November 28, 2013

හිරුත් හිම පියල්ලක...


දෙනෙත ගැටුණ, මනස රැඳුණ පොත පතක අසිරිය ඔබ හා ඛෙදා ගනු රිසියෙන් zz ඇසුරZZ අකුරු කරන්නෙමු. ළමුන් කැටුව යන අනුශාසකවරුන් ලෙස පොතපතට ළැදිව, පොතපත තුළින් ගුරුහරුකම් ලබමින් ජීවිතය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. දරුවන් කියවීමට යොමු කිරීමට නම් මුලින්ම අපි ඒ සඳහා නැඹුරුව සිටිය යුතු නොවේද? අතට අමතර මුදලක් ලැබුණ විට පොතක්  මිළ දී ගැනීමට, තිළිණයක් ලෙස පොතක් ලබා දීමට, නිතර පොතක් ළඟ තබා ගනිමින් කියවීමට, කියවන පොත පත අන් අය සමග හුවමාරු කර ගැනීමට, පොත් ගැන කතා බහ කිරීමට අපි පුරුදු පුහුණු විය යුතු වෙමු. එය නිසැකවම ළමුන් කැටුව යන අපගේ දිවියට ආලෝකයක් වනු ඇත.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේ දොරටුවෙන් ඇතුළු වූ පසුව වම් පසට වන්නට දිගු කැටපත් පවුරක් සමග කවි පොත් කුටියක් තිබිණි. හතර අතේ සොයා ඇවිදින කවි පොත් එකම තැනකින් මිළ දී ගන්නට පහසුවක් මේ නිසා සැලසිණි. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ zz හිරුත් හිම පියල්ලක ZZ අත පත් වූයේ එහිදීය.

‘‘හිරුත් හිම පියල්ලක
කවියා           :- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
ප්‍රකාශනය     :- සන්ථව ප්‍රකාශන
මිල                :- රු. 200.00

2010 වසරේ විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහය ලෙස zzහිරුත් හිම පියල්ලකZZ සම්මානයට පාත්‍ර විය. අතිශයින් සංවේදී තේමාවන් රැසක් කවියට නැගුණු මෙම කෘතිය සැබවින්ම අපූරුය. කවි පොත පුද කර ඇත්තේ කවියාගේ මව්පියන් වෙතය. එයද අපූරු කවියකිනි. එහි සිත් ගත් කොටසක් මෙලෙසිනි.

.... බිදෙන වීදුරු රාමුවක මුවා වී
බිත්තියේ සිනා සී නොඉඳ
හද බිතෙහි සදා කැටයම් වූ
ඉසුරුමුණි පෙම් යුවළ
අම්මටයි.... තාත්තටයි...

සිය මව්පියන් හද බිතෙහි සදා කැටයම් වූ ඉසුරුමුණි පෙම් යුවළ ලෙස දැකීමම අපූරු කාව්‍ය සංකල්පනාවකි. මව්පියන්ගේ ප්‍රේමයෙහි සුන්දරත්වය, ගැඹුර මෙන්ම කවියා ඒ බැඳීමට දක්වන ආදරය සහ ගෞරවයද එයින් ධ්වනිත වන්නේය.

විද්‍යුත් දෘශ්‍ය මාධ්‍ය හා එළිමහන් වේදිකාව තුළ අද නර්තනය ඉතා ප්‍රසිද්ධ අංගයක් බවට පත් වී තිබේ. ඉඟසුඟ නළවමින්, දුහුල් සලූ පිළියෙන් සැරසී නර්තනයේ යෙදෙන රූමතියන් කොතෙකුත් දක්නට ලැබේ. ඔවුන් පිළිබඳව වැඩි දෙනෙක් තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක්ද නොවේ. එලෙස නර්තන කණ්ඩායමක මුදලට නර්තනයේ යෙදෙන තරුණියක් තම අම්මාට යවන හසුන් පතක් ලෙස ලියැවී ඇති zz ලියමනZZ යන කවි පෙළෙන් හිරුත් හිම පියල්ලක කවි ගඟුල ඇරඹේ. නව යොවුන් වියේ සිටින අප බොහොමයක් අනුශාසකවරුන්ට අද තාරුණ්‍යයේ බාහිර අලංකාරවත්, සාටෝප ජීවිත තුළ සැඟවී ඇති කඳුළු කතාන්දර හඳුනා ගන්නට ඉවහල් වේ යැයි සිතන බැවින් ඒ සම්පූර්ණ කවියම මෙහි දක්වමු.

ලියමන

නෙළුම් කවි ලී කෙළි ඔළිඳ කෙළි
මෙහෙත් නැතුවා නොවෙයි අම්මේ
ඒත් ඒවා වෙනස් කර කර
අළුත් අයිටම්ස් හදනවා

උත්සවත් දැන් වැඩි නිසා
ෂෝස් දිගටම තියෙනවා
නින්ද නෑ රෑ පුරා නටනවා
උදේ ප්‍රැක්ටිස් කරනවා

ඇගේ හැඩ නැති වෙයි කියා
කන්න දෙන්නෑ රෑට බත්
කෙල්ලො දහයක් ඉන්නවා
හොරෙන් අපි තේ හදනවා

සිංදු විෂුවල්වලට ගියොතින්
දාහ ගානේ ලැඛෙනවා
ඒක අමතර ඒ උණත්
විලූඹ තුනටිය රිදෙනවා

අලූත් නැටුමක දුහුල් ඇඳුමට
වශීවුණ පොහොසත් කෙනෙක්
තෑගි දෙන්නට හදනවා
මම එපාමයි කියනවා

උත්සවේ දවසේ මගේ මට
අම්ම කී දේ මතක් වෙනවා
ඇත්තමයි සමහර දෙනෙත්වල
හරි අමුත්තක් තියෙනවා

දවස් නවයක් ෂෝස් දිගටම
ඊයෙ මට අර ලෙඩේ හැදුණා
ඒත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා

අම්මගේ විටමින් ටිකයි
තාත්තගෙ දානෙට බඩුයි
ගන්න සල්ලිත් ඔන්න අම්මේ
මේත් එක්කම එවනවා

නිසරු අත්පුඩි විසිල් ඝෝෂා
අතර පසුපස තැනක කෙළවර
නොලා ඇසිපිය බලා මා දෙස
අම්ම ඉන්නව පේනවා....

ඇය නාටිකාංගනාවකි. නමුත් පොළවේ පය ගසා සිටින දිරිය දියණියකි. ඇය කරන්නේ රැකියාවකි. නමුත් එය තරුණ විය වල්මත් කරවන සුළු අවදානම් පිරුණු රැකියාවකි. මේ තරුණියට උගුල්වල හසු නොවී සිටින්නට ධෛර්යය වී ඇත්තේ අම්මාගේ ආදරයයි. අම්මාගේ ආශීර්වාදය සහ ගුරුහරුකම් ඇය නිරන්තරයෙන් සිහිපත් කරයි. ඇගේ පියා මිය ගොස් ඇති බව zz තාත්තගෙ දානෙට බඩුයි ZZ යන පද පේළියෙන් පැහැදිලි වෙයි. නාටිකාංගනාවක් වුවද ඇය ජීවිතයේ වටිනාකම තේරුම් ගත්, සමාජය ගැන අවබෝධයෙන් සිටින ආත්ම ශක්තියෙන් පිරිපුන් තරුණියකි.

අප බොහෝ විට දකින්නේ මිනිසුන්ගේ ජීවිතයේ මතු පිට පොත්ත පමණි. ඒ මතු පිට ස්වභාවය මත අප කොතරම් නම් අන් අයව විනිශ්චය කරනවාද? හෙළා දකිනවාද? ප්‍රතිෙක‍ෂ්ප කරනවාද? මුදලට නර්තනයේ යෙදෙන තරුණියක දෙස මානුෂිකව, දයා පෙරදැරිව බලන්නට කවියා සමත් වී ඇත. සාහිත්‍ය කලා නිර්මාණයකින් සිදු විය යුතු සමාජ සත්කාරයත් එයම නොවේද?

මෙවන් වූ අතිශය සංවේදී කවි රැසක් හිරුත් හිම පියල්ලක කවි පොත තුළින් රස විඳිය හැක. එය විටෙක මිනිසුන්ගේ අනේක විද දුක් දොම්නස් කවි පද හරහා අප වෙත ගෙනෙමින් අප කම්පනයට පත් කරයි. තවත් විටක අප සිත් තුළ දයාන්විත හැඟීම් සහ මනුෂ්‍යත්වය පිළිබඳව මහත් වූ ආදරයක් ඇති කරවයි.

නමුත් මෙහි එකම කවියක හෝ බරපතළ වදන් හරඹ දක්නට නැත. ඉතාම සරල භාෂා රටාවක් කවියට යොදා ගෙන ඇත. අපූර්වත්වය ඇත්තේ කවියා තමා තෝරා ගත් තේමාව දයාන්විත සිතකින් විනිවිද දකිමින්, හෘද සංවේදී කාව්‍ය ආකෘතියකට ගොනු කරලීමයි.


බොහෝ විට අපේ කවි රස විඳීම පාසල් විෂය නිර්දේශයට අයත් කවිවලට පමණක් සීමා වී ඇත. එයින් මිදී කවියේ අළුත් මං පෙත් සොයා යන්නට උත්සාහ ගනිමු. එය ජීවිතය නවතාවයෙන් යුතුව විඳින්නට අපට මග පෙන්වනු ඇත.  

ළ.ක්‍රි.වී. ව්‍යාපාරය මගින් අනුශාසකවරුන් සදහා තෛමාසිකව පළ කරන ‘‘සබඳ” සඟරාවේ පොතපත හදුන්වා දෙන ‘‘ඇසුර” විශේෂාංගයේ පළ වූ ලිපියකි. )

රන් කිරි කැටියා






සිඟිති සුරංගනාවිගෙ දිනපොතෙන්...

සුරංගනා ලෝ‍කෙ ගැන ඔයාල වැඩි දෙයක් දන්නෙ නැහැනෙ... සුරංගනා ලෝකෙ ගොඩක් සුරංගනාවියො ඉන්නව තමයි. ඒ වගේමයි සිඟිති සුරංගනාවියොත් මහ හුඟක් ඉන්නවා. සිඟිති සුරංගනාවියන්ගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි ළමයිව බලා ගන්න එක.... එයාලව සතුටින් තියන එක... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.. වැඩියක්ම ඒ රාජකාරිය අමාරු වෙලා තියෙන්නෙ අම්මල, තාත්තල, වැඩිහිටියො නිසාම තමයි.... සුරංගනා ලෝකෙ තියෙන දින පොතේ සිඟිති සුරංගනාවියො තමන්ගෙ අත්දැකීම් ලියනවා.. සුන්දර, දුක්බර, කටුක අත්දැකීම්... සිඟිති සුරංගනාවියක් කැමති උණා ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න. ඇයි කියනවනම් අම්මල, තාත්තල, වැඩිහිටියන්ට පුංචි අයගෙ හිත් කියවන්න පහසු වෙන්නයි... අපිත් කියවල බලමු මොනවද එයාල ලියල තියෙන්නෙ කියල...


'' රන් කිරි කැටියා ''

මේ චුටි පුතෙක් ගැන කතාවක්... චූටි පුතු ඉපදෙද්දිම එයාගෙ උඩු තොල හරියට පිහිටල තිබුණෙ නැහැ. කැපුම් පාරක් වගේ උඩු තොල බෙදිලයි තිබුණෙ. ඒ නිසා පුංචිම කාලෙ එයාට හරියට කිරි උරන්නවත් බැරි උණා. එයා ඉපදුණු දවසෙ අම්මටයි, තාත්තටයි හැමෝටමයි හරිම දුකයි ඉතින්... චූටි පුතු අයිය වගේ නෙවෙයි. කෙට්ටුයි. බරත් අඩුයි. අම්මයි, තාත්තයි දෙන්න ගොඩක් සල්ලි වියදම් කරල තොල්පට හැදුවා. දැන් නම් හොයන්නවත් බැහැ. සීරුවෙන් බැලුවොත් පේන පුංචි කැලලක් විතරයි තියෙන්නෙ. ඒ වුණත් චූටි පුතු තාමත් කෙට්ටුයි. අත් කකුල් කෝටු වගේ. ඒ හින්ද අම්ම චූටි පුතුට කිව්වෙ '' කෝටු චූටි '' කියලයි. ආදරේටයි එහෙම කිව්වෙ. චූටි පුතුට දුක හිතුණා එහෙම කියද්දි. ඒත් එයා දන්නෙ නෑ කොහොමද මේක අම්මට ‍තේරුම් කරන්නෙ කියල. තාම එයා පුංචියි අවුරුදු තුනකුත් නැහැනෙ.

අම්ම වැඩට ගියාම චූටි පුතුව බලා ගන්නෙ මම්මාච්චි. .. මම්මාච්චි නම් චූටි පුතුට කතා කරන්නෙ '' මගෙ රන් කිරි කැටියා '' කියලයි. ඉතින් දවසක් චූටි පුතු මම්මාච්චිගෙ තුරුලෙ හුරතල් වෙවී ඉන්න ගමන් කියනව මෙහෙම...

'' මම්මාච්චි නම් මට කියන්නෙ රන් කිරි කැටියා කියල. ඒත් අම්ම කියන්නෙ කෝටු චූටි කියලනේ..."

ඒ කියපු තාලෙටයි, ඒ වෙලාවෙ චූටි පුතුගෙ මූණෙ තිබුණ අහිංසකකමටයි මම්මාච්චිගෙ ඇස්වල කඳුළු පිරුණා. මම්මාච්චි හීන් සීරුවෙම චූටි පුතුගෙ අම්මට දොස් කිව්වා.

" ආයෙ එහෙම කවදාවත් ළමයට ඔය වගේ නම් කියල කතා කරන්න එපා... පුංචි උනාට ළමයින්ගෙ හිතට බලපානව ඕවා.."

මම්මාච්චි තරවටු කළා.

ඉතින් දැන් අම්ම වැඩ ඇරිල ගෙදර එන්නෙම කෝ මගෙ රන් කැටියා කියාගෙන... අම්ම දැන් ආදර වචන ගොඩක් කියනවා. මගේ වස්තුව, මගේ රන් කැටේ, මගේ සුදු පුතා... වගේ... ඉතින් චූටි පුතුට හරිම සතුටුයි. සිඟිති සුරංගනාවිටත් සතුටුයි...


ප.ලි.
මම මේ සිඟිති සුරංගනාවිගෙ ලිපි පෙළ ලියන්න පටන් ගත්තෙ සාමන්ත සොයුරාගෙ කැඩපත සඟරාවට. මට ඕන වැඩි දුර නොහිතා නොබලා අපි කරන ‍කියන දෙයින් පුංචි දරුවන්ට සිදු වන අසාධාරණකම් ගැන සරලව, හිතට දැනෙන විදියට, කෙටියෙන් කතා කරන්නයි. මේ කතා එකක්වත් මනඃකල්පිත කතා නම් නෙවෙයි.  මගේම අත්දැකීම් හෝ මම ඇසු දුටු දේවල්...

November 27, 2013

සාමයේ නිරුවත සහ සීතල යුද්ධ





අතුරු මිතුරු දඹදිව තුරු
උතුරු මිතුරු වෙමු සුමිතුරු
විසිර පැතිර සඳරැස් යුරු
පැතිරි සතුරු කරනෙමු දුරු

මමංකාරයට අහංකාරය එකතු උණාම භයානකයි... එයටම උද්දච්චකමත් එකතු උණාම අති භයානකයි... මමංකාර අහංකාර උද්දච්චකම දේශපේ‍්‍රමීත්වය, ජාත්‍යාලය, දේශානුරාගය, ජාතිකානුරාගය වගේ සුන්දර සාඩම්බර වචනවලට පිටුපසින් කඩුදුනු අමෝරා ගත්තම අතිශයින් භයානකයි...

එතනදි මනුස්සකම ඇකිලිලා යනවා... සංවේදී බව නිර්වින්දනය වෙනවා... මානව සම්බන්ධතා මකුළු හුයක් තරම්වත් නොවටිනා තැනට පත් වෙනවා.... 

ජාතිය, ආගම, කුලය, ජන්මය වගේ කාරණා නිසා පෑරුණු හිතක්, කොන් උණ හිතක් සුවපත් කරන එක ලේසි නැහැ... ඒ වෙනුවෙන් හදවතින්ම කැපවීමක් අවශ්‍යයි. ආදරය අවශ්‍යයි. පිළිගැනීම සහ අගය කිරීම අවශ්‍යයි... 

නෙතට නෙත... දෑතට දෑත.... හදවතට හදවත සමීපව හමු වීම අවශ්‍යයි...
ජාති ආගම් ලෙස භේද බින්න වෙමින් අවි අමෝරා ගන්නවා වෙනුවට මනුෂ්‍යත්වය දල්වන්න, යුද්ධය නිසා පෑරුණු හිත් සුවපත් කරන්න, මිනිසුන් ලෙස ජීවත් වෙන්න හැමටම සමාන අවස්ථා දෙන්න තනි තනි පුද්ගලයන් වශයෙනුත්, සමාජ කණ්ඩායම් වශයෙනුත්, සමස්ත සමාජය විදියටත් අපට කළ හැකි දේ තියෙනවා. 

යුද්දය ඉවරයි.. දැන් සාමය කිව්වට. සාමයත් සීතාම්බර පට සළුව ඇඳගෙන ලැජ්ජාවෙන් ඇකිලිලා ඉන්නෙ. ඈ දන්නවා තවත් පට්ට ගහන එක් වචනයක් මිස ඉන් එහාට ගිය වටිනාකමක් ‘‘සාමය‘‘ ට නැති බව මේ සමාජය තුළ. 

යුද්දය නිම වෙලා බොහෝ කල් ගත උණත්.. තවමත් අපි ඉන්නෙ පශ්චාත් යුද සමයක.. සීතල යුද්ද හැමතැනකම. හැම හිතකම. තමන්ගේම අය අහිමි වීමේ වේදනාව.. තමන්ගේ බිම් අහිමි වීමේ වේදනාව.. තම වේදනාවන් ගැන කතා කිරීමේ නිදහස පවා අහිමිවීමේ පීඩාව.... තමන් ඉපදුණු බිමේම සරණාගතයින්, සතුරන්, අවතැන්වූවන්, කොන්වූවන් ලෙස සලකනු ලැබීමේ පීඩාව... මෙබදු සුවහසක් පීඩාවන්, වේදනාවන් තව කොතෙක් කලක් නම් ඉවසා හිඳින්නද

මිතුරන්, සොයුරන් ...... සතුරන්, ත‍්‍රස්තවාදීන් බවට පත් කිරීමේ ක‍්‍රියාදාමය තුළ අඩුවැඩි වශයෙන් අපි සියලූදෙනාම තවමත් නියැළී සිටිනවා නොවේද?  

සහෝදරත්වය ගොඩනගන්නට අංශුමාත‍්‍ර හෝ කැපවීමක් නැති තැනක සැබෑ සාමයක් උදා වේවිද?  

ඒ සීතල යුද්ද, ගිනි කඳු බවට පත් වී පුපුරා යන්නට ඉඩ  නොදී නිවාලිය යුතුයි නේද? එය කළ යුත්තේ, කළ හැක්කේ පේ‍්‍රමයෙන්... මෛත‍්‍රියෙන් කියලයි මට නම් හිතෙන්නෙ.



භක්ති ප‍්‍රබෝධනයේ පත්ඉරු අතර දිග හැරෙන ‘‘උතුරු මිතුරු’’ අකුරු සොඳුරු ඒ උතුම් ක‍්‍රියාවලියට මගහසර පෙන්වනු සඳහා ප‍්‍රඥාවේ ප‍්‍රදීපයක්ව දැල්වේවා කියා ඉත සිතින් පතමි. 

දෙමට පොතු කාල කට හම ගියාට නොවේ.
කහඹිලිය ගෑවිල වගේ හිත කහනවාට....
ලියා තබන මම

තරුරසී

( 2013 ජූලි )