February 11, 2014

අම්මගේ සොහොන මේ මෙතැන...




මළවුන් සමරන ඉල්මහේ මළවුන්ගේ මාසයේ, හුස්මක් පාසා මළගිය මතක කැටිවුණ භූමියකට කවියෙක් පැමිණියේ ය. ඔහු සිංහල දමිල සාහිත්‍ය ලෝකයේ දිගුකාලීන ගෞරවාදරයට පාත‍්‍ර වූ කවියෙකි. මනුෂ්‍යත්වය, සත්‍යය, සාධාරණත්වය වෙනුවෙන් පන්හිඳ මෙහෙයවූ කවියෙකි. උතුරෙහි හිඳිමින් ම දකුණේ සිංහල කඳුල, සුසුම ගැන පවා දමිල බසින් කවි ලියූවෙකි. ඔහු ශ‍්‍රී ලාංකිකයෙකි. නමුත් දමිලව උපන් නිසාම උපන් බිමෙන් පිටුවහල්ව අන්‍ය දේශයක දිවිගෙවන්නට සිදුවුවෙකි. 

2006 වසරේ ජීවිතයෙන් සමුගත් ආදරණීය අම්මාගේ සොහොන පාමුල වසර ගණනක් කඳුලින්ම පිරියම් වුණු මාතෘ පේ‍්‍රමයේ උත්තරීතර කවියක් තබා යන්නට පැමිණි ඔහු, මවගේ සොහොන කරා යමින් සිටියදී 2013 නොවැම්බර් මස මාන්කුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනි. වීසා නීති කඩ කළ බව ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාව විය. කෙසේ නමුත් අත්අඩංගුවට ගත් මොහොතේම ගම්වාසීන්් ප‍්‍රබලව මැදිහත්වීම ද, ජාත්‍යන්තර අවධානය යොමු වීම ද හේතුවෙන් හිංසනයකින් තොරව ඔහු රටින් පිට කිරීමට රජය කටයුතු කළේය. 

ඔහු වී.අයි.එස්. ජෙයපාලන් කවියාය. යාපනයේ උඩුවිල් නම් ගම්මානයේ උපත ලබා, යාපනය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. මුල්ම කාව්‍ය සංග‍්‍රහය එළිදකින්නේ 1986 දී ය. වඩාත් ප‍්‍රචලිත වන්නේද කවියකු ලෙසිනි. යුද්ධය දරුණුවත්ම එල්ටීටීඊ සංවිධානයෙන් පවා ජීවිත තර්ජන එල්ලවෙමින් පැවති කාලයක ඔහු 1988 දී රටින් පිටව තම පවුලේ අය සමඟ වර්තමානයේ නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන්නේය. දකුණු ඉන්දීය චිත‍්‍රපටවල රංගනයේ යෙදෙමින් රංගන ශිල්පියකුද ලෙස නමක් දිනා ඇති ජෙයපාලන්, 1995 දී හොඳම සංක‍්‍රමණික කවියා ලෙස නෝර්වීජියානු ලේඛක සංවිධානය මගින් ද සම්මානයට පාත‍්‍ර විය. ( ඔහු පිළිබඳව වැඩිදුර විස්තර සඳහා නිලාර් කාසිම් ගේ ‘‘දමිළ කවියේ ශ‍්‍රී ලාංකික සලකුණ -ජෙයපාලන්’’ කෘතිය සහ ‘‘සහෝදර පියාපත්’’ කවි එකතුව කියවන්න.)

යුද්ධය නිමවීමෙන් පසු සියල්ල සාමකාමී නම්, සැමට සාධාරණත්වය, යුක්තිය ඉටු වන්නේ නම් වසර ගණනාවක් පියවි ඇසින් නොදුටු මවගේ සොහොන්බිම හෝ  නිදහසේ දකින්නට මිනිසකුට අවසර තිබිය යුතු නොවේ ද? අවම වශයෙන් ඔහු ශ‍්‍රී ලාංකික දමිල කවියකු ලෙස හඳුන්වා දෙන්නට තරම්වත් මහත්මා ගතියක් මාධ්‍ය වෙතින් පළ වියයුතු නොවේද? මේ සිදුවීමෙන් පවා වඩාත් පැහැදිලි වූයේ මාධ්‍ය සදාචාරයේ පිරිහීමත්, දමිල ජනයාට එරෙහිව තවමත් එල්ලවෙන පීඩනයත් නොවේද

ජෙයපාලන් කවියා කවියෙන්ම විමසන මේ පැනයට අප හමුවේ පිළිතුරු වේද?

‘‘පැසී කහගැහුණු තුරුලතා අතරින්
රත්තරන් අත්තටු ගසා පියඹන
සමනලයෙකු සේ ම ලෙළ දිදී
පරඬලා පර්ච් පත පතිත වෙයි
තණ මතට
අලූත් සරණාගතයකු ලෙසින්...

මේ මහා මිහිතලයේ
ජීවිතය හිමි නැතිව
පහසුකම් අහුලමින් හඹා යන
මිනිස් පරඬලාවන් වී අප
පොළව මත පොරබදමු...

කෝ අපිට මව්බිමක්.. ?????

2014 පෙබරවාරි

අපි අප ගැන ම විශ්වාස කරමු.





‘‘ දෙමළ අපේ සංස්කෘතියට අනුව මගේ පුතාට වගේ මරණයක් සිදු වුණාම දවස් 30 ක් යන තුරු ගෙදර කෑම උයන්නෙ නැහැ. ඒ නිසා අපේ අසල්වැසි දෙමළ පිරිස් අපට කෑම දෙන්න පටන් ගත්තා. හමුදාව ගිහිල්ලා ඒ අයට තර්ජනය කළා. ඊටපස්සෙ අපේ අසල්වැසි සිංහල පිරිස් ඉදිරිපත් වුණා ඒ දවස් 30 ඉවර වෙනකම් අපට කෑම උයල දෙන්න. සිංහල පිරිස් හැම හවසකම අපේ ගෙදර ඇවිත් පැය දෙක තුනක් ගත කරල ගියා. අපේ ජීවිතේ තියෙන තුරු අපේ පවුල ඒ සිංහල අසල්වැසියෝ අමතක කරන්නෙ නැහැ. අප ඔවුන්ට සදා ආදරය කරනවා.

අපට ත‍්‍රිකුණාමලයෙදි සිංහලයන්ගෙන් කරදරයක් තිබුණේ නැහැ. සිංහල ජනයා හදවත් තියෙන හරි හොඳ මිනිස්සු බව අප දන්නේ අත්දැකීමෙන්. මං ඉපදුණේත් සිංහල පළාතක. මගේ පියාට සිංහල දේශපාලන වගේම ව්‍යාපාරික මිත‍්‍රයින් හිටියා. 

අපි හැමෝම සිංහල, දෙමළ, මුස්ලිම් කියල වෙනසක් නැතිව එකිනෙකා ආශ‍්‍රය කරන්න  ඕන. දැන් මට සිංහල ටිකක් අමතක වෙලා. එංගලන්තේ ඉන්න නිසා. අපි අපේ භාෂා ඉගෙන ගන්න  ඕනෑ. රටේ හැමෝටම සිංහල දෙමළ පුළුවන් නම් අපේ රට කොච්චර වෙනස් රටක් වේවි ද? ඒ කියන්නේ එකිනෙකාගේ දුක සැප සහ අපේක්‍ෂා බලාපොරොත්තු තේරුම් ගන්න පුළුවන් නම්...!!! අප දේශපාලඥයන් ගැන විශ්වාසය තියනවාට වඩා අප ගැනම විශ්වාස කරගෙන තමයි ශ‍්‍රී ලංකාව මිනිස්කම අගයන හැම මිනිසෙක්ම සමාන ලෙස සලකන සුන්දර රටක් බවට පත් කරන්න පුළුවන්... මගේ පුතා රජීහර් වෙනුවෙන් මගේ පැතුමත් ඒකයි...’’

( 2013.11.03 රාවය පුවත්පතේ පළ වූ සංවාද සටහනින් උපුටා ගැණිනි. )

මේ විදිහට පවසන්නෙ දමිළ තාත්තා කෙනෙක්... තම පුතාගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉටු නොවූ තැන, උපන් බිමෙන් පිටුවහල්ව දිවි ගෙවන්නට සිදු වූ තාත්තා කෙනෙක්.. තම පුතු ඇතුළුව අහිංසක සිසුන් පස්දෙනෙකු නිකරුණේ මරා දැමීම ගැන යුක්තිය අයදිමින් වසර හතක් පුරා නොනවතින අරගලයක නිරත වෙලා ඉන්න තාත්තා කෙනෙක්... ඔහු මේ සෙනෙහසින් සිහි කරන්නෙ තමන්ගෙ පුතාව මරා දැමු මිනිසුන් අයත් වන සිංහල ජාතිය ගැන.. ලංකා දේශය ගැන... ඒ වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් මහතා. මේ වන විට ඔහු ජීවත් වෙන්නෙ එංගලන්තයේ... 

2006 වසරේ ජනවාරි දෙවෙනිදා ත‍්‍රිකුණාමලයේදී අවිහිංසාවාදයේ පියා ලෙස විරුදාවලී ලත් ගාන්ධි පිළිරුව අසල දමිළ සිසුන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා. එය රජයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ බවයි කියැවුණේ. ඒ අතර සිටි මනෝහරන් රාජිහර් වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් මහතාගේ පුතා. මේ ඝාතනය සම්බන්ධයෙන් නඩු පැවරුණත්, ආරක්ෂක අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගත්තත් එය තවමත් කෙළවරක් නොදකින, සාධාරණයක් ඉටු නොවුණ ඛේදවාචකයක් පමණයි..

‘‘මගේ පුතා ඝාතනය කිරීමෙන් පසුව එළඹෙන හැම නත්තලක්ම, හැම අළුත් අවුරුද්දක්ම මටත් මගේ පවුලේ අයටත් ඉතා දුෂ්කර කාලසීමාවක්..’’  

යුද්ධය, ජනවාර්ගික ගැටලූව නිසා නත්තල, නව වසර කඳුලින් සුසුමින් ගෙවා දමන තව කොතරම් මිනිසුන් අප අතර සිටිනවාද? ඒ සිත්තුළ සංහිඳියාව, සැනසීම ඇති කරන්නට පශ්චාත් යුධ සමයේ අප ගෙන ඇති ක‍්‍රියා මාර්ග සමත් වී තිබෙනවාද


හදවතේ තුවාලය කොතරම් දරුණු වුවත් මනෝහරන් මහතා තවමත් තමා උපන් බිමටත්, සහෝදර සිංහල ජනතාවටත් ආදරය කරනවා. ආදරය, සාමය, නිදහස පිරුණු අළුත් දේශයක් ගැන තවමත් ඔහු බලාපොරොත්තු පොදි බඳිනවා. අයුක්තියට, අසාධාරණයට, කෲරත්වයට එරෙහිව සටන් වදින ඔහු මනුෂ්‍යත්වයට පෙම් බඳිනවා.... මනුෂ්‍යත්වය, ආදරය කිසිදිනෙක නොසිඳෙන උල්පත් බව නැවත නැවතත් පසක් වෙන්නෙ මෙවැනි දයාබර මිනිසුන් නිසා... 

ඉදින්, මේ නව වසරේ ප‍්‍රඥාවේ පහන් දල්වමු, පේ‍්‍රමයෙන් ලෝකය ආලෝකමත් කරමු. අළුත් අහසක්, අළුත් පොලවක් වෙනුවෙන් එක්ව වැඩ කරමු.

2014 ජනවාරි

ෂෙල් කිරුල පැළඳි රාජිනී...



කිලිනොච්චියට නුදුරු වනගත ගම්මානයක ෂෙල් වැදිල කරටි කැඩුණු අබ්බගාත තල් ගස් අතරෙ ජීවිතය හොයා ගෙන සක්මන් කරන ඈ රාජිනී.. රාජ්‍ය උරුමයක් වෙනුවෙන් සටන් වැදුණ මිනිසුන් අතර අරාජික රාජිනී. මිනිස්සු නැති තැන ඈ හැඳින්වුවෙ සොත්ති රාජිනී කියල. ඇගේ දකුණත තිබුණට පුළුන් රොදක තරම්වත් පණක් නෑ. ඒ අත සදාකාලිකවම වැඩ අත්හරින්න තීරණය කළේ ෂෙල් වෙඩිල්ලක කෑල්ලක් පියාඹගෙන ඇවිත් කුරිරු විදියට දකුණතම සිප ගත්ත දවසෙ ඉඳල. 

ඇගේ පළමු සැමියා මිය ගිහින්. දරු තුන් දෙනයි. බයිබලීය දේව ධර්මය අපට කියා දෙන විදියට රාජිනී කියන්නෙ මහත් වූ දයාවෙන් රැක බලා ගත යුතු වැන්දඹුවක්. නමුත් සෙනෙහසේ මුවාවෙන් ඇයව රවටා පළා යන ආගන්තුකයෙක් නිසා ඇයට තවත් දරු ගැබක් පිහිටනවා. ඒ යුද්දය නිමාවීමෙන් පසුව ඈ වෙත අනපේක්‍ෂිතව කඩාපාත් වූ හෙණයක්. සමාජයෙන් කොතෙක් නින්දා අපවාද විඳින්නට සිදු වුණත්, අගහිගවලින් කරවටක් එරිල උන්නත් ඒ දරුවා බිහි කරන්නත්, රැක බලා ගන්නත් ඇය ස්ථිර අධිෂ්ඨානයක පිහිටනවා. 

ඒ තමයි උත්තරීතර මාතෘත්වය... උත්තරීතර ස්ත‍්‍රී අධ්‍යාත්මය... උත්තරීතර මනුෂ්‍යත්වය..

යුද්ධයෙන් අබල දුබල වූ ගම්පියස නගා සිටුවන්න, මිනිසුන්ට ජීවත් වෙන්න බලාපොරොත්තුවක්, මගපෙන්වීමක් දෙන්න රාජ්‍ය නොවන සමාජ සේවා ආයතනයක් හරහා ගමට ඇවිත් ඉන්නවා පැවිදි සොයුරියන් කිහිප දෙනෙක්. ඔවුන් ක‍්‍රියාත්මක කරන විවිධ අධ්‍යාත්මික, ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් අතර කිරි ගව ව්‍යාපෘතියත් ඵලදායක වැඩක්. මේ හරහා රාජිනීටත් කිරි එළදෙනක් ලැබෙනවා. පණ නැති දකුණතකුයි, දරු සිව්දෙනෙකුගේ වැඩයි එක්ක එළදෙනක් රැක බලා ගන්න අසීරු නිසා ඈ එළදෙන රැක බලා ගන්න අසල්වැසියකුට භාර දෙනවා. එළදෙන පැටියෙක් බිහි කරනවා. ඒත් රාජිනීට කිරි බිඳක්වත් ලැබෙන්නේ නෑ. අප්ප නැති කිරිකැටියෙක් ගෙදර ඉන්න බව දැන දැනම. ඇය එළදෙන ආපහු ඉල්ලනවා. ඔහු එළදෙන නොදී මග අරිනවා. එළදෙනයි, පැටියයි හංගල හොරු ගෙන ගිය බව කියනවා. 

රාජිනී පැමිණිල්ල අරන් එන්නෙ පැවිදි සොයුරියන් ළඟට. 

‘‘ ඇයි සිස්ට ඔයාලගෙ ආගමේ වෙලත් ජේසුදාසන් මට මෙහෙම කරන්නෙ?’’ එහෙම අහන්නෙ හින්දු ආගමේ රාජිනී. ගෙදර හැමදාම දෙවියන්ට පහන පත්තු කරන, භක්තියෙන් යාච්ඥා කරන, හැම ඉරිදම පල්ලි යන ජේසුදාසන් උත්තර දෙනවා මෙහෙම...

‘‘අත සොත්ති ගෑණිගෙ හරක මට  ඕන නෑ සිස්ට. ඔය ගෑණි තව ටිකක් දුක් විඳපුදෙන්..’’

නමින් ජේසුදාසන් වුවත්, හදවතින් ජේසු දහමේ පිහිටන්නට නොහැකි වීමෙන් උපදින කුරිරුකම.. එයම ද හේතුව? නැත. 

වසර ගණනක කුරිරු යුද්ධයක පීඩාවෙන් හදවත් ගල්ගැහීම... නොසලකාහැරීම, අනාදරය, අයුක්තිය, අසාධාරණය නිසා නිරන්තරයෙන් සමාජය පිළිබඳව දැවෙන වෛරයකින් පසුවීම.. ඒ යුද්ධය විසින් වැපිරූ අස්වැන්න. ජේසුදාසන් ජීවත් වෙන්නෙත් පපුව ළඟම ෂෙල් වෙඩිල්ලක කෑල්ලක් තියාගෙන.  ඒ ගමේ වැඩි දෙනෙක් එහෙමයි. කාගෙත් ශරීරයක කොහේ හරි තැනක ෂෙල් කෑල්ලක්, මූණිස්සමක්, නැත්නම් කැලලක්වත් තියෙනවා. 

එහෙම තියාගෙන ආදරය කරන්න, මනුෂ්‍යත්වයෙන් පිරෙන්න අමාරු බව අප වටහා ගත යුතුයි. එවැනි හදවත් තුළ සාමයේ පහන් දල්වන්න අමාරුයි. ඒ සඳහා අප‍්‍රමාණ කැපකිරීමක්, ඉවසීමක්, තේරුම් ගැනීමක් අවශ්‍යයි. සිංහල සමාජය විදියට අපට ඒ උවමනාව තියෙනවද කියල අපි අපගෙන්ම ප‍්‍රශ්න කළ යුතුයි. උතුරට පමණක් නොවේ මුළු දිවයිනටම සැබවින්ම වසන්තය උදාවන්නේ අපි පේ‍්‍රමයෙන් පිරුණු හදවතින් එකිනෙකා තේරුම් ගන්න, එකිනෙකා පිළිගන්න, එකිනෙකා අගයන්න ඉදිරිපත් වුණ දවසටයි.

ජීවිතේ කොයිතරම් දුක වුණත්     රාජිනී
කොහේ සැඟවී යමුද ඉඩක් නෑ     රාජිනී
ස්නේහ නිම් නැති නදිය ඇති තුරා රාජිනී
සුවිසාල හදවතම සුරලොවයි        රාජිනී

මිලින මල් කැකුළිය ප්‍රශංසනී...



ඈ දමිල බසින් ''ප‍්‍රශංසනීය'' යන අරුත් දරන්නී ය. සිඟිති මල් කැකුළියකි. යාම්තමට සවැනි විය පසු කළා පමණි. යුද්ධයෙන් නටබුන් වූ ගම් පියසක අප්පා නැති පැලේ සොයුරු සොයුරියන් තිදෙනෙකු සමග දුක් දහසක් මැද දිවි ගෙවන්නීය. යුද්ධයෙන් නූලෙන් ගළවා ගත් දිවිය ඇදගෙන යාමට වෙහෙස වන දිරිය මවගේ සෙවණ පමණි ඔවුන්ට ඇති එකම රැකවරණය.

මින් මාස තුනකට එපිට ඉර ගිනිගත් මධ්‍යහ්නයක පාසැල නිමවී පැමිණෙමින් සිටිය දී මේ සිඟිත්තිය අධිකතර  ලිංගික පිපාසාවෙන් පෙළෙන්නෙකුගේ කුරුරි ග්‍රහණයට හසු වූවාය. අතුරුදන් වූ දියණිය සොයා යන මවට හමු වූයේ මල් කැකුලක් නොව අනේක වධ බන්ධනයන්ට හසු වූ ලේ වැකුණු වධ මලකි. මරුවා සමග සටන් වැද ඇය පණ නළ රැකගෙන සිටියා ය. 

''පොලිස් මාමා ... පොලිස් මාමා'' පොලිස් මාමා කෙනෙකු ටොෆියක් දී රැගෙන ගිය බව ඇය යම්තමින් කියා ගත්තාය. ගම්වාසීන්ද, ආගමික ආයතනද, රාජ්‍ය නොවන සංවිධාන ද මැදිහත් විණි. ඉදින් ඒ පොලිස් මාමා සොයා යන්නට පොලිසියට සිදු විය. අවසන ඒ පොලිස් මාමා හමුදා සෙබළෙක් බව අනාවරණය විය. නීතිය ක‍්‍රියාත්මක කළ යුතු තැනටම ගෙනෙන්නට ගම්වාසීන්ගේ මැදිහත් වීම ප‍්‍රබල විය. නමුත් තවමත් එය ඉබි ගමනේ ය. දැරියට සිදු වූ සාධාරණයක් නැත.

මේ සිදුවීමේ දී මතු වන ප‍්‍රබල කරුණු කිහිපයකි.

උතුරේ වුව, දකුණේ වුව දුප්පත් අසරණ ජනතාවට සිදු වන අයුක්තිය, අසාධාරණය හමු වේ ඒ මිනිසුන් තුළින්ම ප‍්‍රබල හඬක් නොනැගුණි නම් නීතියේ ¥තිකාවට ඇස් වසාගෙනම සිටින්නට සිදුවේ. එනිසා එක්සත්ව, එක්සිත්ව තමන්ට සිදු වන අසාධාරණයන් හමුවේ හඬක් නැගීම යුගයේ අවශ්‍යතාවයකි. දකුණේ වුව කාන්තාවන්, දරුවන් දුෂණය කළ අය නීතියේ රැහැනින් මිදී වැජඹෙන සිදුවීම් මෑත කාලයේ සුලබ විය. 

උතුරේ මෙවැනි සිදුවීම හෙළිදරව් වනවාට වඩා සිදු වන්නේ යටපත් කර දැමීම ය. සදාකාලික වේදනාවන් සිත්වල ඉතිරි කොට කාලයේ වැලිතලාවෙන් වැසී යාම ය. සිදු වන සාධාරණයක් නැත. මේ පිළිබඳ පැහැදිලි අත්දැකීම් දකුණේ ද  ඕනෑ තරම් ඇත. එනිසා දැන් සියල්ල සන්සුන්යැයි, සාමකාමී යැයි, සුන්දරයැයි සිහිනයක අප වෙළී සිටින්නේ නම් එය මායාවකි. මුලාවකි. 

මානුෂික මෙහෙයුම් සිදු කළ රණවිරුවන් අතින් මෙවැනි සිදුවීම් සිදු නොවූ බව/ සිදු නොවන බව රජය පුන පුනා කියමින් සිටින්නේ ය. ආරක්‍ෂක අංශ වෙතින් සාමාන්‍ය ජනයා වෙත එල්ල වන මෙවැනි පීඩාවන් සඟවා තැබීමෙන් සිදු වන්නේ තත්ත්වය තව තවත් දරුණු වීම පමණි. දීර්ඝකාලීන යුද්ධයක නියැළී සිටි අවි ගත් පිරිස් යුද්ධයකින් පසුව සමාජගත කිරීමේ දී ඔවුන් මානසිකව, අධ්‍යාත්මිකව සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය වන්නේය. 

පුනරුත්ථාපනය කළ යුත්තේ එල්ටීටීඊ සාමාජිකයින් පමණක් නොවේ.  සොල්දාදුවන්ට පවා මානසික විශෝධනය අත්‍යවශ්‍යය. සිරගත හැඟීම්, පීඩනයන්  ( ලිංගිකත්වය, වේදනාව, වෛරය, හුදකලාව....) තුළින් නිදහස් වීමේ අවස්ථාව ඔවුනට ලබා දිය යුතු අතරම, ඒ සඳහා අධ්‍යාත්මික මඟ පෙන්වීමක්ද අවශ්‍යය. 

උතුරට පමණක් නොව දකුණටත් වසන්තය උදා වන්නේ අධ්‍යාත්මික, මානුෂීය, සමාජයීය සංවර්ධනයකින් මිස භෞතික සංවර්ධනය තුළින් පමණක් නම් නොවේ.

2013 ඔක්තෝම්බර්