March 26, 2014

ආදරවන්තයෝ


මට නම් හැම හුස්මක් පිටුපසම ශුද්ධවර වැලන්ටයින් ය. හැම හුස්ම පොදක්ම දිව්‍යමය පේ‍්‍රමයේ සෞම්‍ය සුළං දහරක් ය. සෑම නිමේෂයක්ම ශුද්ධවර වැලන්ටයින් හස්තයෙන් ආසිරි ගැන්වී ඇතුවාක් මෙනි. හැම දවසක්ම පේ‍්‍රමයේ නිමැවුමකි. සැබවින්ම එය එසේ වන්නේ ජීවිතය යනු පේ‍්‍රමයේ ඓශ්චර්යයක් යැයි මා අදහන නිසා මිස සැබවින්ම ලෝකය නිරන්තරයෙන් නොමසුරුව පේ‍්‍රමය පුද දෙන්නට ම සැදී පැහැදී සිටිනා නිසා නම් නොවේ. ‘‘ආදරය යනු ක‍්‍රියාවක් මිස ප‍්‍රතික‍්‍රියාවක් නොවේ’’ ය යන්න මා හද ගැඹුරින්ම පිළිගන්නා ජීවන සත්තාවකි.

හැම දවසක්ම ආදරවන්ත විය යුතු යැයි අදහනා බැවින්ම ශුද්ධවර වැලන්ටයින් නාමයට නාමමාත‍්‍රිකව වෙන් වුණු නවම් මහේ දාහතරවෙනිදාවෙහි කිසිදු විශේෂත්වයක් කිසි දවසක මට දැනී නැත.
නමුත් මේ ආදරවන්ත දාහතරවෙනිදාවේ මා උන්නේ සැබවින්ම පේ‍්‍රමණීය ආදරවන්ත යුවළකගේ ඇල්ම බැල්ම රිසි සේ රස විඳිමිනි. රෝසම්මාගේ රෝස මල් නිවහනේ රෝස සුවඳැති ස්නේහ වැස්සේ නැහැවෙමිනි. ඈ මගේ ළබැඳි මිතුරියකගේ මව ය. ලොවෙහිම දරුවන්ට මවක් විය හැකි තරමට විසල් හදවතක් ඇති දිරිය කතකි.

ඇය ඇනා රෝස් මායාදුන්න ය. අසූ හැවිරිදි ය.

ඔහු තෝමස් සිංඤා් අප්පුහාමි ය. අසූ දෙහැවිරිදි ය.

ඇය සහ ඔහු දෙවි සමිඳුන් අබියස පේ‍්‍රමයේ ගිවිසුමින් බැඳී, එක වහලක් යට කූඩු වී මේ වන විට පණස්තුන් වසරකි. දරුවන් සයදෙනෙකි. ‘‘මගේ දරුවො දේව දූතයො වගේ’’ රෝසම්මා දරුවන් ගැන නිහතමානී සාඩම්බරයෙන් පවසන්නේ එලෙසිනි. ‘‘මං වින්ද දුක් කන්දරාවෙ හැටියට මගේ අවසන් කාලෙ මේ වගේ සැප සම්පත් ලැබෙයි කියල හිතුවෙ නෑ රත්තරනේ.. මේ හැමදේම මගෙ දරුවො නිසා..’’ ඈ නෙතඟ කඳුලක් පිසින්නී ය.

‘‘මයෙ රත්තරන් පුතේ.. මං මේ කියන කාරණේ කනට ගත්තොත් මගෙ පුතාට කවදාවත් වරදින්නෙ නෑ.’’ ඈ පවසන්නේ මට ය. ඉමහත් ස්නේහයෙනි.

‘‘ අද වනතුරා මේ මනුස්සයා මට අතක් උස්සල නෑ. නිය පිටින් පාරක් ගහල නෑ.  එහෙම වුණේ මගේ රත්තරන් අම්ම හින්ද. මං දීග යන්න කළින් අම්ම මට දැනමුතුකං දුන්නෙ මෙහෙම. නැන්දම්මා කියන්නෙ උඹේ මනුස්සයගෙ අම්ම. ඒ අම්ම නැත්නං උඹේ මනුස්සයත් නෑ. ඒ හින්ද නැන්දම්මා එක්ක එකට එක කියාගෙන යන්න එපා. නැන්දම්මට විරුද්ධව මනුස්සයට ගතු කේලම් කියන්න එපා. ජේසු සුවාමිදරුවො ඉස්ඉස්සිල්ලම පල්ලියට වඩාගෙන ගිය වෙලාවෙ සීමොන් දිවැසිවරයා මරියතුමීට කිව්වා ඔබේ හදවත කඩුවකින් අනිනවා වගේ තුවාල වෙනු ඇත කියල. කසාද බැන්දයින් පස්සෙ මිනිහ උඹේ පැත්ත අරන් අම්මට දොස් කිව්වොත් ඒ අම්මගෙ හිත පෑරෙන්නෙත් අන්න ඒ වගේ. ඒක අමතක කරන්න එපා දුවේ...කියල....

ඉතින් පුතේ කවදාවත් කිසිම ප‍්‍රශ්නයක් වෙලා නෑ අපි අතර. අපේ මනුස්සයගෙ පවුලෙ පිරිමිම තුන්දෙනයි. අපි නෑනල තුන්දෙනා නැන්දම්මා එක්ක එක වහළක් යට උන්නා අවුරුදු ගානක්. උඹ බං බොලන් කියාගෙනවත් නෑ....’’ අතීතය මෙනෙහි කරන රෝසම්මාගේ දෑස් දිදුළයි.

රෝසම්මාගේ රෝස නිම්නයේ කතා ගොන්නට නිමාවක් නම් නැත. අසා ඉන්නට ඉන්නට ආශාවක්ම මිස එපා වීමක් ද නැත. විටින් විට එබෙන ඇගේ ස්වාමියාගේ කවට වදන් ද ඔවුන්ගේ නිම් නොවන ස්නේහයේ නිම්නාද නඟන ගීතයක් බඳු ය. සැණෙකින් සියල්ල අමතක වන සිය ස්වාමියා දරුවකු සේ මහත් ආදරයෙන් රැක බලා ගන්නී රෝසම්මා ය. වෙලාවට කෑම බීම, බෙහෙත් වේල ළං කර දීම, නාන්නට ළිඳ ළඟට කැන්දන් යාම, තේ බිවූ බව අමතක වන බැවින් නිතර නිතර ඔහුගේ නෝක්කඩු ඉල්ලීමට කන්දෙමින් සීනි නැති තේ සදා දීම, සීනි බෝතලය ඔහු අතට අසු නොවන සේ විටින් විට, තැනින් තැන සැඟවීම ඇගේ දෛනික රාජකාරි ය. බලා සිටින්නට ලෝබ ය. එතරම්ම ස්නේහවන්ත ය.

‘‘මං දෙයියන්ගෙන් ඉල්ලන්නෙ දුවේ.. මගේ ඇස් දෙක පියවෙන්න කළින් මගෙ මනුස්සයගෙ ඇස් දෙක පියවෙන්න  ඕන කියලයි. මං තරම් ආදර කරුණාවෙන් සැලකිල්ලෙන් ඔය මනුස්සයව රැක බලා ගන්න දරුවන්ට බෑ. බෑ කියන්නෙ වෙලාවක් නෑ....’’ ඇසග දිලිසෙන කඳුලක් ඇතිව ඈ පවසන්නී ය. 

‘‘දැන් ඉතින් හැමදේම ඩේට් එකටනෙ දුවේ. ආදර කරුණාව කියන්නෙ දවසක වැඩක් නෙමෙයිනෙ. ජීවිත කාලෙම පවතින්න  ඕන දෙයක්. මේක නම් මහ විපරීත කාලයක්.. ගෑණු මිනිස්සුන්ට ඉවසීම නෑ. දෙයියො බුදුන් ගැන ගෞරව භක්තියක් නෑ. පවුල් පන්සල් උණාම  ඕනැම දුකක් විඳ දරාගෙන ඉස්සරහට යන්න හිතේ හයිය තියෙන්න  ඕන. ඒකට දෙයියන්ගෙ පිහිට ඉල්ලන්න  ඕන. නිතරෝම. මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ හිතේ හයියයි, ආගම දහමට තියෙන භක්තියයි හින්දා නෝනො..’’


අසූ හැවිරිදි රෝසම්මා වැලන්ටයින් දිනය ගැන සිය මතය පළ කලේ එලෙසිනි. ඉදින් මේ අරුම පුදුම ස්නේහ මන්දිරයේ ඓශ්චර්යය අසමින් දකිමින් විඳිමින් මෙදා ආදරවන්තයන්ගේ දිනය ගත විය. සැබවින්ම එය ආදරවන්තයින්ගේ දිනයක්ම විය. පේ‍්‍රමය ගැන අප ලියන කව් ගී දහසක් පරදන සැබෑ පේ‍්‍රමයක් ඔවුන් සතුව ඇතැයි සිතිය නොහැකි ද?

2014 මාර්තු

March 13, 2014

පාප් වහන්සේ ඔයාගෙ නෙමෙයි...





ජාති, ආගම්, කුලමල, භාෂා, වර්ණ, ඇති නැති ආදී වූ නානාප‍්‍රකාර හේතු මුල් කරගෙන සමාජය භේද භින්න වෙලා. ගහමරා ගන්නවා. යුද්ධ කලකෝලහාල හැමතැනම. මේ හැමදේකින්ම වැඩියෙන්ම තැලෙන්නෙ පොඩි වෙන්නෙ පුංචි ළමයි... සිඟිති සුරංගනාවි විතරක් නෙවෙයි මුලූ සුරංගනා ලෝකෙම ඉන්නෙ මේ ගැන මහත් කණස්සල්ලෙන්. වැඩියක්ම නරක පුංචි අයගෙ හිත්වලටත් වැඩිහිටි ලෝකෙ එකතු වෙලා මේ භේද බින්න වීමේ විස පුරවන එකනෙ....
............................

සිඟිති සුරංගනාවි දන්න සුන්දර පවුලක් තියෙනවා. තාත්ත බෞද්ධ, අම්ම කතෝලික.. ඒත් ආගම් භේදයක් නැතිව සමගි සමාදානෙන් ඉන්න පවුලක්.. දරුවො දෙන්න අම්ම එක්ක පල්ලිත් යනවා. තාත්ත එක්ක පන්සලූත් යනවා. පවුලම එකටත් පල්ලියට, පන්සලට යනවා. ගෙදර බුදු හාමුදුරුවන්ටත්, ජේසුටත් පහන් පත්තු කරනවා. ළමා ලෝකෙ විස්තර දැන ගන්න සංචාරයක යෙදිල ඉන්න හැන්දෑවක  සිඟිති සුරංගනාවි ඒ පැත්තටත් පියාසර කළා. 

එදා ඔන්න අම්ම, තාත්තා, ආච්චි අම්ම, දරුවො දෙන්න එකතු වෙලා සාලයේ කතාබහක. ඒ වෙලාවෙ ටීවී එකේ ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය වෙනවා. ප‍්‍රවෘත්තිවලට කිව්වෙ පාප් වහන්සේ ඉල්ලා අස්වන බව. තාත්ත හොඳට රූපවාහිනිය ළඟට කිට්ටු වෙලා බලන් හිටියා. ‘‘ ඇයි දන්නෙ නෑ පාප්වහන්සේ ඉල්ලා අස් වෙන්නෙ ’’ කියල. 

මේ වෙලාවෙ ලොකු පුතා ටිකක් හයියෙන් සැරෙන් වගේ තාත්තට මේ විදියට කියන්න ගත්තා.. 

 ‘‘ පාප් වහන්සේ ඔයාගෙ නෙමෙයි.. පාප් වහන්සේ අපේ. ඔයාට වැඩක් නෑ. ඔයා පන්සල් යන්නෙ. පල්ලි යන අයගෙයි පාප් වහන්සෙ...’’ 

 තවත් මහා පණ්ඩිත කතා ගොඩක්. අම්මටත් පුදුමයි. මේ දරුවා කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල. ගෙදර පරිසරයෙදි මේ වගේ දෙයක් කියන්න බලපෑමක් කොහෙත්ම තිබුණෙ නෑ. ආගම්වාදී අදහස් කොහොමද මේ පුංචි එකාගෙ ඔලූවට ඇතුල් උණේ. 

අම්ම ඉක්මණින් තාත්තගෙ මූණ බැලූවෙ එයාට දුක හිතුණද කියල දැන ගන්නයි. ඒත් තාත්තා හිනා වෙවී අහගෙන හිටිය. පුතාගෙ  දඟකාර කතාබහ ගැන හිනාවක් මිස තාත්තගෙ මූණෙ තරහක් තිබුණෙ නෑ. එක්කො එයාට ඒ අදහස් බරපතළ විදියට දැනෙන්න නැතිව ඇති. 

තාත්ත ගෙදර නැති වෙලාවක අම්මා පුතාව ළඟට අරගෙන මේ විදියට කියල දුන්නා.

 ‘‘හැම ආගමක්ම එක වගේ වටිනවා පුතේ. තාත්ත අපිව පල්ලිත් එක්කරන් යනවා. පන්සලූත් එක්කරන් යනවා. තාත්ත වැඩ ඇරිල ආවම බුදුන් වඳින්න මං හැමදාම හැන්දෑවට මල් කඩලත් තියනව නේද? තාත්ත නේද ජේසු ළඟත් පහන පත්තු කරන්නෙත්. අම්මටයි, තාත්තටයි ආගම් භේදයක් නැහැ නේද? හැම ආගමක්ම අපිට කියල දෙන්නෙ හොඳ මිනිස්සු වෙන්න කියල. ඒ නිසා හැම ආගමක්ම එක වගේ වටිනව පුතේ.. ආගම ගැන කියල කාගෙවත් හිත රිද්දන්න හොඳ නැහැ...’’

සිඟිති සුරංගනාවිටත් දුකයි මේ සිද්ධිය ගැන. ළමයින්ගෙ හිත්වලට ඇතුළ් වෙන මේ විස වැඩිහිටි විය වෙද්දි තවත් බරපතළ වෙනවනේ හරි මගපෙන්වීමක් නොලැබුණොත්. මේ පුතා ඉගෙන ගන්නෙ දිවයිනේ ප‍්‍රසිද්ධ කතෝලික පාසලක. පාසලේදි වැඩි අවධානය දෙන්නෙ කතෝලික ආගම පැත්තට. නොදැනීම ළමයින්ගෙ හිතට ඇතුළ් වෙනවා තමන්ගෙ ආගම අනෙකුත් ආගම්වලට වඩා වටින බවට අදහසක්. 

තමන් අදහන දහමට ළැදිව ජීවත් වීමත් අනිකුත් ආගම්වලට ගරු කිරීමත් සැබෑ ධාර්මිකත්වයනෙ. ඉතින් සිඟිති සුරංගනාවිට හිතෙනවා ඉස්කෝලෙදි ළමයින්ට වෙන වෙනම තම තමන්ගෙ ආගම ගැන විතරක් උගන්වනවට වඩා හොඳයි හැම ආගමක් ගැනම  අවබෝධයක් ලැබෙන විදියට ආගම පොදු විෂයක් බවට පත් කරන එක කියල. ලෝකයේ ප‍්‍රධාන ආගම්වල ආරම්භය, ඒවායේ හරය, වත්පිළිවෙත් ගැන පොදුවේ ළමුන්ට කියා දෙන එක හොඳයි. ඉරිදා දහම් පාසල විභාග ඉලක්ක කර ගත් තවත් ටියුෂන් පන්තියක් නොවී දහම ළමුන්ගේ ජීවිතයට සමීප කරවන සරල සුන්දර තැනක් වෙන්නත්  ඕන. 

2013 මාර්තු

කවීතා.... ඈ මට කතා කළා.





මනුෂ්‍යත්වය විඳින්නට, මනුෂ්‍යත්වය හඳුනා ගන්නට භාෂාව නොදැනීම බාධාවක්ද? සංස්කෘතිය නොදැනීම බාධාවක්ද


එය එසේ නොවේ යැයි මම සිතමි.

නමුත් ගැඹුරින් හදවත් ස්පර්ශ කරන්නට, එකිනෙකාව ගැඹුරින් තේරුම් ගන්නට භාෂාව නොදැනීම, සංස්කෘතිය නොදැනීම බාධාවක් බව මම වටහා ගෙන සිටිමි. 

විශේෂයෙන්ම ජනවාර්ගික අර්බුදයක ගිනි පුපුරු අළු යට සැඟවී ඇති යුගයක, යුද්ධය විසින් බිඳ දැමුණු සිත්වල ගැඹුරු තුවාල රිදුම් දෙමින්, කකියමින් පවතින සමයක අන්‍යෝන්‍ය සිත් සුවපත් කර ගැනීමේ, නිවා ගැනීමේ භාරදුර කාර්යය සඳහා භාෂාව, සංස්කෘතිය පිළිබඳ අවබෝධය ඉතා වැදගත් යැයි මම සිතමි.

........................

හිරු ගිනි ගන්නා මධ්‍යහනයේ නාඳුනන අංකයකින් ඇමතුමක්. 

‘‘ අක්කා නාන් කවීතා...’’

‘‘  ඕ ගෝඞ් කවීතා...’’ මගේ හිතේ හිනා මලක්. 

කවීතා අවුරුදු 16 ක පමණ අහිංසක දමිළ යුවතියක්. ඈ මට මුණ ගැසුණේ පසුගිය සතියේ පැවති මගේ ඥාති සොයුරෙකුගේ විවාහ මංගල්‍යයකදී. වව්නියාවේ සිට පැමිණි ඥාති පිරිසක් සමග ඈ පැමිණ සිටියා. නිවසේ මෙහෙයට සිටින බවයි දැන ගන්නට ලැබුණේ. මා දෙමළ දන්නේ නැහැ. ඇය සිංහල දන්නේ නැහැ. නමුත් දන්නා දෙමළ වචන කිහිපයෙන්, සිනාවෙන්, නෙත් බැල්මෙන්, අංග චලනයන්ගෙන් මා ඈ සමග හිතවත් උණා. 

නන්නාඳුනන සෙනගක් මැද තනි වූ ඇය ගැන කාටවත්ම හැඟීමක් තිබුණෙ නැහැ. රාත‍්‍රියේ බිත්තියකට හේත්තු වූ ඈ නිදා වැටෙමින් සිටියා. මම කවීතාව මගේ ගෙදරට කැන්දන් ගියා නිදා ගන්න. භාෂාව නොදැනීම අප දෙදෙනාගේ සමාගමයට බාධාවක් උණේ නැහැ කොහෙත්ම. ඇය දීර්ඝ ලෙස දමිල බසින් කියනා දේවල, අසනා ප‍්‍රශ්නවල වදනක් දෙකක් අහුලාගෙන මමත් උත්තර බැන්ඳා. හිනාවයි, නෙත් බැල්මයි කොයි තරම් ශක්තිමත් රැහැන්ද නාඳුනන සිත් යා කරන්නට. 

මගේ ගෙයි තවමත් වැඩ ඉවර එක කාමරයයි. කාමරයට තියෙන්නෙ එක පුංචි ඇඳක් පමණයි. ඇයට රාත‍්‍රී නිදන ඇඳුමකුත් දීලා, බිමට පැදුරක් දාලා, මදුරු දැලත් දාල නිදා ගන්න සැලැස්සුවා. ‘‘තැන්ක් යූ අක්කා’’ ඇය හිනා වෙලා කිව්වා.  ‘‘ ගුඞ් නයිට් තංගච්චී’’ මමත් හිනාවෙලා සුබ පැතුවා. නිදා ගන්න ඇඳට ගියාම නම් මට දුකත් හිතුණා. ඇයි මම ඇයට ඇඳ දීල බිම නිදා ගන්න නොගියෙ කියල. නමුත් ඒ වෙද්දිත් ඈ සුව නින්දක. 

ඒ කවීතා මෙලෙස මා ඇමතුවේ ඈ මගේ මතකයෙන් ගිලිහී යමින් සිටියදී. 

‘‘ කවීතා එප්පඩි සුහම් තංගච්චී’’ 

‘‘නල්ලම් අක්කා ’’ තේරුණේ එපමණයි. තවත් දිග හෑල්ලක්. අණ්ඩර දෙමළ වගේ. මම කමල් සොයා ගෙන දිව්වා. ඔහු දමිළ. යාපනේ වැසියෙක්. වැඩ කරන්නෙ අපි එක්ක කොළඹ. සිංහල දමිළ භාෂා දෙකම මැනවින් හසුරුවනවා. කමල් කැමැත්තෙන්ම භාෂා පරිවර්තක බවට පත් උණා මාත් කවීතාත් අතර. 

‘‘ අක්කා ඇන්ටිගෙ ෆෝන් එක නැති උණා. එයාට කෝල් එකක් ආවා. මමයි ෆෝන් එක ගෙනිහින් දුන්නෙ. එයා ළිඳ ළඟ ඉඳන් කතා කළේ. ළිඳ ළඟ තියන්න ඇති. වඳුරො ගෙනිච්චද දන්නෙ නැහැ. ළිඳට වැටුණද දන්නෙ නැහැ. මම හොරකම් කළා කියල හිතල  මාව ගෙදරින් යැව්වා. ’’   

ඈ කී දිගු කතාව කමල් මට සාරාංශ කළේ එලෙසින්. 

‘‘දැන් ඔයා කොහෙද ඉන්නෙ’’ මගේ සිංහල ප‍්‍රශ්නය කමල් දමිල බසට හරවනවා. 

‘‘පුංකුඩතිව්. මේ අම්මගේ ෆෝන් එක. අක්කා  ඕන වෙලාවක කතා කරන්න. මම හොරකම් කළේ නෑ අක්කා. ’’  

කමල් සහ කවීතා අතර සංවාදය ඇදෙද්දී මගේ හිත දැවෙනවා. ඈ අහිංසක කෙල්ලක්. කෙසේවත් මෙවන් වරදක් ඈ අතින් සිදු විය නොහැකි බවයි මට හිතෙන්නෙ. කිසිවක් සිතා ගත නොහැකියි. 

නමුත් ඈ මට කතා කළා ඇගේ දුක කියන්නට. මගේ දෙනෙත් තෙත් වන්නේ ඒ ආදරය, ගෞරවය සහ විශ්වාසය නිසයි. 

‘‘ අක්කා සී යු බායි..’’ මට වැටහෙන බසින් ඈ මට සමු දුන්නා.

‘‘දෙවි පිහිටයි සතුටින් ඉන්න නංගී.  මම ඔයාට කතා කරන්නම්’’ මගේ සිංහල සිතුවිලි කමල්ගේ පිහිටෙන් දමිල බසට හරවාගෙන මමද ඇයට සමුදුන්නා.

නමුත් මහා හිස්තැනක් හිතේ ඉතිරි වුණා වගේ මට දැණුනා.

හිතේ හැටියට ඇගේ දුකට සවන් දෙන්නට, ඇගේ හිත හදන්නට නොහැකි උණේ භාෂා ප‍්‍රශ්නය හරස් වූ නිසා. ඒ ළතැවිල්ල තාමත් හිත පුරා.

2013 පෙබරවාරි

March 12, 2014

නත්තල් තෑග්‍ග


‘‘ පවිත‍්‍රා තාමත් එළියට වෙලා මොකද කරන්නේ.... පල්ලි යන්න ලෑස්ති වෙන්නෙ නැද්ද?’

අම්මා කෑ ගැසුවේ දෙවෙනි වතාවටය. පවිත‍්‍රා නිසොල්මනේ උන්නාය. නත්තල් ගී රාවයක් ඈත නිවසකින් නික්මී පවිත‍්‍රා වටා සැරිසරන්නට විය. උඳුවප් හුළඟ හීතලය. නමුදු හිතේ ඇවිලෙන ගින්න නිවන්නට ඒ හුළඟට හයියක් නැත. පල්ලියට ගොස් ජේසුගේ මුහුණ බලන්නේ කෙසේද? ජේසු අම්මාට මුහුණ දෙන්නේ කෙසේද? ඊටත් වඩා ගෙට ගොස් අම්මාගේ, තාත්තාගේ මුහුණ බලන්නේ කෙසේද? පවිත‍්‍රා හීල්ලූවාය. 

රාත‍්‍රිය අන්ධකාරය. මල්ලීගේ පුංචි ගවලෙනේ දැල් වූ මැටි පහනේ එළිය කෑලි කැපිය හැකි ගණ අඳුර මැද පුර හඳක් ලෙස දිදුලන්නේය. අඩුම මිලට ගත් ගවලෙන් පිළිම කට්ටලය දුටු මල්ලීගේ මුහුණේ ඇඳුණු අහිංසක සිනා රැුල්ල පවිත‍්‍රාට මතක් විය. දුප්පත් පැළට හිනා කැන්දන්නට සිදාදියට ගොස් ජීවිතයම කඳුලක් කර ගත්තේ කාගේ වරදින්ද? පවිත‍්‍රා සිතුවාය.

ඇය ඉහළම ප‍්‍රතිඵල නැතත් සාමාන්‍ය පෙළ පාස් වූවාය. නමුත් ගමේ පාසලේ උසස් පෙළ පන්තියක් වූයේ නැත. ඒ සඳහා නගරයේ පාසලට යන්නට නම් හැතැප්ම ගණනක් පයින් ගොස් නැවත බසයෙන්ද යා යුතු විය. ඒ දුෂ්කර ක‍්‍රියාවද කරන්නට තිබිණි. නමුත් පස්දෙනෙකුගේ කුස් පුරවන්නට අම්මාත්, තාත්තාත් දරන වෙහෙස දැක දැක ඇයට ඉගෙනීමට හිත හදා ගත නොහැකි විය.

‘‘ අම්මෙ මාත් කුසුම් අක්කා යන ගාමන්ට් එකට යන්නද....?’’ පවිත‍්‍රා දිනක් හැන්දෑවක මද අඳුරේ පොල් අත්තක් වියමින් සිටි අම්මා අසලට වී ඇසුවාය. අම්මා හිස ඔසවා මොහොතක් බලා සිටියාය.

‘‘ උඹට පුළුවනෑ ඔය දේස දීපංකරවල ගිහින් ඔට්ටු වෙන්න. ඉස්කෝලෙ ලොකු මහත්තයත් කිව්ව නේද කොහොමින් හරි ජේස්ටෙ පාස්කර ගන්ඩ කියල...’’ දිග සුසුමක් මුදා හැරි අම්මා නැවත පොල් අත්තේ රටා අතර දෙනෙත් සිර කර ගත්තාය.

‘‘ උසස්පෙළ කරා කියල මොකෝ මං කැම්පස් යන්නයැ. දැන් ඉස්සර වගේ උසස් පෙළත් නිකන්ම කරන්න බෑ අම්මෙ. පන්ති යන්න  ඕන. බස්වලටයි, ටියුෂන්වලටයි කොහොමද වියදම් කරන්නෙ. අපිට කියල උදව්වකටවත් කවුද ඉන්නෙ. ’’ පවිත‍්‍රා පැවසුවේ කටට ආවක් නොව හදවත ඉදිරියෙන් හැබෑවටම දිග ඇරෙමින් තිබු අභියෝගයන් සියල්ල එකිනෙක එහෙට මෙහෙට පෙරළා මැනවින් පිරික්සා බලමිනි. ඒ ඔවුන්ගේ ජීවන යථාර්ථයයි. අවසන දුප්පත්කම අහිංසක අම්මාගේත්, තාත්තාගේත් බලාපොරොත්තු පරදවා ජය ගත්තේය.ඇය නිදහස් වෙළඳ කලාපයට ඇදුණාය. ගාමන්ට් කෙල්ලක් ලෙස බෞතිස්ම ලැබුවාය.

බෝඩිමට, කෑමට බීමට, ඇඳුම් පැළඳුම්වලට ගිය තැන යම්තමට ගෙදරට යවන්නට මුදලක් අත රැුඳුණා හැරෙන්නට සිදු වූ වෙනත් දියුණුවක් නම් නැතද ගෙදරට බරක් නොවී ජීවත් වීමේ සැනසීම ඇය අත් වින්ඳාය. නත්තල් නිවාඩුවේදී අම්මාට සාරියක්, තාත්තාට සරමක්, රස්තියාදුවේ යන අයියාට, නංගිලා දෙන්නාට, මල්ලීට ඇඳුම්, පුංචි අයට කැවිලි පෙවිලි ටිකක් අරන් යද්දී ඇය වින්දේ රටක් රාජ්‍යයක් අත් කර ගත්තාක් බඳු අසීමිත ප‍්‍රීතියකි. සිරකුටියක් බඳු බෝඩිම් කාමරයේත්, නිස්කාන්සුවක් නැතිව හඬ තලන හිත්පිත් නැති ජුකී මැෂින් අතරෙත් දහසක් දුක් අමාරුකම් මැද වුවද නිස්කලංකයේ දෑවුරුද්දක් ගලාගෙන ගිය ජීවිතයට කටුක ගිම්හානය හංගා ගත්  ඇස්බැන්ඳුම් වසන්තයක් ආවේ පවිත‍්‍රාටත් නොදැනීමය.

යෞවනය මන්මත් කරමින් පේ‍්‍රමයේ සුළං රැලි නිදහසේ වෙළඳ කලාපය සිසාරා හමා ගියේය. පවිත‍්‍රාගේ සිතද යොවුන් වසන්තයේ සුළං රැල්ලට හසුව දඟ පාන්නට විය. එයම සැඩ කුණාටුවක් වී ජීවිතය විනාශ කරනු ඇතැයි මොහොතකටවත් ඇයට සිතුණේ නැත. සිත් යා කරමින් ආදරය දෝර ගලා යන විට එය වළකන්නට සමත් සීමා මායිම් වේද? කුස තුළ තවත් ආත්මයක් පණ ගැහෙන බව දැනෙද්දී දහසක් පොරොන්දු සමග ඇගේ පේ‍්‍රමය කොයි අත ගියේ දැයි සොයා ගන්නට නොහැකි විය.

‘‘ කෙල්ලෙක්ට වරදින්න මහ වෙලාවක් යන්නෑ... ඇයි මෝඩියෙ මෙහෙම දෙයක් කර ගත්තෙ. මම මොනවද දැන් ඔයාගෙ අම්මටයි, තාත්තටයි කියන්නෙ. මාව විශ්වාස කරල නේද ඒ මිනිස්සු ඔයාව මා එක්ක එව්වෙ. ’’ පවිත‍්‍රාගේ වෙනස මුලින්ම ඉව වැටුණේ කුසුම් අක්කාටය. සියල්ල කියන තුරු ඇගෙන් නිවනක් නොවීය. හුස්මක් නොහෙළා සියල්ල අසා සිටි කුසුම් අක්කා කෙළවරක් නැතිව පවිත‍්‍රාට බැණ වැදුණාය. ඉක්බිති පවිත‍්‍රා තුරුළු කරගෙන හඬා වැටුණාය.

‘‘ දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඔය ළමයව නැති කරල දාමු.  ඕව දැන් කාලෙ එච්චර දේවල් නෙවෙයි. ’’ කුසුම් අක්කා අවසන් තීරණය දුන්නේ දිගු සුසුමක්ද හෙළමිනි.

පවිත‍්‍රා නත්තල් නිවාඩුවට ගෙදර ආවේ නැවත  ගිය පසු ජීවිතයේ සිදුවූ ලොකුම සහ එකම වැරැුද්ද නිවැරදි කර ගන්නට හිත හදා ගනිමිනි. කුස තුළ පණ ගැහෙන්නේ තමාගේ ජීවිතයෙන් උදා වන නව ජීවිතයක් යැයි පවිත‍්‍රාට සිතුණේ නැත. දුඟඳ හමන කිළිටි වැරහැල්ලක් ඉක්මණින් උනා දැමීමේ උවමනාවක් බඳු හැඟීමක් මිස අම්මා කෙනෙකු වන්නට උවමනාවක් ඇයට නොවීය.

‘‘ අක්කෙ මේ ලස්සනද? ’’ පොඩි නංගී අළුත් ගවුමෙන් සැරසී පැමිණ වටයක් කැරකී ඇසුවාය. රුපියල් තුන්සියයක්වත් නොවූ ලාබ ගවුමින් ඇය ලබන සතුට කොතරම්ද? තෙල් ගා මනාව පීරා කරලක් වන්නට ගෙතූ කොණ්ඩයෙන් ළපටි මුහුණට අපූරු සිරියාවක් එක් වී තිබිණි.

‘‘ ෂෝක් පොඞ්ඩි. ඔයා අද පුංචි දේව දූතියක් වගේ. ’’ පවිත‍්‍රා නිරායාසයෙන් දෙතොලට නැගි හිනාවක් ඇතිව කීවාය.

‘‘ මගෙ බඩේ ඉන්න බබත් කවද හරි මේ වගේ වෙයිද? ’’ ඇයට සිතිණි. ඒ සිතුවිල්ලත් සමග පවිත‍්‍රාගේ ළය හිරි වැටී ගියේය.

‘‘ අක්කත් අළුත් ගවුම ඇඳ ගන්නකෝ. දැන් වෙලත් යනවා. සීනුවත් ගැහුව සැරයක්. අනේ අක්කේ.... අනේ අක්කෙ....’’ පොඩ්ඩී ගවුමෙන් අදිමින් ඇවටිලි කරන්නට වූවාය.  

පවිත‍්‍රා මුහුණ කට සෝදාගෙන ඇඳ ගත්තේ  ඕනෑවට එපාවටය. අසනීපයක්දැයි අම්මා වරක් දෙවරක්ම විමසිල්ලෙන් ඇසුවාය. ඈ මුනිවතම රැක්කාය. පවුලම ඇඳ පැළඳ පාරට බැස්ස විට හිත පිරී ගියා සේ දැණිනි. අම්මාගේත්, තාත්තාගේත් මුහුණුවලට ආඩම්බරයක් එක් වී තිබිණි. අඩුවකට වූයේ කිසි දිනක පල්ලියට නොයන අයියා මෙදිනද නොවීම පමණකි.

‘‘ කුසට පිළිසිඳ ගත්තෙ දෙවියන්ගෙ පුතා බව ඇත්ත... ඒත් මරියතුමී භාර ගත්තේ කොයි තරම් ලොකු අභියෝගයක්ද? කුරුස ගහේ ජේසු පුතාගෙ හුස්ම ටික යනකම්ම මරියතුමී තමන්ගෙ ජීවිත අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා... අද කාලෙ අම්මල තාත්තලට දරුවො බරක්. කුසේදිම දරු පැටවුන්ගෙ ජීවිත නැති කරල දානවා... දරුවො දාල පිටරටවල යනවා... සල්ලි ලොකුයි දරුවන්ට වඩා. දරුවන්ට  ඕන කරන ආදරය, ආරක්‍ෂාව ලැබෙන්නෙ නැහැ. අද කාලෙ මරිය අම්මල නෑ. මහ මිනිස්සුන්ගෙ  ඕනැ එපාකම් වෙනුවෙන් ජේසු පුතාල කුසේදිම ජීවිතේ පූජා කරනවා.... ජීවිතේට වඩා ජීවිතේ වටේ තියෙන අඩුමකුඩුමයි අපට වටින්නෙ. මනුස්සකම දියවෙලා ගිහින්. ඒ හින්දයි අද අපට ගැළවීම මේ තරම් දුර... ’’

පියතුමාගේ දේශනය පවිත‍්‍රා වෙනුවෙන්ම කළාක් මෙනි ඇයට දැණුනේ. ‘‘ දෙවියනේ තනිං මං මොනව කරන්නද? මගේ කුසෙත් ඉන්නෙ අහිංසක දරු පැටියෙක්. ඒත් ලෝකෙ මිනිස්සු මට මොනා නොකියයිද? මගේ අහිංසක අම්ම, තාත්ත මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ කොහොමද? මං මොකද කරන්නෙ? ’’ පවිත‍්‍රාට හුස්ම නවතින්නාක් මෙන් දැණිනි. පළමුවරට දරු සිඟිත්තෙකුගේ මුහුණක් ඈ සිත මැවුණි. ඒ අහිංසක දෑස් ඈ වෙතටම යොමු වී තිබිණි. පවිත‍්‍රා තිගැස්සුණාය. ඇය අම්මාගේ මුහුණ දෙස බැලූවාය. ඈ කොතරම් අහිංසකද.... ? බැතිබර ඒ මුහුණ අල්තාරය දෙසටම යොමු වී පැවතිණි. අහන, දකින, විඳින සියල්ල අකුරක් නෑර අම්මා වටේ දැවටෙමින් කිය වූ සොඳුරු අතීතය පවිත‍්‍රාට සිහි විය.

‘‘ අම්මට රටේ ලෝකෙ හැම දරුවෙක්ම තමන්ගෙ දරුවෙක් වගෙයි. එහෙව් අම්මා මගෙ දරු පැටිය බාර ගන්න අකමැති වෙයිද? මගේ වරදට මේ අහිංසක දරුවා වන්දි ගෙවන්නෙ මොකටද? එයාටත් මේ ලෝකෙ එළිය බලන්න අයිතියක් තියෙනවා. ’’ පවිත‍්‍රා සුරතින් කුස පිරිමදිමින් සිතුවාය.

නත්තල් පූජාව අවසානයේ පියතුමා බිළිඳු ජේසු ප‍්‍රතිමාව පෙරහැරින් ගෙන ගොස් ගවලෙනේ තැන්පත් කළේය. ගම්වැසියන් එකිනෙකාට නත්තල් සුපැතුම් පිිරි නමා ගත්තේ ප‍්‍රීතිය පිරී ඉතිරී යන මුහුණිනි. පවිත‍්‍රා හෙමිහිට ගවලෙන අසලට ගියාය. බිළිඳු ජේසු ප‍්‍රීතිමත් හසරැුල්ලක් සමග ගවඔරුවේ සැතපී උන්නේය. ඇය ජේසුපුතුගේ දෑත සෙනෙහසින් පිරිමැද වැඳ නමස්කාර කළාය. ගවලෙන අසල බොහෝ වේලාවක් දණ නමා සිටි ඇය හෙමිහිට නැගිට්ටේ සැනසුම් සුසුමක්ද හෙළමිනි. මරියතුමියගේ දයාන්විත දෙනෙත තමා දෙසට යොමු වී ඇතැයි ඇයට සිතුණි.

නත්තල් පූජාව නිම වී නිවසට පැමිණ මුලින්ම කරන කටයුත්ත ජේසු බිළිඳා ගවලෙනේ තැන්පත් කිරීමයි. පවුලේ සියල්ලෝ ගවලෙන වටා එක් වූහ.

‘‘ මල්ලී මං ජේසු බබා ගවලෙනේ තියන්නද? ’’පවිත‍්‍රා ඇසුවාය. මල්ලී හිනැහෙමින් ජේසු බිළිඳා පවිත‍්‍රා අත තැබුවේය. ඇය මහත් බැතියෙන් බිළිඳා දෝතට ගෙන සිප ගවලෙනේ තැන්පත් කළාය.

2012 දෙසැම්බර් -කැඩපත

( 1998 දී පමණ ලියැවුණු කතාවකි. )

සන්තකයම බෙදා ගත් නත්තල් සීයා....


නත්තල නම් දේවත්වය හා මනුෂ්‍යත්වය ඒකාත්මික වීමේ අසිරිය සමරන උත්සවයයි. මිහිමත ආදරයේ, සාමයේ, ප‍්‍රීතියේ උත්කර්ෂය ගලා ගිය අපූරු උපතක් සමරන දිනයයි. නත්තල මනුෂ්‍යත්වයේ උත්තරීතරභාවයන් විකසිත වන දවසයි. මෙය ක‍්‍රිස්තියානි ආගමික උත්සවයක් වුවද අද සකල ලෝකවාසී ජනතාව කිසිදු ආගම්, ජාති භේදයකින් තොරව නත්තල් ප‍්‍රීතිය හා එක් වෙති. නත්තල නම් අන්‍යයන්ගේ සතුට සැනසුම වෙනුවෙන් තමන් සන්තකයෙන්ම පරිත්‍යාගී විය යුතු බව පෙන්වා දුන් දේව පුතාගේ උපන්දිනය බව සිහි කරමින්, අපේ ගමේ නත්තල් සීයා ඉපදුණු අසිරිය අද මිනිසි අසිරි ඔබ වෙත ගෙන එයි.
2004 වසරේ නත්තල් දිනයයි. අපි උඳුවප් මහේ 24 වන දා රාත‍්‍රීයේ ගමේ පල්ලියේ පැවති නත්තල් දිව්‍ය පූජා මෙහෙයට සහභාගී වෙමින් සිටියෙමු.

‘‘ යන්න.... නත්තල් දින ඉපදුණු ජේසු කුමරුන් ලොවට ගෙන ආ ආදරයේ සාමයේ පණිවිඩය රැගෙන යන්න... ’’ පියතුමා අවසාන ආශිර්වාදය දානය කළේය. අපි සැවොම ප‍්‍රීතියෙන් මෙලෙස ගායනා කළෙමු.

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ... ලස්සන බිළිඳෙක් මල් වගේ
මවගෙ ළයේ සුරතල් විඳින්නා ... මුතු වැනි රූ සපුවයි ඇගේ
ජය ජය ජය සිරි ... ජය මංගල සිරි ... මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ...

ගීතිකාවෙන් පසුව එකිනෙකාට නත්තල් සුබ පැතුම් පිරිනමමින්, සිපාචාර දක්වමින් අපි පල්ලිය ඉදිරිපසට එමින් සිටියදී ‘‘ අනේ.............. මෙන්න නත්තල් සීයෙක් එනවා... ’’ ළමෝ කෑ ගසන්නට වූහ. සියල්ලෝ දෙව් මැදුරු අංගනයට පිවිසුණහ. පොල් ගස් පේළි අතරින්, අන්ධකාරය මැදින් නත්තල් සීයා කෙනෙක් හෙමිහිට පැමිණේ. අතක වර්ණවත් බැලූම් පිරුණු සැරයටියකි. අනෙක් අතින් ගත් කුඩා සීනුවේ නාදය සුර ලොව සිට විහිදෙන නාදයක් මෙන් නිසල රැය පුරා රැව් දේ. නත්තල් සීයාගේ ඇඳුම අංග සම්පූර්ණය. උර මත කුඩා මල්ලකි. අඩුවකට ඇත්තේ පිණිමුවෙක් පමණි.

දෙව් මැදුර අසලටම පැමිණි නත්තල් සීයා ‘‘ සුබ නත්තලක් වේවා දරුවනේ... ’’ ආරූඪ කර ගත් වයස්ගත කටහඬකින් සුබ පැතුවේය. අනතුරුව මල්ලෙන් ගත් බැලූම් බෝල සහ ටොෆි දරුවන් අතර බෙදා දුන්නේය. වැඩිහිටියන්ටත් ටොෆිය බැගින් ලැබිණි. දුප්පත් නත්තල් සීයා කෙනෙක් විය යුතුය. තෑගි මල්ල එතරම් පොහොසත් නොවූයේ එබැවිනි. නමුත් අපේක්‍ෂා නොකළ මොහොතක පැමිණි නත්තල් සීයා අප හා බෙදා ගත් සතුට නම් සුළුපටු නොවීය.  ඔහු ළමුන් සමග අත්පොඩි ගසමින් නත්තල් ගීතිකා, ළමා ගී කිහිපයක් ගායනා කළේය.

‘‘ කවුද මේ නත්තල් සීයා...චුට්ටක්වත් අඳුන ගන්න බැහැනෙ...?’’

‘‘ කවුද පල්ලියෙ අඩු.... වෙන පල්ලියකින් ආව කෙනෙක්ද දන්නෙ නෑ...’’

අපට මහත් ගැටලූවකි. විමසිල්ලෙන් බැලූ මුත් කිසිදු සලකුණක් හඳුනා ගත නොහැකිය. පුළුන් වැනි සුදු රැුවුලෙන් මුළු මුහුණම වැසී ඇත. ඇහි බැමටද සුදු පුළුන් අලවා ඇත. කණ්ණාඩි කුටිටමක් පැළඳ ඇති මුත් මම දෑසට එබිකම් කළෙමි. ඒ නම් දන්නා හඳුනන දෑසකි. ‘‘ ඇස් දෙක අපේ අයියගෙ වගේ...’’ මම හෙමිහිට අපේ කට්ටිය සමග කීවෙමි. ‘‘ වෙන්න බෑ අයිය පල්ලි ආවනේ...’’ නංගී කීවාය. ‘‘ ලොකු පුතා වගේ තමයි. ’’ තාත්තාද කීවේය. අපි වටපිට බැලූවෙමු. අපේ නෑනා රේණු, දූත් වඩා ගෙන සිනාසෙමින් බලා සිටියාය. අයියා පෙනෙන්නට නැත.

‘‘ අයිය නේද නත්තල් සීයා...’’ රේණු හිස සලා හිනැහුණාය.  

‘‘ කොහෙන්ද අනේ ඇඳුම හොයා ගත්තෙ...’’

‘‘ රෙදි ගෙනත් මැහුවා..’’

‘‘ ඒ කොහොමද අපි දැක්කෙවත් නැහැනෙ...’’ අපි විස්මපත් වූයෙමු.

මේ නත්තල් සීයා අපේ බාප්පාගේ ලොකු පුතාය. අයියා කුඩා කල හදවතේ සිදුරක් නිසා හදවත් සැත්කමක් කළ හෙයින් බර වැඩ කළ නොහැකිය. ජීවනෝපාය පිණිස ඔහු කළේ කුඩා සිල්ලර වෙළඳාමකි. එය ලාබ ලැබූ වෙළඳාමකට වඩා ණයට දුන් වෙළඳාමකි. එනිසාම ඔහු අතමිට සරු කෙනෙකු නොවීය. ජීවත් වුයේද කඩයටම අල්ලා සාදා ගත් කාමරයකය. ඒ වන විට අයියාට සිටියේ එක් දියණියක පමණි.

මේ දිනවල කඩේ කොටසක අයියාගේ මිතුරකු ඇඳුම් මැසීම සිදු කළේය. නත්තල් සීයා ඇඳුම මසා ඇත්තේ ඔහු විසිනි. මාසයක පමණ කාලයක සිට කඩය වැසීමෙන් පසුව රාත‍්‍රී එකොළහට පමණ මේ ඇඳුම ටිකෙන් ටික මසා තිබිණි. සැලකිය යුතු මුදලක් ඒ සඳහා වැය කර ඇත. එම නත්තලේ බිරිඳට, දරුවාට හෝ තමාට අළුත් ඇඳුම් පැළඳුම් කිසිවක් නොගෙන, කැවිලි පෙවිලි කිසිවකට මුදල් වැය නොකර අයියා නත්තල් සීයා සිහිනය වෙනුවෙන්ම කැප වී තිබිණි.

එදා ඉපදුණු අපේ ගමේ නත්තල් සීයා දැන් සෑම නත්තලකම ගමට පැමිණේ. ඊළඟ වසර වන විට සයිප‍්‍රස්වල සිටි නැන්දා කෙනෙක් අපට තව නත්තල් සීයා ඇඳුමක් එවා තිබිණි. ඒ වසරේ නත්තල් දා හිමිදිරියේ නත්තල් සීයලා දෙදෙනෙක් ගම වටා සැරිසැරූහ. ළමුන්ට පොත්, පෑන්, පැන්සල්, ටොෆි, බැලූම් බෙදා දුන්හ. ක‍්‍රම ක‍්‍රමයෙන් නත්තල් සීයාගේ තෑගි මල්ල පොහොසත් විය. වසර කිහිපයකට පසු අපිද නත්තල් ගීතිකා ගයමින් නත්තල් සීයා සමග තෑගි බෙදමින් යන්නට පටන් ගතිමු. නත්තල් සීයලා, කැරොල් කණ්ඩායම් ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කරන අවස්ථාද අපි දැක ඇත්තෙමු. නමුත් අපේ නත්තල් සීයා තෑගි බෝග, ආදරය, සතුට ලබා දී පෙරළා ලබන්නේ ආදරය සතුට සහ ආශිර්වාදය පමණි.

වසර කිහිපයක සිට අසල්වැසි ගම්වලට ද, කොහු මෝල් තුනකට ද, වැඩිහිටි නිවාසයට ද අපි නත්තල් අසිරිය රැගෙන යන්නෙමු. දැන් එය අපේ නත්තලේ ප‍්‍රමුඛ කාර්යය වී ඇත. නත්තල් සීයාගේ තෑගි මල්ල පිරෙන්නේ අප සැමගේ දහඩිය මහන්සියෙනි. වසර ගණනක සිට මගේ දෙසැම්බර් මස වැටුපෙන් වැඩි කොටසක් වැය වන්නේ ද නත්තල් සීයාගේ තෑගි මල්ල පුරවන්නට කොළඹින් තෑගි බෝග මිල දී ගන්නටය. ඉතා දුෂ්කර දිවි ගෙවන නමුදු ඥාති සොයුරු සොයුරියෝ ද, අසල්වැසියෝ ද නත්තල් සීයාගේ තෑගි මල්ල පුරවන්නට දායක වෙති.

අතමිට දිළිඳු මුත්, හිත පොහොසත් නත්තල් සීයා කෙනෙක් ලබා දුන් ආදර්ශය අනුව යමින් අපි දැන් නත්තලේ සතුට අන්‍යයන් හා විශේෂයෙන්ම කුඩා දරුවන් හා බෙදා ගන්නෙමු. 


2012 දෙසැම්බර්