March 12, 2014

සක්මන් භාවනාව


බොහෝ විට අපි සංචාරය කරන්නේ සොබාදහමේ අපූර්වත්වය නැරඹීමේ හෝ මිනිස් නිමැවුමේ අපූර්වත්වය දැක ගැනීමේ අපේක්‍ෂාවෙනි. අප අපගේම සිත අභ්‍යන්තරයට සංචාරය කිරිමේ අවස්ථාව උදා කර ගන්නේ කොපමණ අඩුවෙන්ද? අපූරු මිනිසෙකුගේ මග පෙන්වීම තුළ මගේම සිත තුළ සංචාරය කරන්නට ලැබුණු දුර්ලභ අවස්ථාවක් ගැනයි, අද ඔබ හා මිනිසි ඇසුරින් බෙදා ගන්නේ.

 ( මේ භාවනාව හිත එක්තැන් කර ගැනීමට සිදු කළ සරල භාවනාවක් පමණි. භාවනාව පිළිබඳ ගැඹුරු අදහස් මෙයින් අපේක්‍ෂා නොකරන්නේ නම් මැනවි. )

පසුගිය මිනිසි අසිරි ලිපියේ ඔබ හමු වූ ගරු මේරියස් පියතුමා මතක ඇතැයි සිතමි. එම යොවුන් වැඩසටහනේ සෙනසුරාදා හිමිදිරියේ සරල සක්මන් භාවනාවකට අප මෙහෙයවූයේද එතුමා විසිනි. උදෑසනින්ම අපි බට පඳුරු හෙවණේ එළිමහන් භාවනා අසපුවට රැස් වූයෙමු. පාවහන් ගළවා පැමිණෙන ලෙසට කළින්ම දැනුවත් කර තිබිණි.

උදෑසන හතේ කණිසටමත් තණ බිස්සේ පිණිකැට වියළී නැත. හාත්පසින් වටවූ උස් තුරු මුදුන් හොරැහින් එබිකම් කරන හිරුගෙන් සඟවා පිණිකැට රැකගෙන තිබිණි. නිරුවත් දෙපයට දැණුනේ අපූරු සීතලකි. නිරන්තරයෙන් පාවහනින් වැසී ඇති දෙපතුල් එයින් නිදහස්ව පිණි තැවරුණු තණ බිස්සේ සිහිල් පහස විඳින්නට පින් කර ඇතුවාක් මෙනි. ගන්නා හුස්ම අතිපිරිසිදු බව ප‍්‍රත්‍යක්‍ෂ නිසා ළය පුරා හුස්ම ගැනීමට බියක් දැණුනේද නැත. හුස්මේ පිවිතුරු සිහිල නාස් පුඩු අග තැවරිණි.

සුපුරුදු තැන්පත් සරල ස්වරයෙන් පියතුමා භාවනාවට පිවිසුණේ මෙලෙසිනි. 

‘‘ මහපොළව පාගන්න ලැබීම භාග්‍යයක්..... ළමයි... ඊයා කියන්න  ඕන නැහැ. ඈක්ක කියල හිතන්න  ඕන නැහැ. මහපොළවෙ තියන කටුක බව, සීතල, උණුසුම මේ හැමදේම අපි විඳින්න  ඕන... ඒක තමයි ජීවිතය.

අපි පුරුදු වෙලා ඉන්නෙ නිතරම සෙරෙප්පු දාගෙන ඉන්න. ගෙදරදි සෙරෙප්පු දාන්න  ඕනෙ නැහැ නේද? ගෙදර වටපිටාව අපි පිරිසිදුව තියා ගන්නවනම් කිසිම අපහසුතාවයක් නැතිව අපට නිරුවත් දෙපයින් ඇවිදින්න පුළුවන්නේ.... හැකිතාක් පොළව පාගන්න. දෙපතුල් උණත්  ඕනෑවට වඩා හුරතල් කරන්න  ඕන නැහැ.....

දෙපය නිදහස්ව ඇවිදින එකෙන් දෙපයේ නිලවල තෙරපුමක් ඇති වෙනවා. එයින් ස්නායු උද්දීපනය වෙලා සුවදායක බවක් ඇති වෙනවා... මහපොළව පාගන්න ලැබෙන එක භාග්‍යයක් වෙන්නෙ ඒ නිසයි......

අද අපි යොමු වෙන්නෙ සරල සක්මන් භාවනාවකට. සක්මන් භාවනාව කියන්නේ නිහැඬියාවේ රසය අත්දකින්නට ලැබෙන මොහොතක්.. සොබාදහමත් එක්ක ඒකාත්මික වෙන මොහොතක්....

කන්වල එක එක දේවල් ගහගෙන, කන් අඩි පැලෙන සද්ද බද්දවලට හුරුවෙලා ඉන්න කොල්ලෝ කෙල්ලො මේ නිහැඬියාවේ රසයත් විඳින්න පුරුදු වෙනව නම් හොඳයි.

භාවනාව තුළ මේ වගේ කරුණු ටිකක් පිළිපදින්න අපි එකඟ වෙමු.

ඇවිදිමු තැන්පත්ව.... කලබලයකින් තොරව....

කවුරුත් දිහා නොබල ඉමු.... ඇස් හමුවෙන්නට බැහැ...

ඇවිදින අතරේ බොහෝ දේ හමුවේවි.. ඒ සියල්ල පසු කර යන්න... නමුත් අමතක නොවන, නිතර ඔබේ සිත අවදි කරන යමක් වේ නම් ආපසු ගොස් එය අතට ගන්න....

ඒ තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න. ජීවිතයට අරුතක් එක් කර ගන්නට උත්සාහ කරන්න.
ඒ දෑතට ගත් දෙය පල්ලියේ අල්තාරය මත තියෙන කුරුසිය ළඟින් තියන්න. පුංචි යැදුමක්, පැතුමක් කරන්න.

පියතුමාගේ කතාවෙන් පසුව අපි නිහඬවම සක්මන් භාවනාවට පිවිසුණෙමු. මෙතැන් සිට සක්මන් භාවනාවේ මගේ පෞද්ගලික අත්දැකීම ඔබ හා බෙදා ගනිමි.

මුලදී සැබවින්ම හෙමිහිට පා තබා යාමට අසීරු බවක් දැණිනි. උදෑසන දෑස් හරින මොහොතේ සිටම දෛනික කාර්යබහුල දිවියේ හැල්මේ දිව යන වේගවත් බවට හුරුවී ඇති මට පොළවට නොදැනෙන සේ හෙමින් පා තබා ඇවිදීම පහසු දෙයක් වූයේ නැත. දබිබිඩි ගමන් විලාසය එක්වනම සන්සුන් කර ගන්නේ කෙසේදඒ සඳහා සැලකිය යුතු වේලාවක් ගත විය.

අසීරුම කාරණය ඉන්අනතුරුවය. ඒ සිතුවිලි සන්සුන් කර ගැනීමය. අන් අයගෙන් නෙත් ඉවතට ඇද ගැනීම පහසු නැත. ඔවුන් සක්මන් භාවනාවේ යෙදෙන්නේ කෙසේද කුහුලක් සිතට නැගේ. සියල්ලෝ ගැවසෙන්නේ එකම ඉසව්වකය. සිමෙන්ති පඩියක් මත කිහිපදෙනෙක් වාඩිවී සිටිති. මිමිණුම් හඬක්ද සවන ගැටේ. සිතුවිලි රළ රැුළි සේ එක පිට එක කඩා වදියි.

මේ සුළු මොහොතවත් සැබෑම නිදහසක් අත්විඳිය යුතු නොවේද? මම හෙමිහිට හුදකලා තණ පලසක් සොයා ගියෙමි. හරිත තණ පලස මත මමම පමණකි. ටිකෙන් ටික සිතුවිලි සන්සුන් විය.

‘‘ මගේ සිත පිරිසිදුය... තැන්පත්ය... සන්සුන්ය...’’ මම හිතින් කිහිපවරක් මුමුණා ගතිමි. සැබවින්ම නිස්කලංක ගතියක් දැණිනි.

මෙලෙස සැහැල්ලූවෙන් ඇවිද යන අතරේ ගාණට කපන ලද තණ බිස්ස මතින් නැගී සිටි තුත්තිරි ගසක් මට හමු විය. මම ඒ තුත්තිරි ගස පසු කර හෙමිහිට ඉදිරියට පා නැගුවෙමි. නමුදු තුත්තිරි ගස මහිතේ නවාතැන් ගත් සෙයකි. 

‘‘............... මේ තුත්තිරි ගහ තුත්තිරි මල් යායක් වෙන්න පුළුවන්.. තුත්තිරි මල් යායක් දුරට දකින්න ලස්සනයි. ඒත් කවුරුවත් ඒ මැදට යන්න කැමති වෙන්නෙ නැහැනෙ.... තුත්තිරි ඇනෙනවා... ඒක මහා දුකක් නොවුණට කරදරයක්.... තුත්තිරි ඇළුණම ගලවන එක එපා වෙනවා... ඒ විතරක්ද ගලවල දාන දාන තැන පැළවෙනවා... අපේ හිත්වලත් මේ වගේ තුත්තිරි ගස් පැළවෙන්න පුළුවන්.... තරහ, කලකිරීම, නොරිස්සුම, උදාසීන ගති, ඊර්ෂ්‍යාව, සැකය ... මේ වගේ තුත්තිරි ගස්.... මේව විගහින්ම ගළවල දාන්න  ඕන.... නැත්නම් මමත් මේ ලෝකෙ අසුන්දර, අප‍්‍රසන්න තැනක් කරන්න දායක වෙනවා... ’’
මගේ හිත මට කතා කරයි.

‘‘ ඔයාගෙ හිතෙත් මේ දවස්වල තුත්තිරි ගස් කීපයක් තියෙනවා නේද? ඉක්මණින්ම ඒවා ගළවල දාන්න. ’’
හිත සමග සංවාදයක යෙදෙමින් මම ඉදිරියට ගමන් කළෙමි. තණකොල අතරින් සිඟිති සුදු මොට්ටු කිහිපයක් එබිකම් කරයි. හෙමිහිට පහත් වී දෙනෙත් හෙලූවෙමි. හරිත තණකොල ගස් අතරින් ලෝකය දකින්නට වෑයම් කරනා බිම් මල් කිහිපයකි. පාවහන් පැළඳි දෙපයින් ලහි ලහියේ ඇවිද ගියේ නම් මේ සිඟිති සොබාදම් දරුවන් මගේ දෙපයට පෑගී, තැලී, පොඩි වී යනවා නොවේදජීවිතේ, සොබාදමේ, විශ්වයේ සරල සුන්දර කාරණා කොතරම් නම් අහිමි වී යනවාද අපගේ කාර්යබහුල ජීවනරටාවත් සමගම.
සක්මන් භාවනාවෙන් මිදෙමින් නිහඬවම ආපසු ඇවිද එන අතර හිතේ ඇලවුණ තුත්තිරි ගහත්, තවත් තුත්තිරි ගස් කිහිපයකුත් ගළවා ගතිමි. පුංචි දෙව්මැදුරට ගොස් කුරුසිය ළඟ තුත්තිරි ගස් කිහිපය තබා සිතින් ජේසුට කතා කළෙමි.

‘‘ හෘදයෙන් සාන්ත දාන්ත වූද...... බැහැපත් වූද ජේසුනී
අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදෙට සමාන කළ මැනව.....’’

2012 නොවැම්බර්


March 11, 2014

සෝනු බබාට තෑගි එපා වෙලා...



නත්තල් කාලෙත් අත ළඟටම ඇවිදින්... නත්තල කියන්නෙ පුංචි හිත්වල පැතුම් පිපෙන කාලෙ. බලාපොරොත්තු පොදි ගැහෙන කාලෙ... ලස්සන නත්තල් ගහක් හදන්න, පුංචි ගවලෙනක් හදන්න, නත්තල් සුබපැතුම් යවන්න... රසම රස කැවිලි කන්න... නෑගම් යන්න... පුංචි අය හරිම ආසයි. පිණි මුවන් ඇදන් යන හිම යානෙක නැගල ඇවිදින් නත්තල් සීයා තෑග්ගක් ගෙනත් දෙයි කියලත් පුංචි අය පෙරුම් පුරාගෙන බලන් ඉන්නවා. ඉතින් මේ කාලෙට සිඟිති සුරංගනාවිටත් වැඩ බහුල කාලයක්. ඇයි පුංචි ළමයි සතුටින් ඉන්නව වගේම එයාලට දුක හිතෙන වැඩත් හරියට සිද්ධ වෙනවනේ... මේ කතාවත් ඒ වගේ නත්තල් කාලෙක වුණූ දෙයක්..

සෝනු බබා දැන් ඉස්කෝල යන්නත් ළඟයි. මොන්ටිසෝරි බබෙක් විදියට එයාට ලැබෙන අන්තිම නත්තල මේ. සෝනු බබා නත්තලට හරිම ආසයි... නත්තල් ළඟයි කියන වචන ඇහුණ දා ඉඳන් එයා හීන මැව්වා නත්තල් සීයගෙන් තෑගි ලබා ගන්න.  එයාට  ඕන වෙලා තිබුණෙ වයින් තියන්න පුළුවන් ලස්සන කාර් එකක්. එයා හැමදාම ?ට නිදා ගන්න යද්දිත් ජේසුට කිව්වා.. ‘‘ ජේසු නත්තල් සීයට කියන්න, මට වයින් තියන කාර් එකක්  ඕන කියල ’’ 

සැරින් සැරේ අම්මගෙනුත් ඇහුවා ‘‘ අම්මෙ ... නත්තල් සීයා මට කාර් එකක් ගෙනත් දෙයි නේද? ’’ කියල.  ‘‘ ඔයා හොඳට හිටියොත් ගෙනත් දෙයි’’ අම්මා කිව්වා. අම්මට වැඩ වැඩි නිසා ඒ ගැන වැඩිය හිතන්න ඉඩක් තිබුණෙ නැහැ. අම්මටත් ඒක අමතක වුණා.

ඔන්න නත්තල් දා ? පල්ලි ගිහින් සෝනු බබා හිතුවෙත් වයින් තියන කාර් එකක් ගැනමයි. පහුවෙනිදා ඇහැරුණු ගමන් සෝනු බබා දුවගෙන ගිහින් නත්තල් ගහ ගාව බැලූවා. මේ ගමේ නත්තල් සීයා ජනේලෙ එල්ලෙන මේස් කකුලක තෑගි තියල යන්නෙ නැහැ. එයා නත්තල් ගහ ගාවයි තෑගි තියන්නෙ. ( ඔයාල දන්නවනෙ ඇත්තටම නත්තල් සීය එනව නෙවෙයිනෙ. නත්තල් සීය වෙනුවට තෑගි තියන්නෙ අම්ම, තාත්තා, පවුලෙ අනිත් අයනෙ.)

ලස්සන පාට පාට දිලිසෙන කොලවලින් ඔතපු තෑගි පාර්සල් කීපයක්ම තියෙනවා. සෝනු බබාට හදිසියි තෑගි බලන්න. ලස්සන කොල ඉරිල ගියා. තෑගි එකින් එක එළියට ආවා. ඒ වගේම සෝනු බබාගෙ මූණ මැලවිලා ගියා. ඉස්කෝල බෑග් එකක්, අළුත් ඇඳුමක්, කතා පොත් දෙකක්, ඉස්කෝලෙ ගෙනියන පොත්, ඒවයි තිබුණ තෑගි... සෝනු බබා මූණ බෙරි කරගෙන නැගිට්ටා...

‘‘ ඇයි පුතේ... තෑගි හොඳ නැද්ද? ’’ අම්ම ඇහුවා.

‘‘ මම පොඞ්ඩක්වත් ආදරේ නෑ මේ නත්තල් සීයට ’’ සෝනු බබා කිව්වෙ තරහෙන්. ‘‘ නත්තල් සීය හරිම හොඳ නෑ. චූටි ළමයි ආස සෙල්ලම් බඩුවලට කියල දන්නෙ නැද්ද නත්තල් සීයා...’’ මූණ බෙරි කරගෙන එහෙම කිව්ව සෝනු බබා ආයෙම දුවල ගිහින් ඇඳේ ගුලි ගැහුණා.. ඒ නත්තල් දවස පුරාම සෝනු බබා හිටියෙ දුකින්.

‘‘ පුංචි ළමයින්ට දෙන්න තෑග්ගක් තෝරද්දි වැඩිහිටි  අය හිතන්න  ඕන තමන්ට දෙන්න  ඕන කරන දේ ගැනවත්, තමන්ගෙ පහසුව ගැනවත් නෙවෙයි, පුංචි අය ආස කරන දේ ගැනයි. එයාලගෙ සතුට ගැනයි. ළමා කාලෙ හැමදාම තියෙන්නෙ නැහැනෙ. බොහොම පුංචි කාලයයි. ඉතින්  ඒ අහිංසක ළමා කාලෙ ලස්සන අත්දැකීමක් කරන්න වැඩිහිටි අපි උත්සාහ කරන්න  ඕන....’’ සිඟිති සුරංගනාවි තමන්ගෙ දිනපොතේ එහෙම ලියල තිබ්බා ඒ නත්තල් දවසේ.

සොබාදහමට හිත බැඳි පිය සෙවණේ අසිරිය



මනුෂ්‍යත්වයේ අපූර්වත්වය, චමත්කාරය අත්විඳි සොඳුරු නිමේෂයන්හි මතක සැමරුම.....



අනලස්ව සංචරණයට ඇති ළැදියාව මනුෂ්‍යත්වය පොහොසත් කරන බව නොකිවමනාය. ඇවිද්ද පය දහස් වටී යනුවෙන් අපේ පැරැන්නන් සඳහන් කළේ එබැවින් විය යුතුය. විවිධ පුද්ගල චරිත ඇසුරේ, විවිධ සමාජතල හරහා, ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සංචාරයට ලැබුණු අවස්ථාව මගේ ජීවිතයද යම් තරමකින් හෝ පොහොසත් කරන්නට දායක වූ බව කිව යුතුමය. මනුෂ්‍යත්වයේ අපූර්වත්වය අත්විඳින්නට ඒ ලැබූණු දුර්ලභ නිමේෂයන් රන් මිණිමුතුවලට වඩා අගනේ යැයි මට සිතේ. 

නව යොවුන් කණ්ඩායමක් සමග ජීවිත වර්ධන වැඩමුළුවක් සඳහා මග්ගොන මැසනද් යොවුන් පියසට ගොඩ වැදීමේ භාග්‍යය මෑත සති අන්තයක මවෙත හිමි විය. සොබාදහමේ අසිරියට ඉඩ දුන් අපූරු නේවාසිකයකින් සමන්විත මේ බිම සැබවින්ම සිත නිවා සනසන සුවදායක වටපිටාවකින් යුක්තය. පැරණි පන්නයේ විශාල කුළුණු සහිත දිග කොරිඩෝරය, සීතල සිමෙන්ති පොළව, චාම් පුංචි පල්ලිය, විසල් වේදිකාවක් සහිත දේශන ශාලාව, බලන බලන අත නිල්ල පිරුණු  ගෙඋයන සොබාදම් මව් තුරුලේ නිස්කලංක සුවය අත්විඳින්නට ඇරයුම් කරන්නාක් වැන්න. යොවුන් පියස ඉදිරිපිට පිරිසිදු තණ පලස උණුසුම් තේ කෝප්පක් සමග ජීවිතය ගැන කතා කරමින් සැඳෑවක් ගත කරන්නට හරිම අපූරුය. 

මේ ආයතය භාරව සිටිනුයේ නිර්මල මරිය නිකායික ගරු මේරියස් පියතුමාය.  වසර 15 ක පමණ අතීතයේ සිට මම එතුමන් හඳුනමි. නිහතමානී, සරල ගති පැවතුම්වලින් හෙබි එතුමා සොබාදහමට, මිනිස්සුන්ට හදවතින්ම ආදරය කරන දයාබර පියතුමෙකි. ලෝකය නළවන්නට හෝ කළඹන්නට කරන ආටෝප සාටෝප වැඩවලට වඩා අවුල් වියවුල් පිරුණු සිත්සතන් සුවපත් කරන්නටත්, සොබාදහම ඇසුරේ නිස්කංලකව දිවි ගෙවන්නටත් මහත් සේ ප‍්‍රිය කරන එතුමා සැබවින්ම අපට පියෙකි. 

එතුමන්ගේ සරල බව, සොබාදහමට ළැදි බව මේ පියසේ  ඕනෑම තැනකදී දැකිය හැකිය. දිග කොරිඩෝරයේ ඇති පිටපලූ ලෑලිවලින් සෑදූ බංකු පෙළ, කණ්ඩායම් සාකච්ඡා සඳහා ලී කොට තබා සාදා ඇති අඩකවය, උදෑසන භාවනා සඳහා යොදා ගන්නා බට පඳුරින් සෙවණ වූ මළුව යාන්ත‍්‍රික වූ අපේ දෛනික දිවි පෙවෙතට අපූර්ව අත්දැකීමක් වනු නොඅනුමානය. 

මෙම නේවාසික වැඩමුළුව අතරතුර අපූරු පරිසර චාරිකාවකට එක් වන්නට අවස්ථාව ලැබිණි. පියතුමාගේ මග පෙන්වීම අනුව කුරුළු ගී අසමින්, ගස්වැල් හඳුනා ගනිමින්, ගඩා ගෙඩි කමින්, පරිසරය ගැන කතාබහක යෙදෙමින් පා ගමනින් ගිය චාරිකාව අතර තුර ලැබුණේ රසවත් පැපොල් පානයකි.  

කුරුඳු වාඩියක ජීවන අත්දැකීම් විඳින්නට අවස්ථාව ලැබුණද එදින කුරුඳු තලන දිනයක් නොවීය. ගොම මැටි ගෑ පොළවේ වාඩි ගත් පියවරුන් දෙදෙනෙක් කුරුඳු කෝටුවක් ගෙන පියවරෙන් පියවර කුරුඳු තලන ආකාරය අප වෙත පහදා  දුන්නේ සිනා පිරි මුහුණිනි. කුරුඳු තලන ආම්පන්න වසර 30 ක් පමණ පැරණි බව ඔවුන් පවසන්නේ තරමක ආඩම්බරයකිනි. දවස පුරා ගොම මැටි පොළවේ වාඩි ගෙන එකම ඉරියව්වෙන් කුරුඳු තැලීම කිසිසේත් සුවපහසු කාර්යයක් විය නොහැකිය. නමුදු ඒ ජීවන බර දරා ගත් සිනා නගන රැළි වැටුණු මුහුණු, කෙසඟ සිරුරු මනුෂ්‍යත්වයේ තවත් අපූරු පැතිකඩක් අප වෙත විදහා දැක්වීය. 

වඩාත් මසිත බැඳ ගත්තේ ඒ කුරුඳු තලන පියවරුන්ගේ, යුවතියගේ නිහතමානී බව, සරල බව පමණක්ම නොවේ, ඔවුන් අගය කරමින් කතා කළ පියතුමාගේ දයාබරත්වයයි.  මනුෂ්‍යත්වය විනිවිද දකින්නට එතුමන්ට ඇති අපූරු හැකියාවයි.  

‘‘ ළමයි........... මේ තාත්තා දූවරු පස් දෙනෙක්ගෙ තාත්ත කෙනෙක්.. අවුරුදු 60 කට කිට්ටුයි. කුරුඳු තලල තමයි තමන්ගෙ පවුල ජීවත් කරන්නෙ... ’’

පියතුමා වචන බර කරමින් ඇද පැද තාලයට පවසන්නේ කුරුඳු තලන තාත්තාගේ අතද අල්ලා ගනිමිනි. එතුමන්ගේ දෑස් අප වෙතය. ඇගයුම අප සිත්හි ධාරණය කරන්නට මෙන් කතාව අතරමැද නැවතුම් ගන්නා හෙතෙම, විසල් කර ගත් දීප්තිමත් දෙනෙතින් ද අදහස් දහසක් පළ කරයි. 

‘‘ මේ තාත්තා......... හැමදාම උදේට දුවල දෙන්නෙක්ව බයිසිකලේ තියාගෙන හන්දියට ගෙනිහින් අරිනව ළමයි.. කිලෝමීටර් දෙකක් බයිසිකල් පදින්න  ඕන........  එක දුවෙක් බයිසිකලේ ඉස්සරහ, අනික් දුව ලගෙජ් එකේ තියාගෙන.. කුරුඳු තලන එක ලේසි නැහැ ළමයි... හැබැයි මේ හිනාව හැමදාම මෙහෙමමයි.. බලන්න කොයි තරම් අපූරු තාත්ත කෙනෙක්ද?’’

කුරුඳු තලන දුප්පත් තාත්තා ජීවිත කාලය පුරා ලැබුව ශ්‍රේෂ්ඨතම උපහාරය මෙය විය හැකිය. සමාජයේ අවධානයට ලක් නොවන දිළිඳු පියෙකුගේ ධෛර්යය මේ තරම් අගය කරන්නට නම් කොතරම් පුළුල්, දයාවන්ත හදවතක් විය යුතුද

සවස්වරුව පියතුමාගේ පරණ වෑන් රථයෙන් නැවතත් චාරිකාවකි. මෙහිදී ආගමික ස්ථාන කිහිපයක් නරඹන්නට අවස්ථාව ලැබෙන අතර මුහුදු වෙරළේ ක‍්‍රීඩා කරන්නට ද ලැබේ. මේ චාරිකාවේ රියදුරුද, මගපෙන්වන්නාද, සත්කාර සපයන්නා ද පියතුමාම ය. යහමින් කෑලි මිරිස්, පොල් කෑලි දමා තෙම්පරාදු කළ කඩල කැන්ද කොලයට දමා රස විඳින්නට අවස්ථාව ලැබුණේ මුහුදු වෙරළේදී ය. 

මෙවන් වූ පියතුමකු ඇසුරු කරන්නට ලැබීම භාග්‍යයක් යැයි මම සිතමි. සියළුම පූජ්‍ය පුජක උතුමන් ඇසුරේ මෙවන් මානව හිතවාදීබවක්, පරිසර හිතවාදී බවක්, සරල අල්පේච්ඡ දිවි පැවැත්මක් වේ නම් එය ලෝකයට කොතරම් සුවදායක වනු ඇත්ද

සුන්දර උදෑසනක එතුමන්ගේ මගපෙන්වීම තුළ කළ සක්මන් භාවනාවේ අත්දැකීම මීළඟ ලිපියෙන් ඔබ හා බෙදා ගන්නට කැමැත්තෙමි.

2012 ඔක්තෝම්බර්


නොපිරුණු බණ්ඩි ගෙඩියකින් මැවුණු හිනාවක්




ජීවිතය වින්දනය කරන්නට ඔබත් මමත් රිසි නොවෙමුද? ‘‘ විඳවන්නට නොව ජීවිතය විඳින්නටයි’’ අපි නොයෙක් වර එවදන් අසා ඇත්තෙමු. ගහක වැලක සිසිලස, මල් පෙත්තක සුසිනිඳු මුදු මෙලෙක .... මල් කෙමියක සුවඳ, කුරුළු ගී නදක මිහිරියාව අපි ඉමහත් ප‍්‍රියතාවයෙන් වින්දනය කරන්නෙමු. ගලන දිය දහරක සිහිලේ වෙළෙන්නට අපි පෙරුම් පුරන්නෙමු. නමුත් සොබාදහමේ උත්තරීතර මැවුම වන මිනිසා, විශ්වයේ සොඳුරුතම නිමැවුම වන මනුෂ්‍යත්වය  වින්දනය කරන්නට අපි කොතරම් නම් උත්සාහ දරන්නෙමුද

මිනිසත් බවේ අසිරිය, අපූර්වත්වය, චමත්කාරය විඳිය හැකිද? ගීතයක් මෙන්... සිතුවමක් මෙන්, කවියක් මෙන් විඳිය හැකිද? ඔබ අසනු ඇත මගෙන්... 

මම මෙසේ පිළිවදන් දෙමි. සැබවින්ම මනුෂ්‍යත්වයේ අසිරිය හදවතින්ම වින්දනය කළ හැකිය. එකී වින්දනයෙන් ප‍්‍රඥාවේ පහන් දල්වා මනුෂ්‍යත්වයේ උත්තරීතරභාවයට අපේ සිත්සතන් දල්වාලිය හැකිය. 

මවිසින් විඳින ලද මනුෂ්‍යත්වයේ චමත්කාරය මම දිග හැරෙන ලිපි පෙළක ආරම්භයයි, ‘‘ මිනිසි අසිරි’’ .... රජරට පුරවරයේ අවිහිංසක දිළිඳු දැරියකගේ නිකැළැල් සිනාවෙන් මිනිසි අසිරි සොයා යන චාරිකාව අරඹමු. 

1999 අවුරුද්ද. ළමා සංවිධානයක ස්වේච්ඡා සේවයේ යෙදී සිටිය නිසා ලක් බිම දසත සංචාරයේ යෙදෙන්නට පෙර පින් මහිමයේ අනුහසින් ලැබුණු අගනා කාලවකවානුවේ ආරම්භයයි...

‘‘ හිමිකම් සුරකිමු ළමා අපේ ’’ යන වාර්ෂික තේමාව දැනුවත් කරමින් ලංකාව පුරා දීර්ඝ චාරිකාවක යෙදුණු අපේ කණ්ඩායමේ එදා නවාතැන්පළ වුණේ පොළොන්නරුව දෙව් මැදුර.. පුරා දිනක් වූ වැඩසටහනේ අපි උදේ වරුව පුරාම ළමයින්ට කියා දුන්නෙ ආදරය, අධ්‍යාපනය, ආහාර, රැකවරණය, පිළිගැනීම, අගය කිරීම වගේ දේවල් තමයි පුංචි අපේ හිමිකම් කියල. ඒ දේවල් අපිට හිමි වෙන්න  ඕන වගේම අනිත් අයටත් ඒ හිමිකම් ලබා දෙන්න අපි  මහන්සි වෙන්න  ඕන කියලත් අපි දරුවන්ට කියල දුන්නා... තමන් අවට ඉන්න පුංචි යාළුවන්ගෙ හිමිකම් වෙනුවෙන් අපට කරන්න පුළුවන් දේවල් මොනවද කියල අපි ගීත, නාට්‍ය ජවනිකා, කතන්දර උදව් කර ගනිමින් පැහැදිලි කරන්න උත්සාහ කළා. 

ඔන්න ඉතින් දවල් කෑම වෙලාවත් ළං උණා. සාමාන්‍යයෙන් ආහාර වේලකට කළින් අපි අත් පිරිසිදු කර ගන්න හැටි, ආහාර ගනිද්දි පිළිපදින්න  ඕන සිරිත් විරිත් වගේ කාරණා ගැනත් කියා දෙනවා. ඒ වගේම කෑම ගන්න කළින් අදහන දහම සිහි කරලා, ඒ කෑම වේල හදන්න උදව් වුණු හැමෝම මතක් කරල, කන්න නැතිව බඩගින්නෙ ඉන්න අයවත් සිහි කරල පැතුමක් කරනවා... පැතුමක් කියන්නෙ යැදුමක්, යාච්ඤාවක්, භාවනාවක්. අපේ ළමා එකමුතුවල හැම ආගමකම ළමයි ඉන්න නිසයි පොදුවේ පැතුමක් කරන්නෙ...

ඉතින් පුරුදු විදියට දැනුවත් කිරීම්, පැතුම් හෙම ඉවර වෙලා අපි ළමයින්ට කිව්වා කණ්ඩායම් විදියට කෑම කන්න කියල. ඒ වෙද්දි කණ්ඩායම් බෙදලයි තිබුණේ...කෑම බෙදා හදාගෙන කන්න නිසයි කණ්ඩායම් විදියට වාඩි වෙලා කෑම ගන්න කියන්නේ. එතකොට දුප්පත්, සරල බත්පතකට උණත් වැඩි යමක් එකතු වෙනවනේ... 

අපි කෑම කන්න කළින් ළමයි වටේ රවුමක් යන්නෙ එයාලගෙ බෙදා හදා ගැනීම කොහොමද කියල බලන්නයි. මේ වගේ සොයා බැලීම්වලදි ඇස්වලට කඳුළු එන අත්දැකීම් ලැබිලත් තියෙනවා. සමහරවිට බතල, මඤ්ඤොක්ක කෑල්ලක් පොල් ටිකක් එක්ක, තවත් පොඩි එකෙක් ළඟ බත් ටිකකුයි වැටකොළු කෑලි දෙක තුනකුයි.. සරු බත්පතක් තිබුණෙ බොහොම කලාතුරකින්.. සමහරවිට කන බොන යාළුවො මග ඇරල වතුර ටිකකින් බඩගින්න හංග ගන්න පුංචි එකෙක්... කෑම බෙදා හදා ගනිද්දි මේ අඩුපාඩුකම් බොහෝ දුරට මැකිල දුප්පත් බණ්ඩියකට උණත් රස බත් කටක් ලැබුණා...  

මෙදත් සුපුරුදු විදියට අපි කෑම කන දරුවො වටේ රවුමක් ඇවිද්දා. මමයි නිලන්ති අක්කයි... එක කණ්ඩායමක් ළඟ නතර උණාම දැක්කෙ හරිම දුක්බර දසුනක්. පුංචි දුවෙක් පත්තර කඩදාසියක පාන් පෙති දෙකක් ඔතාගෙන ඇවිත් තිබුණා පොල් සම්බෝල ටිකක් එක්ක. ඒ කණ්ඩායමේම බත්, නූඞ්ලස් වගේ සරු කෑම වේලක් හිමි දරුවනුත් හිටියා... 

‘‘ පුතේ, ඔයා යාළුවන්ට පාන් පෙත්තක් දෙන්න. සම්බෝලත් එක්ක පාන් හරි රසයිනේ.. ’’ පුංචි දැරියට අපි කිව්වා.

‘‘ ඔයාලගෙ කෑම වලිනුත් ටික ටික යාළුවට දෙන්න. බෙදා හදා ගෙන කන්න  ඕනනේ... ’’ අපි අනිත් අයටත් කිව්වා.. දැරිය බොහොම ලස්සනට හිනා වෙලා පාන් පෙත්තක් බෙදා දුන්නා. දරුවො කීප දෙනෙක්ගෙ මූණු වෙනස් උණා. එක්කෙනෙක් ඉක්මණින් පාන් කෑල්ල පැත්තකට කළා. එක්කෙනෙක් තමන්ගෙ බත්පත කිට්ටු කළා කන්න කියල. ඒත් ඒ මූණෙ හිනාවක් තිබුණෙ නැහැ. අපි දෙන්න ටිකක් ඈත් උණා. අර චූටි බඩට බත් කටවල් කිහිපයක් ලැබුණා. ඒත් පාන් කෑලි කවුරුවත් කෑවෙ නැහැ. ඒව කුණු කූඩෙට ගියා. පස්සෙ පොඞ්ඩි ටැප් එකට අත් දෙකම අල්ලල වතුර උගුරු කිහිපයක් බොනව පෙණුනා.

‘‘ පව් අපි නිසා පොඩි එකීට පාන් පෙත්තත් නැති උණා...’’ අපි උදේ ඉඳන් කතා කළ දේවල් හුළඟට ගහගෙන ගිහින්ද? ඇයි පුංචි හිත් මේ තරම් දරුණු. ඇති නැති පරතරය මල් කැකුළුවලටත් විස පුරවනවද?

වැඩසටහන මෙහෙයවපු අපි වෙනුවෙන් සරු ආහාර වේලක් සූදානම් වෙලා තිබුණා. ඒත් නිලන්ති අක්කටයි මටයි, හිතට අමාරුයි. අපි කෑම බෙදාගෙන එළියට ආවෙ පොඞ්ඩිවත් ළං කර ගෙන බත් කටක් කවන්න හිතාගෙන.

අනේ පව් පුංචි එකී සීසෝ පදිනවා. හරිම ලස්සන හිනාවක් ඒ මූණෙ ඇඳිල තිබුණා. බාගෙට පිරුණු බණ්ඩි ගෙඩියට ඒ හිනාව උදුරගන්න බැරි වෙලා. පාන් පෙත්තක් අහිමි කළ අපි ගැනවත්, රස බත් කටක් බෙදා නොගත් යාළුවන් ගැනවත්, බත්පතක් ඉදිරියේ ඈ අසරණ කළ දුප්පත්කම ගැනවත් කිසිදු අමනාපයක් නැති සැහැල්ලූ සිතින් ඈ සෙල්ලමේ.... 

අපි අත වැනුවා. හෙමිහිට සීසෝ එකෙන් බැහැල කෙලි පොඩ්ඩ අපි ළඟට දුවගෙන ආවෙත් ඒ හිනාවෙන්මයි. ලොකු පෙරැත්තයකින් පසුවයි බත් කටවල් දෙක තුනක් ඇයට කවන්න පුළුවන් උණේ. 

ඒ අහිංසක නිකළැල් හිනාව මනුෂ්‍යත්වයේ අපූර්ව චමත්කාරය මසිතේ නිදන් කළ, මතකයෙන් කිසිදා මැකී නොයන සුන්දරතම සිනාවක්... 

2012 සැප්තැම්බර්