March 11, 2014

නොපිරුණු බණ්ඩි ගෙඩියකින් මැවුණු හිනාවක්




ජීවිතය වින්දනය කරන්නට ඔබත් මමත් රිසි නොවෙමුද? ‘‘ විඳවන්නට නොව ජීවිතය විඳින්නටයි’’ අපි නොයෙක් වර එවදන් අසා ඇත්තෙමු. ගහක වැලක සිසිලස, මල් පෙත්තක සුසිනිඳු මුදු මෙලෙක .... මල් කෙමියක සුවඳ, කුරුළු ගී නදක මිහිරියාව අපි ඉමහත් ප‍්‍රියතාවයෙන් වින්දනය කරන්නෙමු. ගලන දිය දහරක සිහිලේ වෙළෙන්නට අපි පෙරුම් පුරන්නෙමු. නමුත් සොබාදහමේ උත්තරීතර මැවුම වන මිනිසා, විශ්වයේ සොඳුරුතම නිමැවුම වන මනුෂ්‍යත්වය  වින්දනය කරන්නට අපි කොතරම් නම් උත්සාහ දරන්නෙමුද

මිනිසත් බවේ අසිරිය, අපූර්වත්වය, චමත්කාරය විඳිය හැකිද? ගීතයක් මෙන්... සිතුවමක් මෙන්, කවියක් මෙන් විඳිය හැකිද? ඔබ අසනු ඇත මගෙන්... 

මම මෙසේ පිළිවදන් දෙමි. සැබවින්ම මනුෂ්‍යත්වයේ අසිරිය හදවතින්ම වින්දනය කළ හැකිය. එකී වින්දනයෙන් ප‍්‍රඥාවේ පහන් දල්වා මනුෂ්‍යත්වයේ උත්තරීතරභාවයට අපේ සිත්සතන් දල්වාලිය හැකිය. 

මවිසින් විඳින ලද මනුෂ්‍යත්වයේ චමත්කාරය මම දිග හැරෙන ලිපි පෙළක ආරම්භයයි, ‘‘ මිනිසි අසිරි’’ .... රජරට පුරවරයේ අවිහිංසක දිළිඳු දැරියකගේ නිකැළැල් සිනාවෙන් මිනිසි අසිරි සොයා යන චාරිකාව අරඹමු. 

1999 අවුරුද්ද. ළමා සංවිධානයක ස්වේච්ඡා සේවයේ යෙදී සිටිය නිසා ලක් බිම දසත සංචාරයේ යෙදෙන්නට පෙර පින් මහිමයේ අනුහසින් ලැබුණු අගනා කාලවකවානුවේ ආරම්භයයි...

‘‘ හිමිකම් සුරකිමු ළමා අපේ ’’ යන වාර්ෂික තේමාව දැනුවත් කරමින් ලංකාව පුරා දීර්ඝ චාරිකාවක යෙදුණු අපේ කණ්ඩායමේ එදා නවාතැන්පළ වුණේ පොළොන්නරුව දෙව් මැදුර.. පුරා දිනක් වූ වැඩසටහනේ අපි උදේ වරුව පුරාම ළමයින්ට කියා දුන්නෙ ආදරය, අධ්‍යාපනය, ආහාර, රැකවරණය, පිළිගැනීම, අගය කිරීම වගේ දේවල් තමයි පුංචි අපේ හිමිකම් කියල. ඒ දේවල් අපිට හිමි වෙන්න  ඕන වගේම අනිත් අයටත් ඒ හිමිකම් ලබා දෙන්න අපි  මහන්සි වෙන්න  ඕන කියලත් අපි දරුවන්ට කියල දුන්නා... තමන් අවට ඉන්න පුංචි යාළුවන්ගෙ හිමිකම් වෙනුවෙන් අපට කරන්න පුළුවන් දේවල් මොනවද කියල අපි ගීත, නාට්‍ය ජවනිකා, කතන්දර උදව් කර ගනිමින් පැහැදිලි කරන්න උත්සාහ කළා. 

ඔන්න ඉතින් දවල් කෑම වෙලාවත් ළං උණා. සාමාන්‍යයෙන් ආහාර වේලකට කළින් අපි අත් පිරිසිදු කර ගන්න හැටි, ආහාර ගනිද්දි පිළිපදින්න  ඕන සිරිත් විරිත් වගේ කාරණා ගැනත් කියා දෙනවා. ඒ වගේම කෑම ගන්න කළින් අදහන දහම සිහි කරලා, ඒ කෑම වේල හදන්න උදව් වුණු හැමෝම මතක් කරල, කන්න නැතිව බඩගින්නෙ ඉන්න අයවත් සිහි කරල පැතුමක් කරනවා... පැතුමක් කියන්නෙ යැදුමක්, යාච්ඤාවක්, භාවනාවක්. අපේ ළමා එකමුතුවල හැම ආගමකම ළමයි ඉන්න නිසයි පොදුවේ පැතුමක් කරන්නෙ...

ඉතින් පුරුදු විදියට දැනුවත් කිරීම්, පැතුම් හෙම ඉවර වෙලා අපි ළමයින්ට කිව්වා කණ්ඩායම් විදියට කෑම කන්න කියල. ඒ වෙද්දි කණ්ඩායම් බෙදලයි තිබුණේ...කෑම බෙදා හදාගෙන කන්න නිසයි කණ්ඩායම් විදියට වාඩි වෙලා කෑම ගන්න කියන්නේ. එතකොට දුප්පත්, සරල බත්පතකට උණත් වැඩි යමක් එකතු වෙනවනේ... 

අපි කෑම කන්න කළින් ළමයි වටේ රවුමක් යන්නෙ එයාලගෙ බෙදා හදා ගැනීම කොහොමද කියල බලන්නයි. මේ වගේ සොයා බැලීම්වලදි ඇස්වලට කඳුළු එන අත්දැකීම් ලැබිලත් තියෙනවා. සමහරවිට බතල, මඤ්ඤොක්ක කෑල්ලක් පොල් ටිකක් එක්ක, තවත් පොඩි එකෙක් ළඟ බත් ටිකකුයි වැටකොළු කෑලි දෙක තුනකුයි.. සරු බත්පතක් තිබුණෙ බොහොම කලාතුරකින්.. සමහරවිට කන බොන යාළුවො මග ඇරල වතුර ටිකකින් බඩගින්න හංග ගන්න පුංචි එකෙක්... කෑම බෙදා හදා ගනිද්දි මේ අඩුපාඩුකම් බොහෝ දුරට මැකිල දුප්පත් බණ්ඩියකට උණත් රස බත් කටක් ලැබුණා...  

මෙදත් සුපුරුදු විදියට අපි කෑම කන දරුවො වටේ රවුමක් ඇවිද්දා. මමයි නිලන්ති අක්කයි... එක කණ්ඩායමක් ළඟ නතර උණාම දැක්කෙ හරිම දුක්බර දසුනක්. පුංචි දුවෙක් පත්තර කඩදාසියක පාන් පෙති දෙකක් ඔතාගෙන ඇවිත් තිබුණා පොල් සම්බෝල ටිකක් එක්ක. ඒ කණ්ඩායමේම බත්, නූඞ්ලස් වගේ සරු කෑම වේලක් හිමි දරුවනුත් හිටියා... 

‘‘ පුතේ, ඔයා යාළුවන්ට පාන් පෙත්තක් දෙන්න. සම්බෝලත් එක්ක පාන් හරි රසයිනේ.. ’’ පුංචි දැරියට අපි කිව්වා.

‘‘ ඔයාලගෙ කෑම වලිනුත් ටික ටික යාළුවට දෙන්න. බෙදා හදා ගෙන කන්න  ඕනනේ... ’’ අපි අනිත් අයටත් කිව්වා.. දැරිය බොහොම ලස්සනට හිනා වෙලා පාන් පෙත්තක් බෙදා දුන්නා. දරුවො කීප දෙනෙක්ගෙ මූණු වෙනස් උණා. එක්කෙනෙක් ඉක්මණින් පාන් කෑල්ල පැත්තකට කළා. එක්කෙනෙක් තමන්ගෙ බත්පත කිට්ටු කළා කන්න කියල. ඒත් ඒ මූණෙ හිනාවක් තිබුණෙ නැහැ. අපි දෙන්න ටිකක් ඈත් උණා. අර චූටි බඩට බත් කටවල් කිහිපයක් ලැබුණා. ඒත් පාන් කෑලි කවුරුවත් කෑවෙ නැහැ. ඒව කුණු කූඩෙට ගියා. පස්සෙ පොඞ්ඩි ටැප් එකට අත් දෙකම අල්ලල වතුර උගුරු කිහිපයක් බොනව පෙණුනා.

‘‘ පව් අපි නිසා පොඩි එකීට පාන් පෙත්තත් නැති උණා...’’ අපි උදේ ඉඳන් කතා කළ දේවල් හුළඟට ගහගෙන ගිහින්ද? ඇයි පුංචි හිත් මේ තරම් දරුණු. ඇති නැති පරතරය මල් කැකුළුවලටත් විස පුරවනවද?

වැඩසටහන මෙහෙයවපු අපි වෙනුවෙන් සරු ආහාර වේලක් සූදානම් වෙලා තිබුණා. ඒත් නිලන්ති අක්කටයි මටයි, හිතට අමාරුයි. අපි කෑම බෙදාගෙන එළියට ආවෙ පොඞ්ඩිවත් ළං කර ගෙන බත් කටක් කවන්න හිතාගෙන.

අනේ පව් පුංචි එකී සීසෝ පදිනවා. හරිම ලස්සන හිනාවක් ඒ මූණෙ ඇඳිල තිබුණා. බාගෙට පිරුණු බණ්ඩි ගෙඩියට ඒ හිනාව උදුරගන්න බැරි වෙලා. පාන් පෙත්තක් අහිමි කළ අපි ගැනවත්, රස බත් කටක් බෙදා නොගත් යාළුවන් ගැනවත්, බත්පතක් ඉදිරියේ ඈ අසරණ කළ දුප්පත්කම ගැනවත් කිසිදු අමනාපයක් නැති සැහැල්ලූ සිතින් ඈ සෙල්ලමේ.... 

අපි අත වැනුවා. හෙමිහිට සීසෝ එකෙන් බැහැල කෙලි පොඩ්ඩ අපි ළඟට දුවගෙන ආවෙත් ඒ හිනාවෙන්මයි. ලොකු පෙරැත්තයකින් පසුවයි බත් කටවල් දෙක තුනක් ඇයට කවන්න පුළුවන් උණේ. 

ඒ අහිංසක නිකළැල් හිනාව මනුෂ්‍යත්වයේ අපූර්ව චමත්කාරය මසිතේ නිදන් කළ, මතකයෙන් කිසිදා මැකී නොයන සුන්දරතම සිනාවක්... 

2012 සැප්තැම්බර්

February 12, 2014

ගුරුතුමනි ඔබේ හදවතයි...

 
By Johann Georg Meyer Von Bremer

ශිෂ්‍යාව
ගුරු ගෙදර පිපෙන මල් සේරම
සුවඳ කරන ආදරේ.... ගුරුතුමනි ඔබේ හදවතයි...
ගුරුතුමා
මල් සුවඳ කරන්නට දිරි දෙන
උල්පත ඒ ආදරේ.... දියණියනි ඔබේ හදවතයි...

ශිෂ්‍යාව
දුක් කඳුළු එකතු කරගෙන... මුතු මැණික් තනන අන්දම
ඔබ කියා දුන්නු හින්දා....

ගුරුතුමා
පුරහඳක් වගේ දිලිහෙන හැටි... බලන් ඉන්නෙ තනිවමයි
සතුටු කිරුළ හිස ලා....

ශිෂ්‍යාව
හොඳ හිතක් ළයේ නැත්නම්.. පටපිළී බරණ කුමටද
ඔබ කියා දුන්න තාලේ....
ගුරුතුමා
ඒ උවම් හිතට අරගෙන... ජීවිතේ දිනන යුතුකම
සුරකින්න මගේ දියණී...

ගායනය           :-          කරුණාරත්න විජේවර්ධන, කේතකී සුරවීර
පද රචනය        :-          සුගත් සෝමවීර
තනු නිර්මාණය :-          සුනිල් දයානන්ද කෝනාර

සොඳුරු නව යෞවනය ගැන නිරන්තරයෙන් අප අතර ඇති සංවාදය නිසාම නව යෞවනය ජීවිතයේ වසන්ත සමය සේම කුණාටු සමය බවද දැන් ඔබ දන්නවා. කුණාටු සමයක ජීවිත නෞකාවේ රුවල නිවැරදිව හසුරුවා ගනිමින් යහපත් ජීවිත අරමුණු කරා ගමන් කිරීම වත්මන් සමාජය තුළ අප හමුවේ ඇති විශාලතම අභියෝගයක්. අධ්‍යාපනය යනු ඒ අභියෝගය ජය ගන්නට අපට ධෛර්යය දෙන එක් මාවතක්.. නමුත් ඒ හුදු විභාග සාමාර්ථය ඉලක්ක කර ගත් විෂය දැනුම පමණක් ලබන අධ්‍යාපනය නොවේ. ජීවිත තක්සලාවෙන් ලබා ගන්නා ජීවිත පන්නරය, ප‍්‍රඥාව හා සංවේදී හදවතයි.

මේ ආදරණීය ගුරුතුමා කියා දෙන්නේ ඒ අපූරු ජීවිත පාඩමයි. ජීවිත පොතින් දැනුම උකහාගෙන ජීවිතය දිනන්නට හැකි මාවතයි. ජීවිතයේ දුක් කරදර, බාධක නිසා උපදින කඳුළු ජීවිත ගමනේ මුතු මැණික් ලෙස බාර ගෙන ඉදිරියට යා යුතු බවයි. මිනිස්කමින් පිරුණු සංවේදී හදවතක්, හොඳ හිතක් නැත්නම් කුමන වස්තුවක් තිබුණද ඵලක් නැති බවයි ගුරුතුමා කියා දී ඇත්තේ. මේ සිසු දියණියට ගුරුතුමා කියා දුන් ජීවිත පාඩම් අමතක වී නැත. ඇය පුරහඳක් ලෙස බැබළෙන්නේ එබැවිනි.

තම දයාබර ගුරුතුමාට ගී උපහාරය පුදන මේ සිසු දියණියගේ මෙන්ම ගුරු ගෙදර අනිකුත් ළමුන්ගේ ජීවිත සුවඳවත් වන්නේ ද, විකසිත වන්නේ ද ඒ ගුරුතුමාගේ අප‍්‍රමාණ ආදරය තුළයි. මෙවැනි ගුරු මව්පියවරුන් අද අප අතර කොතෙක් නම් සිටින්නේද? අප ඒ ගුරු දෙගුරුන්ට කොතරම් දුරට සමීප වන්නේද, විවෘත වන්නේද, ඔවුන්ගේ අවවාද උපදෙස් මැදිහත් සිතින් විමසා බලන්නේද යන්න සිතා බැලිය යුතුයි නේද? මුණින් අතට නැවූ කලයක් මතට  වතුර නොව අමෘතය වුවද කොතෙක් වත් කළත් රැඳෙන්නේ නැත.

ජීවිතය දිනන්නට නම් අප හමුවේ ඇති බාධක, අභියෝග, දුක් කරදර ජීවිතයට ධෛර්යය දෙන මුතු මැණික් සේ බාර ගෙන, හොඳ හිත දියුණු කර ගනිමින් නව යෞවනය ජීවිතයේ වසන්තයම කර ගන්නට අධිෂ්ඨාන කර ගනිමු.

February 11, 2014

සිනාසෙන අපිමයි හඬන්නේ




සිනාසෙන අපිමයි හඬන්නේ
බොළඳ කිරි දරුවන් ලෙසින්
කලල් මැඩ අපිමයි පිපෙන්නේ
සුවඳ සුදු සියපත් වෙසින්

නියඟ ඇවිළෙන අහස නොදනී
දිනෙක මහ වැසි වැටෙනවා
වැටෙන මහ වරුසාව නොදනී
දිනෙක යළි හිරු නැගෙනවා..

පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
පලබරින් අතු ඉති නවා
අමාවක ඝන අඳුර පැන යයි
වඩින පුරපස සඳ බලා...

ගී පද  : කේ.එම්.අයි. ස්වර්ණසිංහ
තනුව  : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ

දින දසුන අළුත් වෙලා.. 2013 පිටමං වෙලා.. 2014 ඇවිදින් ලැගුම් අරගෙන.. ආයෙමත් මුල ඉඳන් ජනවාරි.. පෙබරවාරි... දුරුතු... නවම්... ඒත් නව වසරට ආවෙත් පරණ අපිමයි නේද? ජනේරුදා අළුත් ඇඳුම් පැළඳුම් වගේම අළුත් හිනාවකුත් පළන්ඳන් , Happy New Year සුබ අළුත් අවුරුද්දක්’’ මුව අග තියන් අයිසිං කළ කේක් ගෙඩි වගේ අපි එහෙ මෙහෙ දිව්වා... ඒත් ජනවාරි දෙවෙනිදා වෙද්දි ආයෙමත් පරණ මුහුණුමයි.. පරණ විඩාවමයි... පරණ මැසිවිලිමයි.. පරණ අරෝවමයි.. වතින් මිස සිතින් අළුත් නොවන ලෝකයකට කළල් මැඩ සුදු සියපත් ලෙසින් පිපෙන්නට හැකි බව, පිපෙන්නට අවැසි බව මතක් කර දෙන අපූරු ගීතයක් මේ.

හතරවටින් අහන්න දකින්න ලැබෙන්නෙ සමාජ පරිහානියේ ගන්දස්සාර නිස්සාර අත්දැකීම් බව ඇත්ත. හිත හිරිවට්ටන ඛේදවාචක බව ඇත්ත. නමුත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැරිය යුතුද අප? යහපත් සමාජ පරිණාමයක් වෙනුවෙන් වැඩ කරමින් ජීවිතයට ආදරය කරන අළුත් පරපුරක් බිහි කිරීමේ පරම යුතුකම පැහැර හැරිය යුතු නොවේ. කළල් මැඩ පිපී සුවඳ විහිදවන පියපත් ලෙසින් මනුස්සකමේ සුවඳ විහිදුවන්නට පෙළ ගැහෙමු.

නියංසාය අහවර කරමින්  වැටෙන පොද වැස්ස අපි ම වෙමු.

දෙගොඩ තලා ගලන මුරුගසං වරුසාව කෙළවරක් කරන සූර්ය මන්දස්මිතය අපි ම වෙමු.

අමාවක අඳුරට සමුදෙමින් පායන පුර හඳමඬල අපිම වෙමු.
එක්සත්ව එක්සිත්ව යහසිත් ඇතිව වැඩ කරන නව යෞවනයට මේ උත්තම අරමුණු බරක් නොව බරපතල ජීවන දැක්මක් ම වනු ඇති බව මගේ විශ්වාසයයි. 

2014 ජනවාරි   

අම්මේ මේ කිසිවෙකු හට බෑ මා නළවන්නට උඹ වාගේ


 
By Katie M. Berggren

ආමි නේවි එයාෆෝස්
ඊපීඞීපී, එල්ටීටීඊ....//
මව්බිම නැත්නං මරණය කිව්වත්
පෙලෝ ටෙලෝ සහ කරුණා අම්මාන්
අම්මේ මේ කිසිවෙකු හට බෑ
ජීවිතෙ දෙන්නට වෛරෙන් නොමරා ඔබ වාගේ
අම්මේ මේ කිසිවෙකු හට බෑ
පණක් රකින්නට ඔබ වාගේ.....

එස් එල් එෆ් පී, යූ එන් පී
එල් එස් එස් පී, එන් එස් එස් පී....//
ජේ එච් යූ සහ ජේ වී පී
ඒ ටු ඉසෙඞ් ඒ බී ???
අම්මේ මේ කිසිවෙකු හට නෑ
උඹ වාගේ මා ගැන සැලසුම් මගෙ ජීවිතයට
අම්මේ මේ කිසිවකු හට නෑ නෑ නෑ නෑ
වැටහෙන්නේ දුක අවංකවම...

ඩබ්ලිවි එච්  ඕ යූ එන් සීඩා
නෝවෙත් දෙන්නේ පිටරට පීඩා... //
සී එන් එන් සහ බී බී සී
ස්කයි එයාර් ඇන්ඞ් එම් ටී වී
වයි එෆ් එම් ඇන්ඞ් ශ‍්‍රී එෆ් එම්
අයි එෆ් එම්, රජ එෆ් එම්
සිරස ෂා ඇන්ඞ් ද ගී හිරු එෆ් එම්
ලක්හඬ එස් එල් බී සී අයි සී
අම්මේ මේ කිසිවෙකු හට බෑ
මා නළවන්නට උඹ වාගේ අවංකවම...

ගායනය, පදරචනය, සංගීතය - අජිත් කුමාරසිරි

සියුම්ව හද වෙණ තත් පිරිමදින, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ආනන්දයෙන් ඇරඹී ප‍්‍රඥාවෙන් අවසන් වන මිහිරි ගීත ගැන කතා කරන  හද ගී පොත අද වෙනස්ම විදියෙ ගීතයකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. 

අමුවෙන්ම ලියැවුණු කිසිදු සෞන්දර්යාත්මක හැඟීමක් මතු නොකරන මේ ගීතයේ පද වැල්වලත්, ගායනයේත් මතු වෙන්නෙ විප්ලවකාරීබවක්... සැබවින්ම මේ ගායනයේ කන්කළු මිහිරක් නැහැ.. හද සනසන මිහිරක් නැහැ. ගීතයේ කියවෙන යථාර්ථය තරමටම ගායනයත් කටුකයි. හිත හිරිවැටෙන තරමට ගොරහැඩියි. නමුත් එය වත්මන් සමාජයේ කැඩපතක් බඳුයි.

මේ ගීතය තුළ ඔහු තෝරා ගත් පවතින සමාජ, දේශපාලන යථාර්ථයන් කිහිපයක් අම්මාගේ ආදරය සමග සන්සන්දනය කරනවා. සැබවින්ම මේ අම්මා සංකේතාත්මකයි. ඇයගෙන් නියෝජනය වන්නේ ආදරය... ජීවිතය... ජීවිතය ගැන ඇති අපමණක් බලාපොරොත්තු, අපේක්‍ෂාවන්...... ඒ ආදරය සහ ජීවිතය දිනා දෙන්නට යුධකාමීත්වයට, දේශපාලනයට, රාජ්‍ය නොවන සංවිධානවලට හෝ මාධ්‍යයට නොහැකි බවයි ගීතයෙන් ගම්‍ය වනුයේ... සැබෑවත් එයම නොවේද?

මාධ්‍ය අද කොතරම් නම් ජීවිත වල්මත් කරනවාද? ජීවිත විනාශය කරා රැගෙන යනවාද? යුද්ධය නිසා, අදූරදර්ශී දේශපාලන කටයුතු නිසා කොතරම් නම් මිනිසුන් පීඩාවට පත් වනවාද? ප‍්‍රශ්නවලට විසඳුම්, සහන රැගෙන එන මුවාවෙන් බලගතු රටවල් කොතරම් දුප්පත් රටවල් තම ග‍්‍රහණයට ගන්නවාද? සූරා කනවාද?

දැලිපිහියෙන් කිරි කන තරමට ජීවිතය අවිනිශ්චිත වී ඇති සමාජයක විශ්වාසය තැබිය යුත්තේ කා කෙරෙහිද? අනුගමනය කළ යුත්තේ කාවද? පිළිපැදිය යුත්තේ කවර ප‍්‍රතිපත්ති මාලාවක්ද? මේ අද අප හමුවේ ඇති විශාල අභියෝගයකි. යා යුතු මග හෙළි පෙහෙළි කර ගත යුත්තේ අප විසින්ම ය.  ඒ සඳහා සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුය. අවදියෙන් දිවි ගෙවිය යුතුය. දැනුම ප‍්‍රඥාව සොයා යා යුතු ය. යොවුන් පියවර ඒ සඳහා ඔබට අත්වැලක් වන බව නිසැක ය.

2013 ජුනි