්වූ ප‍්‍රසාදය ඔවුන් සතුටින් පිරවූ බව මට දැණුනා.

සංගීතය විශ්ව භාෂාවක් එය විඳින්නට මනුෂ්‍ය භාෂාව බාධාවක් නොවෙයි. හදවත් යා කරන්නට සංගීතයට, ගීතයට කළ හැකි මෙහෙවර කොතරම්ද? මට සිතුණා. පොදුවේ කලාව සාහිත්‍යයට මනුෂ්‍යත්වය ඉහළ නංවන්න විශාල මෙහෙවරක් කළ හැකියි. එහි විවාදයක් නැහැ. අපි කොතරම් දුරට එයින් ඵල ප‍්‍රයෝජන ගන්නවාද යන්නයි ගැටලූව.

ඉන් අනතුරුවත් පැරණි දමිළ චිත‍්‍රපට ගී සමූහයක් රෝසා බස් රථයෙන් මිදී අන්ධකාර අවකාශය තුළ පියාසර කළා. ගමනේ අසීරුව මැකී ගියා. බස් එක යනවා යනවා... අපිත් සිංහලෙන්, දෙමළෙන්, අංගචලනයන්ගෙන් කතා බස් එකේ නැගල ගියා.

‘‘කොහෙද මේ යන්නෙ’’ එක් තාත්ත කෙනෙක් කැඩුණු සිංහලෙන් ඇහුවා.. අම්මේ දැණුනු සහනයක්. සිංහලෙන් කතා කරන කෙනෙක් හමු වුණා බස් එකේදී. අහිංසක හිනාවක් තිබුණ ආදරණීය දෙමළ තාත්ත කෙනෙක්. අපව සත පහකට ගණන් නොගත් රවා ගත් මුහුණු කිහිපයක් අතර ඒ හිනාව කැපිල පෙණුනා...
ඒත් කාටවත් දොස් කියන්න බැහැ. සිංහල අපේ අත්වල ලේ ගෑවිලා.. අපි ඒ හිත්වල සැනසුම වෙනුවෙන් මෙතෙක් කර ඇති වැඩ කොටස ගැන සෑහෙන්නෙ කොහොමද? වරදකාරී හෘදය සාක්ෂියකින් පැන නැන රිදුමක් මිස මට කා ගැනවත් අමනාපයක් දැණුනෙ නැහැ.
 
2014 wfm%a,a

 

 

මුනිවත ද ගොළු විය එසැණෙහි..



හමුවිය ඔහු මට

අඳුරු වැහිබර සැඳෑවක

දෙව් මැදුරු දොර අබියස

ඒ දේශද්‍රෝහී මිනිසා...

පාළුකරයේ සිට

පීඩිතයින්ට යුක්තිය ඉල්ලා

මොර ගැසූ මිනිසා...


සැප දුක කෙලෙසදැයි

විමසනු ඉතින් කුමකට

වුවනත ම ගුප්ත කවියකි

පිලාත්තු අධිකරණයෙහි

ගෙවී ගිය විත්තිමය හෝරාවන්හි

භයංකර ශෝකාලාපය ලියැවුණ...

ගල්ගැහුණු නිහඬතාවය පතුළ කිමිදී

අත ගා බලා සොයා පහදා හදවත

දිග හරියි ඔහු මා අබියස....


zzසත්‍යය නම් මෙයයි

අතැඹුලක් සේ රුවා අත්ලෙහි

භයංකර උකුසු ඇස් විදාගෙන

ඔවුහු මා විමසූහ...

ඉදින් සැබවින්ම සත්‍ය යැයි

මා ඇදහූ සත්‍යය

උකුසු නිය පහරට හසුව

පෑරී ඉරී වැහැරී

මියැදෙන අයුරු දුටුයෙමි

මුනිවත ද ගොළු විය එසැණෙහි..
 

උස් අසුන් අරා වැජඹෙන

පිලාත් උතුමෝ

සෝදා දෑත

පිසදා ධවල පිළියෙන්

මා ඇමතූහ..


z... පැවසිය හැකිය ඔබට

දෙවියන් ගැන

දෙවියන්ගෙ ආදරය ගැන

දේව රාජ්‍යය ගැන...

නමුත්

කිසිවිටක නොපැවසිය යුතුය

මිනිසුන් ගැන

මිනිසුන්ගෙ පීඩනය ගැන

මිනිස් රාජ්‍යය ගැන...‘

අගුළු ලා මුවට

ගසා දේශද්‍රෝහී ලේබලය

ඔවුහු මා මුදා හැරියහ..


ඉනික්බිති, සුසුමකි...


දේව¥තයන් පවා

විපිළිසර මොහොතක

දෑසින් දෑස විමසා

හදින් හද නොවිමසා

ගොළු වීමු අපි....


ප‍්‍රවේසම් විය යුතු නොවෙද

දේශපේ‍්‍රමීන් හැමතැනම...


 
වමත් අවි අමෝරා ගැනෙති. අවි ගැටෙති. උණ්ඩයට බිලිවෙති. චෝදනා, ඇණුම් බැනුම්, තර්ක විතර්ක හිගයක් නැත. හදිසි නීතිය, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත මෙකී නොකී බොහෝ අණපණත් මුවාවෙන් මිනිස්සු සිරභාරයට පත් කෙරෙති. පීඩාවට පත් කෙරෙති. ජාති, ආගම්, පක්ෂ භේද මවමින් තව තවත් මිනිසුන් වෙතින් මනුෂ්‍යත්වය දුරු කෙරෙන තැනට වැඩ සිද්ධ වෙමින් පවතී. යුද්ධය නිම වී යැයි උදම් ඇනුව ද සාමය කොතරම් අප වෙතින් දුරස්දැයි යන්නට නිදසුන් මෑත ඉතිහාසය තුළම වුව කොතරම් ද?

සාමය හුදු වචනයක් පමණම නම් උතුරු මිතුරු යන්න සිහිනයක් ම පමණක් ද? නමුත් සාමය ඇති කරන්නෝ භාග්‍යවන්ත වන බව ද, ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් වන බව ද කිසිවිටක අප අමතක කළ යුතු නැත.  
 
2014 ජුනි

සිඟිති සිතුවිලි...



‘‘මංඤ්ඤම්මෙ.... අම්ම මොකක්ද කිව්වා.. මං ඒක දන්නෙ නෑ...’’
පුංචි සාරා වැට ළඟ ඉඳන් කෑ ගැහුවා එයාගෙ මංඤ්ඤම්මට. සාරා තවම මොන්ටිසෝරි යන පුංචි පැංචියෙක්. හරියට ජපන් බෝනික්කියක් වගේ. හුරුබුහුටියි. හරි හුරතල්. එයා ඉන්නෙ අම්මයි, ආච්චි අම්මයි එක්ක... එයාගෙ තාත්තා පුංචි සාරවයි අනිත් හැමෝවමයි දාල ස්වර්ගෙට ගියේ සාරට මාස අටක් වෙද්දි.. සාරාගෙ මංඤ්ඤම්මා තමයි චූටි මිමීගෙ මම්මා.
ඔයාලට මතකයි නේද චූටි මිමීගෙ මම්මව? සාරාගෙ තාත්ත තමයි ඉතින් චූටි මිමීගෙ මම්මව සාරාගෙ මංඥම්මා විදියට තෝර ගත්තෙ. හරියට ‘‘මං ඉක්මණින්ම මේ ලෝකෙ දාල යනවා මගෙ පුංචි මැණික් කැටේ ආදරෙන් බලාගන්න’’ කියනවා වගේ.


චූටි මිමීගෙ මම්මා දැනටමත් දරුවො නවදෙනෙක්ගෙ මංඥම්මා වෙලා. ඔයාල දන්නවද කවුද මංඤ්ඤම්මා කියන්නෙ කියල. ඉංග‍්‍රීසියෙන් නම් කියන්නෙ  God Mother කියල. ඒ කියන්නෙ දේව අම්මා. දරුවෙක් ක‍්‍රිස්තියානි කරන මොහොතෙදි අම්ම තාත්ත වගේම දරුවන් හොඳින් රැක බලා ගන්නවා කියල දෙවියන් ඉදිරියෙ පොරොන්දු වෙන කැපකරු මව්පියන් තමයි මේ දේව අම්මත්, දේව තාත්තත්..

මංඤ්ඤම්මාගෙ ගේ තියෙන්නෙ සාරාගෙ ගේ ළඟමයි. ඒත් ඉතින් මංඤ්ඤම්මා හැමදාම ගෙදර නෑ. එයා ඈතක වැඩ කරන්නෙ. සතිඅන්තෙ විතරයි ගෙදර එන්නෙ. ඒ ආවම එයාගෙ තනි රකින්නෙ චුටි මිමීයි, සාරා යි තමයි. එයාලට එකතු වෙනවා තව අසල්වැසි දියණියකුත්. වෙලාවකට සුරංගනා ලෝකයක්.. හැබැයි තවත් වෙලාවකට දරුණු කුණාටුවකට අහු වුණා වගේ තමයි. මේ පුංචි සුරංගනාවියො මම්මගෙ ගෙදරින් යන්නෙ ගේ පුරාම හැඩි කරලා. මම්මට වැඩ වැඩි කරලා. ඒත් මම්මට ඒව ගාණක් නෑ. එයා ඒ තරම්ම පුංචි අයට ආදරෙයිනේ... අනික පුංචි දරුවො ඉන්න ගෙදරක පිළිවෙල කියන්නෙම හැමතැනම හැමදේම විසිරිලා තියෙන එකට තමයි. බිත්තිවල බලිරූප, බිම පුරා සෙල්ලම් බඩු. වරදින්න විදිහක් නැහැනෙ. 


 වැට ළඟ ඉඳන් සාරා කෑ ගැහුවම එයා ළඟට ගිය මංඤ්ඤම්මා සාරාගෙ පුංචි අතින් අල්ලගෙන එයාගෙ ගෙදරටම ගියා. ගිහින් අම්මගෙන් ඇහුවා මොනවද ගේන්න කිව්වෙ කියල... අම්ම ගේන්න කියල තියෙන්නෙ රේක්කෙ. ඉතින් සාරට අමතක වෙලා තියෙන්නෙ ඒ වචනෙ තමයි. රේක්කෙ කියන එක නිතර පාවිච්චි වෙන වචනයකුත් නෙවෙයිනේ.. ඒ නිසා සාරට අමතක වෙන්න ඇති.


ඔන්න ඉතින් සාරයිමංඤ්ඤම්මයි අත් අල්ලන් ආපහු ඇවිදින් රේක්කෙත් අරන් යනකොට අහස් යන්තරාවක් ඒ කියන්නෙ ප්ලේන් එකක් පාතින් ගියා. සද්ද දාගෙන. හරියට පොල් ගස් මුදුන්වල ගෑවිල යනවා වගෙයි දැණුනෙ. සාරයිමංඤ්ඤම්මයි ප්ලේන් එක ඈත නොපෙනී යනකල් බලන් උන්නා. මංඤ්ඤම්මා දන්නවා පුංචි අය ප්ලේන්වලට ආසයි කියල.

‘‘ප්ලේන්වලින් අළුත් වලාකුළු අරන් ඇවිත් අහසෙ තියල පරණ වළාකුළු අරන් යනවා...’’ පුංචි සාරා මංඤ්ඤම්මට කිව්වා.


‘‘ආනේ ඇත්තද? කවුද ඔයාට එහෙම කිව්වෙ..’’ මංඤ්ඤම්මත් පුදුමෙන් වගේ ඇහුවා.


‘‘කවුරුත් කිව්වෙ නෑ... ප්ලේන් ඇවිත් යනකොට මං මයි එහෙම කිව්වෙ...’’ සාරා හිනැහිලා බෙල්ලත් ඇද කරලා කියද්දි මංඤ්ඤම්මට හිතුණා කිටි කිටියෙ තුරුල් කරගෙන ඒ රෝස මූණට හාදුවක් දෙන්න.


බලන්න, පුංචි හිත්වල සිතුවිලි කොයි තරම් අපූරුද? අපි හීනෙකින්වත් නොහිතන දේවල් තමයි එයාල හිතන්නෙ. ඒ ලස්සන සිතුවිලි ලෝකෙ වෙනස් වෙන්නෙ වැඩිහිටි අපි ඒ පුංචි හිත්වලට පටවන මහා බර නිසා. ළමයින්ට ළමයින්ගෙ ලෝකෙ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ළමා කාලය හරිම කෙටියි. හැමදාම නැහැනෙ. ඒ ළමා වියේ අහිංසක ලස්සන, පිවිතුරු කම රැක ගන්නයි අපි උදව් වෙන්න  ඕන.


 අළුත් විදියට හිතන්න, ආදරයෙන් ජීවත් වෙන්න අපි දරුවන්ට ධෛර්යය දෙන්න  ඕන.  එවැනි ආදරයෙන් පිරුණු සුන්දර ළමාවියක් ගත කරන දරුවෙක් අනිවාර්යයෙන්ම මානව දයාවෙන් පිරුණු සුන්දර වැඩිහිටියෙක් විදියට ලෝකය ඉදිරියට ඒවි.    
2014 මැයි